සැප්තැම්බර් 06 - 12 අතර උපන් ඔබ...

සැප්තැම්බර් 6, 2024

සැප්තැම්බර් 06

(පෞද්ගලික අංකය 6)

ඔයා ඉතා ප්‍රේමණීය චරිතයක්. ඒ නිසාමද මන්දා වන ඹබරෙක් වගේ තරුණ වියට පා තැබීමත් සමඟ ලෞකික හා ආධ්‍යාත්මික යන දෙමංසලක කුමන මඟ යනවාදැයි තීරණය ගැනීම ඔබට මහත් වෙහෙසකාරී අත්දැකීමක් වේනවා. ඔබ නිතරම පිරිස් පිරිවරා සිටින්න කැමැතියි. එයින් ආර්ථික වාසිත් ඔබට හිමියි. නිවාස හා ඉඩම් ලැබීමද සහතයි. කලා මාධ්‍යයන්හි දක්ෂතා ඇත්නම් හිණිපෙත්තටම වුව පහසුවෙන් ළඟා වීමේ වාසනාව ද තිබෙනවා. ඔබ එළිමහන් ජීවිතයට ප්‍රියයි. එමෙන්ම හැකි හැම විටම මහා පරිමාණ කෘෂි හා සත්ත්ව ගොවිපළ ආදියේ මුදල් යොදවන්නත් ඔයා ආසයි. සතුරාට වුවත් මෛත්‍රිය පතුරුවන හොඳ හිතක් ඔබ තුළ පවතින්නේ. ඒත් අනුන්ගේ රූකඩයක් වන්න අකමැති තැනදී දන්නවා පෙණය පොඩ්ඩක් පුම්බන්න. අනික් අයට ප්‍රිය වචනයෙන් විතරක් නෙවෙයි හැකි නම් රස ආහාර පාන ආදියෙනුත් නිතර සලකන්න ඇත්නම් ඔබට ඊට වඩා සතුටක් තවත් නෑ. සුරාව, නුරාව හා සුඛෝපභෝගී ජීවිතය සමඟ පරිවාර බලය ඔබගේ කර්ම ශක්තිය අනුව ඔබට අඩු වැඩි වශයෙන් හිමි වේවි. ඔබේ ජීවිතයේ සුඛෝපභෝගී නැඹුරුව වැඩිවන තරමට වයස අවුරුදු 51 සිට ඔබට හෘද්‍යාබාධ හා කොලෙස්ටරෝල් විසින් සිදු කරනු ලබන අනතුරු ඇඟවීම් කල්තියාම හඳුනා ගත හැකිවුවොත් ජීවිතය ගොඩ යාවි. අතමිට හෝදාපාළුවට ලක්වෙන එක ගැන දැන්ම පියවරක් නොගත්තොත් වයස 60 න් පස්සේ ඔයාලා පසුතැවෙයි. හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා (1944), යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා (1991) යන මහත්තුරුත් ඔබේ උපන් දින සගයෝ කියාලා ආරංචියි.

 

සැප්තැම්බර් 07

(පෞද්ගලික අංකය 7)

