ඡ්‍යොතිෂ ශාස්ත්‍රය නව මානයකට ගෙන ගිය ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියා

එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න
නොවැම්බර් 10, 2023

 

“දක්ෂ විචක්ෂණ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකුගේ දසනතුරින් පිටවන සාරවත් කියමන් නිසා මහජනයා වශී වන්නේ දිව්‍ය මන්ත්‍රයටත් වඩා බලවත් ලෙසය. කොතරම් පාප ග්‍රහයකුගේ වුවත් අගුණ මකා දමන ශුභ දෘෂ්ටි ආදිය සොයා ගනිමින්, ලබන්නට යන පාප දශාවකට අස්ථාන භයෙන් මිරිකී සිටින්නකුගේ කොතරම් අමිහිරි උපහාසයක් වුවත් පහව යන ලෙස ස්වකීය වාග් රසයෙන් රසවත් කොට දක්වා සනසවන බැවින් එයට ආශා නොකරන, කන් යොමු නොකරන කිසිවෙක් මේ මිහිපිට නැත.”

ඡ්‍යොතිෂවේදියකු සතු විචක්ෂණශීලි බව, ගුණවත් බව සේම ඡ්‍යොතිෂවේදියාගේ බල මහිමය පිළිබඳව එලෙස සටහන් කරන්නේ මෙරටට සිටි කීර්තිමත් ඡ්‍යොතිෂවේදියෙකි. ඔහු මෙරට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අමිල මෙහෙවරක් කළ පඬිරුවනකි. නමින් ඔහු එස්.ඩබ්.කස්තුරිරත්න වන්නේය. ඔහු විසින් ලියන ලද “හඳහන’ ඡ්‍යොතිෂ ග්‍රන්ථයේ දැක්වෙන සටහනකි මා ඉහත ගෙනහැර දැක්වූයේ.

ඉන්දියාවේ ප්‍රකට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් වූ ලහිරිතුමා, ක්‍රිෂ්ණ මූර්තිතුමා, එංගලන්තයේ රෆායල් තුමන් මෙන්ම ශ්‍රී ලංකාවට ද එස්.ඩබ්. කස්තුරිරත්නයත් වූ කලී අගනා ඡ්‍යොතිෂ පඬිරුවනක්ම වන්නේය. පෙරදිග ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ අක්මුල් මෙරට ස්ථාපනය සඳහා මහා මෙහෙවරක් ඉටු කළ මේ විද්වත් ඡ්‍යොතිෂවේදියා පිළිබඳ කතාබහ කළ යුතුම කාලවකවානුවකි මේ. මෙලෙස ලියැවෙන්නේ මේ අග්‍රගණ්‍ය ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයා පිළිබඳවය.

 

උපත

 

ගම්පහ සියනෑ කෝරළයේ වේයන්ගොඩ පත්තල ගෙදර දී 1911 නොවැම්බර් මස 11 වැනි දින උපත ලද කස්තුරිරත්න මහතාගේ සම්පූර්ණ නාමය වූයේ කස්තුරි ආරච්චිගේ සැම්සන් විජයවර්ධන කස්තුරිරත්නයි.

කුඩා කල සිටම අධ්‍යාපනයට උපන් හපන්කම් දැක්වූ කස්තුරිරත්නයන් යොවුන් වියට එළැඹෙත්ම අහසේ ග්‍රහ වස්තූන් මෙන්ම තාරකා කෙරෙහිද විශේෂ උනන්දුවක් දක්වන්නට විය. ඒවා පිළිබඳ විමසා බලන්නට, පරීක්ෂණ පවත්වන්නට කටයුතු කළේය. මෙහි ප්‍රතිඵලයක් වූයේ කස්තුරිරත්න තරුණයා තාරකා ශාස්ත්‍රය සේම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් දැඩි ඇල්මකින් යුතුව ප්‍රගුණ කරන්නට පෙලඹීමය.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීම

