කුජ උච්චය ඔබේ ලග්නයට

පෙබරවාරි 18, 2022

2022 පෙබරවාරි 26 සෙනසුරාදා සවස 3.50 ට කුජ හෙවත් අඟහරු කටක ලග්නයෙන් කන්‍යා නවාංශකයෙන් කුජ හෝරාවෙන් ගුරු පංචම කාල හෝරාවෙන් ස්වකීය උච්ච රාශියවන මකර රාශියට පිවිස උත්‍රසල, සුවණ, දෙනට නැකැත් ඇසුරු කරමින් 2022 අපේ‍්‍රල් 07 බ්‍රහස්පතින්දා සවස 3.15 දක්වා මකර රාශියේ ගමන් කරයි. දේශිය නිෂ්පාදන වලින් සහ පිටපළාත් වලින් – විදේශ වලින් ලාභ ඇතිවේ. වෙළඳ කටයුතු දියුණු වේ. කුජ මකර රාශියේ ගමන් කරන කාලයේ පොදුවේ සැමටම යුක්තිය සාධාරණය ඉටුවේ. නොයෙක් මාදිලියේ රහස් කුමන්ත්‍රණ තවදුරටත් හෙළිවේ. දේශීය කර්මාන්ත සහ වගා කෘෂිකර්ම කටයුතු දියුණුවේ. ප්‍රබෝධමත් ගතිය රට තුළ ඇතිවේ. දේශීය විදේශීය වෙළෙඳ කටයුතු දියුණුවේ. වියළි කාලගුණය පවතී. ජන ජීවිතයට නිකරුණේ බිය ඇතිවේ. කාර්මික අංශවල දියුණුව යෙදෙන අතර ගුප්ත අංශවලට ගුප්ත විද්‍යාවලට වැඩි දෙනෙක් යොමුවේ.

කොයි කවුරුත් සැලකිල්ලෙන් විමසිලි සහිතව කටයුතු කළ යුතුය. කපටි කෛරාටිකයන්ට අසුවීමෙන් මුළාවීමෙන් කරදර හිරිහැර ඇති විය හැක. කරදර අපහසුතා අපලඋපද්‍රවලදී මිත්‍යාමතවලින් ඈත්වී බුදුගුණ මෙනෙහි කිරීමෙන් සහ බුදුබණ අනුව කටයුතු කිරීමෙන් සෙත ශාන්තිය උදාකරගත හැක.

ලග්න අනුව

මේෂ –

මේෂ ලග්නයේ ලග්නාධිපති වන කුජ දස වැන්නට පැමිණ උච්ච සහ දිග්බලයෙන් යුතුවේ. කරන කියන කටයුතුවල දියුණුව ඇතිවේ. සමාජයේ කැපී පෙනෙන තත්ත්ව හිමිවන අතර එඩිතර කාර්යශූරීගති ඇතිවේ. කුජ දශාවත් තිබේ නම් වඩාත් සුබයි. බලාපොරොත්තු අදහස් සපලවේ.

වෘෂභ –

වෘෂභ ලග්නයේ හත්වැන්න සහ දොළොස්වැන්න අධිපති කුජ නව වැන්නට පැමිණේ. ත්‍රිකෝණ බලය සහ උච්ච බලය ඇති කරයි. කතාවට මෙන්ම හැම දේකටම දක්ෂතාවය ඇතිවේ. ඉගෙනීම් කටයුතුවලට බාධා යෙදීමට ඉඩ තිබේ. කල්පනාකාරීව උනන්දුවෙන් කටයුතු කළ යුතුය. ධනයෙන් දියුණුව ලැබිය හැක. දුර බැහැර ගමන් බිමන් යෙදේ.

මිථුන –

මිථුන ලග්නයේ හය සහ එකොළහ අධිපති කුජ අටවැන්නට පැමිණීම සුබ මදිය. රහස් සතුරු, කරදර කුමන්ත්‍රණවලට මුහුණ පෑමට සිදු විය හැකිය. වැටීම් තැළීම් හදිසි අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. එදිනෙදා කටයුතුවල අවුල්වියවුල් ඇතිවේ. යුගදිවියේ සමගියට බාධා විය හැකිය. රතු නෙළුම් මල් පූජා කරන්න. කුජ දශා ඇති අය අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න.

