වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ශීතකරණයක් නැතිව ආහාර කල් තබා ගත් අයුරු
ශීතකරණය අක්‍රිය වුවහොත් ජීවිතය අඩාළ වූවායැයි සිතන තත්ත්වයට අද අප පත්ව සිටින මුත්, දැනට අඩසිය වසකට පෙර දවස මෙරට වැසියෝ, එනම් හැත්තෑවේ දශකය අවසන් වන තෙක්ම වාගේ ශීතකරණයකින් තොර, දිවි පෙවෙතක් කරදරයකින් තොරව රැගෙන ගියහ.
හැත්තෑ හතෙන් පසුව ඇති වූ විවෘත ආර්ථිකය පදනම් කර ගනිමින් උපන් විවිධ සංස්කෘතික වෙනස්කම් සමඟ ශිතකරණයද, නිවැසියන්ගේ වත්කම් පෙන්වන තවත් එක් භාණ්ඩයක් බවට පත්වූ අතර, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හේතුකොටගෙන, ජනතාවගේ ඔළුගෙඩිවලට ඇතුළු කරන ලද නව ආහාර සංස්කෘතිය ශීතකරණය හා නිතැනින්ම වාගේ බද්ධ වී පැවැතුණක් වූයේය.
සීතල වෙනුවට උණුසුමෙන් ප්‍රයෝජන ගැනීම
ශීතකරණය විසින් ආහාර කල් තබාගැනීම සඳහා කෘතිම ශීතලක් ඇති කරන ලද මුත්, සොබා දහමෙන් වැඩ ගැනීමට උපන් හපනුන් වූ සිංහල ද්විපයේ වැසියෝ අපට උපතේ සිටම අත් විඳීන්නට ලැබෙන හිරු එළිය ආහාර කල් තබා ගැනීම සඳහාද කදිමට උපයෝගී කර ගත්හ.
අපතේ යාම වළක්වා ගැනීම
මෙහි මූලික අරමුණ වූයේ ආහාර සුලබ වූ කාලයේදී එකතුවන වැඩි ඵලදාව අපතේ යා නොදී ප්‍රයෝජනයට ගැනීමය. මේ සඳහා පාරම්පරිකව ලැබූ දැනුමද, ඒ ඒ භෝග පිළිබඳව වූ කෘෂි කාර්මික දැනුමද, ගැමියන්ට අතිශයින් ප්‍රයෝජනවත් වූයේය.
ධාන්‍ය කල් තබා ගැනීම
මේ කාරණයේදී ගොවීහු වී, කුරහන්, අමු, අබ, තල, මේනේරි වැනි ධාන්‍ය වර්ග හොඳීන් පැසෙන තෙක් අස්වැන්න නෙළා ගැනීමෙන් වැළකී සිටියහ. ඔවුහු ඒ සඳහා කුඹුරේ ඇති ගොයම් කරලෙන් වී ඇට ටිකක් සූරා වියළි පොළවක දමා විලුඹින් අඹරා පොතුහැර ගත්හ. එම ධාන්‍ය පැසී ඇත්නම් පමණක් කපා ගෙට ගත්හ. නොපැසුණු ධාන්‍ය කල් තබා ගත නොහැකි බව ඔවුහු දැන සිටියහ. එමෙන්ම කල් තබා ගැනීමේදීද දිරාපත් වීම සහ කෘමි හානි අඩුවෙන් සිදුවන වර්ගම තෝරා ගන්නා ලදී. ස්වභාවයෙන්ම පිහිටි බූව සහ වර්ණය විසින් කෘමි හානිවලින් වළකින මුප්පංගන්, මුරුංගාකායම්, කළු හීනටි ආදි වී වර්ග මේ සඳහා උදාරහරණ වශයෙන් පෙන්වා දිය හැකිය. අද දක්නට ලැබෙන වැඩි දියුණු කළ වී වර්ගවල මෙන් තුනී පොත්තක් වෙනුවට මේවායේ තිබුණේ කෘමීන්ට ලෙහෙසියෙන් හානි කළ නොහැකි ඝනකම් පොත්තකි.
දුම් මැස්ස සහ අටුව
ධාන්‍ය වර්ග සඳහා පමණක් නොව, එළවළු පළතුරු හා කුළුබඩු ගණයේ ලා සැලකෙන ආහාර වර්ගවලටද, ඒවායේ ආරක්ෂාව සඳහා දුම් මැස්සෙන් හා අටුවෙන් ලැබුණේ කිව නොහැකි ආරක්ෂාවකි.
