ඔබත් උපන්නේ අගෝස්තු 24 - 30 දිනෙකද?

අගෝස්තු 23, 2024

 

අගෝස්තු 24

(පෞද්ගලික අංකය 6)

24 දිනෙක උපත ලද ඔබ තැනට සුදුසු ලෙස කතා කරන්න දන්න, සාර්ථක යුග දිවියක් ගත කරන කෙනෙක්. ඉහළ නිළතල ආදියද ඔබව සොයා එන බවක් ද දැක ගත හැකියි. පෞද්ගලික අංකය තෙවැනි අදියරෙන් 6 වීම නිසා ඔබේ ගති පැවතුම් පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම ඊට යම් තරමක් වෙනස් භාවිතයනුත් ඔබේ ජීවිතය හා බැඳී ඇත. එසේම සඳුගේ, රවිගේ හා සිකුරුගේ ග්‍රහ බලපෑම අංක විද්‍යාත්මකව ඔබ තුළ හොඳීන් සංකේතවත් කරඇත.

බොහෝ අය ඔබගෙන් සැලකිලි හා සත්කාර ලබාගෙන පසුව අතැර යනු ඇත. ඔබ ඔබේ පවුලට අසීමිතව ආදරය කරන්නෙකි. ඔබ කුඩා දරුවන්ටත් හදවතින්ම ඉතා කාරුණිකයි. වයෝවෘද්ධ බව ලෙහෙසියෙන් ඔබ සොයා පැමිණෙන්නේ ද නැත. සුරාවත්, නුරාවත් සුඛෝපභෝගී ජීවිතයත් ඇති නම් ඔබ සිතින් සදහටම තරුණය. එහෙත් ඔබ එය පෞද්ගලිකව තබා ගන්නා රහසකි. අනුකම්පා සහගතබව වරෙක මතු වුව ද තමන්ගේ කටයුතු කරගෙන යන දැඩි සිතක් ඔබ සතුය. ඔබගේ ජීවිතයේ ඇති ප්‍රබල අංකයන්ගේ බලපෑම නිසා කුමන හෝ ක්ෂේත්‍රයක ඔබව ඉහළින්ම ඔසවා තැබෙනු ඇත. එනිසා ඔබගේ වියදම්කාරී පැවතුම් ජීවිත කාලය පුරා ගැට ගසා ගැනීමට ඉඩ සැලසෙනු ඇත. එහෙත් වයස 51 පමණ සිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීමට ඔබට ඉඩ සැලසෙනු ඇත. වයස 60 පමණ සිට ආර්ථිකය අස්ථාවරත්වය ඇරඹෙන විට අනාගත ආයෝජනයක්, බැංකුවේ ඉතිරියක් හෝ රක්ෂණයක් වැනි දෙයක් සුරැකුමට තිබිය යුතුමයි. මිතුරු වෙසින් එන සතුරන් හඳුනා ගැනීමට ඔබ සූර විය යුතුයි. ඔබ අගෝස්තුවට හිමි ගිනි ත්‍රිවංයේ නොව සැප්තෑම්බරයට හිමි පඨවි ත්‍රිවංකයේ ස්ථාපිත කරවා ඇති බැවින් ඔබට අගෝස්තුවට හිමි උෂ්ණ රෝග හා උණ රෝග වෙනුවට අවදානම ගෙන දෙන්නේ කොඳු ඇට පෙළ හා උකුල ආශ්‍රිත අබාධයන්ගෙනි.

දන්නවාද? ඇමෙරිකානු ලේඛක ජෝන් ග්‍රීන් (1977) ඔබත් සමඟම උපන් දිනය සමරන බව..

අගෝස්තු 25

(පෞද්ගලික අංකය 7)

පෞද්ගලික අංකය තෙවැනි අදියරෙන් 7 වීම නිසා ඔබේ ගති පැවතුම් පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම ඊට යම් තරමක් වෙනස් භාවිතයනුත් ඔබ තුළ සංකේතවත් කර ඇත. තවදුරටත් මානසික තලය තුළ අගෝස්තුවේ ගත කරන නමුත් ගිනි 2 ත්‍රිවංකයෙන් නික්ම පඨවි 2 ත්‍රිවංකය තුළට ඔබ පියමං කර ඇති බැවින් පඨවියට හිමි රෝගාබාධ අවදානම් කෙරෙහි ඔබ සැලකිලිමත් විය යුතුව ඇත.

