වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඔබේ සිතේ වටිනාකම ඔබ දන්නවාද?
එක්තරා පඬිවරයකු වෙත පැමිණි ගෝලයකු තමන්ට දියුණු විය යුතු බව පවසා එයට ක්‍රමවේදයක් පවසන ලෙස ඉල්ලා සිටියා. පඬිවරයා පළමුව විමසුවේ ඒ සිසුවාට අවශ්‍ය ලෞකික දියුණුවද ලෝකෝත්තර දියුණුවද කියලා. පළමුව ලෞකික දියුණුවත් ඒ අතරම ජීවිතයේ ලෝකෝත්තර වශයෙන් දියුණුවත් ළඟා කරගත හැකි ක්‍රමයක් තිබේද කියා ගෝලතෙම විමසුවා. මඳක් කල්පනා කළ පඬිවරයා කීවේ මේ පිළිවෙත් පහ රැකිය හැකි නම් ඔබට දෙලොවම ජය ගැනීමට හැකි වනු ඇති කියායි.
එහි පළමුවැන්න ඔබේ අභිප්‍රායයන් අන් අය සමඟ පැවසීමෙන් වැළකීමයි. එය ආත්මාර්ථකාමී දෙයක් නොවේ. තමන්ගේ දියුණුව කරා ඔබ රැගෙන යන මාවත එයයි. ඒ සිතිවිලි ඔබේ අනාගත ක්‍රියාවේ මූල බීජයි. එනිසා ඒ අභිප්‍රායන් පැවසීමෙන් එහි බලය බිඳී යා හැකියි. ඒ අභිප්‍රායන් ඉටුකර ගැනීමට ඔබ සපුරගෙන යන ඉලක්ක ද තමන්ගේ සිත තුළම රැක ගැනීම අත්‍යවශ්‍යයි. එයට හේතුව අන් අය සමඟ එය පැවසීමෙන් යම් ආකාරයකට ඔබේ මාර්ගය අවහිර විය හැකියි. ඇස්වහ, කටවහ, හෝවහ ගැන සැලකිලිමත් වන ඔබට ඒ විෂ තරංගවල බලපෑමෙන් වැළකීමට ඇති හොඳම මාර්ගය ඉලක්ක පිළිබඳ පුරාජේරු නොකියා සිටීමයි. තමන්ගේ ඉලක්ක ගැන විවේචන, ඍණාත්මක අදහස්, ඒවා ඉටු කළ හැකිද යන සැකමුසු ඔවදන් වැනි දෙයින් ඔබේ ධෛර්යය මෙන්ම හඹා යෑම පසුබැස්මකට ලක් විය හැකියි. ඒ බාධාවන් වැළැක්විය හැකි හොඳම ක්‍රමය තමන්ගේ සිත තුළ පමණක් ඒ අභිප්‍රායන් සහ ඉලක්ක පිළිබඳ සැලැස්ම පවත්වා ගැනීමයි.
දෙවැනි පිළිවෙත නම් සතතාභ්‍යාසයයි. එයින් අදහස් වන්නේ නිරන්තර පුහුණු වීම සහ අභ්‍යාසයේ යෙදීමයි. එයද ඔබ හැකි තාක් පෞද්ගලිකව කළ යුතුයි. එහි ප්‍රගතිය පිළිබඳ අන් අය සමඟ පැවසීමෙන් සිදු වන්නේ ඔබේ අරමුණ වෙනුවෙන් යෙදවිය හැකි ශක්තිය ඔබ නොදැනුවත්වම හීන කර ගැනීමයි. අඛණ්ඩ පුහුණුවීම් සහ අභ්‍යාස මඟින් ඔබ විෂයයෙහි නිපුණත්වයට පත් වී සිටිය යුතු සේම ඕනෑම අවස්ථාවකට ඔබින අයුරින් තමන් දන්නා විෂයය භාවිත කිරීමට පන්නරය ලබා තිබීමද වැදගත්.
