සුබසෙත සුවසෙත

සැප්තැම්බර් 6, 2024

 

වාද්දුවේ සිගේරා රූපශ්‍රී

ප්‍රශ්නය

වෛද්‍යචාර්යතුමනි,

තිස්තුන් හැවිරිදි මා සංචාරක නිකේතනයක සේවය කරන සේවකයෙකි. කෑම කෑවාට පසුව ඇඹුල් රස උගුරට එන ගතියක් පවතිනවා. බඩේ රිදීමකුත් පවතිනවා. මහන්සි වුණත් නූනත් ඇඟ පත පුරාම දහඩියත් දමනවා ටික ටික වැසිකිළියට යන්නත් වෙනවා, සාමාන්‍ය තත්ත්වයෙන් හිසේ අමාරුවක් හැදනෙවා. බඩ ඇතුළෙ අමුතු ශබ්දයකුත් තියෙනවා. ටික ටික බඩ එළිය යනකොට බඩ රිදෙන්නත් ගන්නවා. නිතරම නිදිමත ගතියකුත් එනවා. දොස්තර මහත්තයකුගෙන් බෙහෙත් ගත්තත් පූර්ණ සුවයක් ලැබුණේ නැහැ. මට පවතින අසනීපය කුමක්ද? එය සුව කර ගැනීමට උපදෙසක් හෝ ප්‍රතිකාරයක් ලබා දෙන්න.

පිළිතුර

ඔබ සඳහන් කරන ලද කරුණු අනුව ඔබට ඇත්තේ අජීර්ණයක්. පිළුණු වූ ආහාර කෑම, දින කීපයක් තබා ඇති ආහාර කෑම, යම් ආහාරයක් කෑ පමණින් නැවත නැවත ටික ටික ආහාර කෑම නිසි පරිදි ජලය පානය නොකිරීම තෙල් බැදුම් කමින් වතුර පානය කිරීම එකිනෙකට විරුද්ධ ආහාරපාන ගැනීම ආදි කරුණු රැසක්ම අජීර්ණයට හේතුවනවා. පිරිසුදු ගලක් ගෙන සාදික්කා ගෙඩියක් දෙහි ඇඹුලෙන් ගලගා නිවා ගත් මඳ උණුසුම් ජලයේ දියකර බොන්න. සූදුරු කබලේ බැද කුඩුකර උණූකර ගත් ජලයේ සුළු වේලාවක් කෝපි වත්කරන ආකාරයෙන් දමා තබා නිවෙන්නට හැර ටික ටික පානය කරන්න.

 

ලක්ෂාන් මාම්පේ

ප්‍රශ්නය

මම විසිඅට හැවිරිදි වෙළෙඳ ව්‍යාපාරයක සේවය කරන තරුණයෙක්මි. එහි අලෙවි කරනු ලබන්නේ තීන්ත වර්ග හා රසායනික ද්‍රව්‍යයි. මම එහි වසර තුන හතරක සිටම සේවය කරමි. මට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. දැනට සති දෙක තුනක ඉඳලා උදේට ඔළුව පුපුරන්න වගේ හිස කකියන්න එනවා. ඒ වෙලාවට පැරසිටමෝල් බිව්වාම අඩුවෙනවා. ඉස ඇම්ම වැඩි වුණාම ඇස්වලින් කඳුළුත් එනවා. නහයත් රිදෙනවා. සමහර වෙලාවට වෙළෙඳසලේ සේවකයන්ට පවා වැරදි හොයා හොයා බණිනවා, හිසරදය නිසා සමහර විට දිවා ආහාරය පවා ගන්නේ නැහැ. ඉසරදය සුවකර ගැනීමට ඔබතුමාගෙන් ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙමි.

