මකර ලග්නය

ජූලි 12, 2024

චර ගුණයෙන් යුත් පඨවි රාශියක් වන මකරයේ උපන් අය බලය ලබා ගැනීම පිණිස තද ආශාවක් දක්වයි. ඥානවන්ත සියුම් සිතුවිලි අඩු කෙනෙකි. ක්‍රියාත්මක වීමේ ශක්තිය ඇත. ආත්මාර්ථකාමී ලෙසම කටයුතු කරන, ලාභය ගැනම හිතන එය අතට ලැබෙන තුරුම ඉවසිල්ලක් නැති ඒ වෙනුවෙන්ම කල්පනාකරන අය මකරයේ උපන් අය වෙති. කම්කොටළු දුක් පීඩා විඳීමේ ශක්තිය ඇත. කම්මැළි ඔතෑනි ගති නැති නිසාම ජයග්‍රහණය කරා ගමන් කරයි. ලෞකික ආශාව බලවත් සේ පවතින අතර අයවැය බලා කටයුතු කරයි. මුදල්වලට ඇති ආශාව නිසාම මසුරකු සේ කටයුතු කරයි. අන්‍යයන්ගේ සුළු දේ වුවත් ලොකු කර කතා කරයි. පාලනයට දක්ෂ වන අතර ව්‍යාපාර කටයුතුවල මූලිකත්වය දැරිය හැකි ශක්තියක් ඇත. වැඩ කටයුතුවලට අවහිර වන අඳුරු සහිත කාල පරිච්ඡේද ගත කිරීමට සිදු වේ. කතාවට දක්ෂ වුවත් එය වියත් හරබර බවින් යුක්ත නොවේ. පෙරමුණ ගැනීමට බරවැඩවලට දේශපාලන වැඩවලට සුදුසු වේ. පොළොවට ආශාකරන අතර උසස් සියුම් සිතුවිලි නැත. සියල්ල ලෞකික ක්‍රියාකාරකම් වේ.

මකර ලග්නය හිමිවන්නේ සෙනසුරුටය. එය කුජ හෙවත් අඟහරුගේ උච්ච රාශියයි. සන්සුන් පරිස්සම්කාරි ගති බලවත්වෙයි. මෙය වඩාත් බලපාන්නේ මහලු වයසේදීය. තරුණ කාලය වන තුරු මේ සම්බන්ධ පවතින අවබෝධය අඩුය.

මකර ලග්නයෙන් දෙවැනි ස්ථානය හෙවත් ධනස්ථානය වන කුම්භ රාශිය අයිති වන්නේද සෙනසුරුටය. ධනය භාග්‍ය යම් යම් අවස්ථාවලදී වෙනස්වීමට ඉඩ තිබේ. ජීවිත කාලය තුළ ධනය, දේපළ පිළිබඳව විපරීතකම් ඇතිවේ. අවිශ්වාස, ප්‍රතිඵල නොලැබෙන වැඩ සඳහා ධනය යෙදවේ. ධනය ලැබෙන මාර්ග වශයෙන් කෞතුක භාණ්ඩ වෙළෙඳාම වෙන්දේසි කටයුතු යන්ත්‍ර සූත්‍ර කාර්මික වැඩ, විදුලිය, රේස්, ඔට්ටු, ගමනාගමන දුම්රිය කටයුතු වැනි දේ නම් කළ හැකිය. සුළු දෙයින් විශාල ලාභ ද විශාල පාඩු ද ඇතිවේ. එනිසා ධනය යොදා කරන කටයුතුවලදී කේන්ද්‍රයේ ග්‍රහබල යහපත් අයහපත් අවස්ථා සොයා බලා කටයුතු කළ යුතුය. එවිට අලාභහානි මඟහරවා ගත හැකිය. මිත්‍රයන් නිසා ද ධනය වියදම් වේ. කතාව ගොරෝසු වැඩිය. එනිසා අන්‍යයන් නොහොඳ වේ. කතාවට සමත් වුවත් කතා කරන අතර ගොත ගැසීම් ඇති වීමට පුළුවන. අන්‍යයන් තම අදහසට නම්මවා ගැනීමට උත්සාහ ගනී. එය ඔබට සතුට ගෙන දෙන කරුණකි.

මකර රාශියෙන් තුන්වැනි රාශිය වන්නේ මීන රාශියයි. එය ගුරුට අයත් වේ. සිකුරුගේ උච්ච රාශියයි. කේතුට ද හිමිකමක් ඇත. කුඩා කාලයේ ඉගෙනීමට දුර්වල වේ. මවුපියන්ගේ උත්සාහය, උනන්දුව ලැබුණ හොත් උසස් ප්‍රතිඵල ලබාගත හැකි වේ. ඥාතින්ගෙන් සහයෝගය නොලැබේ. සහෝදර සහෝදරියන්ගෙන් ද කරදර විරුද්ධකම් ඇති වේ. ජීවිත කාලය පුරාම ගමන් බිමන් අධික වේ. නමුත් ඒ ගමන්වලින් ඵල ප්‍රයෝජන අඩුය. ගමන්බිමන්වලදී සතුරුකරදරවලට භාජනය වේ. සතුරන්ගෙන් ප්‍රවේශම් නොවුණ හොත් කලකෝලාහලවලට පවා ඉදිරියට යන ගතිය ඇත. ගතකරන ජීවිතය ගුප්තය. අදහස්වල පවා ගුප්ත හැඟීම් ඇත. අන් අය සැක කරන ගතියද ඇත. අනතුරක් හේතුකොට ගෙන හෝ අංගවිකලත්වයක් ගෙන දිය හැකිය.