තෙවැනි පිළිවෙත වන්නේ තමන්ගේ පෞද්ගලික තොරතුරු පොදු බවට පත් නොකිරීමයි. යහළු මිත්‍රයන් එකතු වූ විට කතා කළ යුතු නොකළ යුතු සියල්ල ඔබේ මුවින් පිට වන්නේ නම් ඔබේ පෞද්ගලිකත්වයට ඉන් සිදුවන්නේ හානියක්. තමන්ගේ පවුල, එහි සාමාජිකයන් යනු පූජනීය බැඳීමක පුරුක්. තමන්ගේ බිරිඳ හෝ සැමියා සමඟ කල්ගත කරන ආකාරය, දරුවන් මවුපියන් සමඟ ඇති බැඳීම් පිළිබඳ අනුන් වෙත කරුණු කීමේදී ඔබේ දුර්වලතා මෙන්ම පවුලේ රහස් එළි වීමෙන් යම් මොහොතක ඔබට එය අවාසියක් විය හැකියි. මේ යුගයේ නම් සෑම මොහොතක් පාසාම ඔබ කරන කියන දේ මුහුණු පොතේ යාවත්කාලීන කිරීම මෝස්තරයක් වෙලා. එහෙත් එයින් තමන් දුර ගමනක් ගිය විට නිවෙසට හොරු පැන්න අවස්ථා පවා වාර්තා වනවා. ඒ වගේම තමන්ගේ දුර්වලතා හඳුනාගන්නා විවිධ පුද්ගලයන් එය ඔවුන්ට අවශ්‍ය විටෙක ආයුධයක් කරගන්නත් මාන බලනවා. පඬිවරයාගේ කාලයේ ෆේස්බුක් නොතිබුණා වුවත් සමාජය පිළිබඳ අවබෝධය නිසා එයින් වැළකී සිටීම සුදුසු බව පවසන්න ඇති.
හතරවැනි පිළිවෙත තමන් සතු ධනය හා දේපළ පිළිබඳ පාරම්බෑමෙන් වැළකීමයි. එක් හේතුවක් තමන්ට ඇති ධනය හා දේපළ පිළිබඳ එවැනි වත් පොහොසත්කම් නැති අය ඉදිරියේ පැවසීමෙන් ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට සහ ඇස්වහ කටවහ හෝවහට ලක්වීමයි. දෙවැන්න එම දේපළ පිළිබඳ දැනගත් පසු අනවශ්‍ය ලෙස පුද්ගලයන් තමන්ගෙන් උදවු උපකාර බලාපොරොත්තු වීමෙන් ඔබේ ජීවිතයට අනිසි බලපෑම් ඇති වීමයි. එනම් සියයක් උදවු කරන තුරු හොඳ කීවත් එකක් කළ නොහැකි වූ විට දෝෂාරෝපණයට ලක් විය හැකිවා සේම ලෝභයකු සේ හංවඩු ගැසීමට පවා ඉඩකඩ සැකසෙනු ඇත.
අවසන් පිළිවෙත ලෙස පඬිවරයා පැවසුවේ තමන් කරන කියන පුණ්‍ය කර්ම හෝ වෙනත් සද්කාර්යයන් තමන්ගේ පෞද්ගලික කාරණා ලෙස තබා ගන්න යනුවෙනුයි. හේතුව ඒවා අන් අයගෙන් ගෞරවය ලබා ගන්නට නොකළ යුතු සේම තමාගෙන් උදවු උපකාර ලබාගත් අයගේ ගෞරවය ආරක්ෂා කිරීමට එය හේතු වන නිසායි.
මේ පිළිවෙත් රකින අයකුට ඉතා පහසුවෙන් තමන්ගේ ඉලක්ක කරා ළඟා විය හැකිවා සේම වෙළෙඳ ව්‍යාපාර ආදිය සඳහා අනිවාර්යයෙන් මෙවැනි ශික්ෂණයක් තමන් තුළ පවත්වා ගැනීම වැදගත් වනවා.
එය නූතන ලෝකය හා සසඳා බලන කල අපට තවත් තහවුරු වන කාරණයක් වන්නේ 80:20 නියමය හෙවත් පැරටෝ ප්‍රින්සිපල් යනුවෙන් බටහිර උදවිය පවසන ක්‍රමයයි. මේ ලෝකය පුරාම රටවල ධනය බෙදී ඇත්තේ ද මේ අනුපාතය අනුවයි. ඒ කියන්නේ ධනයෙන් සියයට 80ක් හිමි වී තිබෙන්නේ පොහොසතුන් 20%ක් අතර. ඒ වගේම අපේ ජීවිතයේ ලැබෙන දේවලින් සියයට 80ක් අපට හිමි වන්නේ අප කරන දේවලින් 20ක් නිසයි. එය පර්යේෂණාත්මකව ඔප්පු කරන ලද කරුණක්. ආයතනයක වුවත් ලාභයෙන් 80%ක් ලබා දෙන්නේ සේවකයන් අතරින් හොඳම 20%යි.
