මහා තෙද බලැති කතරගම දෙවියෝ

ඔක්තෝබර් 18, 2024

වත්මන් දවස ලාංකේය ජනතාව අතර ජාති භේදයකින් තොරව අතිවිශාලම පිරිසක් ඉමහත් ගෞරවයෙන් පුද සත්කාර තබා අදහන අංක එකේම දේවතාවුන් වහන්සේ ලෙස සලකනු ලබන්නේ ශ්‍රී මහා කතරගම දෙවියන් ය.

ස්කන්ධ කුමාර කාර්තිකේය ආදී නම්වලින්ද මුරුගන්, වේලුපිල්ලේ, කන්දසාමි යන නමින්ද දෙමළ බැතිමත්හු අදහති. සරවනභව, සුභ්‍රමණව, සනත් කුමාර ආදී සංස්කෘත නම්වලින්ද හඳුන්වනු ලැබේ. බුදුපියාණන් දවස මහා භාරතයේ සිටි ශුභ්‍රමණි නමැති අතිශයින්ම ප්‍රබල දෙවියා රට වැසියන්ට උපකාර කරනු පිණිස මෙරටට ලක්දිව කතරගම ජනපදයට පැමිණි දෙවියකු යැයි පොත්වල සඳහන් වී ඇත. කතරගම උත්සව සමයේ ගිනි පාගන විට කතරගම දෙවියන් ගිනිමැළය උඩින් ගමන් කළ බැව් අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිිමිපාණන් වහන්සේ සියැසින් දුටු බවද පුවතකි. මුහුණු සයක් සහ අත් දොළසක් ඇතිව මයුර වාහනයකින් යුක්තව අන්‍ය කිසිම දෙවියෙකුට වඩා ප්‍රබලව ලක්දිව වැඩ සිටින මහා දේවත්වයෙන් රාජ්‍යත්වයට පත් වී ඇත්තේ ය.

කතරගම විසූ මහසෙන් රජ යැයි ද වංශ කතාවල ගෙතී ඇත. ඉන්දියාවේ සිට මෙහි පැමිණි බවට සාක්ෂි ඇත්තේ ය.

දුටුගැමුණු රජ එළාර සමඟ යුද්ධයෙන් දිනා ගැනීමට හැකි වූ විට දෙවියන්ට බාරයක් වී ඊය වැටුණ තැන කතරගම දෙවියන්ට මහදෙවොල මැණික් ගඟ අසබඩ ඉදි කරන ලදි යැයි මහාවංශයේ දක්වා තිබේ. දෙවැනි කාශ්‍යප රජුගේ පුත් මානවම්ම කුමරු ස්කන්ධ කුමරු වරම් ලැබීම පිණිස ගෝකණ්ණ (ගවකණ) මුහුදු වෙරළේ සිට මන්ත්‍ර ජප කරන ලදී. මැදියම් රැයේ මයුර වාහනාරූඪව කඳ කුමරු පෙනී සිට මානවම්ම රජු බවට පත් වූ බවත් එයට කඳ කුමරු පිහිට වු බවත් මහාවංශගත කරුණකි. උග්ගල් අලුත් නුවර කතරගම දෙවොලක් පිහිටුවන ලද්දේ බාරයක් ඔප්පු කිරීමටයි.

බුදුන් වහන්සේ ලංකාවට වැඩි සමයේ පන්සියයක් පමණ මහරහතුන් සමඟ සමාපත්තියට සම වැදුණ තැන කිරිවෙහෙර ගොඩනඟා තිබේ. ස්කන්ධ දෙවියන් ලක්දිව සතර වරම් දෙවිවරුන් දෙදෙනෙකුගෙන් එක් කෙනෙක් බවද ඉතිහාසගත කරුණකි.

ලක්දිව දෙමළ මෙන්ම වැදි ජනයාද කතරගම දෙවියන් අදහති. මහා උත්තරීතර හාස්කම් ඇති මහා දෙවියා ද ලෙස නම් වී තිබේ. මහේෂ්වර තෙමේ මහා සමාධියෙන් සමවැදී සිටින බැවින් ඔහු පුබුදුවීමට සමත් වන්නේ කවුරුදැයි කල්පනා කර බලන විට කාම දෙවියෝ මහේෂ්වර තෙමේ අවදි කළ සේක. එයින් පසු සිය පි‍්‍රය සොඳුරු උමාව වැලඳගෙන ඇය හා එක්වීම නිසා පුතෙක් උපන්නේය. ඒ ස්කන්ධ කුමරු හෙවත් මහ දෙවියාය. අසුරාධිපති තාරකයන් නැසුවේ ය. එබැවින් මහාසේන විය. විවිධ කතා පුවත් කතරගම දෙවියන් වටා ගෙතී තිබේ. තරමක් දුරට කාමයට අධිපතිකමක්ද දරන බව දේව පුරාණයේ දක්වා තිබේ. සප්ත භාර්යා සේවනයේ ද නියැළී සිටි බව දැක්වේ. කතරගම දෙවියන්ට පුද පූජා තබන විට අනිවාර්යයෙන්ම මෙනේරි රොටියක් පූජාවට තැබිය යුතුය යන්න එක්තරා ක්‍රමවේදයකි. මහලු වෙස් මවාගෙන මැණික් ගඟ අසල ගුහාවට පැමිණි කතරගම දෙවිඳු කෑමට යමක් ඉල්ලූ විටදී මෙනේරි රොටියක් තැටියක තබා දෙන මොහොතේ කතරගම දෙවියෝ සැබෑ ජීවමාන තත්ත්වයට පත් වී යැයි දේව පුරාණයේ සඳහන්ව තිබේ. කතරගම දෙවියන්ගේ වතගොත අතිවිශාලය. මේ ඉන් කුඩා බිඳක් පමණි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.