මනමාල සිකුරා ඔබේ දිවියට කරන බලපෑම්

පෙබරවාරි 4, 2022

ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින් ද අනිත් පැත්තෙන් කුජ ද පිහිටා ඇත. සූර්යාගෙන් අංශක 48 කට වඩා ඈත් නොවේ. මෙම ග්‍රහයා අලුයම කාලයේදීත් ඉර බැස යන කාලයේදීත් අපේ පියවි ඇසට පෙනෙන අතර උදයේ දකින විට පහන් තරුව වශයෙන් ද සවස දකින විට ඉරබටු තරුව වශයෙන් ද හඳුන්වයි.

සිකුරු මිනිසාට සියලු ශුභඵල ගෙන දෙන ප්‍රමුඛ ග්‍රහයෙකි. මනුෂ්‍යයාගේ රූප ශෝභාව, පේ‍්‍රමය. වාසනාව,යහපත් ජීවිතය, පිරිසුදුකම, කරුණාව, මිත්‍රත්වය, කෙළිලොල් බව ආදි ගුණාංග සිකුරුගෙන් ඇතිවේ. තරුණ වයසට බලවත්වේ. දවල් උපන් අයට සිකුරු මව්වේ. සිකුරු කේන්ද්‍රගතවීම, ත්‍රිකෝණගතවීම, ලග්නයේ හෝ එකොළහේ සිටීම. උච්ච ක්ෂේත්‍රවීම ඉතාම යහපත්ය. සිකුරු බලවත්වූ විට සැහැල්ලු රස ආහාර අකලට මහලු නොවෙන තරුණ පෙනුම , ඇසීමට පි‍්‍රය උපදවන වාග් චාතුර්ය ඇතිවීම හැමවිට සතුටින් සිටීම, භාර්යාව හෝ පුරුෂයා සමඟ සැපසේ වාසය කිරීම ආදි යහපත් ඵල ඇති කරයි. මෙවන් සුබ ඵල දෙන සිකුරු දුර්වලවීමෙන් විවාහය කරදරකාරි එකක්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

සිකුරු පළවෙනි කොටුවේ හෙවත් ලග්නයේ සිටීමෙන් දැකීමට පි‍්‍රය මුහුණ මනාව පිහිටි ශරීරයෙන් හා පි‍්‍රය උපදවන කථා විලාශයක්ද හිමිවෙයි. නිතර විනෝදයෙන් සිටින අයකු වෙයි. සුවඳ වර්ග හා ලස්සන අඳුම් පැලඳුම් පි‍්‍රය කරන අතර පිරිසුදුකමද අගය කරන්නකු වෙයි. සුව පහසු යහන්වල සැතපීමට ලැබෙයි. ස්ත්‍රින් ආශ්‍රයට පත්වී මහලු අයකු වුවද තරුණයකු මෙන් ක්‍රියා කිරීම නිසා ස්ත්‍රීන්ට ද ඉතා පි‍්‍රයභාවයක් ඇති කරවයි. ලග්නය තුලා, වෘෂභ, මීන යන එකක් වී ලග්නයට පැමිණි සිකුරා මාලවී යෝගය ද උදාකර කලා කටයුතුවලට දැඩි පි‍්‍රයතාවයක් ඇති කරවයි. විසිතුරු දේවල් කිරීමට පෙලඹෙයි. එයින් අන්‍යයන්ගේ සිත් තමා වෙත ආකර්ෂණය කරගැනීමේ ගතිය ඇතිවේ.

සිකුරු දෙවැන්නේ සිටීමෙන් නිරායාශයෙන්ම ධනය ලබා දෙනු ඇත. බලයෙන් ද යුක්තය. රජයේ හා උසස් නිලධාරින්ගේ පැසසුමට ලක්වෙයි. ඔවුන්ගේ උපකාරයෙන් දියුණුව සැලසේ. හිත මිතුරන් ඇතිවන අතර විවාහයදි වාසනාවන්ත ය. යහපත් ඇස්, මුඛය සුභාෂිත වචන ඇති චරිතවත් යහපත් කෙනකු වන අතර පි‍්‍රයජනක මුහුණක් ද ඇතිවේ. දෙවැන්නාධිපතිවි සිකුරා දෙකේ හැසිරෙන විට ඔහුගේ මහ දශා අතුරු දශාව ද එවක ට පවතී නම් මහා ධන කුවේරයකු වන්නේ ස්ත්‍රීන් ඇසුරින් ලැබෙන ධනය හේතුවෙනි. ඔහු නොදැන ධනය ගලා එනු ඇත.