 

පිළිතුර -

ලබාදී ඇති රෝග විස්තරය අනුව පෙනෙන්නේ ඔබට ඇත්තේ ඉරුවාරදය බවයි. ඉරුවාරදය ඇතිවීමට හේතුකාරණා රැසක්ම බලපානවා. නිසි වේලාවට ආහාර නොගැනීම වගේම නිදි වැරීමත් ඔබ කරන රැකියාවේ බලපෑමත් හේතුවිය හැකියි. තිනර් වැනි විෂ රසායනික ද්‍රව්‍ය නිතර නිතර ආශ්වාස කිරීමත් ඇස්වලට මෙන්ම සිරුරටත් එතරම් සුදුසු නැහැ. නාසය දෙපැත්ත වේදනාවට පත්වන්නේත් ඉරුවාරදයේ බලපෑමටයි. වෙළෙඳසලේ ඉන්නා කාලයේදීවත් මුඛවාඩමක් (මාස්ක් එකක්) පැලඳීම වඩාත්ම සුදුසුයි. රාත්‍රි ආහාර ගැනීමෙන් පසු රූපවාහිනිය ඉදිරියේ නිදිමරමින් නොසිට නිසි වේලාවට නිදා ගැනීමට උනන්දු වන්න.

තදින්ම හිස රිදෙන වෙලාවට අබ, එනසහල්, වියළ ිකහ, වද කහ, සූදුරු, කොත්තමල්ලි, කුරුඳු පොතු, හා කළුදුරු එක පමණට ටික ටික ගෙන පහන් තිරයක ඔතා ගිනි අවුළවා නිවා එම ස්වල්පයක් නාසයට උරන්න. නාසය දන ගතියක් පවතින්නේ නම් දුම ඉරීම නවත්වන්න. තවදුරටත් ප්‍රතිකාර ගත යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම සුදුසුය.

 

හසාන් රද්දොලුගම

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මා හතළිස්අට හැවිරිදි පාවහන් ආයතනයක සේවය කරන විවාහක අයෙකි. දැනට සති දෙකකට පමණ පෙර මගේ බෙල්ලේ කෙස්වලට පහළින් ගොරෝසු බවෙන් යුත් සමක් මතු වී තිබෙනවා. ඒක හරියට දෙල්ගෙඩියක පිට පොත්තවගේ අළුපාටට තියෙන බව ගෙදර අය කියනවා. ඉඳහිට කසන ගතියක් පවතිනවා. වැඩපළේ අය කියපු නිසා සිද්ධාර්ථ තෙල් කුප්පියක් අරගෙන ගෑවා. ඒත් සුවයක් නම් නැහැ. මේ රෝගය සුව කර ගැනීමට බෙහෙතක් ලබාදෙන්න.

පිළිතුර -

ඔබට ඇත්තේ පොතු කබර රෝගයයි. බෙල්ලේ හටගෙන ඇති එම රෝගී තත්ත්වය සිරුරේ වෙනත් තැන්වලට වගේම ශරීරාංග කොටස්වලට බෝවිය හැකියි. ඉන් එදිනෙදා ක්‍රියාකාරකම්වලට බාධාවක් ඇති වන්නේ නැහැ. ඔබ කන බොන දේවල් වගේම සබන් කෑල්ලේ පටන් කෑමට බීමට ගන්නා භාජන ඇතුළුව ඔබගේ ඇඳුම් පැලඳුම් ද අන් අයට පාවිච්චි නොකිරීමට වෙන් කර තබන්න. ඒ ඔබේ රෝගය ඒ අයටත් බෝ වීමට හැකි බැවිනි. පොතුකබර රෝගය ඔබේ පියාගේ පැත්තේ හෝ මවගේ පැත්තේ ඥාතියෙකුට තිබේ නම්, ලේ නෑකම අනුව බෝ වනවා. එසේ නොමැති වුවත් ආහාර විෂවීම සර්පවිෂ හා වෙනයම් විෂක් වුවත් ශරීරගත වුවහොත් රෝගය ඇතිවීමේ හැකියාව පවතිනවා.

