නමේ මුල් අකුරින් ඔබ ගැන දැන ගනිමු

සැප්තැම්බර් 6, 2024

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව පැවසිය හැකි බව ඔබ දන්නවා. ඉංග්‍රීසි භාෂාවේ A සිට H දක්වා අකුරුවලින් නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය කලාපවලින් සාකච්ඡා කළා. මෙවර ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ I, J, K යන අක්ෂරවලින් නම් පටන් ගන්නා ඔබ පිළිබඳ විස්තර පැහැදිලි කරන අතර පළමුවෙන්ම ධ් අකුරෙන් නම පටන් ගන්නා අයගේ විස්තර කුමන ආකාරයෙන්ද යන්න සලකා බලමු.

I අකුර

මේ අය මානුෂීය ගුණාංගවලින් පරිපූර්ණ පුද්ගලයන් වෙයි. කරුණාව දයාව අනුකම්පාව මොවුන් සතු උසස් ගුණාංග ලෙස සඳහන් කළ හැකිය. එමෙන්ම බොහෝ ළෙන්ගතුව උණුසුම් සහගත හැඟීමෙන් ක්‍රියාකරන ගතිය මොවුන් තුළ තිබේ. දැඩි සංවේදී හිතක් ඇති මොවුන් ඉතා හැඟීම්බර පුද්ගලයන් ලෙස සඳහන් කළ හැකිය. මානසික වශයෙන් ඉක්මන් කලබලකාරී බවක් පෙන්වයි. මේ අය යම් භාවනා ක්‍රමයක් මඟින් මනස සන්සුන් කර ගැනීමට පුරුදු වීම හොඳයි. ක්‍රියාත්මක ගතියෙන් යුතු විනිවිද දැකිය හැකි හිතක් මොවුන්ට ඇත. බාහිරින් සන්සුන් බවක් පෙන්නුවත් මනසින් මොවුන් බොහෝ සිතිවිලි හිතේ පහළ කරගනී. ජීවිතයේ තමන්ට එන ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කිරීමට මොවුන්ට හැකියාව ඇත. උපක්‍රමශීලී භාවය අතින් මොවුන් ඉදිරියෙන් සිටී. එහෙත් වංචාවක් කපටිකමක් කරන්නේ නැත. තමන්ගේ පෞරුෂය සමබරව පවත්වාගෙන යෑමට මොවුන් උනන්දු විය යුතුය. තරමක් සබකෝල ගතිය මොවුන් තුළ පවතී. හැකි තරම් මනස සැහැල්ලුවෙන් තබා ගැනීමට කටයුතු කිරීම හොඳයි. ඕනෑවට වඩා කල්පනා කිරීම දුර්වලතාවයක් ලෙස පෙනී යයි. බොහෝවිට මොවුන් නිරන්තරයෙන් මානසික ආතතියට ලක් වන අවස්ථා වැඩිය. එබැවින් මානසික ආතතිය පාලනය කර ගැනීමට කටයුතු කිරීම හොඳයි. මොවුන්ට බොහෝ විට ස්නායු ආබාධ වැලඳීමේ වැඩි අවදානමක් පවතී. ඒ ගැන කල්පනාකාරීව කටයුතු කිරීම තුළ එවැනි දේවල් වළක්වා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම මොවුන්ට යම් යම් දේවල් ඉක්මනින් අමතක වන ගතියක් ද පවතී. සමහර විට ඉතා වැදගත් දේවල් පවා අමතක වීමෙන් පාඩු සිදු වන අවස්ථාද නැත්තේම නොවේ. මේ අකුරෙන් පටන් ගන්නා නම් ඇති බොහෝ අයට ඕනෑම දෙයක් ඉක්මනින් වැටහෙන සුලු ඥාන ශක්තියක් ඇත. එබැවින් ඕනෑම දෙයක් පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව පවතී. අධ්‍යාපනයටද මොවුන් විශේෂ දක්ෂතාවයක් දක්වනු පෙනේ. මොවුන් තුළ ලොකු සැලසුමක් නැතත් කළ යුතු දේ ඒ වෙලාවට කෙසේ හෝ කරයි. කඩිසර ගතියක් ද මොවුන් තුළ තිබේ. කරන්නට වැඩක් තිබේ නම් කම්මැලි වී එක තැනකට වී සිටින්නේ නැත. මොවුන් කාටත් කරදරයක් වන්නට කැමති අය නොවේ. නිදහසේ ජිවත් වන්නට ප්‍රිය කරයි. එහෙත් සමාජශීලීභාවය ද මොවුන් තුළ ඇත. මිනිසුන් ඇසුරු කිරීමට ප්‍රියතාවයක් දක්වයි. උණුවෙන හදවතක් ඇති මොවුන් උදව් කළ යුතු අයට උදව් කිරීමට ඉදිරිපත් වෙයි.

