අපල දුරුවන්න ග්‍රහයන්ට අයත් ගස්වලට සාත්තු කරන්න

ජූලි 12, 2024

ජන්මියකුගේ අපල සපල කාලය මතුවන්නේ ඔහු හෝ ඇය විසින් කරන ලද කුසලාකුසල කර්ම විපාකවලට අනුරූපවයි. හරියට පරීක්ෂාවෙන් හිටියොත් එය අවබෝධ වේවි. ඒ කුසලාකුසල කර්මවල ප්‍රතිඵල. ඒවා එකපාරටම ජන්මියෙකුට පැවරෙන්නෙ නැහැ. ඕනෑම කර්ම විපාකයක් පලදීමේ දී පූර්ව, මධ්‍යම, අවසාන යනුවෙන් කාල ත්‍රිත්වයක් පවතිනවා. පූර්ව තත්ත්වයටම පූර්ව ලක්ෂණ කියලා කියනවා.

ඒ අවස්ථාව අවසන් වන විට ඊට අනුරූපීව මධ්‍යම කාලය උදාවනවා. ඒ මධ්‍යම කාලයට ලබන ප්‍රතිඵලවලට අනුරූපීව ජන්මියාට ක්‍රියා කරන්න සිදුවනවාමයි. ඒක ලබනකල් බලා ඉන්න හොඳ නැහැ. යහපත් දෙයක් නම් උත්සාහ කරල ලබාගන්නත්, අයහපත් දෙයක් නම් ඉන් වළකින්නත් අවශ්‍ය පියවර ගන්නම වනවා. මේ දෙකම කරන්න වන්නේ පූර්ව කාලයෙදි මධ්‍යම කාලය ලබන්ට පෙර. එවිට යහපත් දෙයින් වාසිදායක ප්‍රතිඵල ලබන්නටත්, අයහපත් කාරණාවලින් මිදෙන්නටත් හැකිවනවා.

නරක ප්‍රතිඵලයක් ලබන්ට ඇත්නම් ඉන් ටිකකින් හෝ මිදෙන්න පුරාණ කාලයේ සිට පැවතීගෙන එන එක් පූර්ව ප්‍රතිකර්මයක් තමයි ගස් වැවීම, ගස්වලට සාත්තු කිරීම හා ගස්කොළන් ස්පර්ශ කිරීම. විශේෂයෙන් එය කරන්නේ ස්වභාවධර්මයාට හෙවත් විශ්ව ශක්තියට කරන කෙළෙහිගුණ දැක්වීමක් හා උතුම් ගෞරවයක් ලෙසින්. මන්ද කියනවා නම් ජීවියාව ජීවත් කරවන්නේ ස්වභාව ධර්මයායි. අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ විශ්වයෙන්. විශ්වයට අපි උදව්කරනකොට විශ්වයෙන් අපට යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ගස් කොළන් විශ්ව ශක්තියේ එක් කොටසක්.

මහෞෂධ පඬිතුමාගේ එක් පාඩමක් අවසානයේ දී ගෝල ශිෂ්‍යයෙකුට “දැන් ඔබ පිටත්ව ගිහිල්ලා එක් දිනයක් තුළ ඇවිදලා මේ පොළොව උඩ වැවෙන පැළෑටිවලින් කිසිදු ඖෂධීය ගුණයක් නැති කිසියම් හෝ පැළෑටියක් සොයාගෙන එන්නය” කියලා පිටත්කර හැරියලු. සවස් වනකල්ම එවැනි පැළෑටියක් සොයාගත නොවුණ නිසා පසුව දා උදේ ඇවිත් ඒ බව තම ගුරුවරයාට සැළකර සිටියාලු. ඉන් අපට අවබෝධ වන්නෙ කිසියම් හෝ රෝගයකට ගත නොහැකි කිසිම පැළෑටියක් මිහිපිට නොමැති බවයි. එනම් පැළෑටි සියල්ලම ඖෂධ බවයි.

වෛද්‍ය විද්‍යාව අනුව සියලුම පැළෑටි මනුෂ්‍යයාට වැලඳෙන කුමන රෝගයකට හෝ අවශ්‍ය බව පැහැදිලි වනවා. සත්වයාගේ ජීවත්වීමට සියලුම ගස්වැල්වල, මුල්, පොතු, දලු මල් ආදි දේ අත්‍යවශ්‍ය නම් ගුප්ත විද්‍යාවට ගොරකා, බුලත්, කෙසෙල් වැනි වෘක්ෂ අවශ්‍යවනවා නම්, ඡ්‍යොතිෂයටත් මේ ගස්කොළන්වල පිහිට අත්‍යවශ්‍ය බව පැහැදිලියි. ඡ්‍යොතිෂයේ ග්‍රහ, තරු, ගැන දීර්ගඝව අවබෝධ කර ගැනීමේදී එක එක ග්‍රහයන්ට ආවේනික වූ ගස්වැල් තිබෙන බව මනාව පැහැදිලි වනවා.