 

සාහිත්‍ය කලාව, බෞද්ධ දර්ශනය, භාෂා ශාස්ත්‍ර හැදෑරූ කස්තුරිරත්නයන් එවකට වේයන්ගොඩ විසූ ප්‍රවීණ හිමිනමක් වූ පූජ්‍ය මාකොළ ප්‍රඤ්ඤා ශ්‍රී හිමියන්ගෙන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නට විය. එලෙස ඡ්‍යොතිෂය පිළිබඳ මූලික අඩිතාලම දමාගත් එතුමන් ඉන්දියාවට ගොස් එහිදී තාරකා විද්‍යාව, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, ගණිතය මෙන්ම සංස්කෘත භාෂාව හැදෑරුවේය. එහිදී බී.වී.රාමන්, ප්‍රවීණ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයා සමඟ කටයුතු කරන්නට ඔහුට හැකි විය. මෙලෙස බී.වී.රාමන් ඇතුළු පඬිවරුන් සමඟ ඡ්‍යොතිෂශාස්ත්‍රීය ගවේෂණ සිදුකරමින් තාරකා ශාස්ත්‍රය පිළිබඳ පර්යේෂණ සිදුකරන්නට ඔහුට හැකිවිය. නිතර ඒවා පිළිබඳ කතා කරමින් නව සිද්ධාන්ත ගොඩනඟන්නට ඔවුනට මෙමඟින් හැකි විය. මේ දැනුමත් සමඟ ලංකාවට පැමිණ මෙරට ඡ්‍යොතිෂය ශාස්ත්‍රය වෙනුවෙන් සුවිසල් මෙහෙයක් කරන්නට ඔහු කටයුතු කළේය.

 

පෙරදිග ඡ්‍යොතිර් විද්‍යාලය

 

ක්‍රි.ව. 1933 දී බණ්ඩාරවෙල පෙරදිග ඡ්‍යොතිර් විද්‍යාලය පිහිටුවමින් එහි විදුහල්පති ලෙස කටයුතු කළ එතුමා ශ්‍රී ලංකාවේ ඡ්‍යොතිෂය හදාරන්නන්ට ඡ්‍යොතිෂය ඉගෙනීමට පහසුකම් සළසා දුන්නේය. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල පාරම්පරිකව පැවැති විශේෂයෙන් චූල ඡ්‍යොතිෂ ක්‍රම පිළිබඳ එනම් සූර්ය සිද්ධාන්ත සහ ආර්ය සිද්ධාන්ත පිළිබඳ විමර්ෂණය කරමින් ඒවා ඉගෙනීමට ශ්‍රී ලංකාවාසීන්ට ද අවස්ථාව ලබා දී මඟ විවර කර දෙන්නට කස්තුරිරත්නයන්ට හැකිවිය. ඒ සඳහා ඔහු පෙරමුණ ගනු ලැබුවේය. එලෙසම තවත් අතකින් අමෙරිකාව, ජර්මනිය, එංගලන්තය වැනි රටවල ප්‍රචලිතව පැවැති නවීන ඡ්‍යොතිෂ සිද්ධාන්තයන් එනම් නවීන විද්‍යාවේ දියුණුවත් සමඟ එම රටවල ඡ්‍යොතිෂ විෂය ක්ෂේත්‍රය පරිගණක ගත වී නවීන ගණනය කිරීම් ඔස්සේ පැවැති ශිල්ප ක්‍රම ද මෙරට ඡ්‍යොතිෂවේදීන්ට හඳුන්වා දෙමින් එම ගණනය කිරීම් මෙරටට හෙළිකර දුන් ප්‍රවීණයකු ලෙසද මෙතුමා හැඳින්විය හැකිය. මේ නවීන ක්‍රම ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද එකල පිළිනොගැනුණන නමුත් ශ්‍රී ලාංකික ඡ්‍යොතිෂවේදින්ට පැරැණි ක්‍රම මෙන්ම නවීන සිද්ධාන්ත මඟින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය කටයුතු සිදුකරන ආකාරය හඳුන්වාදෙන්නට කස්තුරිරත්නයන් මේ ඔස්සේ සමත් විය.