මොවුන්ට කලාත්මක හැකියාවන් මෙන්ම ඉතා ඉහළ රසවින්දන හැකියාවක්ද පවතී. උසස් කලා නිර්මාණ රස විඳීමට මොවුන් ප්‍රිය කරනු ඇත. ඇවිදීමට, සංචාරයට ප්‍රිය කරන මොවුන් සොබාදහමට ද ආදරේ කරන පිරිසකි. මොවුන් අවදානම් සහිත රැකියාවක් හෝ වාහන ආදිය පදිනවා නම් තරමක් ප්‍රවේශම් වීම හොඳයි. බොහෝ විට සුළු සුළු අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතින බැවිනි. බොහෝ විට මේ මුලකුර සහිත නම් හිමියන් සමස්තයක් ලෙස නිරෝගිමත් ජීවිතයකට උරුමකම් කියන අතර දීර්ඝායුෂ විඳීමේ හැකියාව ද පවතී. මොවුන් තීන්දු තීරණ ගැනීමේදී තරමක් නම්‍යශීලී වීම වැදගත් වෙයි. සමහර අවස්ථාවල මොවුන් දැඩි තීන්දු තීරණවලට එළඹෙන ගතිය පවතී. එහෙත් කාගෙවත් සිත් රිදවීමට මොවුන් කැමති නොවන අතර තේරුම් ගෙන හෙමින් සැරේ ඔවුන්ගෙන් ඉවත් වන ස්වභාවයක් පවතී. මොවුන් යම් දෙයකට ඇබ්බැහි වුවහොත් එයින් මිදීම පහසු නැත. ඉතා ඉක්මනින් ඇබ්බැහි වන ගතිය මොවුන් තුළ පවතී. දැඩි අන්තවාදීව ක්‍රියා කිරීම සමහර විට දුර්වලතාවයක් ලෙස පෙන්වා දිය හැකිය. කෙසේ නමුත් ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නට මොවුන්ට සිදු වන අතර අවසානයේ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත් වෙයි.

