පොරොන්දම් හා නැකැත් වැරැද්දීම පවක්

ජූලි 26, 2024

 

ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය දීර්ඝව හදාරන කෙනෙකු වශයෙන් ගැඹුරු ඡ්‍යොතිෂය කෙරෙහි හිත යොමුකරන කොට අනිකුත් කරුණු කාරණාවලට වැඩියෙන් පොරොන්දම් හා නැකැත් ගැන අවබෝධ කර ගත්තොත් වටින බව තේරුණා. මේ සම්බන්ධව එකින් එක වෙන්කර විස්තරාත්මක හැඳීන්වීමක් හා විස්තර කිරීම් පොත්වල සඳහන් කර දැනුම්වත් කර නැහැ. එනම් පොරොන්දම් හා නැකැත්වලින් ඇතිවන ප්‍රයෝජනයත්, ලාභයත් වගේම අප්‍රයෝජනයත්, අලාභයත් එකිනෙක සම්බන්ධ කර විස්තර කර නැති බව පෙනෙනවා.

මගේ පුතා හෝ දුව සිප් සතර හදාරා නියම වයසට පැමිණියාම සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයා දීම මගේ යුතුකමක්. ඒක මගෙන් ඉටුවිය යුතු වගකීමක්. ඒ නිසාම ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය හා යෝජිත ජන්ම පත්‍රය සමඟ ඡ්‍යොතිර්වේදියකු හමුවනවා. එය පරික්ෂා කළ ඔහු පළමුව ග්‍රහ පොරොන්දම්, දෙවනුව දස පොරොන්දම තෙවනුව විසි පොරොන්දම හා අෂ්ඨනාධිකූඨය පරික්ෂා කර බලා ප්‍රතිඵලය නිකුත් කරනවා. මේ හැම එකකින්ම කෙරෙන්නෙ එක්තරා ලකුණු ගණනක් දීමක් පමණයි. තවත් වචනයකින් කිව්වොත් සියයට ගණන කීයද? කියලා විතරයි. මේ විදියේ පරික්ෂාවක් කරන කොට ඒ පරික්ෂාවට අදාළ කරුණු ගැන විශේෂයෙන් සලකා බලන්ට ඕනෑ. උදාහරණයක් වශයෙන් පුංචි දරුවකුගේ කේන්දරයක් පරික්ෂා කරන්න කිව්වොත්, එම කේන්දරයේ රාශි 12ක් එකවගේ තිබුණට රාශි 12ම බලන්නෙ නැහැ. මේ කේන්දරයේ අයිතිකාරයා වයස අවුරුදු 5ට වැඩිනම් මුලින්ම බලන්න ඕනෑ 8 වැනි රාශිය නොමැති නම් අෂ්ඨමය සමඟ බාලාරිෂ්ඨ දෝෂ තිබෙනවද කියලා. ඒ කිව්වේ ආයුෂ සම්බන්ධව ආයුෂ නැතිවීමේ හෝ අඩුවීමේ තත්ත්වයක් තිබේනම් අන් කිසිවක් බලා වැඩක් නැහැ. ඒ වගේ විවාහ පොරොන්දම් බලන කොට කොපමණ ලකුණූ තිබුණත් නැති වුණත් ඊට කලින් බැලිය යුතු වන්නේ පුත්‍ර ස්ථානය සම්බන්ධව. එනම් විවාහයෙන් පසු දෙදෙනාට සුහද එකතු වීමක් තිබේද, දෙවනුව එසේ එකතු වී දරුවකු ලබන්නට සුදුසු ගැබක් පිහිටා තිබේද, තෙවනුව සියලුම දේ පිහිටලා දරුවෙක් ලබන්නට භවයේ කුසලාකුසලය තිබේද කියල ඉතා වුවමනාවෙන් පරික්ෂා කරන්නට ඕනෑ. ඉහත කී කරුණු බලලා නිවැරදි නම් විවාහයෙන් පසු දෙදෙන යහපත් ආකාරයට විවාහ ජීවිතය ගෙන යාමට සරාගි යෝග හෝ නටාංශක දෝශ තිබේද යන්න බැලිය යුතුයි. ඒ කිව්වේ විවාහයෙන් පසු කලක් ගතවන විට ඔබට අමතරව ඔබ වැන්නෙකු සොයා යාවිද? ඔබට වඩා මත්පැනට ආදරය කරාවිද? මේ ප්‍රශ්න ගැන විවාහ පොරොන්දමකදී ඉතාම නුවනින් පරික්ෂා කළ යුතුම බව මගේ පෞද්ගලික අදහසයි. මේ ප්‍රශ්න විසඳන්නෙ නැතුව කළ විවාහවල කොපමණ ගැටලු, වෙන්වීම් තිබෙනවද විවාහ පරික්ෂාවක් වැරදුණොත් දෙආකාරයකින් පාපී ඵල දෙනවා. එනම් නුසුදුසු විවාහයක් ළංකර දීමක් හා සුදුසු විවාහයක් ඈත්කර හැරීමක් පිළිබඳව. ලකුණු ප්‍රමාණය යහපත් වූ පමණින් විවාහය තීරණය කරන්ට එපා. යහපත් ලක්ෂණ විවාහයකට මේ සියල්ලම පරික්ෂා කරන්ට ඕනෑ. ඒක ඡ්‍යොතිර්වේදියකුට ටිකක් කරදර තමයි. ඒ වුණාට විවාහයක් කරල ඒක වැරදුණොත් ඒ යුවලගේ අනාගතය හා ජීවිතය සම්පූර්ණයෙන්ම අඳුරේ වැටෙනවාමයි. සමහරු හොඳට ගැළපෙන කේන්දර පාපියෝ ඉන්නව කියල ගන්ට එපා කියනවා. මේක වැරදි මතයක්. පාපියෝ හිටිය පළියට පාපිත්වය දෙන්නෙ නැතිනම් හෝ ඒ පාපිත්වය යහපත් ග්‍රහ දෘෂ්ටියට හසුවනව නම් ඒ සියලුම දෝෂ භංග වනවා. ඡ්‍යොතිර්වේදින් දෝෂභංග කියන්නෙ ඒවට තමයි. මේ දෝෂභංග විවාහයට පමණක් නොවෙයි ඡ්‍යොතිෂයේ අනිකුත් දේවලටත් සමානයි. එනිසා එහෙම වැරදුණොත් ඒක බැලු ඡ්‍යොතිර්වේදියාට හෝ වේදිනියටත් මනසින් වගකියන්නට සිදුවේවි. ඒ නව යුවළගේ ශාපයට. ඒ වගේ තමයි ඒකේ විරුද්ධ පැත්තත්. ඔබත්, ශාස්ත්‍රයත් බැබලේවි. මේක මම ඉතා වගකීමෙන් හා පළපුරුද්දෙන් ලියන්නේ.

