දික්කසාද වැඩි වන්නේ කුජ දෝෂය නිසාද?

අගෝස්තු 2, 2024

තුන් කල් දක්නා ලොව පවතින එකම ඇස ඡ්‍යොතිෂය වන අතර අද බොහෝ දෙන අතර එය ගහට පොත්ත මෙන් ජන ජිවිතයට සම්බන්ධ වී හමාරය. විශේෂයෙන් එදිනෙදා බොහෝ කටයුතු සඳහා අපි ඡ්‍යොතිෂයේ පිහිට පතන්නෙමු. උදාහරණයක් ලෙස ගත්විට නමක් තැබීමේදී ,ඉඳුල් කට ගැමේදී ,නිවෙසක් සැදීමේදී, විවාහයේදී මෙකි නොකී සැම තැනකදීම ඡ්‍යොතිෂයේ පිහිට ඍජුවම ලබාගන්නෙමු. විවාහය එහිදී විශේෂ කර දැක්විය හැකිය.

සාමාන්‍යයෙන් බොහෝ දෙනා පුරුද්දක් ලෙස විවාහයට පෙර ඡ්‍යොතිෂවේදී මහතකු ලගට ගොස් මේ හඳහන් දෙක කොතරම් දුරට ගැළපෙනවාද යන්න විමසා සිටි. සීයට කියක් සුබද? කියක් අසුබද? අපි බැන්දොත් දියුණුවක් තියනවද? 20 න් කියක් ගැළපෙනවද? ළමයි ඉන්නවද? විවාහයට මේ කාලේ හොඳද? ආදි වශයෙන් නානා විධ ප්‍රශ්න අසනු ඇත. බොහෝ ඡ්‍යොතිෂවේදීන් කරන වැරැද්දක් නම් විවාහය සම්බන්ධව පොරොන්දම් පමණක් ගළපා විවාහයේ ගුණදොස් පැවසිමයි.

බෙහෙවින් විවාහ අසාර්ථක වීමට හේතුවද කේන්ද්‍ර දෙක සියුම් පරීක්ෂාවක් නොකර පොරොන්දම් පමණක් ගළපා විවාහයට උචිත යැයි පැවසීමයි. එය ගඟට පනින්නේ නැතිව පිහිනීමට ප්‍රයන්ත දැරීමක් වැනිය. උගත් විද්‍යාධරයන් හඳහන් බැලීම මිත්‍යාවක් යැයි හංවඩු ගසන්නේද මෙවෙනි ඡ්‍යොතිෂ කඩ දමන මුදල් ඉපැයීම පමණක් අරමුණු කරගෙන ඡ්‍යොතිෂ කටයුතුවල නිරත වන්නන් නිසාය.

විවාහය සම්බන්ධව බැලීමේදී මුලින්ම අප කාගේත් අවධානය යොමු වන්නේ කේන්ද්‍රයක 7 වැනි භාවයටය.

විශේෂයෙන් ඡ්‍යොතිෂයේදී විවාහය සම්බන්ධව බැලීමේදී විවාහකාරක සිකුරු සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර 7 වැනි භාවය හා 7 අධිපතිගේ ස්වාභාවය බැලීම අනිවාර්ය වේ. 7 වැනි භාව අධිපති බලවත්ව කේන්ද්‍රයෙත් සුබ තැනක සුබ දෘෂ්ටි ලබා 7 වැනි භාවය පාප කර්තරී යෝගයකට අසු නොවී සිකුරුද සුබව පිහිටීම ජන්මියාගේ නිසි කල වයස පිරීමත් සමඟ යහපත් විවාහයකට මංපෙත් විවර වන පිහිටීමකි. මීට විරුද්ධව ග්‍රහයන් තැන්පත් වීම යුග දිවි සැප හීන කරන විවාහයට කණකොකා හඩලන පිහිටීමකි. විශේෂයෙන් 7 වැනි භාවයේ පාප ග්‍රහයන් තැන්පත් වීම එතරම් සුබ දායක නැත. කුජ ,රාහු,සෙනසුරු ,පාප පිඩිත බුධ සහ සඳු 7 වැන්නේ සිටිනම් විවාහය සම්බන්ධව සතුටු විය නොහැකි බව ඡ්‍යොතිෂයේ පිළිගැනීමයි.

මීට අමතරව ලග්නය උභය රාශියක් වූ විටද ප්‍රේම සබඳතා ඇතිකර ගැනීමේදී ප්‍රවේශම් විය යුතුය. අපගේ පර්යේෂණවලදී දුටු කරුණක් නම් ලග්නය ධනු ,මීන ,මිථුන ,කන්‍යා වූ බොහෝ අයගේ යුගදිවිය තුළ ගැටලුවලට, දෙකඩ වීම්වලට ලක්වුණු අවස්ථා එමට හමුවී ඇති බවය. එයට හේතුව එම ලග්න වලට 7 වැන්න බාධක ස්ථානය වීමයි.