කටක –

කටක ලග්නයට යෝග කාරක හෙවත් සුබම ග්‍රහයා වන කුජ හත්වැන්නට පැමිණ උච්චව රුචක යෝගය උදාකරයි. සෑම දෙයක්ම උසස් අන්දමින් බලාපොරොත්තු වන අදහස් ඇතිවේ. කරදර බාධක ඇතත් ඒවායින් ජය ගැනීමට හැකියාව ඇතිවේ. යුගදිවියේ සමඟියට බාධා ඇති විය හැක. උදරගත උෂ්ණ රෝග පීඩා ඇතිවේ.

සිංහ –

සිංහ ලග්නයේ හතර සහ නවය හිමි කුජ හයවැන්නට පැමිණ උච්චවීම මධ්‍යස්ථ ඵල ඇති කරයි. ඔරොත්තු දෙන ශක්තිය ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් කරදර බාධා මඟහරවා ගත හැක. පදිංචි ස්ථානයේ කරදර බාධා ඇතිවිය හැක. උදරගත උෂ්ණ රෝග පීඩා යෙදිය හැක.

කන්‍යා –

කන්‍යා ලග්නයේ කුජ පස්වැන්නට පැමිනීම ත්‍රිකෝණ බලයෙන් උච්ච බලයෙන් යුක්ත වේ. කරන කියන කටයුතුවලට දක්ෂතා ඇතිවේ. හිතේ තද අදහස් ඇතිවීම තමාට අවාසිදායක වේ. ඉගෙනීම් ආදියට බාධා ඇති කරයි. බඩේ පපුවේ දැවිලි ගති ඇතිවිය හැක. ආදායම් තත්ත්වයේ වෙනස්කම් ඇතිවිය හැක. ලැබීම් ඇතිවේ.

තුලා –

තුලා ලග්නයේ දෙක, හත අධිපති කුජ හතරට පැමිණ කේන්ද්‍රගත වේ. කාර්යශූර ගති මෙන්ම ජයග්‍රහණ ලැබීමට ද අවස්ථාව උදාවේ. කරන කියන කටයුතු සාර්ථක වේ. කුජ දශා තිබේනම් වාහන වස්තු ලාබ ඇති කරයි.

වෘශ්චික –

වෘශ්චික රාශියේ ලග්නය සහ හය අධිපති කුජ වික්‍රමස්ථානයට පැමිණ උච්චවේ. කීර්තිය, ප්‍රසිද්ධිය මෙන්ම කරන කියන කටයුතුවල සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ඉවසීමෙන් කටයුතු කළ යුතුය. නැතිනම් හදිසි අනතුරු යෙදිය හැකිය. රතු නෙළුම් මල් පූජා කරන්න.

ධනු –

ධනු ලග්නයේ දොළොස් දෙවැන්න සහ පස්වැන්න හිමි කුජ දෙවැන්නට පැමිණේ. ධනුවට කුජ අර්ධ යෝගකාරක වේ. යහපත් ඵල උදාකරයි. උපතේදී යහපත්ව සිටියා නම් වඩාත් සුබයි. ව්‍යාපාර කටයුතු දියුණු වේ. ලැබීම් ඇතිවේ. ගමන් බිමන් යෙදේ. කටයුතු සාර්ථක වේ.

මකර –

මකර රාශියේ හතර සහ එකොළහ අයත් කුජ ලග්නයට පැමිණ උච්ච වේ. රුචක යෝගය යෙදේ. කරදර බාධක බිඳීයයි. ජයග්‍රහණ අත්වේ. උනන්දුව බලවත්ය. කරන කියන කටයුතු සාර්ථක වේ.

කුම්භ -

කුම්භ රාශියේ තුන්වැන්න සහ දසවැන්න අධිපති කුජ දොළොස්වැන්නට පැමිණීම එතරම් සුබ නැත. දියුණුවට බාධා ඇතිවේ. දුර බැහැර ගමන් බිමන් යෙදේ. මිල මුදල් ලැබීම් ප්‍රමාද වේ. අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න.

මීන -

මීන ලග්නයේ යෝග කාරක කුජ අයස්ථානයට පැමිණිම සුබයි. තත්ත්වය උසස් වේ. සමාජ ගෞරවය ලැබේ. දශාව තිබේනම් වඩා හොඳයි. ආදායම් සරුවේ. භූමි ලාබ ලැබේ. කුජ එකොළහේ යෙදීම ධන යෝගයකි.

 

ඡ්‍යෝතිෂවේදී

සෝමපාල විජේසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.