මකර රාශියෙන් හතරවැනි රාශිය මේෂ රාශියයි. එය කුජට අයත් වේ. රවිගේ උච්ච රාශියයි. මහලු කාලයේ සහ ළමා කාලයේ කරදර සහිත වේ. නොසිතුව විපත් හෝ පවුලේ කරදර හේතු කොට ගෙන පසුතැවිලි ඇතිවේ. ඉපදුණ ප්‍රදේශයේ අයගේ සම්බන්ධය පවතින නමුත් ඔවුන්ගේ සහයෝගය අඩුය. ඉඩකඩම් ලැබීමේ වාසනාව ද අඩුය. ඥානාන්විතව ක්‍රියාකිරීමෙන් ඉඩම් හා ධනය ද ලබාගත හැකිය. විවාහයේදී විරුද්ධවාදිකම් හා බාධා මතුවේ. ගින්නෙන් හා අනතුරුවලින් පීඩා ඇති විය හැකිය. මකර රාශියෙන් පස්වැනි රාශිය වෘෂභ රාශියයි. එය සිකුරුට අයිති වේ. සඳුගේ උච්ච රාශියයි. මුදල් යොදා කරන කටයුතුවලදී හොඳින් සිතා බලා කටයුතු කළ යුතුය. නැතිනම් අලාභ හානි සිදුවේ. උසස් පවුලකට සම්බන්ධ විවාහය සිදු වේ. එයින් ඔබේ අභිවෘද්ධිය සැලසේ. දරුවෝ උසස් අය වෙති. රජයේ රැකියාවන් කිරීමට ද වාසනාව ඇත. දරුවන්ට හොඳ සමාජ තත්ත්වයක්ද හිමි වේ. වැඩිමල් ළමයා මුරණ්ඩු ගති ඇති අයකු වේ. ඒ ළමයාගේ ජීවිතයට ද විපත් ඇතිවේ. ඒ නිසාම දරුවන් ප්‍රවේශම් කරගත යුතුය.

මකර රාශියෙන් හයවැනි රාශිය මිථුන රාශියයි. එය බුධට අයත් වේ. සතුරු කරදර ලෙඩ රෝග පිළිබඳ මේ හයවැනි ස්ථානයෙන් තොරතුරු දත හැකිය.

ස්නායු දුර්වලතා, වාතාබාධ, ආමාශගත රෝග හටගනී. මේ රෝග ඇති වූ වහාම ප්‍රතිකාර කළ යුතුය. නැත්නම් අතිමහත් කරදර ඇතිවේ. ආයුෂ පිරිහීමට ද හේතු වේ. අන්‍යයන්ගේ සේවයට ඔබ සුදුසු වන මුත් එයින් ඔබට සතුට සැනසීම නොලැබේ. අන්‍යයන්ගේ සේවයක යෙදෙනවිට උසස් තනතුරක්ම ගත යුතුය. නැත්නම් ඔබගේ අගය වටිනාකම ඒ අයට අවබෝධ නොවේ. සේවකයන්ට මෙහෙකරුවන්ට ඔබෙන් අලාභයක් පාඩුවක් සිදු නොවේ.

මකර රාශියෙන් හත්වැනි රාශිය වන්නේ කටක රාශියයි. එය සඳුට අයත් වේ. ගුරුගේ උච්ච රාශි යයි. යහපත් විවාහයක් සිදුවේ. එහෙත් අවහිරකම්ද ඇති වේ. අසල්වාසීන් සහ නෑදෑයන්ගේ ආශ්‍රය නිසා විවාහ ජීවිතය ආකූල ව්‍යාකූල වේ. ගැටලු මතුවේ. සිතුම් පැතුම්වලට ගැළපෙන යහපත් කෙනකු විවාහයට නොලැබුණහොත් දියුණුව සහ සැනසීම අඩුවේ. කලාතුරකින් විවාහ දෙකක් සිදුවීමට ද ඉඩ තිබේ. එසේ වුවහොත් දෙවැනි විවාහයෙන් පසු ධනය දේපළ දියුණුව ඇතිවේ. කල්යාමේදී මිතුරකු සතුරෙක් විය හැකිය. උසස් සහ පහත් පෙළේ සතුරන් ඇතිවේ. ඔවුන්ගෙන් බොහෝ කරදර ඇති වේ. මහලු වියද කරදර සහිත වේ. ඒ නිසා යහපත් ආදායම් මාර්ගයකින් ස්ථිර ආදායම් මාර්ගයක් සලසා ගත යුතුය.

