සීදේවී මෙන්ම මූදේවී කැන්දන වාලම්පුරි

සැප්තැම්බර් 6, 2024

නිවෙසක හෝ යම් ස්ථානයක වාසනාව, සෞභාග්‍යය, සතුට වගා කර ගැනීම සඳහා අතීතයේ සිටම භාවිත කළ, ප්‍රබල සංකේතයක් ලෙස වාලම්පුරි හැඳින්විය හැකිය. විෂ්ණු දෙවියන් වාලම්පුරියක් සුරතේ දරාගෙන සිටීම තුළින්ම මේ සංකේතයේ ඇති බලගතු බව මැනවින් තහවුරු කළ හැකිය. වාලම්පුරි සංඛ යන නමින්ද හැඳින්වේ. විවිධ ක්ෂේත්‍රයන්හි නානාවිධ ජයග්‍රහණ තහවුරු කර ගැනීමට දිවා රෑ දෙකෙහි අප්‍රමාණ වෙහෙසක් දරන පුද්ගලයන් කුඩා ප්‍රමාණයේ වාලම්පුරි රන් රිදී දම්වැල්වලට සවිකර ගෙන, ඒවා ආභරණ ලෙස පලඳින අවස්ථාද එමටය. එහෙත් මේ අගනා සංකේතය ආවාට ගියාට හිතු මතේ ගෙල පැලඳීමෙන් හෝ නිවෙසක තබා ගත් පමණින් අත්පත් වන සෙතක්ද නැත. එසේනම් කළ යුත්තේ කුමක්ද? තම අරමුණ ජය ගැනීමට යෝග්‍ය වාලම්පුරිය තෝරාගෙන ඊට අවශ්‍ය වත්පිළිවෙත් ඉතා භක්තිමත්ව සපිරීමයි.

පළමුව කළ යුත්තේ ආභරණයක් වශයෙන් පැලඳීමට හෝ නිවෙසක තබා ගැනීමට වඩාත් යෝග්‍ය වන වාලම්පුරිය හඳුනා ගැනීමයි. සෑම වාලම්පුරියක්ම ජය හා සෞභාග්‍ය රැගෙන එන්නේ නැත. විවිධ වර්ගයේ වාලම්පුරි දැකිය හැකි අතර, ඒවා විවිධ පදනම්වලින් යුතුව වර්ගීකරණයකටද ලක් කළ හැකිය. ඉන් පළමු වර්ගීකරණය, ශ්‍රී දේවි සංඛය හා මූ දේවි සංඛය ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී දේවි සංඛය වාසනාව කැන්දන සුබ සංකේතයකි. මූදේවි සංඛය එහි ප්‍රතිවිරුද්ධ පැත්ත ගනී. වැරදීමකින් හෝ එවැනි වාලම්පුරියක් නිවෙසක තබා ගතහොත් නිවෙස තුළ රණ්ඩුසරුවල් හැම දිනයකම බහුල වේ. ධන හානි සිදුවේ. නිවැසියන්ට කිසිම වගතුවක් නොවේ.

වාමාවෘත සංඛ හා දක්ෂිණාවෘත සංඛ යනුවෙන් තවත් බෙදීමක් ඇත. මෙහිදී වාසනාව රැගෙන එන්නේ දක්ෂිණාවෘත සංඛය. එබැවින් භාවිතයේදී සෑම විටම දක්ෂිණාවෘත සංඛයක් තෝරා ගැන්මට සැලකිලිමත් විය යුතුය. තවත් වර්ගීකරණයේදී වාලම්පුරි සිව් වැදෑරුම් ලෙස බෙදා ඇත. 1. ලක්ෂ්මී සංඛය 2. විෂ්ණු සංඛය 3. ගණදෙවි සංඛය 4. නාග සංඛය යනුවෙනි. ගණදෙවි සංඛය පැහැයෙන් දුඹුරුය. නාග සංඛය කළු පැහැතියි. විෂ්ණූු සංඛය කිරි පැහැයෙන් බබළන අතර, මතුපිට ඉතාමත් සිනිඳුය. රළු ගතියක් කිසිසේත්ම නැත.

නාග සංඛය බොහෝ විට භාවිත කරනුයේ නිවෙසක් ඉදිකිරීමේදී අත්තිවාරම තුළ තැන්පත් කිරීමටය. ඉන් අපේක්ෂා කරනුයේ නිවෙසට එල්ල විය හැකි භූත දෝෂ, පේ‍්‍රත දෝෂ හා යක්ෂ දෝෂවලින් නිවෙස සුරක්ෂිත කර ගැනීමයි. සෞභාග්‍යය හා ධන වාසනාව අපේක්ෂා කරන්නේ නම් භාවිත කළ යුත්තේ, ලක්ෂ්මී සංඛයයි. අධ්‍යාපන ඉලක්ක මුදුන් පමුණවා ගැන්මට යොදා ගත යුත්තේ ගණදෙවි සංඛයයි. විෂ්ණුූ සංඛය බොහෝ විට භාවිත කරනු ලබන්නේ අහිතකර ග්‍රහ කිරණවලින් මිදීම සඳහාය. ඒ අතරිනුත් සෙනසුරු අපලයෙන් මිදීමට හා සෙනසුරු ඒරාෂ්ටක අපලවලින් සහනය ලබා ගැනීමට බහුල වශයෙන් භාවිත කරනු ලැබේ. වාලම්පුරියක් මිලදී ගැනීමට පළමුව එය කැඩී බිඳී පළුඳු වී ඇත්දැයි පරික්ෂාවට ලක් කළ යුතුය. කැඩී බිඳී ඉරිතැලී ගිය වාලම්පුරිවලින් වාසනාවට වඩා ළඟා වනුයේ අවාසනාවය. ඊට හේතුව පළුදු වූ වාලම්පුරිවලට දෙවියන්ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය නොලැබී යාමයි. වාලම්පුරිය භාවිත කිරීමට පෙර එය තැන්පත් කිරීමට සුදුසු ස්ථානයක් තෝරාගත යුතුය. විශේෂයෙන් මේ සංකේතය නිවෙසේ උස් ස්ථානයක තැබීම වඩාත් හිතකරය. වාලම්පූරිය නිරතුරුව කහ දියරයෙන් සෝදා පවිත්‍රකර සුවඳ දුම් ඇල්ලිය යුතුය. එමෙන්ම තැඹිලි තෙල් හා පිරිසුදු කිරි තබා නිල්, කහ, රතු මල්ද තබා ජය පිරිත දේශනා කළ යුතුය. එය කෘත්‍රිම ශබ්දවාහිනී යන්ත්‍රවලට භාර නොකර තමාම කිව යුතුය. විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කර ගැන්මට නම් නිර්මාංශ විය යුතුය. එමෙන්ම නිවෙස ඉතාම පවිත්‍ර අන්දමට තබා ගැනීම කළ යුතුය. නිවෙස අභ්‍යන්තරයේ සත්ත්ව මස් මාංශ, මත්ද්‍රව්‍ය, මත්පැන් තබා ගැනීම මෙන්ම කිසිසේත් භාවිතයට ගැනීමද නොකළ යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.