J අකුර

J අකුර හිමි පුද්ගලයන් නීතිගරුක සාධාරණ පුද්ගලයන් ලෙස හැඳීන්විය හැකිය. කාටත් එක හා සමානව කටයුතු කරයි. වැරදි දේ වැරදි ලෙසත් නිවැරදි දේ නිවැරදි ලෙසත් දැකීම මොවුන්ගේ ස්වභාවයයි. අයුක්තියට අසාධාරණයට කිසිවිටෙකත් හිස නවන්නට කැමැති නැත. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඉදිරියට යයි. සංවේදී හිතක් සහිත මොවුන් කරුණාවන්ත පුද්ගලයන් ලෙස ද හැඳීන්විය හැකිය. අන් අයගේ අවවාද උපදෙස්වලට ගරු කරයි. තමාගේ වරදක් යම් අයෙක් පෙන්වා දුනහොත් ඉතා නිහතමානීව පිළිගැනීමට කැමති වෙයි. මොවුන් සමග ඕනෑම දෙයක් සාකච්ඡා කර විසඳා ගැනීමට පුළුවන. දළදඬු දැඩි තීන්දු තීරණ හා ප්‍රතිපත්තිවලට යන්නේ නැත. එහෙත් තම ආධිපත්‍යය පතුරුවාගෙන ජීවත් වීමට ප්‍රිය කරයි. තමාගේ තත්ත්වය, තරාතිරම රැක ගැනීමට උත්සාහ දරන අතර ඒවා රැක ගැනීම වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට ඉදිරිපත් වෙයි. මොවුන් තම ආත්ම ගරුත්වය පිළිබඳවද සැලකිලිමත් ව කටයුතු කරයි. සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය සහ ගෞරවය ද මොවුන් අපේක්ෂා කරනු ඇත. මොවුන් සමාජයේ කාටත් කරදරයක් නැතිව යහපත්ව ජීවත්වන මිනිසුන් කොටසක් ලෙස හැඳීන්විය හැකිය. ඉතා තදින් ම නිදහස ප්‍රිය කරන අතර තමාගේ ස්වාධීන බව ආරක්ෂා කරගෙන කටයුතු කරයි. මොවුන් සමාජ සම්මතයන්ට අනුව කටයුතු කරන අතර සෑම දෙයක් පිළිබඳව ම ගැඹුරු දැක්මකින් යුක්ත වෙයි.

කා සමගත් සුහදව අන්‍යෝන්‍ය එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම මොවුන්ගේ ස්වභාවයයි. රණ්ඩු සරුවල්වලට පැටලීමට මොවුන් කැමති නැත. නිරන්තරයෙන් සාමකාමී පරිසරයක් අපේක්ෂා කරයි. මොවුන්ගේ නිදහස්කාමී ජීවිතයේ විටෙක ඒකාකාරී බවක් ද දැකිය හැකිය. කොහොම වුණත් මොවුන් වැඩි කලබලයක් නැතිව තමන්ගේ ගමන ඉලක්කය කරා හෙමින් සැරේ මෙහෙයවන පුද්ගලයනය. හොඳ නරක තෝරා බේරා ගෙන කටයුතු කිරීමේ හැකියාවක් මොවුන්ට ඇත. සමහර විට ඉතා කාර්යබහුල ලෙස ජීවිතය ගත කිරීමට සිදු වෙයි. මොවුන් රැකියා කටයුතුවලදී තමාගේ වැඩ කොටස නිමකොට නිහඬව පසෙකට වෙයි. කොහොම වුණත් හීන් නූලෙන් තමන්ගේ කටයුතු ජයග්‍රහණය කරා ගෙන යන්නට මොවුන් ඉතා දක්ෂ පුද්ගලයන් වෙයි. ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී අවංක හැඟීමකින් ක්‍රියා කරයි. අන් අයගේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීමට මොවුන් දක්ෂ වෙයි. කොහොම වුණත් බොරුවෙන් වංචාවෙන් ජීවත් වීම ප්‍රිය නොකරන මොවුන් සත්‍යවාදී පුද්ගලයන් ලෙස හදුන්වා දිය හැකිය. මොවුන් ඉතාමත් දක්ෂ මෙන්ම බුද්ධිමත් පුද්ගලයන් ලෙස ද හැඳීන්විය හැකිය. හොඳ පරිකල්පන හැකියාවක් මොවුන් සතු වෙයි. අලුත් අලුත් දේ ඉගෙන ගැනීමට ආසා කරයි. ඉගෙන ගැනීමට උනන්දුව උත්සාහය පවතී. සෑම දෙයක් ගැනම සූක්ෂ්ම ලෙස සිතා බලා තීන්දු තීරණ ගනියි. ඔවුන්ට හොඳ කථිකත්වයක් පවතින අතර කතාවට ද දක්ෂ පුද්ගලයන් වෙයි. අන් අය එකඟ කරගත හැකි වාග් විලාශයක් පවතී. හෙමින් සීරුවේ වැඩි කලබලයක් නැතිව සාර්ථකත්වය කරා පියමන් කරන මොවුන් අවසානයේ ජයග්‍රාහී ඉලක්ක වෙත ළඟාවෙමින් ජීවිතයේ සාර්ථකත්වය ස්ථාවර කර ගැනීමට සමත් වෙයි.

