පවුල් අවුල් විසඳූ අපූරු ගුරුකම් ප්‍රයෝගය

සැප්තැම්බර් 6, 2024

බිනර මස එළැඹුන එක්දිනක හිමිදිරි පාන්දර බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් ධ්‍යානයකට සමවැදී භාවනානුයෝගීව පුරා හෝරාවක් ගත කළ සේක.

ඉන්පසු පන්සල් භූමියත්, බෝමළුවද ඇමද පවිත්‍රකොට පහළ විශාල පොකුණෙන් දිය ස්නානය කොට පැමිණ විහාර මන්දිරය සහ දේව මන්දිරය තුළ වත්පිළිවෙත් සිදුකර අවසන් කළ සේක.

එකල පන්සලේ වැඩ විසු සාමණේරයන් වහන්සේලාගෙන් කටපාඩමින් කළ ගාථා සජ්ඣායනයටද සවන් යොමු කොට අවසන් වූවා පමණි. එක්විටම දේව මන්දිරයේ පහන් ප්‍රභාස්වර වන්නට විය. ඒත් සමඟම දේව මණ්ඩලයේ සියලුම දේව ප්‍රතිමා සෙලවෙන්නට පටන් ගනී.

ඒ නම් දේවමණ්ඩලයෙන් තමන් වහන්සේට පණිවිඩයක් බව උන්වහන්සේ සිය අත්දැකීමෙන් දැනසිටි සේක.

වහාම දේව මන්දිරයට වැඩම කළ නායක හිමියන් ඒ වන විට ඩිංගිරි බණ්ඩා සකස්කර තිබූ සමන්පිච්ච මල් මාලා සියල්ල මහත් බැතියෙන් දේව පිළිමවලට පලඳවා දේවාරාධනාව සිදුකර බලගතු මන්ත්‍රයක් ජප කළ සේක. ඒ සමඟම හිමියන්ට කාරණා කාරණා අවබෝධ විය.

ප්‍රථමයෙන් පැමිණෙන ආතුරයන් දෙදෙනාගේ අභිමතාර්ථ වහා ඉටු කරන බව දේව මණ්ඩලයෙන් අනාවරණය කර තිබුණි.

ඒත් සමඟම ක්‍රේම්බ්‍රිජ් වර්ගයේ කාරයක්ද, ෆෝක්ස්වගන් වර්ගයේ කාරයක්ද කොණ්ඩදෙණියේ පන්සලේ ගේට්ටුව අසලට එකවර ප්‍රවිෂ්ට විය.

“ඩිංගිරි බණ්ඩෝ” ඔය කාර් දෙකම පන්සල ඇතුළට ගන්න ගේට්ටුව අරින්න.

ඒ කණ්ඩායම් දෙකේම අයට පහළ පොකුණෙන් මුහුණ කට හෝදාගෙන, නෙලුම්මල් කඩාගෙන ඇවිදින් බෝමළුවටත්, විහාර මන්දිරයටත් ගිහින් වන්දනාමාන කරගෙන තමන් ආපු කාරණාව ඉෂ්ට සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරලම එන්න කියන්න...”

“එහෙමයි නායක හාමුදුරුවනේ”

“ආහ්................ඩිංගිරි බණ්ඩෝ.......ඒ දෙගොල්ලන්ටම කිතුල්පැණි, මුදවපු කිරිත් සමඟ කුරහන් පිට්ටු සප්පායම් වෙන්න ඉඩ දෙන්න. උදේ හදපු කොළ කැඳත් කිතුල් හකුරුත් එක්ක සංග්‍රහ කරලම මගේ කන්තෝරු කාමරේට එක්කරං එන්න කෝ.

හිමි අණ එපරිදිම ඉටුවිණි. මෙවැනි ආගන්තුක සත්කාරයක් ලැබෙතැයි ඔවුහු කිසිසේත් අපේක්ෂා නොකළහ.

“අවසරයි නායක හාමුදුරුවනේ”

“මේ මහත්තයලා කොහේ ඉඳලාද?”

“මම මගේ හොඳම යහළුවත් එක්ක පානදුරේ ඉඳලයි ආවේ හාමුදුරුවනේ”

“ඉතින් මොකද තමුන්නැහෙල මේ පැත්තේ”

“මේ මගේ හොඳම යහළුවගේ පෙරැත්තය නිසයි ඔබ වහන්සේ මුණ ගැහෙන්න ආවේ.

මට මේ ජීවිතේ එපාවෙලා. අන්තිම ගමන යන්නට ඉස්සෙල්ලා ඔබවහන්සේටවත් මගේ දුක් ගැනවිල්ල කියල බලන්නයි ආවේ හාමුදුරුවනේ...

