බුධ මණ්ඩලය

අත්ලෙන් හෙළි වන ජීවිත රහස්
ජුනි 2, 2023

 

සත්‍ය ලෙස හෝ කල්පිතයක් ලෙස හෝ ඔබ මා අසා ඇති සිදුවීමක් තමයි එක් හොරෙක් යම් පුද්ගලයෙක්ගෙන් මුදල් පසුම්බියක් සොරාගෙන දුවන කල ඔහු අල්ලා ගැනීමට පිරිසක් හොරෙක් හොරෙක් කියා පසුපස හඹා යන විට එම හොරාද ඔහුට ඉදිරියෙන් හමුවන පුද්ගලයන්ගෙන් බේරීම සඳහා හොරෙක් හොරෙක් යනුවෙන් කෑ ගසා හොරා ඔහු නොවන බව තහවුරු කරමින් අනිත් අය නොමඟ යවමින් ඉතා සූක්ෂ්ම ලෙස මඟහැර යාම පිළිබද කතාව.

 

මෙහිදී මෙම පුද්ගලයා ඉතා සියුම්ව තම බුද්ධිය මෙහෙයවෙමින් වංචනිකව තමාගේ අවශ්‍යතාවය ඉටුකර ගත් බව පැහැදිලිය. මෙවන් පුද්ගලයන් මෙන්ම මේ හා සම වෙනත් ක්‍රියාවලින් සමාජයේ ඔබට බොහෝ දකින්න ලැබෙන අතර, මොවුන්ගේ අත්ල පරීක්ෂා කළොත් දකින්න ලැබෙන්නේ බුධ මණ්ඩලය අයහපත්ව පිහිටා ඇති බවය.

කෙනකුගේ මානසික ශක්තිය, බුද්ධිය, ස්ථාමෝචිත ප්‍රඥාව, වාග්චාතූර්ය, ව්‍යාපාරික හැකියාව වැනි යහගුණ මෙන්ම කපටිකම, වංචාව, බොරුව, ආදී දුර්ගුණ ද පෙන්නුම් කරන්නේ බුධ මණ්ඩලයෙනි. සුලැඟිල්ල පාමුල සිට හෘද රේඛාව දක්වා කොටස බුධ මණ්ඩලයට අයත් වේ. මනා සේ වැඩුණු මණ්ඩලය මැදම මණ්ඩලයේ මධ්‍ය ලක්ෂ්‍යය පිහිටා බුධ ඇඟිල්ල ද ඝෘජුව මනා සේ වැඩී ඇත්නම් බුධ මණ්ඩලය බලවත්ය. මොවුන්ට මිනිසුන් හඳුනා ගැනීමේ ශක්තිය ඇත. ධනය ඉතාමත් සාධාරණව වංචා සහගත නොවී උපයයි. දර්ශනය, ගණිතය, විද්‍යාව පිළිබඳ දක්ෂ වේ. කායික මෙන්ම මානසික අංශයෙන්ද වඩාත් ක්‍රියාකාරී වේ. සහජ දක්ෂතාවයන්ගෙන් පොහොසත්ය. තමාගේ අවසන් ඉලක්කයන් ජය ගැනීම සඳහා ඕනෑම කාර්යයක් නිසි අයුරින් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට දක්ෂතාවයක් ඇති පුද්ගලයන්ය.

තවද බුධ මණ්ඩලය යහපත් නම් ක්‍රිඩාවලදී තම ප්‍රතිවාදියාගේ දුර්වලතා හොඳින් හඳුනා ගෙන ඒවා තම වාසියට හරවා ගැනීමේ දක්ෂතාවයද ඇත. හොඳ කථිකයෙකි. එම නිසා වාදවලින් ජය ගත හැකිය. ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි ද සුරතල් සතුන් ආදිය කෙරෙහිද ඇලුම් කරයි. එසේම තමාගේ පවුල් ජීවිතයට මෙන්ම දරුවන්ට බොහෝ ආදරය කරන්නන් වේ. සෑම දෙයක්ම ව්‍යාපාරික ඇසකින් මෙම පුද්ගලයන් බලයි. විද්‍යාත්මක ඉගැන්වීම්වලට කැමති වේ. අධ්‍යපනයෙන් ඉහළට යෑමේ ආශාව තිබේ. එමෙන්ම අන් අයගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමටත් දක්ෂ පුද්ගලයන් වේ.