K අකුර

ඔබේ නම පටන් ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ කේ අකුරෙන් නම් ඔබව තේරුම් ගැනීම අන් අයට එතරම් පහසු නැත. යම් කෙනෙක් ඔබ මෙසේ යැයි කියා සිතුවොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔහු සිතූ ආකාරයට වඩා ඔබ වෙනස් බව වැටහේ. ජලය මෙන් ඒ ඒ තැනට ගැළපෙන ආකාරයට වෙනස් වීමේ ස්වභාවයක් ඔබ තුළ ඇත. පිටතින් බලා මේ අය පිළිබඳ තීන්දු තීරණවලට එළැඹීම යුක්තිසහගත නොවේ. ඇත්තෙන්ම මොවුන් අහිංසක මිනිසුන් කොටසක් ලෙස හැඳීන්විය හැකිය. බොහෝ විට බාහිර පාර්ශ්වයන්ගේ පීඩාවන්ට ලක්වන මොවුන්ට මානසික ආතතියට නිරන්තරයෙන් ලක් වීමට සිදු වෙයි. ජීවිතයේ කාටත් කරදරයක් නැතිව නිදහසේ ගත කිරීමට මොවුන් ඉතා කැමතිය. එහෙත් එම නිදහස වැඩි කාලයක් රඳා පවත්වා ගැනීමට හැකි වන්නේ කලාතුරකින් කෙනකුටයි. මොවුන් බොහෝ ඉක්මනින් කලබලයට පත්වන ස්වභාවයෙන් ද යුක්ත වෙයි. පුංචි දෙයකින් පවා හිත කලබල කර ගන්න ගතියක් පවතී. යමක් කිරීමට පෙර බොහෝ කල්පනා කරයි, සිතා බලයි. මුදල් හදල් වියදම් කිරීමේදී බොහෝ පරෙස්සම් සහගත වෙයි. නිකරුනේ නාස්ති කිරීමට කැමති නැත. අත්‍යවශ්‍ය දේවල් සඳහා පමණක් මූලිකත්වය දීම මොවුන්ගේ ස්වභාවයයි. මොවුන් සමාජයේ තරමක් නිහඬ චරිත ලෙස ද හැඳීන්විය හැකිය. තම චරිතය පිළිබඳ ඉහළින් සැලකිලිමත් වන මොවුන් තම ආත්ම ගරුත්වය රැක ගැනීමට උපරිමයෙන් ක්‍රියා කරයි. මොවුන්ට වඩාත් උචිත වන්නේ නිදහසේ කටයුතු කළ හැකි වෘත්තීන් ය. වෘත්තීය ජීවිතය තුළ මානසික පීඩාවන්ට ද ලක් වන අවස්ථා එමටය. කාගෙන්වත් දොස් පරොස් ඇසීමට මොවුන් කිසිසේත් කැමති නැත. එමගින් මානසික ආතතියටත් කලබලයටත් ඉතා ඉක්මනින් පත්වන ගතියක් මේ අය තුළ ඇත. නිදහස් විනෝදකාමී ගතිද මේ අය තුළ පවතී. එහෙත් මොවුන් සමීපව ඇසුරු කරන්නේ තෝරා බේරාගත් සීමිත කොටසක් සමඟ පමණි. මොවුන්ට අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය ඇතත් ජීවිතයේ බැරෑරුම් අවස්ථාවලට මුහුණ දීමට බිය වන ගතියක් ඇත. එයට හේතුව මොවුන්ට දැඩි සංවේදී හිතක් පැවතීමයි. ඔවුන්ගේ මේ සංවේදී බව ජීවිතේ බාධාවක් ලෙස