මෙහිදී කිව යුතු විශේෂ කරුණක් නම් කුජ දෝෂය හා ශනි මංගල යෝගය පිළිබඳව බොහෝ අය තුළ ඇති අනියත බිය පිලිබඳවය. ශනි මංගල දෝෂය ඇති සැම අයකුගේම විවාහය අසාර්ථක වන්නේ නැත. කුජ දෝෂයද එසේමය. එහෙත් එම දෝෂ කිසිවකුගේ හඳහනක ඇත්නම් එවැනිම දෝෂ සහිත හඳහනක් ගළපා විවාහ වීම උචිත බව ඉසිවර නියමයයි. අපගේ අත්දැකීම් අනුව එසේ ගළපා විවාහ වූ අය ජිවිතයේ අවසානය දක්වාම යුග දිවිය යහපත්ව සතුටින් ගත කරනු ඇත. කුජ දෝෂය ඇති වන්නේ අගහරු ග්‍රහයා කේන්ද්‍රයේ 1,2,4,7,8,12 යන භාවවල තැන්පත් වීමෙනි. එම භාවවල සිටි පමණින්ම විවාහයට බලපෑම් ඇති නොකරයි. තද බල ලෙස විවාහයට අපල ගෙන එන පිහිටීම් වනුයේ කුජ ග්‍රහයා 1,2,හා 7 වැනි භාවවල සිටීමෙන් ඇතිවන කුජ දෝෂය වේ. මෙහිදී අඟහරු තමාගේම රාශියක හෝ උච්ච රාශියක් වී ලග්නයේ හෝ දෙවැනි භාවයේ සිටියදී විවාහය කැඩුණු හඳහන් බොහොමයක් හමුවී ඇත.

මෙහිදි සිහිපත් කළ යුතු විශේෂ කරුණක් නම් විවාහ සැප හීන වීමට බලපාන අනිත් කරුණ වන්නේ විවාහය සිදුවන කාලයයි. තරුණ යුවළක් විවාපත් වීමට නැකැත් ගැනීමට ඡ්‍යොතිෂවේදියකු ළඟට පැමිණ නැකැත් සදා දෙන ලෙස ඉල්ලු විට බොහෝ ඡ්‍යොතිෂවේදීන් කරනු ලබන වරදක් නම් එම දෙපළට ගතවන මහදසා අතුරු දසා විමසා නොබලා විවාහයට දිනයක් හා වෙලාවක් නියම කිරීමයි. එය මහත් වූ පාප ක්‍රියාවකි.

එයට හේතුව පාප ග්‍රහයකුගේ මහා දසා අන්තර් දසා ඒරාෂ්ටක අපල කාලවලදී විවාහයන් සිදු වීම විවාහය තුළ සතුට අඩු කරන, අඹු සැමි ගැටුම් ඇතිකර විවාහය නීරස කරවන ග්‍රහ දෝෂයන්‍ ය. විශේෂයෙන් පාපී රාහු දසාවකදී විවාහයක් සිදු වූවහොත් මොනයම් හෝ අඩුවක් නැත්තම් පසු කලක කුටුම්භය එපා වීමක් හෝ ඝට්ඨන ස්වභාවයක් ඇති කිරීමට බොහෝ ඉඩ කඩ ඇත.

විවාහයේදී සිකුරු ග්‍රහයාට විශේෂ තැනක් දෙයි. ග්‍රහ ලොවේ මනමාලිය සිකුරුය. සිකුරු බලවත් වීම යහපත් විවාහයකට හේතුවේ. සිකුරු බලවත් අය පිවිතුරු නිකැළැල් ප්‍රේමය සොයා විවාහය සිදු කර ගනී. සිකුරු පීඩා වී පාප කර්තරී හෝ විසි දෙවැනි දෙර්කානාධිපති වී සිට අති ධාවන කාම යෝගයකට සම්බන්ධව කාන්තා හඳහනක පිහිටීම එක සහකරුවෙකුගෙන් සැහීමකට පත් නොවන චපල බව ඇති වන විවාහක ව සිටියදී වුවද රහස් සබඳතා ඇති කරගැනීමට යොමු කරවන පිහිටීමකි. පුරුෂ හඳහනක එම පිහිටීම පැවතීමද එසේමය. දැන් සමාජයේ බොහෝමයක් විවාහ ආරවුල්වලට හේතුව ද මෙවැනි අසම්මත ප්‍රේම සම්බන්ධයන්ය. කුජ සිකුරු, රවි සිකුරු, සඳු රාහු, සඳු කුජ හා රාහු සිකුරුට සංයෝගව අසුබ භාවයක පාප දෘෂ්ටි සහිතව තැන්පත් වීම මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මා විතරද යන කියමන තහවුරු කරන්නාක් මෙන් එක් පෙම්වතෙක් හෝ පෙම්වතියකගෙන් සැහීමට පත් නොවන කාමයේ වරදවා හැසිරෙන සිල් බිඳගන්නා පිහිටිමකි.

විවාහය සඳහා හඳහන් පරික්ෂාවේදී ඉහත සියලුම කරුණු විමර්ශනාත්මකව පරික්ෂා කර බලා පොරොන්දම් වලටම වහල් නොවී ගතානුගතික බැවින් මිදී ගැළපීම් සිදු කිරීමෙන් ආලෝක විද්‍යාවක් වූ ඡ්‍යොතිෂය දිනෙන් දින බැබලීමට මංපෙත් විවර වන බව නොඅනුමානය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.