ගුප්ත ශාස්ත්‍ර ගැන සැක කිරීම හා විවේචනාත්මකව බැලීම ඔබ තුළ කැපී පෙනෙනවා. එමෙන්ම ඔබ තුළ ඇති ද්‍රව්‍යවාදීභාවයත් නිරායාසයෙන්ම මතුවෙනවා. කලාත්මක අංශයේ දක්ෂතා ද සුවිශේෂීව කැපී පෙනෙනවා. වසය 40 පමණ වන තෙක් දියුණුව මන්දගාමී බවක් පෙන්වනවා. ඊට හේතුව ද මේ සැකයයි. එනිසාම ආර්ථික දියුණුව සලසාගත හැකි මාර්ගවල මුදල් යෙදවීමටත් ඇති වන්නේ උදාසීන හා මසුරු ස්වභාවයක්. ඔයා ආශ්‍රය කරන යහළුවන් හැම කෙනෙක්ම පාහේ අමුතු ස්වභාවයේ අයවීම ඇත්තෙන්ම පුදුම සහගතයි. උපන් මාසයෙන් ලැබෙන බුද්ධිමත් බව නිසාම නිතර අවබෝධයකින් යුතුව පින් දහම් සිදුකිරීමට වගේම බණ භාවනාවේ නිරතවීමටත් ළැදි වේවි. වැඩි විච්චූර්ණවලට වියදම් කරන්න අකැමැති වුවත් තියෙන විදිහට ලස්සනට අඳීන්න පලඳින්නත් ඔයා ඉතා කැමතියි. ශරීරයේ ශක්තිමත් බවක් නැතත් පිරුණු ස්වභාවයක් තමයි පෙන්වන්නේ. උත්සාහ කළොත් පහසුවෙන්ම විදෙස්ගත වීමේ හැකියාවකුත් පවතිනවා. අඩුම තරමින් විදෙස්ගත නෑදෑ හිත මිතුරන්ගෙන් හෝ ඔබට වාසි සැලසෙනවා. හැකි හැම විටම හොඳීන් වතුර බොන්න. කොළකැඳ හෝ එවැනි ඇඟ නිවන පානයන් අරගන්න. මොකද යටිබඩ ආශ්‍රිත ගැටලු ඔබට අන් අයට සාපේක්ෂව වැඩි නිසා. ඔබ විවාහක දරුවන් අපේක්ෂිත කාන්තාවක් නම් අදාළ කාල සීමාව තුළ බොහෝ විට වෛද්‍ය උපදෙස් පිළිපැදීම සුබදායක වේවි.

රේණුකා හේරත් (1945) හා ඉන්දික බණ්ඩාරනායක (1972) යන දේශපාලන චරිතත් ඔබගේ උපන් දිනයටම අයිතියි.

සැප්තැම්බර් 08

(පෞද්ගලික අංකය 8)

ඔයා පමණට වඩා මිනිසුන්ව සැක කරනවාද? අසාමාන්‍ය විෂයන් හොර රහසේ ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි ඒවායේ ප්‍රතිපලත් රහසේම තියා ගන්නවා නේද? හදවතට එකඟවම කැපවෙලා කොච්චර නම් හොඳ කළත් කාගෙන්වත් හොඳක් අහ ගන්නවා නම් බොරු. ඒ ඔක්කොමත් විඳ දරාගෙන වෙනසක් නැතිව ඉන්න ඔය මානසික ශක්තිය මනින්න පුළුවන් තරගයක් තිබුණොත් ඔයා ඒකෙන් එක. ඔබේ ජීවිතයේ ජය මාවතට ප්‍රවිශ්ටවීම ඇරඹෙන්නේ හරියටම වයස 40 න් පස්සෙයි. අංක 8 න් උපදින අය ක්‍රමාණුකූලව වැඩ කරන්න කැමැතියි.

නායකත්වය හඹා යනවා. හැම තිස්සෙම තමන් පිළිබඳ අධි තක්සේරුවකින් කටයුතු කරන්නේ. හීන්සීරුවේ සැලසුම් සකස් කර ක්‍රියාත්මක වනතුරු ඉවසීමෙන් බලා සිටීමට ඔබ දක්ෂයි.