තුන්වැන්නේ සිකුරා සිටියදී උපන් අය ස්ත්‍රීන්ට වඩා පි‍්‍රයවේ. සහෝදරයන්ගේ උපකාර නොඅඩුව ලැබෙයි. දරුවන්ට සුබදායක නොවේ.

එමෙන්ම තුන්වැන්නේ සිකුරා සිටින අයගේ ජීවිතය උසස් තත්ත්වයකට පත්වන අතර ඔවුනට දීර්ඝායුෂ ලැබීමට ද වාසනාව ඇත. බිරිඳ ගේ ධනය නොඅඩුව ලැබෙයි. ධන ධාන්‍යයෙන් පිරි සැපවත් දිවියක් ගත කිරීමේ භාග්‍යය උදාවෙයි. සිකුරු දුර්වල වී සිටියේ නම් තම සහෝදරියන්ගෙන්, භාර්යාවන්ගෙන් විපත් ඇතිවේ. සහෝදරයන් අතර නිතර අඩදබර ඇතිකරවයි.

සිකුරු හතරවැන්නේ සිටි විට අලුත් ගෙවල්, දොරවල්, මල්වතු, උයන්වතු , ක්‍රීඩා භූමි. නාට්‍ය ශාලා. සංදර්ශන, පෙන්වන භූමිවල හිමිකරුවන්වීම හෝ එවන් ස්ථානවල වාසය කරන්නෝ වෙති. රථවාහන ලැබීමට ද වාසනාව ලබති. නැටුම් ගැයුම් උගන්වන ගුරුවරුන් ද විය හැකිය. ස්ත්‍රී ලාභ, ආයුෂ ලාභ ඇති වෙයි. ත්‍යාගශීලි වෙයි. සිකුරු දුර්වලව සිටියොත් පපුවේ රෝග, ශරීරය කෘශවීම, ගේ දොර අන් අය සතුවීම, ස්ත්‍රි වියවුල් ඇතිවීම, සහෝදරයන් විරුද්ධවීම, ඉඩකඩම් ආරවුල් ආදිය ඇති කරයි . ස්ත්‍රීන්ගේ දේපළ පිළිබඳ නඩුහබ ඇතිවේ.

සිකුරු පස් වැන්නේ සිටියදි උපන් අය ආචාර්යවරුන්, ශාස්ත්‍රඥයන් සිනමා නාට්‍ය ආදි කලා කටයුතුවල අධ්‍යක්ෂවරුන් . මන්ත්‍ර ශාස්ත්‍ර ආදියේ නිපුණවන්නන් යහපත් දේ ඉගෙන එයින් දියුණු වන්නෝ වෙති. රජයෙන් හා උසස් නිලධාරින්ගෙන් පිදුම් හා ගෞරව සම්මාන ලබයි. දැකීමට පි‍්‍රය රූමත් ස්ත්‍රීන් ඇසුරට පත්වේ. ස්ත්‍රීන් නිසාම දියුණුවට ද පත්වේ.

හයවැන්නේ සිකුරු සිටියොත් ඥානයෙන් සතුරන් පරදවයි. නපුරු සිතිවිලි ඇතිවෙයි. අධිකව දු පුතුන් ලබයි. ස්ත්‍රින්ට ලොල්වීමත්, අධික කාමසේවනය නිසාත් විපත් ඇතිකර ගනියි. ධාතු හීන රෝග, ක්ෂය රෝග , ප්‍රමේහ රෝග. ඇස්වල ආබාධ ඇතිවීමට පුළුවන. තම චරිතයට හානිදායක ප්‍රචාර ඇතිවීමෙන් ලෝකයට මුහුණ දීමට අපහසු තත්ත්වයක් ඇතිවෙයි.