දේශ දේශාන්තර සංචාරය, මුහුදු ගමන් ආදියත් ඔබේ ජීවිතයට නිරන්තරයෙන් බද්ධ වේවි. එසේම අනාගත අවදානම් කලින්ම දැනෙන අමුතු ඉව බලයකුත් ඔබට හිමියි. ගුප්ත විද්‍යා අංශයට නැඹුරු මෙදින ජන්ම ලාභය ලද්දෝ තමන් ප්‍රගුණ කරන අංශයෙන් ජයකෙහෙළි නංවන බවත් ඒකාන්තයි. ශාරීරක වශයෙන් ඔබ එතරම් ශක්තිමත් බවක් පළ නොකළද මානසික තළයේදී ඔබ පතාක යෝධයන් පරදනු ඇත. මුදල් මත්තේ නොනැහුණද ඔබට මදුල් අවශ්‍යමයි. ඒ අන් අයගේ අවශ්‍යතා සපුරා දීම වෙනුවෙන්. පෞද්ගලිකව ව්‍යාපාර මත්තේ නැහෙන්නටත් ඔබ අකමැතියි. එහෙත් විවිධ ආයතනවල තනතුරු භාර ගැනීමට ඔබ නොපැකිළෙන්නේ එකී මුදල් අවශ්‍යතාවය නිසාමයි. ඔබ සාර්ථක වන්නේද ඔබම සොයා ගත් දෙයකින් හෝ ප්‍රගූණ කළ හැකියාවකින්. මුළු ජීවිත කාලය පුරාම සමාජය සමඟ ගැටෙන්නේ තමන්ගේ අසාමාන්‍යය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ඕනැම මසක 25 දිනක උපන් ඔබ සැබෑම හිතවත්කම් දක්වන අයෙක් දෙස වුවත් සැකයෙන් බලන්නෙක්. ඔබගේ පවුල් ජීවිතය විටෙක ගැටලු සහගත විය හැකි බවත් ආගමික අංශයේ උසස් තනතුරු සඳහා වඩාත් සුදුසු වන බවත් පැවසෙනවා. ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ (1984) මෙදින උපත ලද අයෙක්..

අගෝස්තු 26

(පෞද්ගලික අංකය 8)

පෞද්ගලික අංකය තෙවැනි අදියරයෙන් 8 වීම නිසා ඔබේ ගති පැවතුම් පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම ඊට යම් තරමක් වෙනස් භාවිතයනුත් ඔබේ ජීවිතය හා බැඳී ඇත. සඳුගේ බලපෑම නිසා හැඩය හා පෞරුෂය තුළ ලාලිත්‍යයක් හා වැනෙන සුලු ස්වභාවයක් එක් කර ඇත. එසේම සිකුරු විසින්ද කලාවට ඇති ළැදියාව හා මානසික තලය තුළ ඇති ප්‍රේමණීය බව විදහා දක්වයි. කෙසේ වෙතත් සඳු සිකුරු සංයෝගය ඔබට සැම විටම වාසි දායක නොවේ.

ඔබ අගෝස්තුවට හිමි ගිනි ත්‍රිවංයේ නොව සැප්තෑම්බරයට හිමි පඨවි ත්‍රිවංකයේ ස්ථාපිත කරනවා ඇති බැවින් ඔබට පෙරකී උෂ්ණ රෝග හා උණ රෝග වෙනුවට අවදානම ගෙන දෙවන්නේ කොඳු ඇට පෙළ හා උකුල ආශ්‍රිත ආබාධ හා වැටීම්-තැලීම් හේතුවෙන් ඇති කරන අස්ථි බිඳීම ආදියෙනි. මිතුරු වෙසින් එන සතුරන් හඳුනා නොගත්තොත් ජීවිත කාලය තුළ ඔබට බොහෝ අලාභ හානී සිදු වේවි. ඔබගේ යටත් සේවකයන් විසින් පවා ඔබට වංචා කිරීම් සුලබ වනු ඇත. ඔබ මනසින් කඩා වැටීමත් සමඟ නිරායාසයෙන්මයි සෞඛ්‍ය තත්වයත් කඩා වැටෙන්නේ. පුදුමය නම් එවැනි අවස්ථාවලදී ඔබේ අතට අසුවන්නේද වැරදි ඔසු වර්ග ආදිය පමණක්ම වීමයි. සමාජයේ අනෙක් අය සමඟ හවුල් කටයුතු කිරීම ඔබට ඊටත් අපහසුයි. කෘෂිකර්මාන්තය වැනි අංශවලින් ඔබට වැඩි ආර්ථික වාසි ලැබිය හැකියි.

