ඇමෙරිකානු ජනපතිගේ නිල ඡ්‍යොතිෂවේදිනියට වැරදුණු අනාවැකිය

ජූලි 12, 2024

ඇත්ත වශයෙන්ම ධවල මන්දිරයේ එවැනි නිල තනතුරක් නැත. එහෙත් 1980 දශකයේ එහි වාසය කළ ජනාධිපති රොනල්ඩ් රේගන් පමණක් නොව, ඔහුගේ බිරිඳ වූ නැන්සි රේගන්ද ඡ්‍යොතිෂය ඉතාමත් දැඩි ලෙස විශ්වාස කළ යුවළක් වූ හෙයින් එක්තරා කාන්තාවකට නිල නොවන මට්ටමින් ඉහත තනතුරට හිමිකම් කියන්නට අවස්ථාව ලැබී තිබුණි.

ඇය ජෝන් කි්‍යුග්ලේය.

හැටපස් හැවිරිදි වියේ පසුවූ ජෝන් කි්‍යුග්ලේගේ කුඩා කාලය ගැන හෝ ඇයගේ පවුල් පසුබිම කුමක්දැයි කිසිවෙකුත් නොදනී. ඇමෙරිකාවේ සුප්‍රකට මධ්‍යම රහස් ඔත්තු සේවය නොහොත් සී.අයි.ඒ. ආයතනයටවත් ඒ ගැන දැනගත හැකි වී නැත. එසේ වුවද, රොනල්ඩ් රේගන්, කැලිෆෝනියානු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය හොබවන සමයේ සිටම ඔහුගේ රාජකාරි ජීවිතය සහ පෞද්ගලික ජීවිතයට අදාළ ඡ්‍යොතිෂ කටයුතු සිදු කරනු ලැබුවේත්, එම විෂයට අදාළ කටයුතු සඳහා උපදෙස් දෙනු ලැබුවේත් ඇය විසිනි.

නමුත් රොනල්ඩ් රේගන් නාධිපතිවරණයෙන් ජයගෙන ධවල මන්දිරයට පැමිණීමෙන් අනතුරුව මුලින්ම ඡ්‍යොතිෂය සම්බන්ධ උපදෙස් ලබා ගනු ලැබුවේ ජනපති ආර්යාව වූ නැන්සි රේගන්ගේ එවකට ඡ්‍යොතිෂ උපදේශකවරිය වූ කැරොල් රයිටර් නැමැත්තියකගෙනි.

මේ අතර එක්තරා අපුර්ව සිද්ධියක් වූයේය.

එයනම් නැන්සි රේගන් මහත්මියට ඔවුන්ගේ පැරණි ඡ්‍යොතිෂවේදිනිය වූ ජෝන් කි්‍යුග්ලේගෙන් ලියා පදිංචි තැපැලෙන් ලිපියක් ලැබීමය. ඇය මේ ලිපිය තුළින් බරපතළ ලෙස අවධාරණය කර තිබුණේ 1981 මාර්තු 31 වෙනිදා ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා තම ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවය.

මොන විදියේ දෛවෝපගත හේතුවක් නිසා හෝ නැන්සි රේගන් මේ ලිපියෙන් කෙරුණු අනතුරු හැඟවීම පළමු වතාවේදී එතරම් බරපතළ ලෙස ගණන් ගත්තේ නැත. එසේ වුවද, ජෝන් කි්‍යුග්ලේ ඡ්‍යොතිෂවේදිනිය විසින් මේ අනතුරු හැඟවීම සිදු කිරීම සඳහා දක්වා ඇති හේතුව කෙරෙහි තම අවධානය යොමු නොකර සිටීමට ඇයට නොහැකි විය.

