සුබසෙත සුවසෙත

අගෝස්තු 30, 2024

 

ජානකී නවෝද්‍යා දෙල්ගොඩ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මම විසි හය හැවිරිදි වෙළෙඳ ව්‍යාපාරයක සේවය කරන අවිවාහක කාන්තාවකි. මගේ වම් අතේ වැළමිටෙන් පහළ සහ බෙල්ලේ අළුහම් මතුවී ඇත. මුලින් පැවතියේ බෙල්ලේ පමණි. පසුව අතටත් අළුහම් මතුවෙලා පසුවන විට මුහුණටත් ඒ දැයි බියක් පවතිනවා මෙය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

අළුහම් කියන්නෙ සමේ ඇතිවන දිලීර ආසාදනයක්. මෙය සිරුර පුරාම තැනින් තැන පැතිර යාමට හැකියාව පවතිනවා. ඒත් ඒවා සුව කර ගැනීමට අපහසු නැහැ. කෙසේවත් ශරීරගතව පවතින මේ රෝගය ගැන මානසික පීඩාවක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. සමහර අළුහම් කසන ගතියක් පවතිනවා. සමහර අළුහම් කසන්නේ නැහැ. අළුහම් සුවකර ගැනීමට ප්‍රතිකාර බෙහෙවින් පවතිනවා. අළුහම් ඇති අයගෙන් අනෙක් අයටත් බෝවිය හැකියි. එම නිසා ඒ අය පාවිච්චි කරන හිස තබන කොට්ට අඳින අඳුම් පැලඳුම් පාවිච්චි කරන බඩු බාහිරාදිය වෙන්කර තැබිය යුතුය. සෑම අළුහමක්ම බෝවෙන්නෙත් නැහැ.

එදිනෙදා ගනු ලබන ආහාර පානවල පෝෂණය අඩුවීමෙනුත් අළුහම් ඇතිවෙනවා. ශරීරයේ පවතින අධික උෂ්ණත්වයත් අළුහම් හටගැනීමට බෙහෙවින් බලපානවා. කෙසේ වෙතත් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුයි. මේ ප්‍රතිකාරත් කරන්න. පේර කොළ, දලු, ඉස්ම අරගෙන අළුහම් මත ගාන්න. නිතරම පිරිසුදුව ඉන්න පියවර ගන්න. මෙය සමේ රෝගයක් බැවින් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීමට කටයුතු කළ යුතුය.

 

පී.එස්.ඩී. පෙරේරා වත්තල

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මා හැට හය හැවිරිදි විශ්‍රාමික අයෙක්මි. මට දියවැඩියාවත් තියෙනවා. අධිරුධිර පීඩනයත් තියෙනවා. දියවැඩියාවට ආයුර්වේද බෙහෙත් බොනවා. ඒකෙන් ගුණයක් තියෙන බව පෙනෙනවා. අධිරුධිර පීඩනය 120 - 89 ක් බව පරීක්ෂණයෙන් දැන ගත්තා. එය ආහාර පාලනයෙන් අඩුකරගත හැකි බව වෛද්‍යවරුන් කියනවා . ඒ නිසා අධිරුධිර පීඩනය අඩුකර ගැනීමට ගතයුතු ආහාර ගැන සුබසෙතේ වට්ටෝරුවක් පළ කරවන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

 

පිළිතුර

සත්ත්ව මේද බහුල ආහාර දිනපතා ගැනීමෙන් ලේවල මේද ප්‍රමාණය අධික වී කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවේ. එය රෝග බොහොමයකට හේතුවක්. සුදුළූනු ආහාරයට ගැනීම වඩාත්ම යෝග්‍යයයි. දිනපතා සුදුලූනු බික් දෙක තුනක් අමුවෙන් කෑම වඩාත්ම සුදුසුයි.

කැකිරි අධි රුධිර පීඩනයට ඉතාම හොඳ ඖෂධයක්, පැණි කොමඩුත් එසේමයි. අධිරුධිර පීඩනය අවම කරයි.