අපි විවාහ වෙලා අවුරුදු ගණනාවක් වෙනවා. අපිට දරුවොත් නැහැ. අපේ නෝනත් මාත් අතර අවුරුදු පහළොවක පමණ වයසේ පරතරයක් තියෙනවා. ඒත් අපි සතුටින් සමාදානයෙන් කලක් එකට හිටියා.

අපේ ගෙදර උන්දැ අල්ලපු ගෙදර බෝඩිං වෙලා ඉන්න තරුණ හාදයෙක් එක්ක හාදවෙලා..

මට අවට පහටින් තොරතුරු ආරංචි ලැබුණා...ඒත් ඒවා මම එතරම් විශ්වාස කළේ නැහැ.”

"හොඳයි තමුන් කොහොමද? නිච්චියටම ඒ සම්බන්ධතාවය ගැන දන්නේ...?”

“අනේ හාමුදුරුවනේ එක දවසක් හදිසියේ ගෙදර ආපු වෙලාවක දෙන්න එකට ඉන්නව මටම අහුවුණා නොවැ...

මෙහෙම දෙයක් වෙලා....අපි කොහොමද එක ගෙදර ඉන්නෙ හාමුදුරුවනේ...

ලබන සතියේ දික්කසාද නඩුව තියෙන්නේ.........ඒත් මට සාක්ෂිත් නැහැ.....මම උසාවියේදී හරි අසරණයි හාමුදුරුවනේ...නඩුවෙන් පැරදුණොත් මම එල්ලිලා මැරෙනවා.” මේ අසරණ මනුෂ්‍යයා අකාලයේ ජීවිතය හානිකර ගන්නටත් ඉඩ අවකාශ ඇති බව වටහාගත් සීලරතන හිමියන් වහා සෙත් කවියක් ලියාදී "මේ යහළුවත් එක්කම අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ගොස් දැඩිමුණ්ඩ දෙවියන් ඉදිරියේ යැදීමක් කොට දින තුනක් එක දිගට සෙත් කවිය කියවන්න. සියල්ල හරියාවි ඒ ආගන්තුක බෝඩිංකාර අමුත්තා දින 3 අවසානයේ හිස හැරුණු අතේ යාවි...ආයෙ කවදාකවත් එන එකක් නැහැ...”

නායක හිමියෝ බලගතු මන්ත්‍රයක් හෝරාවක් තිස්සේ පිරිත් නූලකට ජපකර ආගන්තුක ආතුරයා ගේ කර වටා පැලැඳවූහ. එම පිරිත් නූලම ඔහුගේ දකුණු අතේද ගැට ගසන අතර,

“බයවන්නට එපා ලබන සතියේදී උසාවියේදී දෙන්න දෙමහල්ලෝ සමගිවෙලා නැවත එකට පවුල් ජීවිතයක් ගත කරන්න උපදෙස් ලැබේවි. තමුන්ගේ එකඟතාවය පළකරන්න.” පැවසූහ. හිමි දෙපා මුල වැඳ වැටුණූ ආගන්තුකයා සතුටු කඳුළු වගුරවමින් හිමියන්ට සමුදී තම හොඳම යහළුවා සමඟ පිටත්විණි. හිමි දෙසූ පරිදිම සියලු කාරණා ඉටුවිය. කඩා ඉහිරීමට ගිය පවුලක් නැවත සමාදාන විය.

ඒ සමඟම ෆෝක්ස්වගන් කාර් රථයෙන් පැමිණ තිබුණේ විවාහක තරුණ කාන්තාවක් සහ ඇයගේ මව්පියන්ය.

“ අවසරයි අපේ නායක හාමුදුරුවනේ... අපි අනුරාධපුරයේ මිහින්තලේ ඉඳලයි ආවේ”

"ආපු කාරණාව කීවානම්"

තම මව්පියන් සමඟ පැමිණි තරුණ දියණිය තම දුක්ඛ දෝමනස්සය හිමියන් ඉදිරියේ වහා හෙළිදරව් කරන්නට විය.

තම කුඩා දරුවා දිනපතා පාසලට හැරලවන්නට මෝටර් රථයෙන් රැගෙන ගිය ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක් ද අයිති ධනවත් පුද්ගලයකු වූ සිය සැමියා, එම දරුවන්ගේ පන්තිය භාරව සිටි තරුණ ගුරුවරිය සමඟ පසුකාලීනව පේ‍්‍රම සම්බන්ධ තාවයක් අරඹා තිබිණි.