ශ්‍රී ලංකාවේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පැරැණි ක්‍රම මඟින් පාරම්පරික ලෙස ඉදිරියට යන බවක් අතීතය පුරාම දක්නට ලැබුණි. මේ තත්ත්වය යම් තරමක් දුරට හෝ වෙනස් කරමින් විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ඒ සඳහා නවීන තාක්ෂණය භාවිත කරමින් ලංකාව තුළ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පරිගණක තාක්ෂණයෙන් ගොඩ නැගීමට කටයුතු කරන්නට නොබියව පෙරමුණ ගනු ලැබුවේ කස්තුරිරත්න මහතා බව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීමයි. මේ කටයුතු සිදු කිරීමේදි බොහෝ අභියෝගයන්ට, විරෝධතාවන්ට මුහුණපාන්නට සිදු වූ බව කස්තුරිරත්න මහතා වරින් වර සඳහන් කොට තිබේ. එහෙත් ඒ කිසිවකට නොබියව මුහුණ දී ඉදිරියටම එතුමා ගමන් කළේ මෙරට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් පරතෙරට ගිය ඡ්‍යොතිෂවේදීන් ගණනාවක්ද බිහිකරමිනි. ඒ සඳහා එතුමාණන්ට ශක්තියක් වූයේ එතුමා සතුව පැවැති අප්‍රතිහත ධෛර්ය හා ඡ්‍යොතිෂය පිළිබඳ මහත් වූ දැනීමය.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය දැනුම

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් පරතෙරට ගිය කස්තුරිරත්න මහතාට ඉන්දියානු ජාතික ලහිරිතුමාගේ ග්‍රහස්ඵුට ග්‍රන්ථ, එල්.ඩී.ස්වාමි තන්ත්‍ර පිල්ලෙයි තුමාගේ ඡ්‍යොතිෂ ග්‍රන්ථ, ආර්. සේවේල්තුමාගේ හා ඇස්.බී. ඩික්සන්තුමාගේ ග්‍රහචාර ග්‍රන්ථ, ඇල්, නාරායන රාවෝගේ හා පණ්ඩිත ගංගා ප්‍රසාද්ගේ ඡ්‍යොතිෂ ගණනය කිරීම පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් සේම හැදෑරීමක්ද තිබිණි. ඔහුගේ ඡ්‍යොතිෂ දැනුම දියුණු වීම කෙරෙහි මේ ග්‍රන්ථවල තොරතුරු ඉවහල් වූවාට සැක නැත. එලෙස පෙරදිග ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරූ එතුමා බටහිර ලෝකයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳවද මනා දැනුමක් සතු වූවෙක් විය. එවකට බටහිර ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ නම් දරා සිටි රෆායල් ගේ සායන ග්‍රහස්ඵුට ග්‍රන්ථ, පැරිසියේ ජේ. රිවර්ෂන්ගේ වසර 160 කට ගණින ලද ගහස්ඵුට ලිත්, ජෝර්ජ් මුවර් ගේ සායන ස්ඵුට ලිත් ගැනද ශාස්ත්‍රීය දැනුමක් අවබෝධයක් ලද්දේය. මේ සියල්ල දෙස මනා අවබෝධයකින් කටයුතු කරමින් නව ආරක ඡ්‍යොතිෂ ක්‍රමයක් කස්තුරිරත්නයන් ගොඩනඟන්නට කටයුතු කළේය. ඒ ලංකාවේ භාවිත කළ සූර්ය සිද්ධාන්ත ක්‍රමය සමඟ සන්සන්දනය කරමිනි.