කෙසෙල් අධි රුධිර පීඩනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා කෙසෙල් එක ගෙඩියක් හෝ කෑමට ගන්න. කැකුළු සහල් බතද අධිරුධිර පීඩනය අවම කරයි. සම්බා සහල් බත් සුදුසු නැත. උදෑසන ආහාරයට හා අනෙකුත් ආහාරවේල් සඳහා පිටිවලින් සෑදූ ආහාර නොගත යුතුය. හාල් පිටි හා කුරක්කන් පිටිවලින් සෑදු ආහාර පමණක් ගන්න. කඩල, මුං ඇට, කවුපි ආහාරයට ගන්න. අලුත් එළවළු හා පලාවර්ග ආහාර වේල් තුනටම අපහසු නම් ආහාරවේල් දෙකකටවත් ගැනීම සුවදායකයි. ආහාර ගැනීමෙන් අනතුරුව කෙසෙල් ගෙඩියක්, ගස් ලබු කෑල්ලක්, පේර හෝ අලිගැට පේර කෑල්ලක් කෑමත් සුවදායකය.

ලුණු භාවිතය හැකිතාක් දුරට අවම කරන්න. සීනි වෙනුවට පලතුරු කෑමට ගන්නේ නම් වඩාත්ම සුදුසුය. හාල්මැස්සන්, සාලයා, හුරුල්ලා වැනි කුඩා මාළු ගුණදායකය.

 

 

විමලාවතී වාද්දුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මම වයස අවුරුදු හැට අටක කාන්තාවකි. වසර ගණනාවක සිටම ගෙන්ගෙට යමින් වෙළෙඳාමක නිරත වෙනවා. කාන්සිය හා මහන්සිය නිවා ගැනීමට මා කරන්නේ හුණුූ දුංකොළ පුවක් සමඟ බුලත් විට කෑමයි. එම බුලත් විට සමඟ කරාබු නැට්ටක් දෙකක්ද කනවා. දිනකට බුලත් විට දෙක තුනකට වඩා කැවෙනවා. සමහරදාට මගේ කට, දිව, දෙතොල් පැළී වේදනාව ගෙන දෙනවා. ඒ දවස්වලට මුකුත් කන්න බැහැ. වේදනාව අධික වෙනවා. වෙළෙඳාමේ යන දවස්වලට ලොවි, අඹ, ඇඹරැල්ලා අච්චාරු වගේම අන්නාසි ජාඩි සමඟ බතක් කැවෙනවා. කට තොල පැළෙන්නේ උෂ්ණාධිකකමට යැයි ගෙදර අය කියනවා . හට ගැනෙන වේදනාව නැතිකර ගැනීමට ප්‍රතිකාර පත්‍රයේ පළකරන මෙන් ඉල්ලමි.

 

පිළිතුර

බුලත්, පුවක්, හුණු දුංකොළ වගේම කරාබු නැටිත් එකට කෑමෙන් තද බල ලෙස උෂ්ණාධික බවක් ඇති කරනවා. ඒ හා සමානව ජාඩිත් කනවා. ඇතිවන උෂ්ණාධිකකම බොහෝය. මෙැවනි කෑම නිසා මලබද්ධය ඇතිවෙනවා. එහෙම උණාම සිරුර තුළ පවතින උෂ්ණත්වය බෙහෙවින් වැඩිවෙනවා. ඉන් බෙහෙවින් ශරීරය උෂ්ණාධිකවීම වළක්වාගත නොහැකියි. ඇවිදිමින් වෙළෙඳාමේ යෙදෙන විට වගේම වෙළෙදාම් කරන විටත් බුලත් විට සපමින් බුලත් හපය ගිලින විට ඒවා බඩේ පැවතීමත් රෝගී තත්ත්වයන් ඇතිවීමට හේතුවක්. විශේෂයෙන් අජීර්ණ තත්ත්වයන් පවා හටගත හැකියි. ආහාරයෙන් පසුව හෝ කාලයක් වේලාවක් නොමැතිව හුණු එක්කර බුලත් විට කෑමෙන් දෙතොල් ඉදිමී පුපුරායයි. කට දෙකොන වණ වී වේදනා ඇති කරයි. විටමින් අඩුවීමෙන් රෝගී තත්ත්ව හට ගනී. මෙවැනි තත්ත්වයන් නොසලකා සිටීමෙන් තත්ත්වය උග්‍රවීමෙන් ක්ෂණික වෙනස්වීම් ඇතිවේ. කෝපවීම් නුරුස්සනගති පවා ඇතිවේ.