එසේම බුධ මණ්ඩලය යහපත් වූවන් බුද්ධිමත් කාර්යශූර කථිකත්වයෙන් හෙබි ව්‍යාපාරික දක්ෂතා ඇති පුද්ගලයන් හෙයින් නීති, වෛද්‍ය, කථික, සංචාරක, පර්යේෂණ ක්ෂේත්‍රවල සහ ව්‍යාපාරික රැකියාවලට සුදුසුය. මණ්ඩලයේ මධ්‍ය ලක්ෂ්‍යය රවි මණ්ඩලයට ආසන්න නම් කලාත්මක කටයුතු ඇසුරින් ව්‍යාපාර පවත්වාගෙන යා හැකිය. විවාහ ජීවිතය වසනාවන්තය. සතුටුදායක විවාහයක් ගත කරන අතර, ඔහුගේ සහකාරිය ඇසුරු කරන මිතුරන්ගෙන්ම සොයා ගනී. බිරිය ලස්සනට ඇඳ පැලඳ ආදරෙන් සිටිනවාට වඩාත් කැමතිය. පවුලේ සියලු අවශ්‍යතා සඳහා යහමින් මුදල් වියදම් කරයි. බුධ මණ්ඩලය ප්‍රබල බිරිඳ ගෘහ ජීවිතයට මෙන්ම බාහිර සමාජ ජීවිතයටද එකසේ කැමැත්තක් දක්වන බැවින් සමාජයට මෙන්ම ගෙදරටද අඩුපාඩුවක් සිදු නොවන අකාරයට සැලසුම්සහගතව කටයුතු කිරීමට දක්ෂය. නමුත් බුධ මණ්ඩලය ප්‍රබල කාන්තාවකගේ රවි මණ්ඩලය දෙස බුධ මණ්ඩලය ඇලවී පිහිටියහොත් ඇගේ සැමියා දුෂ්ට නපුරු ක්‍රියාවෙන් යුත් අයෙකු වෙයි. සමහරවිට ඇයද වැන්දඹුවක් විය හැකිය. එම නිසා විවාහයේදී අවධානයෙන් කටයුතු කළ යුතුය. අති ප්‍රබල බුධ මණ්ඩලයක් ඇති පුද්ගලයෙකු අනුන් රැවටීමේ දක්ෂයෙකි. සමාජ විරෝධී වැඩ කරමින් අනුන්ට විපත් කරමින් සතුටු වන්නේ මොවුන්ය. කෙනකු සමඟ කෙළින් මුහුණලා කතා නොකරන දුෂ්ට මානසික ස්වභාවයෙන් යුත් පුද්ගලයකු බිහි කරයි. කපටි සූදු අන්තුවකු වීමට පුළුවන. බුධ දුබල පුද්ගලයින් අතර බැංකු මංකොල්ලකරුවන් හොරුන් සහ සමාජ අපරාධකරුවන් සිටිය හැකිය. මණ්ඩලයේ මධ්‍ය ලක්ෂ්‍යය ඇඟිල්ලේ මුලට ආසන්න නම් කතාවට මෙන්ම කවටකමට දක්ෂයෙක් වෙයි. එසේම කථිකත්වයේ දුර්වලතා පෙන්නුම් කරයි. අනෙකුත් පුද්ගලයන් තේරුම් ගැනීමට හැකියාවක් නොමැත.

තරුවක් බුධ මණ්ඩලය පිහිටියේ නම් එය යහපත් අත්ලක් නම් යහපත් ලක්ෂණයකි. එවිට කථීකත්වයෙන් වෛද්‍ය ඉංජිනේරු වැනි ව්‍යාපාරවලින් නොසිතූ දියුණුවක් ලබා ගත හැකිය. එහෙත් තරුව පිහිටියේ මණ්ඩලය දුබල අත්ලක නම් වැරැදි ආකාරයට මුදල් ඉපයීමට යාමෙන් විනාශයට පත් වේ. තවද තරුවට සම්බන්ධ වන ආකාරයේ දූපතක් පිහිටියේ නම් මාරාන්තික සිදුවීමක් උඩ කම්පනයට පත්වේ.

මණ්ඩලය මත පිහිටියේ කතිර ලකුණක් නම් එය ප්‍රබල මණ්ඩලයක් නම් සම්මාන ලැබිමට තරම් කථිකත්වයක් සහිත පුද්ගලයකු වේ. දුබල මණ්ඩලයක නම් අපකීර්තිය ලබන පිහිටීමක් වන අතර, කෛරාටික දෙපිටකාට්ටු වැඩ කරන පුද්ගලයකු බිහිවේ. අති ප්‍රබල මණ්ඩලයක නම් සූදුකාරයකු බවට පත්වේ. තිත හෝ ලප බුධ මණ්ඩයට අයහපත් පිහිටීමකි. හදිසි අනතුරු රෝගාබාධවලට ගොදුරු වීම පෙන්වන සලකුණකි. ව්‍යාපාරවල විශාල කඩා වැටීමක් ඇතිවන බව පෙන්වන ඉඟියකි. සමාජයේ පහළම තලයට වැටෙන බව කියන අනාවැකියකි. දැල තිත සහ ලප සේම බුධ මණ්ඩලයට අශුභ ලකුණකි. යම් අපරාධයක් තමා විසින් සිදුකර සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවණතාවයක් පෙන්වයි.