පොතුකබර රෝගය සමඟ වෙනත් රෝගද වැලඳිය හැකියි. එබැවින් ප්‍රතිකාර ලබාදිය යුත්තේ රෝගී ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු තත්ත්වය විමසීමෙනුයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න. එතෙක් මේ උපදෙස් පිළිපඳින්න. සබන් පාවිච්චි කිරීම අඩුකරන්න. ශරීරගතව සිදුවිය හැකි තුවාල ගැන සැලකිලිමත්වන්න. පොතුකබර ඇති ස්ථානය කැසීමෙන් හා අතපත ගෑමෙන් වළකින්න. දහඩිය දමන්නේ නම් ඒ ස්ථාන සෝදා පිරිසුදු කරන්න.

 

රත්නදාස - කොස්ගොඩ

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ වයස අවුරුදු පනස්තුන පසු වුණා විතරයි. කරන්නේ තැන තැන යමින් කුලී වැඩකින් කීයක් හරි හොයා ගන්න එකයි. අව්වත් වැස්සත් නොබලා ඇවිදින නිසා බුලත් විට තමයි මගේ එකම ආහාරය. අවුරුදු ගණනාවක සිටම විට කන නිසා දත් දුඹුරු පාටයි. අනෙක ඕනෑම සැරදෙයක් වුණත් කන්න පුළුවන් බුලත් හපයවත් කෙළවත් ගිලින්නේ නැහැ. දැන් දැන් මගේ කටදෙපැත්තේ හකු දෙක මොනවා හරි කන කොට රිදෙනවා. සමහරදාට දත් හිරිවැටෙනවා. ඒ වෙලාවට මුකුත් හපන්න බැහැ. මම ආශ්‍රය කරන අය කියනවා මුඛ පිළිකාවක් කියා. බෙහෙත් ගන්න කියල මේ ගැන බලලා ප්‍රතිකාරයක් කියන්න.

පිළිතුර -

සඳහන් කරුණු අනුව නම් මුඛ පිළිකාවක තත්ත්වයක් ලෙසයි දැනගත හැක්කේ. දීර්ඝ කාලයක් තිස්සේ හුණු, දුන්කොළ සමඟ බුලත්විට කනවා නම් ඒ රෝගී තත්ත්වය ඇති විය හැකියි. ඒත් බිය විය යුතු නැහැ. සුවකරගත හැකියි. බුලත් කොළයේ නැට්ටේ අගත් පිළිකා විස පවතිනවා. පුවක්වල පිළිකා කාරක පවතිනවා. දුම්කොළවල පිළිකාජනක විශාල ප්‍රමාණයක් තියෙනවා. එම නිසා බුලත්විට කෑම දැන්වත් නතර කරන්න. රෝහලකට ගොස් දන්ත වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.

 

මහේෂ් පෙරේරා තිඹිරිගස්යාය

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි රෑට මට අධිකව කිවිසුම් යනවා. කැස්ස නිතර එනවා සොටුදියරත් වැගිරෙනවා සමහර වෙලාවට පපුවේ ගැස්සීමක් වගේ දැනෙනවා. නළල රිදෙන්න ගන්නවා කහිනවිට මට දැනෙනවා සෙම් ගතියක් මම මත්පැන් බොන්නේ නැහැ. සිගරැට් නම් දවසට තුන හතරක් පෙවෙනවා . මගේ වයස අවුරුදු විසිඅටයි මා තවම විවාහ වෙලත් නැහැ. කැස්ස අඩුකරගන්න ප්‍රතිකාරයක් ලබා දෙන්න.