කතුරුමුරුංගා කොළ, මල්, ගොටුකොළ, රතුළූනු, සාරණ, නිවිති, පොල්කිරි යොදා සකස් කරනු ලබන ව්‍යාංජන ආහාරවේලට එක්කර ගන්න. තේ, කෝපි පානය අඩුකර රණවරා, බෙලිමුල්, පොල්පලා තම්බාගත් වතුර කිතුල් හකුරු සමඟ පානය කිරීම ගුණදායකයි. දිනකට දෙවරක්වත් තැඹිලි පානය කිරීමත් ගුණදායකයි. සමන් පිච්ච කොළ, ඉරමුසු මුල්, තම්බා එම වතුරෙන් කට සෝදන්න. දෙතොල කට දෙපස පැළීමට වියළි කහ මී පැණියෙන් අඹරා ගාන්න. ගොටුකොළ එළඟි තෙලෙන් සිහින් වෙන්න අඹරා කට දෙකෙළවර ගාන්න.

 

රසිකා මහනුවර

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

මම රැකියාවක නියුතු විසිඅට හැවිරිදි අවිවාහක තරුණයෙකි. දැනට සති දෙක තුනක සිට අධික පිපාසය ගතියක් එනවා. සමහර වෙලාවට ක්ලාන්තයට වගෙත් එනවා. බෙල්ලේ එක් පැත්තක් රිදෙන්නත් ගන්නවා. සමහර වෙලාවට අධික ලෙස දාඩියත් දමනවා. පපුව රිදෙන්නත් ගන්නවා. බෙහෙත් ගත්තත් සුවයක් ලැබුනේ නැහැ. මේ තත්ත්වය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් සඳහන් කරන්න.

 

පිළිතුර

ලබා දී ඇති රෝගී විස්තරය අනුව නම් ඔබට ඇත්තේ කොලෙස්ටරෝල් ගතියක් වැඩිවීමක්. පළමුව රුධිර පරීක්ෂණයක් කරවා ගන්න. පැය දාහතරක කාලයක් නිරාහාරව සිට පසුදින උදෑසන පරීක්ෂණය කරවා ගන්න. ඒ පරීක්ෂණ වාර්තාව අනුව ප්‍රතිකාර ලබාදීම ඉතාම පහසුයි. කොලෙස්ටරෝල් අධික වූ විට රෝගියාගේ වැලමිට පිටිපස පිටිඅල්ල ඇස් යට බලනහර දණිස්, ඇස්වටය දෙස හොඳින් බැලීමෙන් කහපාටට හුරු ලප සේ කොලෙස්ටරෝල් තැන්පත් වී ඇති අයුරු දැකගන්නට හැකිය.

කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට කරපිංචා කොළ කැඳ සතියකට දින කීපයක් බීම කරපිංචා මිටක් පමණ ගෙන ඉඟුරු පෙති තුන හතරක්, රතුළූනු ගෙඩි තුනක්, ගොරක කෑල්ලක්, සියඹලා ඉස්ම ටිකක් එක්කර බත් සමඟ කෑම ගුණදායකය. සීනි වැඩිපුුර යෙදූ ආහාරවලින් වැළකිය යුතුය. බටර්, ගිතෙල්, මාජරින් වැනි සංතෘප්ත ආහාර නොගත යුතුය. බොහෝ ආහාරවල මේදය පවතී. පිටි කෑම ප්‍රධාන වේ. පාන්වල මේදය අධිකව පවතී. තෙලෙන් බදින ලද කට්ලට්ස් , පැටිස්, රෝල්ස් වලද මේදය අධිකය. කිරි, බිත්තරවලද මේදය අධිකව වේ. කෙඳි සහිත පලතුරු කෑමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවේ. පලතුරු කෑමත් ගුණදායකය.

