රජුගේ උගුලට හසු වූ ගොවියා මෙන් නොවන්න

සැප්තැම්බර් 6, 2024

ඈත එපිට දවසක එක්තරා රටක කුරිරු රජ කෙනෙක්ට පුදුම කුතුහලයක් ඇති වුණා. ඒ තමන්ගේ රාජ්‍යයේ සතුටින් සහනයෙන් දිවි ගෙවන කවුරුන් හෝ සිටිනවාද කියා දැනගන්න. ඉතින් ඒ රජු දවසක් රාජ සභාව කැඳවා, පුරෝහිත ඇතුළු ඇමැතිවරුන් අමතා මේ පිළිබඳ සොයන ලෙස දැනුම් දුන්නා. එය කළ යුත්තේ අඬබෙර ගසා නොවන බවයි, රාජ සභාවෙ තීරණය වුණේ. එනිසා චර පුරුෂයන් යොදවා ගම් දනවු පුරා සහනයෙන් සතුටින් සිටින පුද්ගලයකු සිටීද කියා තොරතුරු රැස් කළා. මුළු රටේම මිනිසුන් අතරින් එක් ගොවියකු පමණක් ඉතාමත් සහනයෙන්, සතුටින්, සැහැල්ලුවෙන් තම පවුලේ උදවිය සමඟ දිවි ගෙවන බව රජුට දැනගන්න ලැබුණා. මේ රජුට තිබුණේ අමුතුම අදහස්. ඔහුට අවශ්‍ය වුණා මේ ගොවියාත් අනෙක් මිනිසුන් වගේම අසහනකාරී පුද්ගලයකු වනවා බලන්න. මේ පිළිබඳ අග්‍ර පුරෝහිත කැඳවා ක්‍රමෝපායක් සොයන ලෙස රජු පැවසුවා. රජ අණට කීකරු වූ අග්‍ර පුරෝහිත මේ ගොවියා පිළිබඳ අධ්‍යයනය කළා. ගොවියා නියමිත පරිදි තමන්ගේ කුඹුරු වපුරාගෙන, ලැබෙන අස්වැන්නෙන් අදාළ පංගු බෙදා දී ගෙවිළිය හා දරුවන් සමඟ සැනසීමෙන් කල් ගෙවන්නේ ලැබෙන දෙයින් සතුටු වෙමින් බව අග්‍ර පුරෝහිතට දැනගන්නට ලැබුණා.

එසේ නම් කළයුතු දේ පිළිබඳ තියුණු නුවණ යෙදවූ ඔහු සෙබළුන් දෙදෙනකුට අණ දුන්නේ ගොවියාගේ ගෙමිදුලේ තැන් තැන්වල රන් කාසි කීපයක් පේන නොපෙනෙන ලෙස විසිරුවා එන ලෙසයි.

රජුගේ අවසරයෙන් භාණ්ඩාගාරයෙන් රන් කාසි ලබා ගන්නා විට රජතුමාත් පුරෝහිත ලබාගත් රන් කාසි සංඛ්‍යාව පිළිබඳ විමසිලිමත් වුණා. ඒත් අග්‍ර පුරෝහිත ඉල්ලා සිටියේ දින තුනකින් රජතුමාට ඒ පිළිබඳ පවසන තුරු ඉවසා වදාරන ලෙසයි.

පසුදා රාත්‍රියේ ගොවියාගේ ගෙමිදුලේ රන් කාසි බාගෙට වැළලූ සෙබළුන් අණ පරිදි සැඟ වී බලා සිටිමින් රජමැදුරට තොරතුරු සපයන්නට වුණා. සුපුරුදු පරිදි පාන්දර කුඹුරු වැඩට යෑමට ගෙවිළියගේ ද දරුවන්ගේද ආදරය මැද මිදුලට බට ගොවියාගේ පයට රන් කාසියක් පෑගුණා. මොහොතක් නතර වූ ගොවියා එය අහුලාගෙන ගෙවිළිය අත තැබුවා. වට පිට බැලුවා. මිදුලේ තවත් තැන් තැන්වල ඉර එළියට දිලිසෙන කාසි පෙනෙන්නට වුණා. ඒ එකින් එක සොයමින් මුළු පවුලම රන් කාසි එකතු කරන්නට වුණා. මිදුලේ තිබූ සියලුම රන් කාසි එකතු කළ ගොවි පවුලට කාසි 99ක් තිබෙන බවට ගණන් කරගන්න වැඩි වෙලාවක් ගත වුණේ නෑ.