පොදුවේ 26 දින උපත ලබන අයගේ ළමා කාලය දුෂ්කර වීම හෝ මාපියන් අහිමි වීම ආදි සිදුවීම් ජීවිතය හා බැඳී පවතී. එවන් දින උපත ලද අය ඔබ සැනසිල්ලක් ලබන්නේ අන් අයගේ සුව පහසුව උදෙසා ඔබ සතු මුදල් වැය කිරීමෙන් බව පැවසෙනවා. යොවුන් ක්‍රිකට් ක්‍රීඩක රජීව වීරසිංහ (1987) මෙදිනමයි උපත ලබා ඇත්තේ..

අගෝස්තු 27

(පෞද්ගලික අංකය 9)

පෞද්ගලික අංකය තෙවැනි අදියරෙන් 9 වීම නිසා ඔබේ ගති පැවතුම් පෞද්ගලික අංකයට පොදු චරිත ලක්ෂණ හා ගති පැවතුම් වගේම ඊට යම් තරමක් වෙනස් භාවිතයනුත් ඔබ තුළ සංකේතවත් කර ඇත. ඔබ තවදුරටත් මානසික තලය තුළ අගෝස්තුවේ ගත කරන නමුත් ගිනි 2 ත්‍රිවංකයෙන් නික්ම පඨවි 2 ත්‍රිවංකය තුළට ඔබ පියමං කර ඇති බැවින් පඨවියට හිමි රෝගාබාධ අවදානම් ඔබ කෙරෙහි ඉඟි කරනු ලබයි.

අප විසින් අත් දැක ඇති පරිදි ඕනෑම මාසයක 27 දින උපත ලද අය අධ්‍යාත්මික ගමන් මඟට සමගාමීව සිය බලය පතුරුවන අයයි. විහාරස්ථ දායක සභාව වගේම ගමේ පොදු කටයුතුවලදී පෙරමුණ ගන්නා අතරම නෑදෑ හිත මිතුරුන්ගේ දුක සැපේදී වහා උණුවන හිතක් ඇති කටකාර චරිතයක් විදිහටයි ඔබ ගැන සරලවම අර්ථකතනය කළ හැක්කේ. විටෙක ඔබ උපශාන්ත ගුණයෙන් යුතුයි. ආගම දහමට ළැදියාව වැඩියි. එහෙත් කළ හොඳ නරක හිතේ රකින්නේ සර්පයකු වගෙයි.

අවිවාදයෙන් ම ඔබ ප්‍රබල චරිතයක්. සෘජුව තීන්දු තීරණ ගන්නවා විතරක් නෙවෙයි අනික් අයගෙනුත් ඒ වගේ බලාපොරොත්තු වෙනවා. සෘජු ස්වභාවය නිසාම අනවශ්‍ය වාද විවාදවලින් නිතරම සතුරන් ඇති කර ගන්නවා. ගැටලුවක් දුටු තැනදී තමා තුළ ඇති යුක්තිය පිළිබඳ අවබෝධය නිසා වහා එය විසඳා දීමට ඉදිරිපත් වනවා. කාගේ හෝ අතකොලුවක් වීමට කිසි විටෙකත් කැමැති වන්නේ නැත. හිටපු රූපවාහිනී නිවේදක හේම නලීන් කරුණාරත්නත් (1962) ඔබ සමග උපන් දින සැමරූ අයෙක්.

අගෝස්තු 28

(පෞද්ගලික අංකය 1)

28 වෙනිදායින් අංක විද්‍යාත්මකව නව මාසයක ආරම්භයත් සනිටුහන් කෙරෙනවා. කන්‍යා රාශියේ බලයට යටත්වීමත් සිදු වෙනවා. කන්‍යාවට බලවත් වෙන්නේ බුධ ග්‍රහයා. සැප්තෑම්බරයේ කන්‍යාවට හිමි කෙරෙන්නේ බුධගේ(-) බලය.