බුධ(-) බලපෑමට නතුව මේ කාලයේ උපදින බොහෝමයක් මොළෙන් හොඳ හැටි වැඩ ගන්න බැරිනම් කටින් ගහලා හරි ජය ගන්න දන්නවා. කුඩා කාලයේ සමාජයට බයේ හැංඟිලා වගේ හිටියත් සමාජයෙන්ම බැටකාලා ලබන අත්දැකීම්වලින්මයි පරිණත බව ලබන්නෙත්. තැලිලා තැලිලා අවසානයේ පන්නරය ලබා දවසක සමාජයට අභියෝග කරන්නේ ලොවට රහසේ කඳුළු සැඟවූ ඒ අහිංසක හදවත්මයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර (1962), සනුද්‍රි ප්‍රියසාද් (1991) යන දේශපාලන හා කලා තරු ඔබත් සමඟයි දිවි මගේ සැතපුම් කණු පසු කරන්නේ

සැප්තැම්බර් 09

(පෞද්ගලික අංකය 9)

සැප්තෑම්බරයේ බුධ(-) විසින් පැසුණු බුද්ධිය වගේම ප්‍රයෝගයෙහි සමත් බව ලබා දෙනවා. ඊටම කුජගේ බලයත් එක්වූ විට ඇති වන තත්ත්වය හිතා ගත්තෑකිනේ? ශූර බුද්ධියයි බාහු බලයයි එකට එක් වූ තැන කුමක්ද කළ නොහැක්කේ? පෞද්ගලික අංකය තනි ඉලක්කමෙන් 9 ක් වනවා කියන්නේ සෙබළ විලාශයක්. ජීවිතයේ මඟ හමුවන සෑම අභියෝගයකටම මේ අය දිරියෙන් යුතුව මුහුණ දෙනවා. දහසකුත් එකක් දුෂ්කරතා මැද වුවත්. පෞද්ගලික අංකය කුජගේ ශ්‍රේණියට අයත් වීම නිසා ඔබ වැනි අය ළමා කාලයේ නොකඩවා විවිධ වසංගත රෝගාබාධවලින් පීඩා විඳීනවා. ලෙඩ රෝගවලින්ම පත්තියම් වෙලා දවසක ශරීර අභ්‍යන්තරයෙන්ම මතුවන ප්‍රතිශක්තියම තමයි ඔබට එරෙහි ඕනෑම බලවේගයකට ප්‍රතිරෝධයක් හැටියට ක්‍රියා කරන්නේ.

උපහාසාත්මකව නිරතුරු අන් අයව විවේචනයට ලක් කරන්න ඔයා තරම් රුසියෙක් තවත් නෑ. ඒ වගේම තමයි ඔය වගේ නිදහස් මතධාරී දාර්ශනිකයෝ මේ ලොව විරළයි. කෘෂි අංශය ප්‍රමුඛ භූමිය ම්බන්ධ කර්මාන්තවලින් හොඳ ලැබීමක් ඔයාට තියෙනවා. ඔයා වගේ අයට වැඩි වශයෙන් මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට සිදු වෙනවා. ඒ වගේම තමයි ඒ ආශ්‍රිත අනතුරුවලින් මිදීමටත් ඔබ විසින් සම්මා සතිය උපරිමයෙන් යුතුව පවත්වා ගත යුතු වෙනවා. ගුවන් අනතුරුවලින් අවදානම වගේම වන සතුන්ගෙන් පවා හානි සිදුවීමේ වැඩි ඉඩක් පවතින නිසා පරෙස්සම දිගින් දිගටම පවත්වා ගැනීම වඩාත් යහපත් වේවි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක (1969) හා යොවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දසුන් චානක (1991) ඔබ සමඟ කොතෙක් දුරට සැසඳෙනවාදැයි බලන්න.

සැප්තැම්බර් 10

(පෞද්ගලික අංකය 1)

