නැකැත් මාසය ඇරැඹේ...

මැයි 6, 2022

 

රවී, බ්‍රහස්පති, සෙනසුරු, සිකුරු ආදී ප්‍රබල ග්‍රහයින් බලවත්ව ගමන් කරන මේ මැයි මාසයේ කෘෂිකාර්මික, විවාහ, නිවස කටයුතු, අකුරු කරවීම්, ව්‍යාපාර ආදී සුබ කටයුතු සිදුකිරීමට අති ප්‍රබල සුභ නැකත් යෙදී ඇත. බ්‍රහස්පති මීනයේ බලවත් වී ඇති අතර රවි මේෂයේ උච්චව ද, සිකුරු මීනයේ උච්චව ද ප්‍රබලව ගමන් කරන අතර එම ග්‍රහයින්ගේ බලය යොදා ගනිමින් බොහෝ සුබදායක නැකත් සාදාගත හැකිය.

විශේෂයෙන් සෙනසුරු කුම්භ රාශියේ ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව ඇති අතර සෙනසුරු නවාංශකයේ ද තුලා රාශියේ ජූලි 12 දක්වා උච්චව ගමන් ගැනීම සෙනසුරුගේ බලය ද උපරිමව බලපානවා ඇත.

සෙනසුරුගේ බලය මත සුබ වගා නැකත් සාදාගත හැක. මෙම මැයි මස ග්‍රහබලය අනුව ජූලි 12 දක්වා කාලය දැනට රටේ පවතින මෙම පීඩාදායක තත්ත්වය අවම වී යම් සහනශීලි තත්ත්වයක් මතුවේ.

වෙසක් පෝය, ගෙවෙන අන්තිම විනාඩි කීපය තුළ එනම් මැයි 16 සඳුදා පෙරවරු 09 විනාඩි 41 තප්පර 20ට මිථුන රාශියේ විසා නැකතේ සිවුවන පාදයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවේ. ග්‍රහණය සිදුවූ දින සිට දින 3ක් ඉදිරියට සහ පසුපසට සුබ කටයුතු සඳහා අසුබ බවත් එම ලග්නය හා නැකත ද දින 3කට අසුබ බවත් පිළිගත් ආචාර්ය මතයකි.

වෙනත් ආචාර්ය මතයක් අනුව ග්‍රහණය සිදුවූ දින සිට දින 7ක් ඉදිරියටත් දින 7ක් පසුපසටත් එනම් දින 15ක් අසුබ බව කියා තිබේ. මෙම වෙසක් සඳ ගෙවෙද්දී සිදුවන චන්ද්‍රග්‍රහණයේ බලපෑම මත සුනාමි, ගංවතුර තර්ජන, සයුර තුළ ජල කැලඹීම් මෙන්ම හදිසි ආපදා තත්ත්වයන් ඇතිවේ.

මේෂ

මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ සමඟ කර්මස්ථාන, අයස්ථාන අධිපති ශනි අග්නි මාරුත යෝගය සදමින් අයස්ථාන ගත වීම, හදිසි මුදල් ලාභ මතුවන ග්‍රහ පිහිටීමකි. එහෙත් වියදම් පක්ෂය වැඩිවනු ඇත. විදෙස්ගත වූවන්ට සුබදායකයි. විවාහකයන් අතර යම් මත ගැටීම් ඇති විය හැක. තවද අහංකාර තීරණ එයට හේතුවනු ඇත. ඉවසීමෙන් බුද්ධිමත්ව නම්‍යශීලි ලෙස කටයුතු කරන්න.