සූර්යයා වටේ ග්‍රහලෝක 9ක් භ්‍රමණය වනවා පෘතුවියත් සමඟ. මේ සෞරග්‍රහ මණ්ඩලයේ අධිපතියා සූර්යයා නැතිනම් රවි මේ ග්‍රහලෝක 9 ය තම කක්ෂය වටෙත් ඉතිරි ග්‍රහලෝක වටෙත් වේගයෙන් භ්‍රමණය වන නිසා ඒවා එක තැන තිබෙනව වගේ. පියවි ඇසට සමහර ග්‍රහයො නොපෙනුණත් දුරේක්ෂ වැනි යන්ත්‍රවලට පෙනෙනවා. එසේ විහිදෙන ග්‍රහ කිරණ පෘථිවියේ වාසය කරන ජීවයාට බලපානවා. මේ ග්‍රහ කිරණ වරෙක යහපත් ආකාරයටත් තවත් වරෙක අයහපත් ආකාරයටත් බලපානවා. ඡ්‍යොතිෂයට අනුව එම කිරණවල බලපෑම ග්‍රහ මිතුරු, හතුරු, නීච, උච්ච වශයෙන් හඳුන්වනවා. වචන උච්චාරණය කෙසේ තිබුණත් සාමාන්‍යයෙන් සිදුවන්නෙ ජීවියාට යහපත් හෝ අයහපත් වන එකයි. මේ කිරණ මනුෂ්‍ය ශරීරය ස්පර්ශ කිරීමෙන් එක එක ආකාරයෙන් හොඳ නරක ප්‍රතිඵල ඇතිවනවා. උදාහරණ වශයෙන් තද රතුපාට කිරණයක් වන අඟහරුවා පොළොව දෙසට යහපත් ලෙසට එල්ලවීමේදී ජීවියාගේ සැම ක්‍රියාවක්ම කාර්යක්ෂම යහපත් ආකාරයට සිදුවනවා. ඡ්‍යොතිෂයට අනුව හදිසි ධනලාභ වගේ දේත් සිදුවනවා. ඒක අපේ කේන්දරයේ 02 වැනි 11 වැනි රාශි පරීක්ෂා කළාම දැනගත හැකි වනවා. පාඩුවීම් ද එහෙමමයි. ඒ වගේම සෙනසුරු ග්‍රහයාගේ කිරණ සුබ ආකාරයට පතිත වීමේ දී සුබ තත්ත්වයක් ද අශුභ ආකාරයට පතිත වීමේ දී අශුභ රෝග ද හැදෙනවා.

මේ කිරණ පතිත වීමේ දී එක් වැදගත් කරුණක් කියන්නටම ඕනෑ. මේ තත්ත්වයක් එක පාරටම දැනෙන්නෙ නැහැ. හොඳ හෝ නරක තත්ත්වයන්ට අනුලෝමව හෝ ප්‍රතිලෝමව ජන්මියාට විඳින්නට සිදු වනවා. ඒ තත්ත්වයන් කලින් සඳහන් කළා සේ පූර්ව අවස්ථාවේ ලකුණු පෙන්වනවා. මේ ඕනෑම ග්‍රහ කිරණ ජන්මියාගේ ශරීරය ස්පර්ශ කිරීමේ දී ඉන් වැඩි ප්‍රයෝජන ගැනීමටත්, ඉන් වැළැකීමටත් ඒ ඒ ග්‍රහයන්ට අනුලෝමව ගස්වැල් නම්කර තිබෙනවා. එම ගස්වැල්වලට නියමිත ප්‍රතිලාභ කිරීමෙන් වඩා ප්‍රතිලාභ ලබා ගත හැකි බව ඡ්‍යොතිෂයේ පෙන්නුම් කරනවා.

මේ සම්බන්ධව ගුප්ත ශාස්ත්‍රයේ යන්ත්‍ර දැමීම, දෙහි කැපීම හා තවත් ශාන්තිකර්ම වැනි දේ නැතුවා නොවේ. මේ ශාන්තිකර්ම සඳහා ජන්මියාට කිසියම් වියදමක් දරන්නට සිදුවනවා. එහෙත් ඡ්‍යොතිෂයට අනුව ඒ ඒ ග්‍රහයන්ට ආවේණික ගස්වැල්වලට සාත්තු කිරීමෙන් පැළකිරීමෙන් හා ස්පර්ශ කිරීමෙන් ජන්මියාට වැලඳෙන කිසියම් හෝ රෝගී තත්ත්වයන් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් නොමිලේ වළක්වා ගැනීමට හැකිවනවා. මීට අමතරව ඔවුනොවුන්ගේ ආයුෂ ප්‍රමාණයද වැඩිවනවා.