නැවත වතාවක් බුධ(-) මාසයක දෙවැනි වතාවට පෞද්ගලික අංක 1මතුවෙලා. දැන් ඔබට බුධට අමතරව පෞද්ගලික අංකයෙන් රවිගේ බලය ඉස්මතු වෙලා. ශූර බුද්ධියත් පාලන හැකියාව හා අභිමානය උපතින් උරුම ඔබ වැනි කෙනෙකුට මාස රාශි බලය විසින් ශූර උපක්‍රමශීලී බව උපතින්ම දායාද වුණාම ඇති වෙන ගැම්ම ඔයා වගේම ඔයාගේ පවුලේ අයත්, යටත් සේවකයනුත් හොඳීන් දන්නවා ඇති. හිතේ තියෙන දෙයක් ලෙහෙසියෙන් හෙළි කරන්නේ නැති ස්වභාවය නිසා ඔයා රහස් ගබඩාවක්. ඔයාට වෙන කවුරු හරි රහසක් කිව්වත් කිසිම දවසක ඒක හෙළි කරන්නෙත් නැති එක ගරු කටයුතු වෙනවා. අහංකාර වුණත් ඔයාට අනික් අය ආකර්ෂණය වෙන්නේ ඉබේමයි. ප්‍රශ්නයකදී සානුකම්පිතව බලන්නත් ඔයා දන්න නිසාම වෙලාවකට නීති කාරයා වුණත් උණුවෙන ඔය හිත ළඟ නොනැමෙන කෙනෙක් නෑ. මේ දිනයේ උපදින අය බොහෝ විට ප්‍රතාපවත් පෙනුමින් යුතුයි.

කොයි වෙලෙත් සිනා මුසු මුහුණින් තමයි ගත කරන්නේ. ක්‍රියාශීලී බව මෙන්ම විශාල ධාරිතාවයකින් යුතු මනස ස්වභාවයෙන්ම ඔබ ලද දායාදයක්. තර්කාණුකූල බව මෙන්ම භාෂා ප්‍රකාශනයේ චතුර ස්වභාවය විසින් නිරායාසයෙන්මයි ඔබව සමාජයේ ඉහළට ඔසවා තබන්නේ. මුදල්වලට ඇති දැඩි ආශාව නිසා නිසි ජීවන වෘත්තිය මුලදී තෝරා බේරා ගැනීමට අසමත් වුවත්, ඔබ සතු හැකියාවන් සියල්ලම අත්හදා බැලීමෙන් අනතුරුව ජීවිතයේ දෙවැනි අවදියේදී වෘත්තියමය වශයෙන් ස්ථාවර වන්නේ. ඔබට උසස් තානාන්තර මෙන්ම ව්‍යවසායක්තව අංශයේ හිමිකම් ද එකසේ පවතිනවා. පෙපාඩි දේටත් කලබල වන එක තමයි පොඩි අවුලකට තියෙන්නේ. ද්‍රවිඩ දේශපාලන ක්‍රියාකාරී ආනන්දි ශෂධරන් (1971) මහත්මිය වගේම යොවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නිශාන් මධුශංඛ (1999) ඔබත් සමඟ උපන් දින සමරනවා.

 

සැප්තැම්බර් 11

(පෞද්ගලික අංකය 2)

දෙවැනි පෙළින් නැවතත් සඳුගේ පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. මෙහිදී රවි දෙවරක් සංයෝග වීම නිසා රවිගේ බලයත් එයට වක්‍රව මුහුවෙලා තියෙන්නේ. පඨවි සස ත්‍රිවංකයේ බලපෑම වගේම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. ඔබගේ මනස නිර්මාණකරණයට හොඳ තෝතැන්නක්. කලාව වගේම උද්‍යාණ අලංකරණයට විතරක් නෙවෙයි රසායන විද්‍යා අංශයටත් ඔබේ නැඹුරුව වැඩියි. ඔබේ හැකියාවන් ව්‍යාපාරයක් ඔස්සේ මුදල් බවට පත්කර ගන්නත් උනන්දු වෙනවා නම් හොඳයි. ඔයාගේ තැන්පත් ස්වභාවයට බොහෝ යහළුවන් හා විරුද්ධ ලිංගිකයන් ආර්ෂණය වෙනවා. ආදරය සම්බන්ධව ඔබට නිරවුල් අදහසක් නෑ. එහෙත් සහකරුට ඇති ආදරය ඔබේ හදවතේ නම් දෝර ගලනවා. නොගැළපෙන විවාහ සම්බන්ධතා දික්කසාදයෙන් පවා කෙළවර වේවි. කොහොම වුණත් සාර්ථක විවාහයක් සිදු වෙන්නේ නම් ජීවිතයේ මැදිවියේදී ඔබ ලබන පරිනත බවින් පසුවයි. වෙනත් තැනෙක සිදුවන දේ දැනීමේ සුවිශේෂී ශක්තියක් ඔබ සතුයි. එහෙත් එය රහසක් හැටියට තබා ගැනීමට ඔබ කැමැතියි. ඔයාගේ මානසික සංයමය පාලනයකින් තොර වුණොත් අන් අය අතර නින්දාවට පාත්‍ර වේවි. ඔබ අසාර්ථක වෙද්දී ඔබගේ මානසික පීඩනය කවුරුන් වෙත හෝ මුදා හැරීමට පෙලඹීය හැකියි. මේ නිසා ගැටලු සහගත කාලවලදී ආගමානුකූල ජීවිතයක් ගත කිරීම ඔබට මානසික සහනයක් වේවි.