මේ කාලයේ උපදින අය ඉතා වේගවත්. ඒ වගේම හිතින් විතරක් නෙමෙයි පෙනුමෙනුත් ලේසියෙන් වයසට යන්නේ නෑ. පත පොතට ළැදි වගේම ළමා කාලයේ කන්‍යාවක් සේ පවිත්‍ර ජීවිතයක් ගත කරන බව පැවසෙනවා. එහෙත් ජීවිතයේ දෙවැනි භාගයේදී ඔවුන්ගේ ගති ලක්ෂණ සහමුලින්ම පරස්පර විරෝධී බවක් ගන්නවා. දැන දැන වැරදි කර හෝ තමන් සතු ශූර බුද්ධිය හා ප්‍රබල තාර්කික ප්‍රකාශනය යොදා ගනිමින් ඕනෑම ගැටලුවක් තමන්ගේ වාසියට කණපිට හරවන්න මේ කාලයේ උපදින අය පොදුවේ සමත් වෙනවා.

ඔයාලා දන්නවනේ අංක 2 නියෝජනය කරන්නේ සඳු? සඳු කියන්නේ තරමක් අලස කලාකාමියෙක්. 8 න් නියෝජනය කරන ශනි කියන්නේ හෙමින් මුත් අකුරට වැඩ කරන තරමක් කර්කෂ චරිතයක්. සැර ඉස්කෝලේ මහත්තයෙක් කියලා හිතා ගන්නකෝ. ඒ විතරක් නෙවෙයි මිතුරු වෙසින් එන සතුරන් හඳුනා නොගත්තොත් ජීවිත කාලය තුළ ඔබට බොහෝ අලාභ හානී සිදු වේවි. පෞද්ගලික අංකය විසින් ඔබේ පෞරුෂත්වයත් මනාව අර්ථ නිරූපණය කෙරෙනවා. නායකත්වයට පත්වීමට ඇති දැඩි අධිෂ්ඨානය, කැපවීම, තමන් ගැන තරමක් දුරට අහංකාරවීම, නෑකම නොතකා නීතිය ක්‍රියාත්මක කිරීම වැනි ලක්ෂණ ඔබ කෙරෙන් දැකිය හැකියි. ඔබ තුළ රවි ඉක්මවා යුරේනස් ඉස්මතු වෙනවා නම් තරමක් මුළු ගැන්වෙන ස්වභාවයක් දැකගත හැකි වේවි. 28 දිනයේ උපදින පිරිමි අයගේ වුණත් විටෙක ලලනා ගති ඉස්මතු වෙන බව දැකගත හැකියි. ඔබගේ ජීවිතය ඔබ විසින්ම රෝසමල් යහනාවක් කර නොගත්තොත් කටු මතින් පියමැන යන්නට වේවි. වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගත් (1983) මෙදින උපත ලද සුවිශේෂී චරිතයක්.

අගෝස්තු 29

(පෞද්ගලික අංකය 2)

අලුත් මාසයක අලුත් ත්‍රිවංකයකට ඔබත් මෙදින ගමන් කරනවා. අංක 2 කියන්නේ ටිකක් මන්දගාමී මානසික තලයේ අභ්‍යන්තරයට නැඹුරු චරිතයක්. උදාහරණයකින් කියනවා නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගම්පෙරළියේ මාතර හාමිනේ වගේ. ඒ වුණත් අංක 9 න් කුජගේ බලය ගැබ්වීම නිසා මෙතැනදී අමුතුම පුද්ගල චරිත ස්වභාවයක් බිහි වෙනවා. ඒ නිසා අංක 29 න් උපත ලබන ඔබ බාහිරින් චංචල ස්වභාවයක් පෙන්නුම් කළත් අභ්‍යන්තරයෙන් දුක් කන්දරාවකට උර දැරීමට තරම් සුවිශාල දරාගැනීමේ හැකියාවක් හිමි අයෙක්. ඒ නිසයි ඕනේ දුකක්, වේදනාවක් සිතින් දරාගෙන හිනාවෙලා ජීවත් වෙන ස්වභාවයක් ඔබ වෙතින් පෙන්නුම් කෙරෙන්නේ.

සැප්තෑම්බරයට හිමි පඨවි ත්‍රිවංකයේ බලපෑම නිසා ඔබ උණරෝග හා උෂ්ණ රෝග ආදී අධි අවදානම් කලාපයෙන් මිදෙනවා. පොළව ආශ්‍රිත වැටීම් තැලීම්වලට බඳුන්වීමත් උළුක්කුවීම් හා අස්ථා බිඳීම් වගේම තුණටිය හා කොඳුඇට පෙළ ආශ්‍රිත ගැටලුත් මේ නිසා ජීවිතයේ යම් දිනෙක ඔබට වැඩි වශයෙන් ඉඟි කරනු ඇත.