තවද බුධ මණ්ඩලය මත සිරස් රේඛාවක් නම් මණ්ඩලයේ ගුණ තවත් වැඩි වේ. බලාපොරොත්තු නොවූ ධනයක් සහ වාසනාවක් උදාවේ. සිරස් රේඛා කිහිපයක් නම් වෛද්‍ය, ඉංජීනේරු වැනි උසස් රැකියාවක් කරන්නකු හෝ රැකියාවක් ලැබීමට නියමිත පුද්ගලයෙකි,අත්හිමියා කාන්තාවක් නම් සාත්තු සේවිකාවක විය හැකිය. නැතිනම් ස්වාමියා වෛද්‍යවරයෙකි. නමුත් සිරස් රේඛා රැසක් පැහැදිලි දිග අපැහැදිලි කොට වශයෙන් ඇතිනම් ධනවත් වීමට නොහැක. අන් අය පමණට වඩා විශ්වාස කර මුදල් වියදම් කිරීම නිසා වංචාකාරයන්ට රැවටී ව්‍යාපාර කටයුතු අඩපණ කරගනී.

ත්‍රිකෝණය බුධ මණ්ඩලයට යහපත් පිහිටිමකි. අත්ල හිමියා ව්‍යාපාරවලින් ඉහළටම යන අතර චතුර කථිකත්වය මෙයට පාදක කර ගනී. බුධ සහ ගුරු මණ්ඩල යහපත් ලෙස පිහිටා ඇත්නම් ගුරු මණ්ඩලයේ දැඩි අධිෂ්ඨාන ශක්තිය සහ නායකයෙකු වීමේ හැකියාව නිසා පසුබානසුලු බව නැති වී අභිලාෂයන් ඉටුකර ගැනීමට අවශ්‍ය උද්යෝගය වර්ධනය වේ. කපටි බව අඩු වේ. යහපත් සම්බන්ධයක් බැවින් වේගයෙන් ව්‍යාපාර සාර්ථකත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබේ.

බුධ සහ ශනි මණ්ඩල යහපත්ව පිහිටා ඇත්නම් ශනිගේ බලපෑමෙන් බුධගේ සට කපටකම් වර්ධනය වේ. මේ නිසා අනුන් රවටන ආකාරයේ ව්‍යාපාර කිරීමට පටන් ගනී. මොවුන් සමග කටයුතු කිරීමේ දී බොහෝ ප්‍රවේසම් විය යුතුය. සත්‍යවාදි නොවේ. ශනි මුදුව තිබේ නම් වංචා සහගත වැඩ හේතුවෙන් සිරගත විය හැකිය. නමුත් බුධ සහ රවි මණ්ඩල යහපත් නම් කවර අංශයකින් හෝ උසස් තත්වයකට පත්වේ. ප්‍රසිද්ධ විද්‍යාඥායන් නව නිර්මාණ ලේඛකයන් සහ දක්ෂ රජයේ උසස් නිලධාරීහු බුධ සහ රවි මණ්ඩල ප්‍රබල පුද්ගලයන්ය.

බුධ සහ චන්ද්‍ර මණ්ඩල යහපත්ව පිහිටීම පුද්ගලයාට ඉතාමත් සුබදායක ලක්ෂණයකි. චන්ද්‍ර මණ්ඩලයේ සංචාරක හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වෛද්‍ය, වාණිජ, ලේඛක, කවර වෘත්තියක යෙදී සිටින්නකු වුවද ස්ව ශක්තියෙන් ම දියුණුවට පත් වෙති.

අනුන්ගෙ සිත් දිනාගනිමින් අලංකාර සිත් ගන්නාසුලු කාන්තාවන් ආශ්‍රය කරන පුද්ගලයෙකු බුධ සිකුරු මණ්ඩල යහපත්වීමෙන් බිහි වේ. මොවුන් විශේෂයෙන් විසිතුරු භාණ්ඩ ඇඳුම් පැලඳුම් මුතු මැණික් ආදී දේ නිෂ්පාදනය සහ විකිණීම වැනි ව්‍යාපාරවල නියළෙයි. ආත්ම විශ්වාසය තුළින් බුධගේ අවදානම් ව්‍යාපාර සාර්ථකත්වයට පත්වෙන පිහිටීමක් ලෙස බුධ කුජ මණ්ඩල යහපත් වීමෙන් සිදු වේ.

ලබන සතියේ අත්ලෙන් කියවෙන ජීවන රහස් යටතේ සිකුරු මණ්ඩලය ගැන කතා කරමු

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.