නමේ මුල් අකුරෙන් කියැවෙන ඔබේ ගතිගුණ

සැප්තැම්බර් 13, 2024

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට K අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාඵල විස්තර පසුගිය කලාප වලින් සාකච්ඡා කරන ලදී. මේ ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ L,M,N යන අක්ෂරවලින් නම් පටන් ගන්නා ඔබ පිළිබඳ විස්තර පැහැදිලි කරන අතර පළමුවෙන්ම L අකුරෙන් නම පටන් ගන්නා අයගේ විස්තර කුමන ආකාර්ද යන්න සලකා බලමු.

L අකුර

ඉංග්‍රීසි භාෂාවේ L අකුර මුලට යෙදී පටන් ගන්නා නම් බොහෝමයක් පවතී. මේ අකුර මුලට යෙදෙන බොහෝ දෙනෙක් ජීවිතේ යම් ස්ථාවරත්වයක ජීවත්වන බවද දැකිය හැකිය. 'බාධක දැක පෙරමුණේ.... මොන නදියද නැවතුනේ....' යන කියමනට අනුව මේ පුද්ගලයන් ජීවිතයේ බොහෝ අත්දැකීම් සම්භාරයක් උරුමකරගත් පුද්ගලයන් ලෙස සඳහන් කළ හැකිය. තමා උරුම කරගත් අතීත අත්දැකීම් තුළින් අනාගතය ගොඩනඟා ගැනීමට මේ අය නිරන්තරයෙන් උත්සාහ දරයි. කරන කියන සෑම දේකින්ම අලුත් දෙයක් ජීවිතයට එකතු කර ගැනීම මොවුන්ගේ පුරුද්දයි. යමක් කමක් දන්නා පිරිසක් ලෙස මේ අය සමාජය හඳුනා ගනී. බොහෝ කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියා කරන ගතියක් මොවුන් තුළ පවතී. තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කිරීමට මොවුහු ඉදිරිපත් වෙති. මොවුන් කලබල කලහකාරී පුද්ගලයින් නොවේ. තීරණ ගැනීමට ඉක්මන් වන්නේ නැත. යමක් කිරීමට පෙර ඒ පිළිබඳ හොඳීන් සොයා බලයි. දුරදිග කල්පනා කර බලා තීන්දු තීරණ ගැනීම සිරිතයි. අධ්‍යාපන කටයුතුවලට ද මොවුන් දක්ෂතාවය දක්වයි. තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීමට ද මොවුන් නිරතුරු උත්සාහ කරයි. මේ පුද්ගලයන් තමන් පිළිබඳ අභිමානයකින් ක්‍රියා කරයි. කාටත් කරදරයක් නැතිව වැදගත් විදිහට ජීවිතය ගත කිරීමට කැමැති වෙයි. විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමට උත්සාහ කරයි. ඇවිදීමටත් සංචාරයටත් ප්‍රිය කරයි. සෞන්දර්යාත්මක දේවලට වඩාත් ඇලුම් කරන ස්වභාවයක් පවතී. කලාත්මක හැකියාවන් ද මොවුන් තුළ පවතී. මොවුන් ජීවිතේ වඩාත් ප්‍රවේශම් විය යුත්තේ විවිධ කටයුතු කිරීමේදී සුළු සුළු අනතුරුවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බැවිනි. අවදානම් සහිත ක්‍රියාවලින් ඉවත් වීම වඩා ගුණදායක වේ. එහෙත් මොවුන්ට ජීවිත කාලය පුරාම අභියෝගාත්මක දේවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් වෙයි. ශක්තිමත් මනසක් හිමි මොවුන්ට ඕනෑම දේකට නොබියව මුහුණ දීමේ හැකියාව ද පවතී. යම් මත ගැටුම් තිබුණත් මොවුන් බොහෝ පිරිසකගේ විවාහ ජීවිත ඉතා සාර්ථක බව දැකිය හැකිය. ආදරය ඉතා තදින් අපේක්ෂා කරන මොවුන් ප්‍රේම කිරීමේදී ඉතා සංවේදී පිරිසක් ලෙස දැක්විය හැකිය. උපතින්ම වාසනාව උරුම කරගෙන ඉපදුණත් මොවුන්ට බොහෝ විට සැඟවුණු වාසනාවක් පවතින බව කිව හැකිය. එනම් ජීවිතයේ මුල් කාලය තුළ යම් අසීරුතාවලට ලක් වුණත් පසුකාලීනව වාසනාව මතුකරගෙන ජීවිතේ සාර්ථකත්වයට පත්කර ගැනීමේ හැකියාව මොවුන් තුළ පවතී.

