නිවැරැදිව පලාපල කියන්න ග්‍රහයාගේ බලය හරියට තක්සේරු කරන්න

ජූලි 26, 2024

 

කේන්ද්‍ර පරීක්ෂාවේ දී සාමාන්‍ය වශයෙන් නවාංශකයට ඉතාමත් ප්‍රධාන තැනක් දුන්නත් එය හරියට තේරුම්ගත් අය ඉතාමත් අල්ප මාත්‍රයක් බව පැහැදිලිය. නවාංශකයෙන් නිසි ලෙස ප්‍රයෝජන ගත්තෝ සියයට එකක්වත් නැතැයි කීවාට වරදක් නැත.

පැරණි ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥයන් නවාංශකය හරියටම තේරුම් ගෙන නිශ්චිතව පලාපල කියූ බව නොරහකි. වර්තමාන ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ නොයෙක් නොයෙක් ආකාරයෙන් යම් යම් විලාසිතාවලට අදාළව භාව කේන්දරය සාදා පලාපල කියන නමුදු ඔවුහු මෙහි අගමුල නොදැන අනවබෝධයෙන් පලාපල කියන බව අප තේරුම් ගෙන ඇත. භාව කේන්දරය අනුව නම් කේන්ද්‍රයේ ආරම්භ සන්ධිය, විරාම සන්ධිය, මධ්‍යය ස්ඵුටය ආදී වශයෙන් කේන්දරයේ කුමන භාවයක් වුවද කොටස් තුනකට බෙදී යනු ඇත. මේ අනුව කිසියම් භාවයක ආරම්භක සන්ධියේ හෝ විරාම සන්ධියේ සිටින ග්‍රහයා ප්‍රතිඵල ඉහළ මට්ටමින් කාවදින ලෙස නොදෙන බව ප්‍රවීණ ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥයා හඳුනාගෙන ඇත. මධ්‍යස්ඵුටයේම සිටින ග්‍රහයා හෝ මධ්‍යස්ඵුටයට ඉතාම ආසන්නව සිටින ග්‍රහයා ප්‍රතිඵල ගෙනදීමේ දී සක්‍රීය වේ. මධ්‍ය ස්ඵුටයේම සිටින ග්‍රහයා බෙහෙවින් ම ඉහළ ප්‍රතිඵල ගෙන දෙයි. මෙහිදී මධ්‍ය ස්ඵුටයේම සිටින ග්‍රහයා සුබ භාවාධිපතියකු වී සුබ භාවයකම අදාළ භාවයේ මධ්‍යස්ඵුටයේම නම් නිශ්චිත ප්‍රතිඵල නිසි ලෙසම දෙන්නේය. එම ප්‍රතිඵලය කිසි විටක අඩමාන නොවේ. හරියටම පැහැදිලි නිවැරැදි නිශ්චිත ප්‍රතිඵලයකි. මධ්‍ය ස්ඵුටයෙන් ඈත් වන්න - ඈත් වන්න ග්‍රහයා නිශ්කී‍්‍රය වේ. උදාහරණයක් වශයෙන් 4 අධිපති 9 වැන්නේ සිටීම බෙහෙවින්ම උසස් යෙදුමක් බව පරාශර පවසයි.

තුර්යේෂේ පංච මේ නවමේ

සුඛී සර්ව ජනපි‍්‍රයඞ

විෂ්ණු භක්ති රතෝමානී

ස්වභුජාර්ජිත විත්තවාන්

පරාශර දක්වන පරිදි 4 අධිපති 5 හෝ 9 සිටින්නේ නම් ඔහු සැපතට පත්වන ජනපි‍්‍රය භාවයට පත්වන විෂ්ණු භක්තිය හෙවත් ආගමික භක්තියෙන් යුතු ප්‍රභූත්වයෙන් යුතු තමාගේ බාහු බලයෙන් හෙවත් දක්ෂකමින් මුදල් උපයන්නෙකි යන්න එහි අර්ථයයි. පොතෙහි මෙසේ සඳහන් වුවත් 4 අධිපතියා 9 වැන්නේ සිටින විට මේ ප්‍රතිඵලය මේ ආකාරයෙන්ම සියයට සියයක්ම ලැබීමට නම් 4 අධිපති 9 වැන්නේ මධ්‍ය ස්ඵුටයේම සිටිය යුතුයි. ඔහු භාව වශයෙන් 9 යේ සිටිනවා වෙනුවට 9 වැන්නේ ආරම්භ සන්ධියට ආසන්නව යෙදුණොත් ප්‍රතිඵලය නොලැබේ. එවිට 4 අධිපතියා 9 නොව 8 සිටීමේ දුර්විපාක ජන්මියාට ලැබෙනු ඇත. 4 අධිපති 5 සිටිනවා යැයි සිතමු. එහිදී වුවත් මේ 4 අධිපතියා 5 වැන්නේ විරාම සන්ධියටම ආසන්නව 5 මධ්‍යස්ඵුටයෙන් බොහෝ ඈතට ගොස් තිබේ නම්, වටිනා ප්‍රතිඵල ගෙන නොදෙයි. මෙහිදී පරාශරයෝ දැක්වූ ශුභ ප්‍රතිඵලය නිශ්ක්‍රීය වෙයි. අයහපත් ප්‍රතිඵල ගෙන දෙයි. මෙය පරාශරයේ කියමනෙහි වරදක් නොවේ. අප එය නිසිලෙස තේරුම් නොගැනීම ග්‍රහයා භාව වශයෙන් 5 වැන්නේ ම නොව 6 වැන්නට බරව සිටිනවා යැයි නොදැනීම නිසා ප්‍රතිඵලය විකෘති වන්නේ ය. වර්තමානයෙහි භාව කේන්ද්‍රය සාදන බොහෝ අය විවිධාකාරයෙන් ඉරි ගසා කොටුගසා රේඛා ඇඳ (විච්චූර්ණ විලාසයෙන්) භව කේන්දරය සෑදුවත් ඔවුහු භාව කේන්ද්‍රයක් මත පලාපල කියන්නට දැනුමක් නැති බව අප කොතෙකුත් අත්දැක ඇත.