වෘෂභ

ලග්නාධිපති සිකුරු උච්චව අයස්ථාන අධිපති ගුරු සමඟ අයස්ථානයේ බලවත් වෙද්දී, යෝග කාරක සෙනසුරු ශශ යෝග බලය මතු කරමින් මෙතෙක් කල් වෘෂභ ලග්නයට තිබූ පීඩා ඉවත් කරමින්, ආදායම් මාර්ග විවර කරනු ඇත. විදෙස් ගමන් මෙන්ම විදෙස් ආදායම් ද ලැබෙනු ඇත. තම හාම්පුතුන් සමඟ මත ගැටීම් ඇතිවේ. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ප්‍රශ්න නිරාකරණය කර ගත හැක. අනවශ්‍ය වියදම් ගැන සැලකිලිමත් වන්න. අත්, කකුල්, සම්බන්ධව පීඩාවන් පෙන්වයි.

මිථුන

ගුරුහංස, මාලවී, ගජකේෂරී යන ප්‍රබල සුබ යෝගවලින් හැඩ ගැන්වෙන මිථුන ලග්න හිමියන්ට වාසනාව මතුවන කාලයකි. ධනවාසනා මෙන්ම රැකියාලාභ ද හිමිවේ. තමාට තිබුණු දැඩි පීඩාවලින් නිදහස් වේ. රෝග දෝෂවලට ප්‍රතිකාර කර ගැනීමට ද සුභදායක කාලයකි. එහෙත් මැයි 16,17,18 දිනවල අපලදායක තත්ත්වයකි. එම දිනවල ආරක්ෂාකාරීව කටයුතු කිරීම පීඩා අවම කරගත හැක. දරුවන්ට අසනීප රෝග ඇතිවිය හැක. ඔවුන් හිතුවක්කාර වේ. ජූලි 12 දක්වා කාලය සුබ දායකයි. ඉන්පසුව නවක ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක පැමිණෙනු ඇත.

කටක

ලග්න අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරමින් සිටින ඔබට සෙනසුරු රාහු, කේතු දසා ගත වේ නම් අපලදායකයි. එහෙත් භාග්‍යස්ථාන අධිපති බ්‍රහස්පති බලවත්ව උච්චව සිකුරු සමඟ සංයෝග වී භාග්‍යස්ථානයේම සිටිමින් ලග්නය පස්වැන්න දැකීම එම අපල තත්ත්වයන් මඟ හැර සුබ පල උදාකරදීමට හේතු වේ. විශේෂයෙන් බ්‍රහස්පති, සඳු, රවි, සිකුරු දසා ගත කරන ඔබට ඉතා සුබදායකයි. ශරීරයේ වාත රෝග ඉස්මතු වනු ඇත. ලේ විෂවීම් මෙන්ම,අධික රුධිර පීඩනය ඇති අය සැලකිලිමත්වන්න. එහෙත් රජය සමඟ කටයුතු කරන අයට සුබයි. තම අභිමතාර්ථයන් ඉෂ්ටවන ලකුණු පහළ වේ.

සිංහ

ලග්නාධිපති රවි භාග්‍යස්ථානයේ උච්ච වෙමින්, ශශ යෝග බලයෙන් ද ඔපවත් වන ඔබට අටවැන්නේ සිටින ගුරු සිකුරුගේ බලයත් අනුව ගුප්ත ධන වාසනාවන් හිමිවේ. උපතින් ශශ යෝග බලයක් ඇති ඔබට මංගල යෝග උදාවේ. විවාහකයන් අතර සමඟිය වර්ධනය වේ. එහෙත් කුජ, රාහු දසාගත කරන අයට විවාහකයන් අතර මත භේද හට ගනී. සිකුරු දසා ගත කරන ඔබට ජනපි‍්‍රය වීමට කරුණු යෙදේ. වාත රෝග, නිසා පීඩාදායක තත්ත්වය වැඩිවේ. විදෙස්ගත වීමට සිටින අයගේ බලාපොරොත්තු ඉටුවේ. මැයි මාසයේ මැදින් පසුව ප්‍රධානීන් සමඟ ගැටුම් ඇතිවේ. ඉවසීමෙන් සැනසීම ලැබේ.

