බඳින්න පෙර සිතා බලමු

අගෝස්තු 30, 2024

සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපට එදිනෙදා හමුවෙන අය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගත හැකිනම් ඔවුන් හා කටයුතු කිරීමට වඩාත් පහසු වෙයි. මේ සඳහා එක් එක් අය තුළ පිහිටි දේහ ලක්ෂණ ඔවුන්ගේ චරිතයන් තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත.

විශේෂයෙන් ඔබ සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට අපේක්ෂාවෙන් සිටින්නකු නම් ඇයගේ මේ දේහ ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන්නේ නම් එය ඔබේ යහපතට හේතුවනු ඇත.

කාන්තාවකගේ මුහුණ වටකුරුව හා පියකරු පෙනුමකින් යුක්ත නම් ඇය සැබැවින්ම භාග්‍යවන්තියකි. ඉතා දිළිඳු පවුලක උපත ලැබුවත් පසු කලෙක ඇය ධනවත් වන්නීය. තම පරපුර ද බබළවන්නීය. ඇය හා ගෙවන විවාහ ජීවිතය වඩාත්ම සාර්ථක වන අතර වාසනාවන්ත දරුවන් ද ලබන්නීය. මුහුණේ දිග, පළල එක සමානව ඇති මසින් පිරී ගිය මුහුණක් ඇති කාන්තාව වෙළෙඳ ව්‍යාපාරවලට දක්ෂයි. මුලදී සුළුවෙන් අරඹන ව්‍යාපාරයක් වුවද පසු කාලයකදී මහා පරිමාණ ව්‍යාපාරයක් බවට දියුණු කරගත හැකි වේ. දක්ෂතාවයක් මෙන්ම වාසනාවක් ඇය සතුය. සැපවත් නිවාස, දැසි දස්සන්, යාන වාහන ලැබ සතුටින් දිවි ගෙවීමට ද මෙවැනි කාන්තාවන්ට හිමිකම් ඇත.

කාන්තාවකගේ නළල් තලය ද පැරණි ඍෂිවරුන් මහත් අභිරුචියකින් වර්ණනා කරන ලද්දේය. අඩ සඳක් මෙන් ශෝභමාන පුළුල් නළල් තලය සෞභාග්‍යවත් නාරි ලක්ෂණයක් ලෙස හඳුන්වා ඇත. මෘදු, මොලොක් වදන් පවසන ඇය සියලු සම්පත් ලැබීමේ පින්ඇති තැනැත්තියකි. ඇය සැබැවින්ම කාරුණිකය. මනුෂ්‍යයන් අතර දෙවඟනක් හා සමානය. නළල් තලයේ දකුණු පැත්තේ උපන් ලපයක් පිහිටි කාන්තාවගේ විවාහ ජීවිතය අසාර්ථක වන අතර එවන් ලකුණක් නළලේ වම්පසින් පිහිටියේ නම් ඇය ස්වාමියාට ද්‍රෝහි වනු ඇත.

කාන්තාවකගේ ලලාටයෙහි දකුණු පැත්තට බරව තල කැළලක් හෝ ඉන්නෙක් පිහිටීම සුබ ලකුණක් බව පූර්වාචාරීන් විසින් නිගමනය කර ඇත. පින්වත් පුරුෂයකුට බිරිය වන ඇයට සුපින්වත් දූ පුතුන් ලැබ සතුටින් ජීවත්වීමට වාසනාව ඇත.

ඇහි බැමේ සිට ඉදිරියට නෙරා ඇති නළලක් පිහිටියේ නම් අහංකාර සිත් ඇතිවීම ද, කපටි ගති ද, වාද විවාදවලදී ඉතා ඉක්මනට කෝපවන ගතිය ද, බද්ධ වෛරය ද, නොකොටයුතුකම්වලින් සතුරන් ඇතිකර ගැනීම ද නිතර අසනීපවලින් පෙළීම ද සිදුවේ.