විවාහයට පෙර මේ කිසිවක් අවබෝධ වන්නෙ නැහැ. ඇයගේ හෝ ඔහුගේ කතාවට රූපයට හෝ වෙනත් බාහිර ස්වරූපයකට ඔබේ හිත යනවා. එම නිසා යහපත් දෙමව්පියන්ට මම තරයේ යෝජනා කරනව දරුවගේ පොරොන්දම විශේෂයෙන් බලන කොට ඉතාම දක්ෂතාවය ඇති ඡ්‍යොතිර්වේදියකු හමුවන ලෙස.

මේ ආකාරයටම සමහර අය කිසියම් අලුත් ව්‍යාපාරයක් කටයුත්තක් ආරම්භ කරන කොට නැකතක් ලබා ගන්නවා. මේ කටයුත්තත් පොරොන්දම වගේම තමයි. නැකතක් දෙන කොට බොහොම දෙනා එයාට අවශ්‍ය දිනයට, කාලයට නැකත දෙනවා. ඒක බොහොම දෙනා කරන්නෙ ආපු අය හරවල යවන්ට බැරි නිසා කීයක් හරි අරගරනීමේ බලාපොරොත්තුවෙන්. එසේ නොකරන ලෙසට කාරුණික ඉල්ලීමක් කරනවා. ඒ නැකත වැරදි නම් ඉල්ලුවාට, හදිසියට දෙන්ට එපා. ඒක වැරදුණොත් මුළු ජීවිතයම ඉවරයි. අපි පාරම්පරික ඡ්‍යොතිර්වේදින් වශයෙන් හැම විටකදි ඒ අය දියුණුවේවායි යන ප්‍රාර්ථනයෙන් ඡ්‍යොතිෂය කළ යුතු බව මගේ හැඟීමයි.

තවත් කෙනෙක් ඉතාම අමාරුවෙන් ඉඩමක් මිලදී ඒ ඉඩම බැංකුවට උගස් කරල තමුන්ගෙම කියලා නව නිවෙසක් හදන්න නැකතක් ගන්නෙ ලොකු බලාපොරොත්තු ඇතිව. කිසියම් අයුරකින් ඔබ දුන් නැකැත වැරදී අභිනවයෙන් තනන නිවස අතරමගදී නැවතුණොත් ඒ අය කවදාවත් නොසිතූ මූල්‍යමය කරදරයකට පත්වනවා. එපමණක්ද නොවේ. ඔවුන්ගේ මුළු ජීවිතයම කඩා වැටෙනවා. සමහර විට එවිට ඔබට බනීවි. ශාප කරාවි. එහෙත් ඔවුන්ට ඉන් කිසිදු පිළිසරණක් ලැබෙන්නෙ නැහැ. කිසියම් දෙයකින් එය එසේ වුණොත් ඍජුව හෝ වක්‍රව ඊට ඔබත් වගකියන්ට ඕනෑ බව අමතක කරන්ට එපා.