පෞරාණික ඡ්‍යොතිෂඥයා භාව කේන්දරයක් නොසෑදුවත් නවාංශකය බලා භාව කේන්ද්‍රය හිතින් මවාගෙන ග්‍රහ පිහිටීම කෙලෙසින් භාවගතව ඇත්ද නැත් ද යන්න සිතා මතා බලා හරියටම තක්සේරු කර නවාංශක කේන්ද්‍රය තුළින් වුවත් භාව කේන්ද්‍රය නිර්මාණය කොට පලාපල ප්‍රකාශ කළ බව අපි දනිමු. කේන්ද්‍රයේ ත්‍රිකෝණ සංකල්පය භාව කේන්ද්‍රයෙහි පදනමයි. ලග්නය 5, 9 ආදී ස්ථානවල කිසියම් ග්‍රහයෙක් වේ නම් එම ග්‍රහයා නවාංශකයේ 1 වැන්නේම නම් ඔහු භාව වශයෙන් හරියටම මධ්‍යස්ඵුටයේ ය.

ඉන් ඈත් වන්න - ඈත් වන්න මධ්‍යස්ඵුටයෙන් දුරස්ථ වෙයි. එනිසා නවාංශකයේ එකේම නැතත් 2 හෝ 12 සිටින ග්‍රහයා මධ්‍යස්ඵුටයට ආසන්න යැයි සිතිය යුතු ය. ලග්න කේන්දරයේ 2, 10, 6 ආදී එකිනෙකාට ත්‍රිකෝණ භාවවල සිටින කවර හෝ ග්‍රහෙයක් වේද එම ග්‍රහයා නවාංශකයේ 10 වැන්නේම නම් ඔහු අදාළ භාවයේ මධ්‍යස්ඵුටයේම ය. එහිදී එම ග්‍රහයා මේ 10 වැන්නට හුඟක් ඈතින් සිටින්නේ නම් මධ්‍යස්ථඵුටයට ආසන්න වී නොමැත. එහෙත් 10 ට ආසන්න වූ 11 හෝ 9 යේ නම් මධ්‍ය ස්ඵුඨයට ආසන්න යැයි සලකා ප්‍රතිඵල කිව හැකිය. මේ ආකාරයට කේන්දරයේ 3, 7, 11 ආදී භාවයක සිටින ග්‍රහයෙක් නවාංශකයේ 7 වැන්නේම නම් එම ග්‍රහයා භාව වශයෙන් හරියටම එකී භාවවල මධ්‍යස්ඵුටයේම ඇත. එවිට ප්‍රතිඵල නිශ්චිතව ලැබේ. එසේ නොමැතිව නවාංශකයේ 7 වැන්නෙන් ඈත් මෑත් වී සිටී නම් ප්‍රතිඵලය එතරම් සක්‍රීය නොවේ.

තවදුරටත් විග්‍රහ කර බලමු. ලග්න කේන්දරයේ 4, 8, 12 ආදී ස්ානවල සිටින ග්‍රහයෙක් නවාංශකයේ 4ම නම් අදාළ ග්‍රහයා එකී භාවවල මධ්‍යස්ඵුටයේම ය. එවිට භාව ගත ප්‍රතිඵලය සුබ හෝ අසුබ හරියටම ලබා දෙයි. එහෙත් නවාංශකයේ 4 නොවී එම ග්‍රහයා ඈත් මෑත් වී සිටී නම් ප්‍රතිඵලය ඊට අනුකූලව වෙනස් වෙයි.

උදාහරණයක් ගනිමු.

එක්තරා මකර ලග්න කේන්දර හිමියකුගේ 4 අධිපති හෙවත් සුඛස්ථාන අධිපති කුජ අයස්ථාන අධිපති ද වී 9 වැන්නේ විය. භාවානුකූලව එය සුබය. නවාංශකය ඔහුගේ මීනයයි. කුජ නවාංශකයේ සිටියේ පළවෙනි කොටුවේම ය. එනිසා 4 අධිපති මෙන්ම 11 අධිපති කුජ 9 වැන්නේම හරි හරියටම සිටින බව සියයට සියයක්ම පැහැදිලිය. මේ නිසා මොහුට 4 අධිපතියා 9 සිටින ප්‍රතිඵලය ද 11 අධිපතියා 9 සිටින ප්‍රතිඵලයද සියයට සීයක් ලැබී ඇත. අද යම් යම් මාධ්‍යයන් ඔස්සේ හෝ බොහෝ අය භාව කේන්දරයෙන් පලාපල කියනවා යැයි පවසමින් මිනිසුන් රවටනවා කිසියම් ප්‍රසිද්ධියක් දක්වතත් ඔවුහු භාව කේන්දරය පරිදි නිවැරදිව ග්‍රහයාගේ බලය තක්සේරු කිරීමට නොදන්නා බව අපට පසක් වී ඇත. ඡ්‍යොතිෂය උදර පෝෂණයට යොදා ගනිමින් මිනිසුන් රැවටීම විනා ග්‍රහබලය නිසිලෙස තක්සේරු කිරීමට නොහැකි අය රටපුරා විසිරී ඇත.

උපදෙස්

ආචාර්ය ජී.ඇම්. ගුණපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.