කන්‍යා

ගුරු හංස යෝගයත්, මාලවී යෝගයත් හත්වැන්නේ යෙදෙමින් ලග්නය දැකීම 3,11 කාම ත්‍රිකෝණයට දෘෂ්ටි දීම,අවිවාහකයන් හට මංගල යෝග උදාවේ. විවාහකයන් තම යුගදිවියේ සුන්දරත්වය අත්විදී. කුජ, රාහු, කේතු, දසා ගතකරන ඔබට අපලදායකයි. හදිසි අනතුරුවලට ලක්වේ. මෙම අසුබ දසා ගත කරන අයට විවාහයෙන් වෙන් වන්නට සිදුවේ. එම ග්‍රහයින් උපතින්ම පීඩාදායක නම් එලෙසම සිදුවේ. හෘද රෝග මෙන්ම, යටි බඩ ප්‍රදේශවල ශල්‍යකර්මවලට ද භාජනය විය හැක.

තුලා

6,8,12 යන ත්‍රිකස්ථාන අධිපතියන්, එනම් ගුරු, සිකුරු, බුධ ගෝචරයෙන් හර්ෂා, සරලා, විමලා යන යෝග තුනම නිර්මාණය වී විපරීත යෝග බලයෙන් බලවත් වන තුලා ලග්න හිමියන්ට, සෑම කාර්යයකින්ම සුභ පල ලැබෙනු ඇත. තමාට තිබුණු ප්‍රශ්න, එම පීඩාවන් තුළින් ම ජය ලැබෙනු ඇත. එහෙත් ලග්නයෙන් කේතු සහ හත්වැන්නේ උච්ච බාධක අධිපති රවි සහ රාහු, එම කටයුතු වලට බාධා ඇති කරයි. එම දසා ගත කරන අයට අසුබ ඵල ලබා දේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නොමැත. අලසකමක් ද ඇතිවේ. දරුවන්ට අපලයි. ඔවුන් හිතුවක්කාර වේ. ඔබ පිනට දහමට යොමුවේ. එය සුබදායකයි.

වෘශ්චික

ඔබගේ ධනස්ථාන අධිපති බ්‍රහස්පති පස්වැන්නට පැමිණ බලවත් වී උච්ච සිකුරු සමඟ සංයෝග වී ලග්නය, නම වැන්න දැකීම විශේෂයෙන් අයස්ථානය දැකීම ඉතා සුබදායකයි. නොයෙක් ආදායම් මාර්ග ධනලාභ, දේපොළ ලාභ ලැබීමට වාසනාව පෑදේ. ආදර සම්බන්ධතා ඇතිවේ. විවාහ වෙන්න හොඳම කාලයයි. වාසනාවන්ත දරුලාභ ලැබේ. වියහියදම් අඩුවන ලකුණු සතුරු බල විනාශ වේ. එහෙත් සෙනසුරුගෙන් ශශ යෝගය තිබෙන මුත් ලග්නාධිපති කුජ සමඟ සම්බන්ධ වීම තද කේන්ති ගති මතුවේ. ලේ සම්බන්ධ දෝෂ පීඩා සහ වාතාධික රෝග මතුවේ. ජලයෙන් අගුණයි.

ධනු

ඔබගේ ලග්නය අනුව ගුරු හංස, මාලවී යෝග සමඟ භාග්‍යස්ථාන අධිපති පස්වැන්නේ උච්ච වෙමින් ඇරඹෙන මැයි මාසය ඔබට සුබ පලදායකයි. වාහන, නිවාස ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එය ඉෂ්ට වේ. තම නිවසේ සතුටුදායක උත්සව සහ පිළිසඳරවල් ඇතිවේ. දරුවන්ට දස්කම් පෙන්නන්න අවස්ථාව උදාවේ. තම හැකියාවන් උරගා බැලීමට කරුණු යෙදේ. එහෙත් විවාහක පීඩාවන් ඇතිවේ. දිරවීම් දුර්වලතා මෙන්ම උගුරේ ආබාධ ඇතිවේ. බ්‍රහස්පති රවි, සිකුරු දසා ගත කරන ඔබට වඩාත් සුබදායකයි. කුජ, ශනි, දසා කරන අයට සම පලදායකයි. කෙසේ වුවත් කාලයක් තිස්සේ සිත තුළ තිබුණු පීඩාවකින් නිදහස්වීම සතුටුදායක තත්ත්වයකි.