පිළිතුර -

සෙම කිපෙන ආහාර හා පානවර්ග ගන්න එපා. දහවල් කාලයේ ස්නානය කිරීමට පුරුදුව සිටීනම් එය නතර කරන්න. දූවිලි ඇවිස්සෙන තැන්වල ඉන්න එපා. මුඛය වැසෙන ලෙස ආවරණයක් පලඳින්න. ආහාර ගන්නා විට එය මඳක් උණුසුම් තත්ත්වයෙන් තිබෙන විට ගන්න. වියළි ඉඟුරු හා කොත්තමල්ලි කුඩු මිශ්‍රකර උණුවතුරෙන් දියකර උදේ සවස බොන්න. ඉඟුරු, කොත්තමල්ලි හා පත්පාඩගම්, තිප්පිලි, තැම්බූ වතුර බොන්න. වෙනිවැල්ගැට, සුදු ළූණු, කොත්තමල්ලි තැම්බූ වතුර උදේ, සවස දින හත අටක් පමණ බොන්න. සෙම සමඟ කැස්ස පවතින්නේ නම් ඇඹුල්දොඩම් ඉස්ම මේස හැඳි දෙකයි, අමු ඉඟුරු යුෂ මේස හැඳි එකයි, සීනි තේ හැඳි එකයි මිශ්‍ර කර, රත්කර මී පැණි තේ හැන්දක් මිශ්‍රකර උදේ සවස එක් හැන්දක් බැගින් බොන්න. මේ ප්‍රතිකාරවලට අඩුවක් නොමැතිනම් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න.

 

එස්. වනිගසේකර - රඹුක්කන

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම ගාමන්ට් එකක සේවය කරන විසි දෙහැවිරිදි අවිවාහක තරුණියකි. මගේ බෙල්ල, අතපය යම් පැහැපත් පෙනුමක් පැවතියත් මගේ මුහුණේ එම පෙනුම නැත. මගේ මිතුරියන් කියන්නේ මල් වර්ග තම්බා බීමෙන් මුහුණේ සුන්දරත්වය ඇති වන බවයි. ඒ සඳහා ගත යුතු මල් මොනවාද ඒවා සකස් කරගන්නේ කෙසේද යන්න ක්‍රමයක් පළකරවන්නේ නම් ලොකු උදව්වකි.

පිළිතුර -

මුහුණේ සුන්දරත්වය නොමැතිවීමට එක් හේතුවක් වන්නේ මුහුණේ ආලේප කරන සමහර ක්‍රීම් වර්ගයි. සුවඳටත් දැකුම්කලු වර්ණයට ඇති සමහර ක්‍රීම්වර්ග රසායන ද්‍රව්‍යයන්ද පවතිනවා. කලක් එවැනි ක්‍රීම් මුහුණේ ගෑමෙන් සමේ පවතින සිනිදුබව ටිකෙන් ටික ඉවත් වී ගොරෝසු බවට පත්වෙනවා. එම නිසා ක්‍රීම් ගෑම නතර කර මේ ප්‍රතිකාරයක් කරන්න. පෙති එකට තියෙන රතුපාට වදමල්, පොකුරු වදමල් රැගෙන උණුවතුරට දමා නිවුණු පසු එම රත්පැහැවූ ජලය පානය කරන්න. එය සමේ රෝග සමනය කරනු ලබන අතර පැහැපත් බවක් ලබාදෙයි. ලේ පිරිසුදු කරයි. සමේ හටගැනෙන දද, කුෂ්ට, බිබිලි සුවකර ගැනීමට හැකිවේ.

පොකුරු ලෙස කහ වර්ණයෙන් පිපෙන රණවරා මල් (සමහර මල් තැඹිලි පාටින්ද යුක්ත වේ.) මෙන්ම රණවරා මල් පොහොට්ටු ද තම්බා බීමෙන් සිරුර සිසිල් වේ. ශරීර සෞඛ්‍යයට ඉතා ගුණදායකය. රණවරා පානය දියවැඩියා රෝගීන්ට ද ගුණදායකය. බෙලිමල් පානය ද ඉතා ගුණ වෙයි. මිරිහි සුවඳකින් යුත් බෙලිමල් වියලා තේ කෝපි මෙන් පානය කිරීම ද ගුණදායකය. ඉන් සිරුරේ සිසිල්භාවය ඇති කෙරේ. මළබද්ධය තුරන් කර ආහාර ජීර්ණයද පහසු කරයි. පවතින ශරීර දාහය ද තුරන් කරයි. බඩගින්න ඇති කරන අතර සමේ රෝග ද සුවපත් කරයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.