සිකුරු හත්වැන්නේ සිටියදී උපන් අය පහත් ගති ඇති ස්ත්‍රීන් හා ගණිකාවන් වැනි අයගෙන් කරදර හිරිහැර ඇතිවේ. තම භාර්යාව පවා තමා ගැන සැක කිරීමෙන් නිතර පවුල් අඩදබර ඇතිවෙයි. අසමගිය රජවෙයි. රළු ආහාර පවා ගැනීමට සිදුවේ. නිතර රෝගී තත්ත්වයෙන් පසුවීමට සිදුවේ. විශේෂයෙන් ලිංගික රෝග ඇති විය හැක. සිකුරු මාරක ග්‍රහයකු වී හතට පැමිණියහොත් අකල් මරණද ඇති කරවයි.

සිකුරු අටවැන්නේ සිටි විට ග්‍රහයන් හැම දෙනාම වාගේ ජන්මියාට අශුභ ඵල දුන්නත් සිකුරු අටවැන්නේ සිටිය යුතු උසස්ම ග්‍රහයාය. වෙදදුරන්ටත් සෙවිය නොහැකි මරණයක් වෙයි. වකුගඩුවේ හෝ හෘදය වස්තුවේ රෝගයකින් මරණය සිදුවිය හැකිය.

සිකුරු නමවැන්නේ නම් ජන්මියා ධාර්මික අංශයට යොමු කරවයි. තමාගේ නිවසට ශි‍්‍රයා කාන්තාව පැමිණියාසේ නිවසේ ශි‍්‍රයාව , සමගිය හා සමාදානය ඇති කරවයි. උසස් අයගේ උපකාර හා ගරු බුහුමන් ද ලබයි.

ධන ධාන්‍ය ලාභ කාර්ය සිද්ධි ඇති වීමෙන් ධනවත් උසස් දිවියක් ගත කිරීමට ලැබෙයි.

දහවැන්නේ සිකුරු සිටීම රජයේ රාජකාරි හිමිවීමට විශේෂ පිහිටීමක් වේ. ආගිය හැම තැනකදීම හැමගේ පිළිගැනීම්වලට ලක්වෙයි. උසස් අයගෙන් උදව්. උපකාර නිරායාශයෙන්ම ලැබෙයි. බොහෝවිට පාලක පක්ෂයේ අත්සන පමණක් යොදන රැකියා ලැබෙනු ඇත. යහපත් ගතිගුණ හා ක්‍රියාකලාපයන් ඇත්තෙකි. මහජනයාගේ ප්‍රසාදයද දිනා ගනී.

එකොළොස්වැන්න සිකුරුට වඩාත් යහපත් ස්ථානයකි. අලුත් නිවාස, රථවාහන, යහපත් දූ දරුවන්, රූමත් ස්ත්‍රීන් ආදිය ද ලබයි. ධනවත් කරවයි. උගත්, පොහොසත් ස්ත්‍රීන් හා විවාහ වී ඔවුන්ගේ ධනය නිසා ප්‍රසිද්ධියද ලබයි. සිකුරු දුර්වලව සිටිය හොත් ස්ත්‍රීන් නිසා ආරවුල් ඇතිවේ. සල්ලාලකම නිසා කරන සියලු කටයුතුවලින් පාඩු ලබයි. දූ දරුවන්ට ද අයහපත් ප්‍රතිඵල උදාකරවයි.

සිකුරු දොළොස්වැන්නේදි උපන් අය වස්තු ලාභ ගේදොර වතුපිටි ආදියට හිමිකම් ලබන්නෝය. ත්‍යාගශීලි වේ. අන්සතු ධනයට හිමිකම් ලබයි. මිතුරන් ඇසුරින් ධනය ද හිමිවේ. ඔවුන්ගේ උපකාරය දියුණුවට හේතුවෙයි. පාප පීඩිතව හෝ පාප සංයෝග ඇතිව සිකුරු සිටියොත් මවට මරණය හෝ තදබල ලෙඩ දුක් ද ඇති කරවයි. අශුභව සිටියොත් ස්ත්‍රීන් නිසා ධන හානිවෙයි. මිතුරන් වෛරවීම නිසා ගුණධර්ම පිරිහීමෙන් චෝදනාවලට ලක්වේ. වම් ඇසේ රෝග ආබාධ ඇති වීමටද පුළුවන.

හිඹුටානේ පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.