මකර රාශියෙන් අටවැනි රාශිය සිංහ රාශියයි. එය රවිට අයත් වේ. වෙනත් අයගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමට වාසනාව ඇත. රජයෙන් සහ උසස් අයගෙන් ලැබීම් ඇත. උපකාර ලැබිය හැකිය. ඥාතීන්ගෙන්ද ලැබීම් ඇත. ගුප්ත විද්‍යා සම්බන්ධ කටයුතුවලටද සුබදායක වේ. විවාහයෙන්ද ලාභ ප්‍රයෝජන අත් වේ. හවුලේ කරන ව්‍යාපාරවලින් වැඩි ලාභ ලැබේ. දීර්ඝායුෂද ඇත.

මකර රාශියෙන් නවවැනි රාශිය වන්නේ කන්‍යා රාශියයි. එය බුධට අයත් වේ. මේ කන්‍යාව රාහුට ද හිමි වේ. ගැඹුරු සියුම් අදහස් හා දැනුම බුද්ධිය පවතී. ක්‍රමානුකූලව ඉගෙනීම ලද්දේ නම් හොඳ න්‍යාමධර්මවාදියෙකු වේ. ආධ්‍යාත්මික බලයට නැඹුරුවන අතර ගුප්ත විද්‍යාවලට ද ළැදියාවක් දක්වයි. දුර ප්‍රදේශවල සංචාරයට කැමතිය. යමක් ක්‍රමානුකූලව කිරීමට හැකියාවක් ද දක්ෂතාවක්ද ඇත. ඊර්ෂ්‍යාකාර බොහෝ සතුරන් ඇතිවේ. මුහුදු ගමන් සුදුසු නැත. ඒ හේතුවෙන් රෝගාබාධ හට ගනී. සමහර නෑයන් නිසා ඉදිරිගමනට බාධා ඇත. මකර ලග්නයෙන් දසවැනි රාශිය වන්නේ තුලා රාශියයි. එය සිකුරුට අයත් වන අතර සෙනසුරුගේ උච්ච රාශියයි. ආශාවලට හැඟීම්වලට සිතුවිලිවලට ගැළපෙන විදිහේ රැකියා නොලැබේ. ගල් කැටයම්, ලී කැටයම් ලෝහ කැටයම් මෙන්ම චිත්‍ර හා පුස්කොළ කලාව ලිවීම ගෙත්තම් විසිතුරු වැඩ රැකියා සඳහා යෝග්‍ය වේ. මේ නිර්මාණාත්මක රැකියාවලින් අන්‍යයන් පුදුම වන විදිහේ නිමැවුම් කළ හැකිය.

මකර රාශියෙන් එකොළොස්වැනි රාශිය වෘශ්චික රාශියයි. එය කුජට අයත් වේ. රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශිය ද වේ. ස්ථිර මිතුරුකම් පැවැත්වීම අසීරු වේ. වෛද්‍ය පොලිස් හමුදා වැනි අංශවල අය මිතුරෝ වෙති. ධෛර්යයෙන් උනන්දුවෙන් ඔබේ කටයුතු කරගන්නවා විනා අන්‍යයන්ගේ ආධාර උපකාර ගැන සැලකිලිමත් නොවේ. ජනයා ගනුදෙනුවලින් ඇපවීම්වලින් වැළකිය යුතුය. නැත්නම් විපත් කරදරවලට පත්වේ. මිත්‍ර ආශ්‍රය හේතුවෙන් එක් අවස්ථාවක හෝ විශාල කරදරයකට පත්වේ. ස්ත්‍රියක් නිසාද මේ කරදර ඇති විය හැකිය. ඒ නිසා ප්‍රවේශමෙන් ආශ්‍රය කළ යුතුය.

මකර රාශියෙන් දොළොස්වැනි රාශිය වන්නේ ධනු රාශියයි. එය ගුරුට අයත් වේ. ආගමික වත්පිළිවෙත්, භූත විද්‍යා ඡ්‍යොතිෂ කටයුතු සම්බන්ධ දැනුමක් ඇත. නැත්නම් පරම්පරාවේ හෝ ඒවා දන්නා අයකු සිටිය හැකිය. මේ විෂයයන් හැදෑරීමෙන් ඔබට ද යහපතක් සිදුවේ. රහස් සතුරු පීඩා ගණන් ගන්නේ නැත.

උප්පත්ති ග්‍රහබලය අනුව පලාපල අඩුවැඩි වේ. අසුබ ග්‍රහ ගමන් පවතින විට ප්‍රවේශම් වීමෙන් හා යහපත් සුබ ග්‍රහ ගමන් ඇතිවිට උත්සාහවත් වීමෙන් දියුණු සමාජ තත්ත්වයක් මෙන්ම ආර්ථිකයක්ද ගොඩනඟා ගත හැකිය.

චන්ද්‍රකාන්ති ගල් පැලඳීම යහපති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.