ධනු ලග්නය

ජූලි 5, 2024

 

ද්වි ගුණයෙන් යුතු ධනුව අග්නි භූත බලයට අයත් වේ. මෙහි පවතින ශක්තිය ආත්මයට සම්බන්ධ වේ. ඒ අනුව ධනුවේ උපන් අයගේ ගති ක්‍රියාකාරකම් යෙදේ. ලස්සන ශරීරය පළල් නළල සහිත වැඩුණ ශරීරය වේ. පෘථුල අදහස් හා දැනුම ඇති හිතට එකඟව කෙලින් වැඩ කරන අතර උසස්වීමට ආශාවද ඇත. යුක්ති ගරුකව සාධාරණ වැඩ කරන අතර අයුක්තිය පෙනෙන්නට බැරිය. අයුක්තියට විරුද්ධව සටන් කරයි. ධනුවේ උපන් අයට අදහස් දෙකක් බල පවත්වයි. වරෙක ගරු සරු රහිත ලෙස ඉදිරියට පැන වියදම් කටයුතු කරන අතර වරෙක නිහඬව ඉවසිල්ලෙන් යුතුව නිවී සැනසිල්ලේ ක්‍රියා කරයි. ඕනෑම දෙයක් දුටු හැටියේ කිරීමේ හැකියාවක් ද ඇත. එමෙන්ම පටන් ගත් කාර්යය ක්‍රමානුකූලව ඉටු කරයි. හොඳ ධෛර්යය මෙන්ම යුක්ති ගරුක භාවයද පවතී. වුවමනාවෙන් නඩු හබවලට සම්බන්ධ නොවන අතර ඉන් බේරී සිටීමටද සිතා බලයි. දර්ශන න්‍යායාදී දේ ඉගෙනීමට ද ආශා කරයි. නිදහසට ගරු කරයි. වාසනාවෙන් සතුටින් වාසය කිරීමට කැමතිය. එසේ සිටීමටද පුළුවන. අදහස් වචන අණ දෙන ආකාරයෙන් පවතී. එය අන්‍යයන්ගේ හිත් රිදවීමට ද ඉවහල් වේ. කඩිසර ක්‍රියාසූර භාවයද පවතී. දියුණුවෙන් උසස් තත්ත්වයට පත්වේ. සැලසුම් ක්‍රියා මාර්ග ඉතා සාර්ථක වේ. ඉබේ කරන වැඩක් වුවද සිතා මතා සැලසුම් සහගත ලෙස කලාක් සේ ඉතා සාර්ථක ලෙස ඉටු වේ. රේස් සූදුවලටද කැමති අතර නිහතමානි චාම් දිවියක් ගත කරයි. බොහෝ කරුණාවන්ත වෙයි. අවිශ්වාස ඇති කිරීම, අදහස් වෙනස් කිරීම ප්‍රවේශම් රහිත ලෙස කටයුතු කිරීම දුර්වලකම් වේ. චන්ද්‍රයා උපතේ දී අටේ සිටීම සුබදායක නොවේ.

ධනු රාශියෙන් දෙවැනි රාශිය මකර රාශියයි. එය සෙනසුරුට අයත් වේ. කුජගේ උච්ච රාශියයි. වයස යන්ට යන්ට ධනයේ ඇති වටිනාකමත් ධනය රැස් කිරීමේ ආශාවත් ඇතිවේ. රජය සම්බන්ධ රැකියාවලින් කර්මාන්තවලින් ඉඩම් ගොවිතැන් කටයුතුවලින් ධනය රැස් කිරීමට හැකිවේ. වෙනත් අයගෙන් ධනය ඉපයීමට මහන්සි ගනී. ලාභ ගැනීමට ධනය යෙදවිය යුතු මාර්ග වෙළෙඳ ව්‍යාපාර ගැන වයසත් සමඟ හොඳ අවබෝධයක් ලැබේ. සිත් සතුටුවන ආකාරයෙන් කතා කිරීමටද දක්ෂතාවයක් ඇත. අනාගතයේ හොඳ කතිකයකුවීමටද පුළුවන.

ධනු රාශියෙන් තුන්වැනි රාශිය කුම්භ රාශියයි. එය සෙනසුරුට අයත්වේ. නෑදෑ සහෝදර සහෝදරියන් සමඟ ළඟින් ආශ්‍රය කිරීමට නොහැකිය. ගැඹුරු භාෂා ශාස්ත්‍ර පිළිබඳව ඉගෙනීම ගෙන දෙන අතර විදුලිය, කාර්මික, යන්ත්‍ර සූත්‍ර පිළිබඳවද දැනුම ලැබිය හැකිය. නිර්භීත හැසිරීම මෙන්ම අන්‍යයන්ගේ සිත් ඇදගැනීමේ හැකියාවක් ද පවතී. බහුශ්‍රැත භාවය මෙන්ම ඥානය ඇති බැවින් ඉගෙනීම දියුණුකරගතහොත් උසස් ප්‍රතිඵල ළඟා කරගත හැකිවේ. ඉක්මනින් කිපෙන සුළු වුවත් ආත්මාර්ථකාමී කුහකකම් නැත. රළු පරුෂ අයකු නොවේ. සමහර අවස්ථාවල කලබල ගති ඇතිවේ. සහෝදර සහෝදරියන්ගෙන් හිතවත්කමක් නොලැබේ. කරදර අවහිර ඇතිවේ.