 

M අකුර

අකුරු අතර m අකුර ද ඉතා සුවිශේෂී අකුරක් ලෙස සඳහන් කළ හැකිය. මේ අකුර හිමි අය වාසනාවන්ත පුද්ගලයන් ලෙස සඳහන් කරන්නට පුළුවන. උපතින්ම දෛවෝපගතව වාසනාව උරුම කරගත් මොවුන් ජීවිතයේ බොහෝ විට සාර්ථකත්වය අත් විඳීනු ලබන අයයි. කිසිම විට කාලය අපතේ හරින්නට මොවුන් කැමැති නැත. ජීවිතයේ තමන්ට පැවරුණු කාර්යයන් උපරිමයෙන් ඉෂ්ට කිරීම මොවුන්ගේ ස්වභාවයයි. නිකරුණේ කාලය ගත කරන්නට කැමැති නැති මොවුන් කිසිම විටෙක වෙහෙස මහන්සිය බලන්නේ නැත. කෙතරම් වැඩ කළත් ඒ තුළ අතෘප්තිකර භාවයට පත් නොවන මොවුන් වැඩ කිරීම තුළින්ම සතුටට පත්වන පිරිසක් ලෙස සඳහන් කළ හැකිය. මොවුන්ගේ සාර්ථකත්වයේ රහස වන්නේ ද වෙහෙස මහන්සිය නොබලා දිවා රෑ නොබලා තමාගේ අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමයි. හිත ඇත්නම් පත කුඩා ද කියන්නා සේ මොවුන්ටද සිතුවොත් කළ නොහැකි දෙයක් නොමැති තරම්ය. විවිධ වූ හැකියා සහ දක්ෂතාවයන් මොවුන් සතුව පවතී. ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීම සඳහා දක්ෂභාවය මොවුන් තුළ ඇත.

තම වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට මොවුන් කැපවී ක්‍රියා කරයි. තමා අතින් සිදු විය හැකි අඩුපාඩු පිළිබඳ නිතර අවධානයකින් සිටියි. යමක් උඩින් පල්ලෙන් කර ඇඟ බේරා ගැනීම මොවුන්ගේ සිරිත නොවේ. ඕනෑම දෙයක ඇති ගැඹුරු බව සහ බැරෑරුම් බව හොඳීන් තේරුම් ගෙන කටයුතු කරයි. යමක් පටන් ගත්තොත් එය කෙසේ හෝ අවසන් කිරීම මේ අයගේ ගතියක් වෙයි. ඉතා විශ්වාසවන්ත පුද්ගලයන් කොටසක් ලෙසද හැඳීන්විය හැකිය. මොවුන්ට ජීවිතේ පුරාම විවිධ අභියෝග සහ බැරෑරුම් අවස්ථාවන්වලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් වෙයි. එහෙත් තමන් වෙත එන ඕනෑම අභියෝගයක් සාර්ථකව ජයග්‍රහණය කිරීමට තරම් උපායශීලී ඥානයක් මොවුන් සතුව පවතී. දීර්ඝායුෂ වි¼දීමේ වාසනාව ද මේ පුද්ගලයන් බොහෝ පිරිසකට ලැබෙන අතර කාගේත් හිත් දිනාගෙන කටයුතු කිරීමේ හැකියාව ද පවතියි. තමන්ගේ තත්ත්වය තරාතිරම සහ ආත්ම ගරුත්වය පිළිබඳ ඉතා තදින් සිතයි. ඉතා හොඳ චරිතවත් බවක් පවත්වා ගෙන යෑමට මොවුන් නිතරම උත්සාහ දරයි. ඔවුන්ගේ එක් දුර්වලතාවයක් වන්නේ සෑම තැනකම තමාට ප්‍රමුඛතාවය ලැබිය යුතු යැයි සිතීම සහ කැපී පෙනීමට උත්සාහ දැරීමයි. කායික මානසික නිරෝගී භාවය මෙන්ම ශක්තිමත් භාවය ද මොවුන්ට තිබේ. අසාර්ථක වීම් සහ පරාජයන් හමුවේ මොවුන් මානසිකව ඇද වැටෙන්නේ නැත. අධිෂ්ඨානයෙන් සහ සැලසුම් සහගතව උත්සාහ කර සාර්ථකත්වය කරා ළඟා වෙයි. විශේෂයෙන් මොවුන් තමන්ගේ ආර්ථික කළමනාකරණය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙයි. නිරායාසයෙන්ම මුදල් වියදම් වීම නිසා තැන්පත් ධනයක් වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතුය. කාර්ය බහුල බව නිසා සමහර ජීවිතයේ වැදගත් අවස්ථාවන් මඟ හැරීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ඒ ගැන ද උනන්දු විය යුතුයි. ගෙදරදොර කටයුතු පිළිබඳ සොයා බැලීමට ද කාලය වෙන් කර ගැනීමට මතක තබා ගන්න. කලට වේලාවට කළ යුතු කටයුතු කිරීමට උනන්දු වන මොවුන් ජීවිතේ සාර්ථකත්වය ලඟා කර ගැනීමට දක්ෂ පුද්ගලයන් ලෙස සඳහන් කළ හැකිය.