මකර

මකර ලග්න හිමියන්ගේ යෝග කාරක සිකුරු වික්‍රමස්ථානයේ උච්ච වීම එය ලග්නයෙන් උපචය රාශියක් වීම, තම සහජ හැකියාවන් ඔප් නන් වන්නට අවස්ථාව උදාවේ. නව නිර්මාණ එළිදැක්විය හැක. ධනස්ථානයේ ලග්නාධිපති බලවත් වුවත්, අසුබ කුජ සමඟ සම්බන්ධ වී අග්නි මාරුත යෝගය ඇතිවේ. තැන්පත් ධනය වැය වේ. විවාහකයන් අතර මත ගැටුම් ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කරන්න. මකර ලග්න හිමියන් තද ආත්මාර්ථකාමි තත්ත්වයක් පෙන්නුම් කරන අතර තද සැර වචන ප්‍රකාශ කිරීම නිසා හිතවතුන් මෙන්ම තම සේවාදායකයන් අමනාප වේ. තම නිවස තුළද ඒකාධිපති පාලනයක් ගෙන යාමට උත්සාහ කරයි. සිකුරු, බුධ, ගුරු දසා ගත කරන ඔබට සුබදායකයි.

කුම්භ

සස යෝග බලයත් සමඟ දසවැන්න අධිපති ලග්නයට පැමිණීම, ධන අය අධිපති ධනස්ථානයේ බලවත්වීම, ආදායම් මාර්ග ඇතිවී ධනය ලැබීමට තැන්පත් කිරීමට සුදුසුම කාලයයි. භාග්‍යස්ථාන අධිපතිද උච්ච බලයෙන් ධනස්ථානයේ ගමන් කිරීම. ලග්නයෙන් තුන්වැන්න උපචය ස්ථානයක් වශයෙන් උච්ච රවි සමඟ රාහු ගමන් කිරීම මැයි මාසය තුළ ලග්න දොළසෙන් සුභම ලග්නය, කුම්භ කීවාට වරදක් නැ. ස්ථිර තීරණ ගැනීමට සහ ඒවා නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවේ. සිකුරු, බුධ,ගුරු, රවි,රාහු, ශනි, දසා ගත කරන ඔබට බලාපොරොත්තු ඉටු කර ගැනීමට මහඟු අවස්ථාව මෙය විය හැක. නායකත්වයට පත්වෙන ලකුණු ඇත.

මීන

ගුරු හංස, මාලවී යෝගය සමඟින් ඔබගේ බලාපොරොත්තු මල්පල ගැන්වෙනු ඇත. රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. තම ව්‍යාපාරවලට මෙන්ම කොටස්කරුවන් වීමට සුබ කාලයකි. මංගල යෝග උදාවේ. ගජකේසරී යෝග බලයෙන් ද ඇති බැවින් සමාජශීලි වේ. අසරණ අයට, නැතිබැරි අයට පිහිට වේ. සතුන්ට ද කරුණාව දක්වයි. එහෙත් ලග්නය දෙපස පාපයින් අරක්ගෙන සිටින නිසා අත් කකුල් මෙන්ම අක්ෂි පීඩා ඇතිවේ. පීනස් රෝග, සෙම රෝග වැළදීමේ ප්‍රවණතාවයක්, විශේෂයෙන් 15,16,17 දිනවල මානසික රෝග, රත්තයා රෝග ඇති අය පරිස්සම් වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.