ඡ්‍යොතිර්වේදියා කියන්නෙ කෙනකුගේ යහපත උදෙසාම ක්‍රියා කළ යුතු ශාස්ත්‍රවන්තයෙක්. ඒ ශාස්ත්‍රය කරන අයට විශේෂ දක්ෂතාවයක් හා නිපුණත්වයක් තිබිය යුතුමයි.

විශේෂයෙන් මෙවැනි ශාස්ත්‍රයෙන් වැඩ ගැනීමේදී එය නිවැරැදිම ඉෂ්ඨ කළ නොහැකි නම් තම දැනීම මදියි කියලා හිතනව නම් කිසිදු පැකිළීමක් නැතුව වෙනත් දක්ෂ කෙනකු වෙන යොමු කිරීමට වග බලාගත්තොත් ඔබත් දියුණු වේවි. ශාස්ත්‍රයත් දියුණු වේවි. නියම ජ්‍යොතිර්වේදියකුගේ ලක්ෂණය එයයි. අපි නොදන්න කරුණු කාරණා කොපමණ තිබෙනවද මේ ශාස්ත්‍රය තුළ. ඕනෑම කෙනෙක් ඡ්‍යොතිෂ කරුණක් සඳහා ඔබ වෙත එන්නෙ පූර්ණව ඔබව විශ්වාස කරල බව අමතක කරන්න එපා.

අපි හිතමු ඡ්‍යොතෂයේ ඇති ගුණාගුණයක් නැත්නම් පලාඵලයක් දැගන්නට ඡ්‍යොතිර්වේදියකු ළඟට ගියා කියලා. සමහර විට කුමන කාරණයකින් හෝ එය නිවැරදිව සිදු නොවුණ හොත් ඔහුගෙන් හෝ ඇයගෙන් වැය වන්නේ යම් මුදලක් පමණයි. අනික වෙන ස්ථානයකින් නැවත පරික්ෂා කරගන්නත් පුළුවන්. එහෙත් පොරොන්දමක් හෝ නැකතක් වැරදුණොත් සිදුවන අලාභයට වඩා හිත්තැවුල් හා මානසිකව වැටීම කියා නිම කරන්ට බැහැ. සමහර විට ජීවිත කඩා වැටේවි. පොරොන්දමක් වැරදි නුසුදුසු සහකරුවෙකු හෝ සහකාරියෙකු ලැබුණොත් ඉදිරි අනාගතයේ ලැබෙන අත්දැකීම ගැන මම කියන්න අවශ්‍ය නෑ. නැකතක් වැරදුණොත් මූල්‍ය අතින් සිදුවන ගැටලුව විසඳන්න ප්‍රතිකාර නැතිවේවි. නිවස හැදුවත් නැති වුණත් ගත් මුදලක්, පොලියත් බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ගෙවන්නම වනවා.

ඒක නිසාමයි අපේ හිතවත් ඡ්‍යොතිර්වේදීන් හා වේදිනියන්ගෙන් ඉල්ලා සිටින්නේ, පොරොන්දම් හා නැකැත් සම්බන්ධව ඉතාම පරිස්සම් විය යුතුය කියලා. මෙය කාරුණික ආයාචනයක් පමණයි. ඡ්‍යොතිෂය කෙරෙහි මහජනයාට ඉල්ලුම එතකොට වැඩිවේවි. මොකද ඔවුන්ගේ සතුට සැනසීම අපේ සතුට වන නිසා.

විශේෂයෙන් මේ ඉල්ලීම කරන්නෙ අපේ ආධුනික මහත්ම මහත්මාදීන්ගෙන්. ඡ්‍යොතිෂය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ගුප්ත ශාස්ත්‍රය සුළු දැනුමකින් කරන්ට බැහැ. මම මෙහෙම ලිව්වට බොහොම පාරම්පරික අය ඉතාම ආදරයෙන් හා පුළුල් දැනුමකින් මේ ශාස්ත්‍රය ප්‍රායෝගිකව කරන බවත් දන්නවා. ඒ අයට අපගේ ප්‍රණාමය මේ සම්බන්ධව බොහෝ අයගේ කනස්සල්ල සහ නොසතුට ප්‍රායෝගිකව හා අත්දැකීම නිසාමයි මේ සටහන ලිව්වේ.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී

ගුප්තවේදී මීපේගණිතගේ

රන්ජින් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.