 

N අකුර

මේ පුද්ගලයන් ඉතාමත් දක්ෂ නිර්මාණශීලී පුද්ගලයන් ලෙස හැඳීන්විය හැකිය. ඉතා වටිනා අදහස් මොවුන් සතුව පවතී. එමෙන්ම සංවේදී මනසක් හිමි මොවුන් හැඟීම්බර පුද්ගලයන් කොට්ඨාසයක් ලෙස දැක්විය හැකිය. අවංකකම සහ නිහතමානීකම මොවුන්ගේ චරිතය තුළ කැපී පෙනෙන ලක්ෂණයන් වෙයි. කාගේවත් සිත් රිදවීමට මොවුන් කැමැති නැත. සමාජ සුබ සිද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා කැප වී ක්‍රියා කිරීමට මොවුන් කැමැතිය. නායකත්ව ලක්ෂණ ද මොවුන්ගේ චරිතය තුළ පිහිටයි. කුමන අභියෝග ආවත් ඒ සියල්ල තුළ නොසැලී තමාගේ ගමන් ඉලක්කය කරා මෙහෙයවයි. අන් අයව පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් මොවුන්ට තිබේ. එමෙන්ම චරිතවත් කමක් ඇති වැදගත් මිනිසුන් ලෙස සමාජය තුළ මොවුන් ජීවත් වෙයි. සමාජය තුළින් ගෞරව ප්‍රශංසා ද මොවුන්ට හිමි වෙයි. මොවුන්ගේ ජීවිතය ද කුඩා කල සිටම බාධා කම්කටොලුවලින් පිරී පැවතීම සාමාන්‍ය දෙයක් වෙයි. අභියෝග හමුවේ ඉතාමත් ශක්තිමත්ව ඒවාට මුහුණ දීමේ හැකියාව මොවුන්ට තිබේ. මොවුන්ට බොහෝ මිතුරන් ඇත. බොහෝ මිනිසුන් ඇසුරු කිරීමට මොවුන් පෙලඹෙයි. තම හිත මිතුරන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ද නොපිරිහෙළා ඉටු කරයි. බොහෝ පිරිසක් මැද අන් අයගේ අවධානය වැඩිපුර මොවුන් වෙත යොමුවන ගතියක් පවතී. කතාවට ද මොවුන් තුළ දක්ෂ භාවයක් පවතී. අන් අයගේ සිත් ඇදගන්නා ලෙස කතා කිරීමට දක්ෂ වෙයි. නව නිර්මාණ රසවිඳීමට මෙන්ම පොතපත කියවීමටත් අලුත් දේවල් හැදෑරීමටත් මොවුන් තුළ උනන්දුවක් පවතී. අන් අයගේ දුකේදී උණුවන කාරුණික හිතක් ඇති මොවුන් උපකාර අවශ්‍ය අයට පිහිට වීමට ද ඉදිරිපත් වෙයි. රහස් රැකීමටද මොවුන් දක්ෂය. ඕනෑම දෙයක්හෙළි නොකර තමන්ගේ හිතේ තබාගෙන සිටීමට සමත් වෙයි. එමෙන්ම විශ්වසනීය පුද්ගලයන් කොටසක් ලෙස ද දැක්විය හැකිය. තම බාහිර පෙනුම ගැන ද වැඩිපුර සැලකිලිමත් වන මොවුන් ප්‍රියමනාප ලෙස නිතරම සිටීමට උත්සාහ දරයි. කොපමණ කාර්යබහුල වුවත් තම පවුල වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ද අමතක නොකරයි. මොවුන්ට ඉක්මනින් කේන්ති නොගියත් ඉක්මන් කලබලකාරී ගතියක් පවතී. වැඩ කටයුතු කිරීමේදී ඉවසිලිමත් බව තබා ගැනීම වැදගත් වෙයි. මේ අක්ෂරය හිමි බොහෝ අය ජීවිතය සාර්ථකව ගෙවනු දැකිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.