රවි දෝෂයට- ඡ්‍යොතිෂයට අනුව පුද්ගලයකු මෙලොව උපත ලබන අවස්ථාවේ ජන්ම කේන්දරයේ රවි නම් ග්‍රහයා නැතහොත් රවි කිරණ අශුභ ස්ථානයක හෝ අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබා හෝ අශුභ ග්‍රහ සංයෝග ලබමින් සිටින විටත්, ග්‍රහ චාරයෙදි අශුභ ස්ථාන පසුකරමින් යන විටත් සූර්යයා නැත්නම් රවි ග්‍රහයාගේ අශුභ කිරණ එම පුද්ගලයාට ස්පර්ශ වීමෙන් විවිධ අශුභතා ඇති වීමේ දී ඉඹුල් නම් වෘක්ෂය යට සිටීමෙන් ගසට සාත්තු කිරීමෙන් හෝ එම ගස ස්පර්ශ කිරීමෙන් එවැනි දෝෂ භංගවන බව ඈත අතීතයේ සිටම පිළිගැණුනු කරුණු වන අතර එය ඍෂිවරුන්ගේ ද මතය වී ඇත. තවද මෙම පිළියම් ඉරිදා දිනවල කිරීමෙන් වඩා ප්‍රතිඵල ලැබිය හැකි බවද සඳහන් වේ.

සඳු දෝෂයට- සෞරග්‍රහමඩුල්ලේ සෞම්‍යයා වශයෙනුත් මව්ට අධිපතියා වශයෙනුත් හඳුන්වනු ලැබූ සඳු හෙවත් චන්ද්‍රයාට හිමිවන්නෙ දිඹුල් වෘක්ෂයයි. මෙය සඳුගෙන් පැමිණෙන කිසියම් සතුරු ආන්ත්‍රාවලදී ඉහත සඳහන් පිළිවෙත දිඹුල් ගසට කිරීමෙන් ඒ සියලු කරදරවලින් මිදිය හැකිය. විශේෂයෙන් මව්වරුන්ගේ කරදරවලට සහනය ලබාගත හැකි ගසකි දිඹුල්.

කුජ දෝෂයට- සෞරග්‍රහ මණ්ඩලයේ රතු පැහැති කලබලකාරයා වශයෙන් අඟහරු කිරණ හැඳින්වේ. කොළොන් වෘක්ෂයට අධිපතිත්වය උසුලන කුජ ශරීරයේ රුධිරයට ප්‍රධාන වේ. ලේ විෂවීම වැනි දරුණු රෝගාබාධකවලට ක්ෂණික ප්‍රතිකාරයක් හැටියට කොළොන් වෘක්ෂයට සාත්තු සප්පායම් හා ස්පර්ශ කිරීම් කරයි. සිත කලබලකාරී තත්ත්වයෙන් මිදීමද නැති කරයි.

බුධ දෝෂයට- කොහොඹ ගස, කොළ බෝවෙන රෝග නසයි. කතරගම දෙවියන්ගේ බැල්ම හෙළන කොහොඹ ගසට බුධ අධිපතියා වෙයි. කොහොඹ ගසට මේ පිළියම් කිරීමෙන් බුධගෙන් සියලුම විපත් සමනය කරගත හැකිය.

ගුරු දෝෂයට- බෝ ගස බ්‍රහස්පතිට අයත් වෘක්ෂයයි. ස්වකීය දරුවන්ගේ ශිල්පය සම්බන්ධව ගැටලුවලදී ඊසාන දිශාව බලා බෝගසට ප්‍රතිකාර කිරීමෙන් එම විපත් නැතිකර ගත හැකිය.

ශුක්‍ර දෝෂයට- කිවි හෙවත් සිකුරු ග්‍රහයාට හිමි වන්නෙ කරඳගස වේ. විවාහ කටයුතු, කඩිනම් කරගැනීම සඵල කරගැනීම වැනි සිදුවීම්වලදී කරඳ ගසට සාත්තු කිරීම හා ස්පර්ශ කිරීම නිසා පූර්ණ සහනයක් ලබාගත හැකිය.

ශනි දෝෂයට-සෙනසුරුට හිමි වන්නේ නුග වෘක්ෂයයි. විශේෂයෙන් සෙනසුරාගෙන් එන සියලුම කරදර කෙම්මුර දිනවල නුගගස්වලට සාත්තු කිරීම ඉතා යහපත් වන්නේ ය.

රාහු දෝෂයට -රාහු ඡායා ග්‍රහයෙකි. හිමිවන්නේ වැටකෙයියා වෘක්ෂයයි. කල්පනාව මද කම නිසා කෙරෙන සියලුම කටයුතුවලින් මිදීමට වැටකෙයියා පැලයකට සාත්තු කිරීම ඉතා උචිත කරුණකි.

කේතු දෝෂයට-කේතා හෙවත් බඹපුත් කෙසෙල්වලට අධිපතිකම් දරයි. අවුල් වූ ක්‍රියා නියම පිළිතුරු නොලැබෙන කටයුතුවලදී මෙම කේතා වෙනුවෙන් පිළියම් කිරීම සුදුසු වේ. එක එක ග්‍රහයන්ට නියමිත ගස්වැල්වලට ප්‍රතිකාර කිරීම ඉතා සුදුසු බව ඡ්‍යොතිෂයේ මතය වේ.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.