මෙය නම් තමන්ගේ යහපත් කල් ක්‍රියාව නිසා දෙවියකු විසින් දෙන ලද තෑග්ගක් විය යුතු යැයි ගොවි පවුල ප්‍රීතියෙන් ඉපිලෙන්න පටන් ගත්තා. එහෙත් ගොවියා තරමක් ව්‍යාකූල පෙනුමක් මුහුණේ රඳවාගෙන තමයි මේ සතුටට එක් වුණේ. එයට හේතුව විමසූ විට ගෙවිළියට ගොවියා කීවේ මෙය විය නොහැකි දෙයක් බවයි. යම් දෙයක් ලැබෙනවා නම් එහි 99ක් ලැබෙන්නේ කිමද? හරිනම් රන් කාසි 100ක් ලැබිය යුතුයි නේද? යන සැකය ගොවියාගේ සිත කුතුහලයෙන් පිරෙව්වා. ඒ සැකය මුළු පවුලටම බෝ වන්නට වැඩි වෙලාවක් ගියේ නෑ. ඉන් පසුව ඔවුන් ලැබුණු රන් කාසි ටික ගෙයි පසෙක තබා ඉතිරි කාසිය සොයන්නට මිදුල වටේ ගියා. සමහර රන් කාසි බාගෙට වැළලී තිබුණු බැවින් මේ ඉතිරි කාසියත් එසේ පොළොව යටට ගිලී ඇතැයි සිතූ ඔවුන් මිදුලේ සිටවා තිබූ එළවළු පැළ, මල් පැළ ආදිය උගුල්ලා දමමින් රන් කාසිය සොයන්නට වුණා. ගෙදරට එන පාර දිගේ මෙන්ම කුඹුරේ පවා මේ කාසිය සොයමින් ඔවුන් ගොයම් පැළ ගලවා විසි කරමින් පස පෙරළා බලන්නට වුණා. අවසානයේ ගෙය තනා ඇති බිම් කොටසේ ගෙයි බිත්ති ආදියට කාසිය යට වී ඇත්දැයි සොයමින් එකින් එක බිත්ති අසල හාරා බලන්නට වූ විට සමහර බිත්ති කඩා වැටුණා. තමන් සතු සියලුම දේපළ බිමට සමතලා කරමින් පස පෙරළා ඒ කාසිය සෙවූ මුත් ඔවුන්ට කාසියක් හමු වුණේ නෑ. අවසානයේ දින දෙකක් ඇතුළත තමන්ගේ නිවෙස වගේම සියලු ගොවි තැන් පාළු වී වළවල් බවට පත් වී තිබෙන අයුරු දුටු ගොවියා ඇතුළු මුළු පවුලම මහත් කම්පනයට පත්ව උන්මාදයෙන් මෙන් කෑ ගසා අඬන්නට වුණා. තමන්ගේ සහනශීලීව ගෙවූ දිවිය සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දැනුණු ගොවියා තමන්ට මේ වුණ විපත හඳුනා නොගෙන පවුලේ අය සමඟ රණ්ඩු සරුවල් කරන්නට වුණා. ගෙවිලියට සහ දරුවන්ට ගුටිබැට දෙමින් වන මෘගයකු මෙන් හැසිරෙන්නට පටන් ගත්තා.