ප්‍රවීණ ලේඛක බන්දුල විතානගේ (1940) මෙලොව උපත ලැබුවේ මෙවැනි දිනකයි.

සැප්තැම්බර් 12

(පෞද්ගලික අංකය 3)

දෙවැනි පෙළින් නැවතත් ගුරුගේ පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. මෙහිදි රවි හා සඳු සංයෝගයෙන් වඩා ප්‍රබලව නැඟී සිටිය හැකියි. පඨවි සස ත්‍රිවංකයේ බලපෑම වගේම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. කළ නොහැකි කටයුතු භාර නොගැනීම ඔබ සතු සුවිශේෂී ලක්ෂණයකි. ආරම්භ කළ කටයුත්තක් වෙනුවෙන් කෙසේ හෝ අන් අයට බලය පතුරා එය ඉටු කර ගැනීමට ඔබ සතුවන්නේ සුවිශේෂී හැකියාවක්. ඔබ ලෙහෙසියෙන් සෑහීමකට පත් වෙන්නේ නැත. හිතේ තදින් බලපවත්වන ඉහළ යාමේ ආශාව මානසික අවපීඩනයකට ලක් වීමෙන් නිමාවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. අතමිට මුදල් ගැවසෙන විට ඔබ ඉතා පරිත්‍යාගශීලී වුවද ඔබ එම මුදල් රැස් කරන්නේ නම් දැඩි මානසික පාලනයකින් යුතුවයි. ඔබ සතුව ඇත්තේ ප්‍රායෝගික මනසකි. පරිපාලනයේ ඔබ සුවිශේෂී දක්ෂතා දක්වන අතර ඕනෑම ගැටළුවක් පාලනය කර ගැනීමට සමත් වනු ඇත. නිතී රෙගුලාසි පනවා සැම විටම අනෙක් අයව කොටුකර ගැනීමට ඔබ විසින් නිතරම උත්සාහ දරනු ඇත. එසේ වුවද තමන් අතින් සිදුවන වරදක් අඩුපාඩුවක් කවරදාක හෝ පිළිගැනීමට තරම් නිහතමානී වන්නේද නැත. තමන්ට පහළ මට්ටමකින් විවාහයක් කරගත හොත් අසාමාන්‍ය අත්දැකීම් රැසක් අත් විඳීමටද සිදුවනු ඇත. විදෙස් රැකියා හා මහජන සම්බන්ධතා ආශ්‍රිත රැකියා මඟින් ඔබගේ අතමිට සරු කෙරෙනු ඇත. යම් කාර්යයක් සාර්ථක කර ගැනීමට අවදානම් ලෙස තමන් සතු සියල්ල ඔට්ටු අල්ලන ස්වභාවය අන්‍යයන් විස්මයට පත් කිරීමට හේතුවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා ලසන්ති මධුශානි (1987) ඔබේ උපන් දින සගයෙක්.

 

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.