තමන්ට කෙතරම් මුදල් තිබුණත් කුමන තරාතිරමක පසු වුවත් ඕනෑම මාසයක 29 උපදින අයට දෛවයේ යම් කෙනෙහිලිකම්වලට මුහුණ පෑමට සිදුවන බවක් දැකිය හැකියි. ඒ බව ඔබ සමඟ එකම දිනට උරුමකම් කියූ පහත පුද්ගල චරිත ඇසුරින් ඉස්මතු කර ගැනීමට උත්සාහ දරන්න.

පොප් සංගීතයේ අගරජ විරුදාවලිය ලත් ගායන/නර්තන ශිල්පී මයිකල් ජැක්සන් (1958) වගේම දෙමළ සන්නද්ධ කොටි සංවිධානයේ දේශපාලන අංශ නායකව සිටි එස්.පී.තමිළ් සෙල්වම් (1967) ආදීන් මෙම දිනයේ උපත සැමරූ චරිත දෙකක්.

අගෝස්තු 30

(පෞද්ගලික අංකය 3)

ඔබ සමඟ උපන් දින සමරණ (1964) ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය මෙන් ඔබගේ උපන් දිනයට සමීප තවත් ජීවමාන උදාහරණයක් නැති තරම්. 1990 වර්ෂයේදී ඇය විසින් ඇස්වාට්ටුව හන්දියේ ටිකක් වෙනස් ආකාරයේ නිමි ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එහිදී අමුතු විලාසිතාවන්ගේ ඇඳුම් අමුතු මිළකට අළෙවි කරනු ලැබුවා. නොබෝ දිනයකින්ම මේ පුංචි ව්‍යාපාර සන්නාමය ජාත්‍යන්තරය සමග කරට කර තරග කරන මට්ටමකට පත්වුණා.

ඇගේ ජීවිත කතාවෙන් පැහැදිලිව කියාපාන්නේ පෞද්ගලික අංකය 3 ට හිමි කතාන්දරයයි. ඔබේ පෞද්ගලික අංකය 3 නම් මාපිය හෝ වෙනත් අභාසයකින් තොරව ස්වාධීන ගමන් මාර්ගයක ගමන් කොට තම ජීවිකාව තහවුරුකර ගන්නවා ඇත. තම අරමුණ කරා යන ගමනේදී දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමකින් යුතුව ගමන් කිරීම අනිවාර්යයෙන් සිදු කරනු ඇත. ඔබ ශක්තිමත්ය. විණය ගරුකය. විශාල ව්‍යාපෘති ඔබට පහසුවෙන් කළ හැකිය. එහෙත් නිතරම පමණට වඩා සැක කරන ස්වභාවය නිසා ඔබ සමඟ කටයුතු කිරීම අන් අයට විටෙක මහා කරදරයක් විය හැකිය. කෙසේ වෙතත් ඔබගේ බාහිර පෙනුමෙන් අභ්‍යන්තරයේ ඇති අධ්‍යාත්මික ශක්තීන් එළියට නොපෙනේ. නිසි ස්ථානයේ නැති ඕනෑම දෙයක් පහසුවෙන් නිරීක්ෂණයට ලක්වීම මේ දිනයේ උපන් අයගේ පොදු ලක්ෂණයකි. එසේම සියුම් ලෙස කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ද ඔබ තුළ පවතී. පුද්ගලයන් තෝරා බේරා ගෙන තමන්ට ගැළපෙන අය පමණක් ඇසුරු කරන ස්වභාවයක්ද ඇත. ශුර බුද්ධිය, නීති රෙගුලාසි පිළිබඳ මනා දැණුම නිසා ඕනෑම රැකියාවකදී මෙන්ම ව්‍යාපාර කටයුත්තකදී හදිසියේ මතුවන ගැටලු කළමනාකරණයේදී ඔබ මහෝසද පණ්ඩිතයන් සමවනු ඇති බව නොකියාම බැරිය. රවි හා ගුරුගේ බලපෑමට නතු වීම නිසා සැප්තැම්බර් මස උපදින අය පරිනත දැණුමින් හා නායකත්වයෙන් පරිනත වීමට වැඩි නැඹුරුවක් ද දරනු ඇත.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.