ධනු රාශියෙන් හතරවැන්න මීන රාශියයි. එය ගුරුට අයිති වේ. සිකුරුගේ උච්ච රාශියයි. උපතින් පසු පියාගේ තත්ත්වය පිරිහීමට පත්වේ. නැතිනම් පියාගේ මරණය සිදුවේ. උප්පත්ති ස්ථානය පිළිබඳ අවුල් වියවුල් මතුවේ. සැනසීමෙන් ජීවිතය ගෙවීමට නම් ගමෙන් හෝ උපන් ස්ථානයෙන් පිටවිය යුතුය.

ළමා කාලය දුක් කරදරවලින් ගහණය නමුත් පසුව හොඳ තත්ත්වයට පත්වේ. පියා සමඟ හෝ වැඩිහිටියකු සමඟ කලබලයක් ඇති කර ගනී. එය හිතට තදින් බලපායි. ඒ නිසා ඒවා වළකා ගැනීමට උත්සාහ කළ යුතු ය.

ධනු රාශියෙන් පස්වැනි රාශිය මේෂ රාශියයි. එය කුජට හෙවත් අඟහරුට අයිති වේ. රවිගේ උච්ච රාශියයි. ප්‍රේම සම්බන්ධ හෝ විවාහ යෝජනා කීපයක් වෙනස්වීමට ඉඩ ඇත. විනයානුකූලව ඇති දැඩි නොකළහොත් වැඩිමල් ළමයාගෙන් කරදර ඇතිවේ. ඒ වෙනුවෙන් අධික වියදම් දැරීමට සිදුවේ. දෙදෙනාගේ කේන්ද්‍රවල ග්‍රහබල හොඳ නම් එසේ නොවේ. දරුවන් කෙරෙහි භක්තිමත්බව අඩුවන අතර ඔවුන් වෙනත් ස්ථානවල ඇති දැඩි වීමටද ඉඩ ඇත. කාම රාග අදහස් තියුණුය. එය මැඬ පවත්වා ගත යුතුය. නැතිනම් කරදරවලට මුහුණ පෑමට සිදුවේ. ධනු රාශියෙන් හයවැනි රාශිය වෘෂභ රාශියයි. එය සිකුරුට අයත් වේ. චන්ද්‍රයාගේ උච්ච රාශියයි. ලෙඩ රෝග පිළිබඳව මේ හයවැනි ස්ථානයෙන් තොරතුරු දත හැකිය. විනෝදය හේතුකොටගෙන සහ පත්‍ය අපත්‍ය බව නොසලකා ආහාර ගැනීමෙන් රෝග ඇතිවේ. කන්වල රෝග පාදවල සහ ලේ නහර සම්බන්ධ පීඩා වකුගඩු උත්පාදන ඉන්ද්‍රියවල රෝග හටගැනේ. එම රෝග ඇති වූ වහාම ප්‍රතිකාර කළ යුතුය. පිටතදී මවගේ හෝ පියාගේ මරණය සිදුවීමට ඉඩ තිබේ.

ධනු රාශියෙන් හත්වැනි රාශිය මිථුන රාශියයි. එය බුධට අයත් වේ. විවාහය හේතු කොට ගෙන සමාජ තත්ත්වය මෙන්ම ආර්ථික දියුණුවද ඇතිවේ. බුධගේ සම්බන්ධය ඇති කෙනකු විවාහයට ලැබුණොත් එය විශාල දියුණුවකට හේතුවේ. බුද්ධිමත් කතාවට දක්ෂ ක්‍රියාසූර ගති ඇති කෙනකු විවාහයට ලැබේ. වෙළෙඳාම ශාස්ත්‍රීය සේවය නොකරන කෙනකු විවාහයට නොලැබුණහොත් වයසින් බාල කෙනෙක් ලැබේ. විවාහ යෝජනා හෝ ප්‍රේම සම්බන්ධ දෙක තුනක් වෙනස්වීමට ඉඩ ඇත. සියුම් ලෙස පොරොන්දම් බලා විවාහය කළ යුතුය. ආශ්‍රය කරන සමහර අය සතුරන් වීමට ඉඩ ඇත. සෑම සතුරු කරදරයකටම ලියුම් සම්බන්ධ වේ. ධෛර්යය නිර්භීතකම ඇත. ධනු රාශියෙන් අටවැනි රාශිය කටක රාශියයි. එය සඳුට අයත්වේ. ගුරුගේ උච්ච රාශියයි. ලැබීම් අතින් භාග්‍යවන්ත වේ. ඥාති සම්බන්ධකම් නැති අයගෙන් නා නා විධ ලැබීම් ලැබේ. රජයේ දීමනා මහජන සම්බන්ධතා මහජන සේවය හේතුවෙන් පාරිතෝෂික දීමනා ලැබේ. කොටස් ව්‍යාපාරවලින් හවුලේ කරන කටයුතුවලින් ධනය ලැබේ. සැඩ දිය ඇති ජලාශ මාරක ස්ථානවේ. එවැනි තැන්වල ජලස්නානය අනතුරු දායක වේ. එය මතක තබා ගැනීම යෝග්‍ය වේ. මත්වන බීම, විෂ සහිත වේ. උප්පත්ති ග්‍රහබල අනුව දීර්ඝායුෂ විඳීමට හැකිවේ.