ද සැලකිය හැකිය. අන් අයට උදව් කිරීමට ඉදිරිපත් වන මොවුන් අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබා දීමට කටයුතු කරයි. මේ අය තුළ තරමක් දුරට ගුප්ත ස්වභාවයක් ද පවතී. රහස් හෙළි කරන්නේ ඉතා විශ්වාසවන්ත නම් පමණි. ලෙහෙසියෙන් පහසුවෙන් කෙනකු විශ්වාස කරන්නේ නැත. අලුත් ආගන්තුක අය සමඟ වුව ද විශ්වාසවන්ත බව සහ ළෙන්ගතු බව දැනෙන ආකාරයට කටයුතු කිරීමට මොවුන් දක්ෂ වෙයි. ඒ නිසයි මොවුන් අන් අයට තේරුම් ගැනීමට පහසු නොවන්නේ. එහෙත් කාටත් වරදක් කරන්නේ නැත. තේරුම්ගෙන ඈත් වීම මොවුන්ගේ ස්වභාවයයි. නිර්මාණශීලී භාවය අතින් ද මේ අය ඉතා ඉදිරියෙන් සිටී. චිත්‍ර, සංගීතය, නැටුම් වැනි සෞන්දර්ය අංශවලට ද මොවුන් දක්ෂතාවය දක්වයි. ජීවිතය නිවී සැනසිල්ලේ ගත කිරීම මොවුන්ගේ අපේක්ෂාව වෙයි. එහෙත් මොවුන්ට ජීවිතයේ බොහෝ අභියෝග ප්‍රශ්න සහ ගැටුම්වලට මුහුණ දීමට සිදු වන බව කිව යුතුය. කුමන ප්‍රශ්න ආවත් ඒ සියල්ල අවසානයේ ජයග්‍රහණය කිරීමේ හැකියාව මොවුන් තුළ ඇත. ඉගෙනීමට සහජ හැකියා දක්ෂතා තිබෙන අය වෙති. සෑම විටම අලුත් විදිහට නිර්මාණශීලීව සිතීමේ හැකියාවක් මොවුන්ට තිබේ. එමෙන්ම හොඳ කථිකත්වයක් ද මොවුන්ට පිහිටයි. ජීවිතේ අවදානම් ගැනීමේ දී බොහෝ ප්‍රවේශම් වීම මොවුන්ගේ ස්වභාවයයි. අනතුර කලින් දැක එයින් බේරීමට කටයුතු කරයි. ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී මොවුන් හැඟීම්බර පුද්ගලයන් ලෙස ක්‍රියා කරයි. ප්‍රේම සබඳතා රහසිගත ලෙස පවත්වා ගැනීමට කටයුතු කරයි. මොවුන් වැඩි කොටසක් විවාහ ජීවිත සාර්ථකව ගෙවනු දැකිය හැකිය. ජීවිතයේ විවිධ දුෂ්කරතා සහ අත්දැකීම් වලට මුහුණ දී තෙම්පරාදු වී සිටින මොවුන් අවසානයේ මධ්‍යස්ථ පිළිවෙතක ජීවිතය ගෙවනු පෙනේ. කෙසේ වෙතත් අවසානයේ හෙමින් සැරේ තම ඉලක්ක වෙත ළඟා වෙමින් ජීවිත⁣⁣යේ සාර්ථකත්වය උදාකර ගැනීමට සමත් වෙයි.

(අනෙකුත් අකුරු පිළිබඳ විස්තර ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

ඡ්‍යොතිර්වේදී

අමිල ජීවන්ත දීපාලෝක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.