ධාන්‍ය කල් තබා ගැනීමේදී මුලින්ම සිදු කරනු ලැබුවේ ඒවා ගබඩා කරනු ලබන්නේ පොත්ත ඇතිවද නැතිවද යන්න තීරණය කිරීමය. මේ අනුව කුරක්කන්, බඩ ඉරිඟු ආදිය කරල් වශයෙන්ම අටුවේ ගබඩා කරන ලදී.
දුම
එකල සෑම ගම්බද නිවෙසකම වාගේ කුස්සිය යනු ප්‍රධාන නිවහනෙන් එපිටට වන්නට තනා තිබූ වෙනමම කුඩා නිවසකි. එහි කෙළවරට වන්නට ගොම මැටි ගා සකස් කළ අඩියක් පමණ උස වේදිකාවක කෙළවරට වන්නට, දර ළිප් දෙක තුනක් බැඳ තිබිණි. මේ ළිප් කීපයට ඉහළින් පුවක් ගසේ ලීයෙන් ඉරා පටිවලින් සෑදූ පැළැල්ලක් (මේ සඳහා වෙනත් ඉනි වර්ගද භාවිත කරනු ලැබිණි.) බැඳ තිබුණි. අඩි 3-4ක් පළල, අඩි 5-6 ක් දිග මේ පැළැල්ල හතර කෙළවරට යොදන ලණු හතරකින් එල්ලා තිබිණි. ලිපෙන් නඟින දුමාරය කෙළින්ම එල්ලවන්නේ මේ මැස්ස වෙතය. ඒ හේතුවෙන් එය “දුම් මැස්ස” නම් වූ අතර, ව්‍යාහාරයේදී පහසුව පිණිස කෙටියෙන් හැඳින්වූයේ “දුම” වශයෙනි. “දුම” පුවක් පටි එකතුකොට සාදා නිම කරනු ලැබුවේ පටි අතර වූ අවකාශය තුළින් ඒ මත ඇති භෝග වර්ග ආදියට හොඳීන් දුම් වදිනු පිණිසය. මෙසේ දුම් වැදීම හේතුවෙන් කෘමින්ගෙන් පමණක් නොව, දීලීර වර්ගවලින්ද ඒ මත වූ මේ වියළි ආහාර ද්‍රව්‍ය ආරක්ෂා විය.
අටුව
අටුව යනු දුමට ඉහළින් වහලයේ කෙළවරට වන්නට සාදන ලද ශක්තිමත් අට්ටාලයකි. බිත්ති අතරට පරාල සවිකර ඒ මත ශක්තිමත් ලෑලි යොදා තනනු ලබන අටුව එක්තරා විදියකට විද්‍යානුකූලව ආරක්ෂාවක් ලැබෙන ගබඩා කාමරයක් ලෙසද සැලකිය හැකිය. අටුව වෙත තාපය හා දුම දුම්මැස්ස වෙත වදින තරමින් නොවැදුණද, මුළුතැන්ගෙයි තිබෙන උණුසුම හා දුම හේතුවෙන් අටුව තුළ පවතින්නේද තෙතමනයෙන් හා කෘමීන්ගෙන් තොර වියළි පරිසරයකි. අටුව යොදා ගනු ලැබුවේ ප්‍රධාන වශයෙන් වී, කුරක්කන්, ඇතුළු ධාන්‍ය වර්ග ගබඩා කර ගැනීම පිණිසය. අටුව යනු ඉනිමඟක් තබා ගොඩ විය යුතු උසකින් මෙන්ම යම් බරක් දරාගෙන සිටීමේ ශක්තියක් සහිත ස්ථානයක් ද විය.
අටුව කොතෙක් අපගේ ජන ජීවිතය හා බැඳී තිබෙනවාද කියනවා නම්, පන්සිය පනස් ජාතක පොතෙහි ගාමිණි චණ්ඩ ජාතකයෙහි පවා ඒ ගැන සඳහන්ව තිබේ. මේ හැරුණු කල අටුව හා බැඳුණු තවත් ජනකතා රැසක්ද අපේ සංස්කෘතික මූලාශ්‍රවලින් සොයාගත හැකිය.
-මතු සම්බන්ධයි-