ධනු රාශියෙන් නවවැනි රාශිය වන්නේ සිංහ රාශියයි. එය රවිට අයත්වේ. නීතිය හා ත්‍යාග ධර්ම ගැන ඉගෙනීම ලැබිය හැකිය. කුඩා කාලයේ කරන ඉගෙනීමට වඩා වැඩිහිටි වියේ දී කරන ඉගෙනීම නිසා දියුණුව සහ සැනසීම ලැබේ. අදහස් උදහස් උදාරය. ගමේ රටේ සිටින අයට වඩා විදේශවල අයගෙන් ආධාර උපකාර ලැබේ. සිත් ගන්නා චිත්‍ර ඇඳීමට විසිතුරු වර්ණවත් දේ කිරීමට හිත ඇදී යයි. නොයෙක් දේ දැන ගැනීමට අවබෝධ කර ගැනීමට කැමතිය. මේ නිසා හුදකලාව අගය කරන ඔබ හේතුවක් ඇතුවම හැම දෙයම විශ්වාස කරයි.

ධනු රාශියෙන් දසවැනි රාශිය කන්‍යාවයි. එය බුධට අයත් වේ. කර්මස්ථානය වන මෙය රාහුටද අයත් වේ. රැකියා කටයුතු සමාජ තත්ත්වය පිළිබඳ තොරතුරු මේ දසවැනි ස්ථානයෙන් දත හැකිය.

සාහිත්‍ය කටයුතු, ලිවීම, වෙළෙඳාම, සෞඛ්‍යය සේවය ධනය ලැබීමට උපකාර වේ. වගා කටයුතු, කර්මාන්ත, නීතිය මුදල් සම්බන්ධ තනතුරු පොලී අය කරන ව්‍යාපාරවල සේවය රැකී රක්ෂා වශයෙන් හිමිවේ.

ධනු රාශියෙන් එකොළොස්වැනි රාශිය තුලාවයි. එය සිකුරුට අයත් වේ. ශනි හෙවත් සෙනසුරුගේ උච්ච රාශියයි. සමාජ තත්ත්වය ධනය දියුණු වේ. විනෝදාත්මක සහ භාග්‍යවන්ත මිතුරු මිතුරියන් ආශ්‍රයට ලැබේ. ඒ අගයෙන් ධනයට මෙන්ම සමාජ තත්ත්වයට ද ආධාර ඇතිවේ. උසස් තත්ත්වයන් ඇති ස්ත්‍රී පක්ෂයේ කෙනකුගෙන් දියුණුවට ආධාර ලැබේ. එක් අවස්ථාවක හෝ කෙළෙසීමට, අනතුරු පැමිණවීමට මිත්‍රද්‍රෝහියකු ඇතිවිය හැකිය. නමුත් ඔබට හානියක් ඇති නොවේ.

ධනු ලග්නයෙන් දොළොස්වැනි රාශිය වෘශ්චික රාශියයි. එය කුජට මෙන්ම රාහු, කේතු දෙදෙනාටද අයත්වේ. අවබෝධ නොවන නිසිලෙස කරුණු නොවැටහෙන කටයුතුවලින් වැළකී සිටීම යහපත්වේ. ගුප්ත විද්‍යා, භූත විද්‍යා අයහපත් වේ. රහස් සතුරන් ඇතිවේ. ඔවුන් ඉතා නපුරුය. ජීවිතය තත්ත්වය රක්ෂාව ඔවුන් නිසා අනතුරුට ලක්වේ. එයින් ප්‍රවේශම් විය යුතු ය. ඉවසිලිවන්ත ගතිය නැතිකම නිසා පාඩු සිදුවේ. එයින් වැළකීම යහපත්වේ. යම් යම් කටයුතු කිරීමේ දී ඊට සුදුසු අවස්ථාව එළඹෙනතුරු සිටිය යුතු ය. නැතිනම් කරදර බාධකවලට මුහුණපෑමට සිදුවේ. උපතේ දී ග්‍රහබල පිහිටීම අනුව පලාපල වෙනස්වීම් අඩුවැඩි වීම් ඇතිවේ. යහපත් ග්‍රහබලය පවතින අවස්ථාවල තව උත්සාහ කිරීමෙන් සහ අයහපත් ග්‍රහබල පවතින විට ප්‍රවේශම්වීමෙන් උදාරතර ජීවිතයක් ගත කිරීමට හැකිවේ.

කොළ, නිල් මිශ්‍ර ගල් පසිංගල් හෝ ඝණ පච්ච ගල් පැළඳීම යහපති.

 

ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.