තම බිරිඳට වඩා ඉතා අඩුවයසින් යුතු අවිවාහක සුන්දරියක් වූ ගුරුවරිය කඩවසම් ධනවත් මේ පුද්ගලයා සමඟ පෑ ළෙන්ගතු බව අවසන් වූයේ ඔහුගේ අනියම් භාර්යාව බවට පත්වීමෙනි.

කල්යත්ම ඒ සම්බන්ධය දුර දිග ගොස් සිය බිරිඳගෙන් දික්කසාද වීමට උසාවියේ නඩුවක්ද පවරා තිබුණි. එහි අවසන් තීන්දුව ඊළඟ සතියේ ලබාදීමට නියමිත විය.

මේ සියලු කරුණු අසා සිටි හිමියෝ නැවත දේව මන්දිරයට වැඩමකොට කතරගම දෙවිදුන් සහ ප්‍රදේශය භාර කඩවර දෙවියන්ට ඉතා බලගතු මන්ත්‍රයක් දහස්වර පිරිත් කළ නූලක් ගෙන එයට හෝරාවක් තිස්සේ මහ හඬින් ජපකරන්නට වූ සේක.

ආගන්තුක ආතුරයා වූ තරුණියගේ කර වටා එම බලගතු පිරිත් නූල පලඳවා ඇයගේ දකුණතේද එම පිරිත් නූලක් ගැට ගැසීය. තරුණ ළාබාල ගුරුවරිය වශී ගුරුකමක් සහ බන්ධනයක් සිදුකර ඇති බව හිමියන්ට වැටහිණි. වශිය බල රහිත කළ අතර බන්ධනය කපා දැමුණි.

“දැන් මගේ කටයුතු අහවරයි. බියවන්න එපා දෙන්න දෙමහල්ලො සමගිව සමාදානව කටයුතු කරන ලෙස උසාවි තීන්දුව ලැබෙයි. අර ගුරුතුමිය ඈත පළාතකට මාරුවීමක් ලැබෙයි. සියලු කරදර අහවර වෙයි.” හිමි වදාළ පරිදිම සියලු දේ සිදුවිය.

පුදුමයක මහත...

ගතවූයේ මාසයකි. පෙර දිනෙක වූ පරිදිම එකම වේලාවට නිල් පැහැති ක්‍රේම්බ්‍රිජ් වර්ගයේ කාරයද, ෆෝක්ස්වගන් කාරයද පැමිණියේ තම කාරණා ඉෂ්ට සිද්ධ වූ දෙපිරිස නායක හිමියන් මුණ ගැසී ඒ බව පැවසීමට ද එකම දිනෙක ආ බැවිනි. ඔවුන්ගේ පවුල් ජීවිත නැවත සමෘද්ධිමත් වී තිබිණි. සීලරතන නායක හිමියන්ගේ ආශිංසනය එම පවුල් දෙකටම හිමි විය. කොණ්ඩදෙණිය පන්සලේ ගොඩනැඟිලි අලුත්වැඩියා කටයුතු රැසක්ද මේ පවුල් දෙකේ පරිත්‍යාගවලින් ඉටු කෙරිණි.

 

වත්මන් කොණ්ඩදෙණියේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවීමට කුඩා දරුවන් දෙදෙනකුගේ මව වූ රූමත් තරුණ වයසේ කාන්තාවක් සහ ඇගේ මවත් පියාත් පැමිණියේ නවීන බෙන්ස් කාරයකින්ය. මොවුහු කොළඹ කුරුඳුවත්තේ ඉතා ධනවත් ඉහළ පැළැන්තියේ පවුලක අයවූහ.

 

ඒ වන විටට එම විවාහක රූමතිය පවුල් ආරවුලක් හේතු කොට සිය විවාහයෙන් දික්කසාද වීමේ අභිප්‍රායෙන් අධිකරණයේ පිහිට පතා සිටියාය. දික්කසාදයෙන් පසුව තම කුඩා දරුවන් දෙදෙනා සමඟ විදේශගත වීමට අපේක්ෂා කළාය. තම මව්පියන් සමඟ කොණ්ඩදෙණිය රජමහා විහාරයේ අනුරුද්ධ හිමියන් හමුවට පැමිණියේ එළැඹී ඇති ග්‍රහචාරයේ දෝෂ සහිත තත්ත්වයන් ඇත්දැයි දැන ගැනීමේ අටියෙනි.

අනුරුද්ධ හිමියන් දේවමන්දිරයට පිවිස බලගතු මන්ත්‍රයක් පිරිත් නූලකට ජීවම් කරන්නට විය. ඒ සමඟම අප හිමියන්ට කාරණා........කාරණා......අවබෝධ වන්නට විය.