යම් කතකගේ නාසය අග ඉතා මහත්ව පිහිටා මැද එය නැවී යන ස්වරූපයක් ගතහොත් එය ද අසුබ ලක්ෂණයකි. එබඳු කතුන්ට නොයෙක් විටදී යම් යම් කරදරවලට මුහුණපෑමට සිදුවේ. තවද ඔවුන් හදිසියේ ගන්නා තීරණ නිසා නොයෙක් දුක්කම්කටොලුවලට මුහුණපානු ඇත.

ගිරවෙකුගේ මෙන් නාසය ඇති කාන්තාවන් ඔබ කොතෙකුත් දැක ඇති. එබඳු කතුන් ඉතා ආඩම්බර ගති පැවතුම් ඇති, හිතුවක්කාර, කපටි අදහස් ඇති අය ලෙස හඳුනා ගෙන ඇත. මොවුන් අනුන්ට උගුල් අටවන, කේලාම් කියන අතර තමන්ගේ තත්ත්වය උසස් කර ගැනීමට ද උත්සාහ කරයි.

අලංකාර ලෙස දික්ව කෙලින් නාසයක් පිහිටා ඇති කාන්තාවට නොයෙක් සුබපල ගෙන දෙයි. යන එන හැම තැනකදීම මුල්තැන ලැබෙයි. මෙබඳු කාන්තාවන් ද ඉතා වාසනාවන්තය. සැප සම්පත් හිමි යහපත් සැමියෙකු ද මෙවැනි කතුන්ට ලැබෙනු ඇත.

දික්වූ නාසයක් පිහිටි කාන්තාව වුවමනාවට වඩා කරදර උසුලයි. මේ ලක්ෂණය ද ඉතා අසුබය. දැඩි ආත්මාර්ථකාමී ගති පැවතුම් ඇති මෙවැනි අය රහස් ජීවිත ගත කරන අතර සංචාරක කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වයි.

බැලූ බැල්මට පෙනෙන දෙබැම ද දේහ ලක්ෂණයේදී විශේෂ තැනක් ගනියි. දෙබැම අනුසාරයෙන් ද කාන්තාවකගේ ජීවන චරිත ලක්ෂණ විනිවිද දැකිය හැකිය. සුනිල වර්ණ, සුසිනිඳු රෝමයන්ගෙන් සුසැදි දේදුන්නක හැඩය ගත් බැමි යුග්මය ප්‍රශස්ත ලක්ෂණයක් බව පැරණි ඍෂිවරුන් ප්‍රකාශ කර ඇත. ඉසුරුබර දිවියකට හිමිකම් කියන ලාලනියන් කෙරෙහි මේ උත්තම ලක්ෂණ පිහිටන බව කියවේ.

ඇදක් නොමැති දෙපසට විහිදයන දෙබැම සුබ නොවේ. කාන්තාවක් කෙරෙහි අනිවාර්යයෙන්ම පිහිටිය යුතු ආචාරශීලී ගති පැවතුම් බොහෝවිට ඇය කෙරෙහි දක්නට නොලැබෙයි. ප්‍රමාණයට වඩා ලොම් ඇති බැම යුගලය ද අනිෂ්ට ලක්ෂණයක් බව දැනගත යුතුය.

කාන්තිමත් පෙනුමකින් යුත්, නිල් පැහැයෙන් යුත් නෙත් යුවළක් හිමි කාන්තාව බොහෝ සම්පත් ලබයි. ඇය ලබන පුරුෂයා ද වාසනාවන්ත දූ දරුවන් ලැබ දිවි ඇති තුරාම සතුටින් ගත කරයි. පෙනෙන, නොපෙනෙන තරමක් වපරය ඇති කාන්තාව ද යහපත්ය. විවාහයෙන් පසු සැමියා ධනවත් වේ. ඇස් තද රක්ත වර්ණ නම් කාමුකයි. ඇස් ලොකු නම් පතිදම් රකියි. සුදු පැහැති ලස්සන දත් දෙපලක් ඇති ලලනාවන්ගේ සුසුදු සිනහව සෞභාග්‍යයේ සංකේතයක් වෙයි. දුක් කම්කටොලුවලින් තොර ජීවන ගමනක යෙදෙන එවන් කාන්තාවෝ වාසනාවන්ත දූ පුතුන් ලැබීමේ වරම් ලබන්නාහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.