සෙබළුන් මේ සියලු තොරතුරු රජවාසලට විස්තර ප්‍රචාරකයන් මෙන් පණිවිඩ මඟින් දැනුම් දුන්නා. තමන්ට වඩා සහනයෙන් සිටින කිසිවකු දැන් රටේ නැති බව දැනගත් රජු මහත් සතුටට පත් වී අග්‍ර පුරෝහිත කැඳවා එසේ කළේ කෙසේදැයි විමසුවා. අග්‍ර පුරෝහිත සිනාසී මිනිස් සිතේ ස්වභාවය රජුට පැහැදිලි කළා.

‘අවසරයි දේවයන් වහන්ස, මිනිස් සිත කියන්නේ ඒ වගේ දෙයක් තමයි. ඒ ගොවියා තමන්ට ලැබුණු රන් කාසි 99ක් ගැන හිතුවේ නෑ. ඒත් නොලැබුණු එක් කාසියක් වෙනුවෙන් තමන්ගේ සියලු දේපළ වගේම පවුලත්, සතුට, සැනසීම, සහනය ආදි යහපත් සියලු දේත් අහිමි කරගත්තා. බොහෝ මිනිසුන් තමන්ට ලැබී තිබෙන දේවල් අනූනවයක් පිළිබඳ අවබෝධයකින් ඒවා ප්‍රයෝජනයට නොගෙන තමන්ට අහිමි කුමක් හෝ එක දෙයක් වෙනුවෙන් තැවෙනවා. එය සමහර විට ලැබුණත් එතරම් ප්‍රයෝජනවත් නොවන්න පුළුවන්. ඒත් මිනිසුන් අසහනයට පත් වන්නේ ඒ නොලැබුණු දෙය මත්තේ යන නිසයි. ඒ සිද්ධාන්තය තමයි රන් කාසි 99ක් මිදුලෙහි වළලමින් ගොවියා අසහනයට පත් කිරීමට යොදා ගත්තේ‘

රජු මහත් සේ සතුටට පත්ව අග්‍ර පුරෝහිතට ඇතෙක් බරට වස්තුව ලබා දෙන්නට කටයුතු කළා. මේ කතාව ඔබ සන්සුන් මනසින් කියැවූවා නම්, පසුගිය සතියේ අපට අවශ්‍ය දේ ලබා ගැනීමට පෙර විශ්වයට ස්තූති කරන ලෙස විශ්ව ආකර්ෂණ නියමයේ මූලික කරුණක් වශයෙන් පැහැදිලි කළේ කිමද යන්න වැටහෙනවා ඇති. අපට ලැබී ඇති දේ පිළිබඳ නිසි වටිනාකමක් අප සිතේ ඇති වන්නේ නෑ. ඒත් අන් කවරකු හෝ සතු අපට නොමැති සුළු කරුණක් හෝ ද්‍රව්‍යයක් වෙනුවෙන් අප බොහෝ තැවෙනවා විය හැකියි. එය අපේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයට විශාල හානියක් බව පැහැදිලි වනවා ඇති. ඒ ගොවියා තමන්ට ලැබුණු රන් කාසි 99 පිළිබඳ ස්තූතිවන්ත වී, එය නිසි ලෙස ආයෝජනය කළා නම් කෙතරම් ප්‍රයෝජන ගන්නට තිබුණාද? එහෙත් කිසිදාක නොලැබෙන, නොලැබුණු එක් කාසිය වෙනුවෙන් ඔහු සිය ජීවිතය මෙන්ම තම ආදරණීයයන්ගේ ජීවිත ද විනාශ මුඛයට තල්ලු කළා. එනිසා ඔබ ඒ ගොවියා වැන්නකු නොවී තමන් සතු දේ පිළිබඳ මහත් සේ මේ සොබාදහමට මෙන්ම ඔබේ දෛවයට ස්තූතිවන්ත වී, ලැබෙන දේ මනාව කළමනාකරණය කරගන්නේ නම්, ඔබටත් රටේ සතුටින්ම, සහනයෙන්ම, සැනසිල්ලෙන්ම සිටින පුද්ගලයා විය හැකියි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.