මේ පැරටෝ නියමය අනුව බලන විට අපේ ජීවිතයේ මේ හොඳම 20% අපි අඳුන ගත්තොත් අපට අපේ ගමන යන්න වැඩි අපහසුවක් ඇති වන්නේ නෑ. ඒත් අමාරුම දේ ඒ පහෙන් පංගුව මොනවාද කියා තෝරා බේරා ගන්නා එකයි.
අපේ හැකියාවන් රැසක් තිබෙන්න පුළුවන්. ඒත් ඒ අතරින් ප්‍රධානම, අපට හොඳටම කළ හැකි දේවල් කීපයක් තෝරා ගැනීම ඉතාම වැදගත්.
ඉන් පසුව අර පඬිවරයා කී කරුණු අතරින් අභිප්‍රාය වෙනුවෙන් හිත සූදානම් කර ගැනීම, ඉලක්ක ජය ගැනීම, සතතාභ්‍යාසයේ යෙදීම වැනි දේවලින් අප අපේ ගුණාත්මකබව වැඩි කළ යුතුයි.
ඔබට පැයකට ලැබෙන්නේ රුපියල් සියයයි. අනෙක් කෙනාට රුපියල් දාහයි නම් රුපියල් නවසියයක වෙනස ඇති වුණේ කෙසේද කියා අනෙකා කෙරෙහි ද්වේෂයෙන් සිතමින් සිටිනවාට වඩා ඉක්මනින් ගත යුතු පියවර කීපයක් තිබෙනවා.
පළමුවැන්න තමයි ඔබ වැඩ කරන කාලය සහ ඔබට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ තක්සේරුවක් ඇති කර ගැනීම. එය අඩුයි නම් එහි තේරුම ඔබ ඔබේ වටිනාකම වැඩි කර ගැනීමට මෙතෙක් මහන්සි වී නැති බවයි.
අදට වඩා හෙට හොඳ වන්නේ ඔබ අදට වඩා හෙට දිනයේ ඔබේ වටිනාකම නැත්නම් ඔබේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් එකතු කළ අගය වැඩි වූ විට පමණයි. පඬිවරයා කියූ සතතාභ්‍යාසයේ ඔබ යෙදුණා නම් ඔබේ නිපුණතාව වැඩි වී එය සේවා ස්ථානයට අවශ්‍ය මොහොතේ අවශ්‍ය ස්ථානයේදී ඔබට ලබා දිය හැකි වනවා. එය අන් අයට කළ නොහැකි දෙයක් නම් එහි වටිනාකම වැඩියි. හරියට මැණික් වගේ. මහ පොළොව පුරා විවිධ ගල් විසිරී තිබුණත් මැණිකක් හොයා ගන්න අමාරුයි. ඒ වගේ සැම දෙනාම කරන දේ නැතිව වෙනස් දෙයක් කරන්න. මෙය මුල් අවස්ථාවේ ඔබට පාඩු ලැබෙන, විවේචනයට හිනාවට ලක්වන්න හේතුවක් විය හැකියි. ඒත් ඔබ ආයතනය තුළ හෝ පවුලේ හෝ සමාජයේ ඒ වෙනස ඇති කරන පුද්ගලයා නිසා ඔබ අත්‍යවශ්‍ය කෙනකු බවට පත්වනු නොඅනුමානයි. අමාරුවෙන් හෝ ඒ තත්ත්වය ගොඩනඟාගත් පසු ඔබ අනුකරණය කරන පිරිස් ඇති වන එක සාමාන්‍යයි. එයින් සසල නොවී තවත් නිර්මාණශීලී වන්න. තවත් වෙනස් දෙයක් කරන්න. එවිට ඔබ කලින් කළ දෙය පොදු කරුණක් වන විට ඔබ වෙනත් හැකියාවක් ඇති පුද්ගලයකු ලෙස යළිත් අත්‍යවශ්‍ය චරිතයක් බවට පත්වනු ඇති.
ඒ සඳහා ඔබට ඔබේ සමාධිගත සිත, නිර්මාණශීලීත්වය, අධිෂ්ඨානය, කැපවීම, චිත්ත රූප මවා ගැනීමේ හැකියාව, සහ ආත්ම ශක්තිය උපකාර වනු ඇති. එහිදී ඔබ නිරන්තරයෙන්ම ඔබ ගැන විශ්වාස කළ යුතුය. තමන්ට තමන් විශ්වාස වූ පසු ඔබට කිසිදු දෙයක් අභියෝගයක් ලෙස නොපෙනෙනු ඇත.