එම ස්වාමිපුරුෂයාගේ කිසිදු වරදක් නොපෙනුණි. එම තරුණ දියණිය තම ස්වාමි පුරුෂයා පිළිබඳව ඇති කරගත් බලවත් අනිසි සැකයක් හේතුකොටගෙන මේ තත්ත්වය එළඹි ඇති බවට අනුරුද්ධ නායක හිමියන්ට පසක් විණි.

දේව මන්දිරයෙන් පිටතට පැමිණි කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියන් විසින් දියණියගේ පියාව ඉවතට කැඳවා තත්ත්වය පැහැදිලි කොට තම බෑණනුවන්ගේ දුරකතන අංකය ලබා ගන්නා ලදී.

අනුරුද්ධ හිමියන් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සමඟ දුරකතනයෙන් කතාකොට මේ දැන් කොණ්ඩදෙණිය පන්සලට හෝරා කිහිපයක් තුළ පැමිණීමට හැකිදැයි විමසූ සේක. කැමතිනම් රන් සුරයක්ද රැගෙන එන ලෙස දැන් වූ සේක. එයට මනාපය පළ කළ ඔහු තම නවීන පැජරෝ ජීප් රථයෙන් කොණ්ඩදෙණිය බලා එවලේම පිටත්විය. එතෙක් අප හිමියෝ පැමිණි ආගන්තුක පිරිසට තේපැන් සංග්‍රහකොට ඉන්පසු කොණ්ඩදෙණිය රජමහා විහාරය සම්පූර්ණයෙන් නැරඹීමට අවකාශ සලසන ලෙස කොණ්ඩදෙණිය පන්සලේ වැඩ වෙසෙන සාමණේර හිමියන්ට නියම කළ සේක.

තරුණ දියණිය සහ මව්පියන් කැටුව විහාර මන්දිරයේ බෝමළුව, ඓතිහාසික ගල් ගුහා පරිශ්‍රය, මෑතකදී නවීකරණය කළ අපාය සංකීර්ණය ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේ, විශාල පොකුණ, අනුරුද්ධ හිමියන් ඉදිකළ වැව, පැරණි පුරා විද්‍යා භාණ්ඩ, සඳුන් පෙට්ටිය, පිල්ලි යැවීමට භාවිතයට ගත් වළස් හිස ආදි සියල්ල නැරඹීමට අවකාශය ලද ඔවුන්ට හෝරා කිහිපයක් ගත වූ බව නොදැනුණි. හිමියන්ගේ පෙරැත්ත මත ඔවුන් දිවා ආහාරයද ගෙන නැවත අනුරුද්ධ හිමියන්ගේ කාර්යාලයට පැමිණියේය.

විස්මය ජනක ලෙස එම විවාහක තරුණ රූමතියගේ ස්වාමිපුරුෂයා වන මනා කඩවසම් පෙනුමැති තරුණයා ඒ මොහොතේ කොණ්ඩදෙණිය පන්සලට තම ජීජ්රථයෙන් කඩිනමින් පැමිණ තිබුණි. සියලු දෙනා තූෂ්නිම්භූත වූයේ කවර විටෙකවත් මෙවැන්නක් සිදුවෙතැයි නොසිතූ බැවිනි.

තරුණ යුවළද දෙමව්පියන්ද දේව මන්දිරයට කැඳවූ අනුරුද්ධ හිමියෝ සියලු කාරණා පැහැදිලි කර දුන් සේක. ඉන් අනතුරුව දහස්වර ජීවම් කළ පිරිත් නූලක් බලවත් මන්ත්‍රයකින් හෝරාවක් පුරා ජීවම් කොට තරුණ යුවළගේ කරට පලඳවා ඔවුන් දෙපළගේ දකුණතේ පිරිත් නූල් ගැට ගැසූ සේක. මව්පියන්ගේ සතුටද දෝර ගලා ගියේය.

තම ස්වාමියා කෙරෙහි ඇතිවු සැකය පහකළ අප අනුරුද්ධ නායක හිමියන් පැවසුවේ කිට්ටුවර ඥාතියකු විසින් මේ පවුල කඩා ඉහුරුවාලීමෙන් පසු තම වෙනත් ඥාති දියණියකට මේ තරුණයා විවාහ කරදී තම පවුලට එක්කර ගැනීමේ අපේක්ෂාවෙන් බන්ධනයක් සහ වශී ගුරුකමක් කර ඇති බවය. ඒ වශී ගුරුකම බලරහිත කොට බන්ධනය කපාදැමීමට අප හිමියන් සමත් වූ සේක. අධීකරණයේ පවරා තිබූ නඩුවද ඉවත්කළ පසු යළි කැදැල්ල සතුටින් පිරිණි.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.