ආහාරයට මුං, කවුපි, සෝයා, පරිප්පු, මුංඇට, කඩල යනාදිය හිතවත්ය. ආහාර ගැනීමේදී තෙම්පරාදු කරන ලද ආහාර බෙහෙවින් අඩු කළ යුතුය. ව්‍යායාමයක යෙදීම සුවදායකය.

 

ගීතිකා දෙහිවල

ප්‍රශ්නය

දාහතර හැවිරිදි අධ්‍යාපනය ලබන මගේ දියණියට සතියකට දෙපාරක්ම හෙම්බිරිස්සාව හැදෙනවා. සොටු දියර වැගිරෙනවා වගේම කැස්ස තියෙනවා . සමහරදාට උණගතියක් තියෙනවා. ඒ වෙලාවට පැරසිටමෝල් දුන්නම උණ අඩුවෙනවා. සමහර වෙලාවට හුස්ම ගන්නත් අමාරු වෙනවා. වහින අවස්ථාවලට හෙම්බිරිස්සාව වැඩිවෙනවා. හිසරදය අධිකව එනවා. ඒ වෙලාවට ගෙදර අය සමඟ නුරුස්සන ගතියකුත් පවතිනවා. වෙද්‍යතුමනි දරුවා සුවපත් කර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

බෝවන රෝග තත්ත්වයේ පවතින සෙම්ප්‍රතිශ්‍යාව ගෙදර අනෙක් අයටත් බෝවිය හැකි බැවින් රෝගී දරුවාගෙන් අනෙක් අය ඈත් වී සිටින්න. සෙම්ප්‍රතිශ්‍යාවේදී ඇතිවන කැස්ස, උණ, සුවකර නොගතහොත් වරින්වර මතුවන සෙම්ප්‍රතිශ්‍යාව නිසා වෙනත් රෝග පවා වැලඳිය හැකියි. විශේෂයෙන් ක්ෂය රෝගය පවා වැලදිය හැකියි. සතියකට දෙපාරක් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමෙන් දරුවාගේ අධ්‍යාපනය පවා පසුබෑමට ලක්වේ. මෙසේ ළඟ ළඟ සෙම්ප්‍රතිශ්‍යාව වැලදීම නිසා සෞඛ්‍ය තත්ත්වයද බෙහෙවින් දුර්වල වේ.

දෙහිකොළ, දෙහි පොතු, කොත්තමල්ලි තම්බා එහි දුම මුහුණට අල්ලන්න. කොත්තමල්ලි, කටුවැල්බටු තම්බා දිනකට දෙවරක් රෝගියාට බීමට දෙන්න. එමෙන්ම පස්පංගුව ද තම්බා බීමට දෙන්න. සිරුරට ඉතා ගුණදායක පස්පංගුව, කටුවැල්බටු, පත්පාඩගම්, කොත්තමල්ලි, එළබටු මුල් මේ බෙහෙත් සකසා ඇති පස්පංගුව බෙහෙත් කඩවල ඇත. එය බීමෙන් වේදනාව සමනය වී ගුණයක් ඇතිවේ. කෑම කෑමට අපහසුකමක් ඇත්නම් ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි යන තුන්වගය කුඩුකර උණුවතුර කෝප්පයකට එම කුඩු දමා ටික වේලාවක් තැම්බෙන්න හැර කෝපිමෙන් බීමට දෙන්න. ඉන් මනා සුවයක් ලැබේ.

 

 

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.