 

ඡ්‍යොතිෂය පිළිබඳ ලියූ පතපොත

 

කස්තුරිරත්න මහතා නව ආරක ඡ්‍යොතිෂ ක්‍රමවේද සකස් කරමින් මෙරට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට පහසුවෙන් ඡ්‍යොතිෂ සිද්ධාන්ත තේරුම් ගත හැකි පොත්පත් රාශියක් රචනා කළේය.

“හඳහන් බැලීම”, ග්‍රහබල, ලහිරි ලිතෙන් හඳහන් හැදීම, බැලීම, මුහුර්ත ශුද්ධිය, 1950 - 2000 දක්වා දිනපතා ග්‍රහස්ඵුට ලිත, ඉන් කිහිපයකි. මේ කෘතීන්හි විශේෂ ලක්ෂණ කීපයක්ම වූ බව විචාරක අදහස වෙයි.

එනම්, පාරම්පරික ඡ්‍යොතිෂ සිද්ධාන්ත හා නවීන ඡ්‍යොතිෂ සිද්ධාන්ත ඉදිරිපත් කර පැවැතීමය. එලෙසම ඔහු විසින් පසු කලෙක මේ සිද්ධාන්ත වැඩිදියුණු කරමින් රචනා කරන ලද ඡ්‍යොතිෂ කෘති කීපයකි. ඒවා අදටත් ඡ්‍යොතිෂවේදීනට අත්පොත් බවට පත් ව ඇත.

ඡ්‍යොතිෂ්ශාස්ත්‍ර ඥානය, හඳහන් බැලීමේ ගුරු මුෂ්ටි, හඳහන ප්‍රථම කාණ්ඩය, හඳහන දෙවැනි කාණ්ඩය, වර්ෂ 1000 ඉදිරි පසු ගෝචර ඵල මේ අතර විශේෂ වේ. මීට අමතරව එතුමන් මෙරට ජීවත් වූ සියලුම ප්‍රභූවරුන්ගේ කේන්දර සටහන් අනාගත ප්‍රයෝජනය උදෙසා එක්රැස් කර තැබීය.

1959 වසරේ ශ්‍රී ලංකාවේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ තරාකා විද්‍යාව පිළිබඳ ආචාර්ය තනතුර ප්‍රථම වරට එස්.ඩබ්.කස්තුරිරත්නයන්ට පිරිනමන ලද නමුත් ඒ වන විට ඔහු රචනා කරමින් සිටි ඡ්‍යොතිෂ පර්යේෂණ ග්‍රන්ථ රචනය වෙනුවෙන් ඒ සඳහා කාලය යෙදවීමට ඇති බැවින් ඒ තනතුර ප්‍රතික්ෂේප කර තිබු බව පැවසේ.

භාෂා කිහිපයකම විශාරදයකු වූ එතුමා තමා ඇරැඹි බණ්ඩාරවෙල පෙරදිග ඡ්‍යොතිෂ විද්‍යාලය ඔස්සේ මෙරට කීර්තිමත් ඡ්‍යොතිෂවේදීන් රැසක් බිහි කළේය.

මහාචාර්ය විමල් ජේ. බලගල්ලේ, රොහන් සිසිර කුමාර වැනි ඡ්‍යොතිෂ පඬිවරුන් එයට කදිම නිදසුන්ය.

සරල හා නිස්කලංක දිවිපෙවෙතකට හැමදාමත් ඇළුම් කළ කස්තුරිරත්න මහතා දියණියන් තිදෙනෙකුගේත් පුතණුවන් දෙදෙනකුගේත් ආදරණීය පියෙකි. මෙරට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ඉමහත් සේවයක් කරමින් සිටියදී 1998 වසරේ පෙබරවාරි මස 19 වන දින එතුමන් අභාවප්‍රාප්ත වූයේ ඔහු පිළිබඳ මතකය තවත් වසර ගණනාවකට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් අතර ඉතිරි කර තබමිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.