එයට හේතුව වශයෙන් ජෝන් කි්‍යුග්ලේ පෙන්වා දී තිබුණේ ජනපති රේගන් සිය තනතුර බාරගත් වේලාව පිළිබඳව සලකා බැලීමේදී මේ මාසය ඔහුට ඉතාමත් අනතුරුදායක බව ඇයට පෙනී යාමය. විශේෂයෙන් මේ වසරේ මාර්තු 31 යනු ඉතා තීරණාත්මක දවසක් බව ඇය විසින් ඡ්‍යොතිෂ විද්‍යානුකූලව පෙන්වා දී තිබුණාය. මේ දිනය තුළදී ප්‍රසිද්ධ ස්ථානයකදී එතුමා

ඝාතන ප්‍රයත්නයකට මැදිවන බව ඇයගේ නිගමනය වී තිබුණි. මේ කාරණ ගැන සලකා බැලූ නැන්සි රේගන් තම ඡ්‍යොතිෂ උපදේශකවරිය වූ කැරොල් රයිටර් ධවල මන්දිරයට කැඳවා ජනාධිපති රේගන්ගේ මාර්තු මාසයේ ග්‍රහචාරය ගැන විමසා බැලුවාය. ඇය එක හෙළාම පැවසුවේ එළඹෙන මාර්තු මාසයේ ජනාධිපතිවරයාට කිසිදු සතුරු උපද්‍රවයක් සිදු නොවන බවය. ඇයගේ ප්‍රකාශයෙන් හිත සනසාගත් නැන්සි රේගන් ඉන්පසු එකී සිද්ධිය අමතක කර දැමුවාය.

ජෝන් කි්‍යුග්ලේගේ ලිපිය ලැබී මාසයකුත් සති තුනක් ගතවෙමින් පැවැතුණි. ඉක්බිති 1981 මාර්තු 31 වැනි දින උදාවූයේ ජනාධිපති රේගන්ට තවත් රාජකාරි බහුල දිනයකට ඉඩකඩ සපයමිනි. එදින ඔහුට ඇමෙරිකානු කම්කරු පෙඩරේෂණයේ නියෝජිත සමුළුවක් ඇමතීමට නියමිතව තිබිණි.

ඔහු ඉන් පිටතට පැමිණෙනවාත් සමඟම සැණෙකින් ඉදිරියට පනිනු ලැබූ විසි පස් හැවිරිදි තරුණයකු ජනාධිපතිවරයාට වෙඩි තබනු ලැබුවේ ආරක්ෂකයන් අන්දමන්ද කරවමිනි. පසුව සොයාගත් පරිදි පිස්තෝලයකින් ඔහු වෙඩි තබා තිබු අතර, ඉන් එක් වෙඩි පහරක් ජනාධිපතිවරයාගේ පපුවටද, තවෙකක් ඔහුගේ ප්‍රවෘත්ති ලේකම් ජේම්ස් බ්‍රෙඩ්ගේ හිසටද, තවෙකක් ආරක්ෂක නිලධාරියෙකුටද, අනෙක පොලිස් කොස්තාපල්වරයෙකුටද වැදී තිබිණි.

පිස්තෝල වෙඩි උණ්ඩය ජනාධිපති රේගන්ගේ පපුවට වැදී තිබුණද, වාසනාවකට මෙන් ඔහුගේ හදවතට හෝ පෙනහැල්ලට හානියක් සිදු වී තිබුණේ නැත. එහෙයින් සුළු සැත්කම් දෙකකින් අනතුරුව එතුමා දෙපයින් නැගී සිටින තත්ත්වයකට පත් කරවන්නට වෛද්‍ය විශේෂඥයෝ සමත් වූහ.

මේ හේතුවෙන් අනතුරින් පැය කීපයකට පසු රූපවාහිනියෙන් ජනතාව ඇමතූ රොනල්ඩ් රේගන් ජනපතිවරයා තමන්ට කිසිදු බරපතළ අනතුරක් සිදුවී නැතිබව ජනතාව අමතා පැහැදිළි කළේය.

මේ අනතුරත් සමඟ තවත් දෙදෙනෙකුගේ ඉරණමද සැණෙකින් වෙනස් විය. ඉන් එක් පුද්ගලයෙකු වූයේ ජනාධිපති ආර්යාවගේ ඡ්‍යොතිෂ උපදේශකවරිය වූ කැරොල් රයිටර්ය. ඒ ඇයට ධවල මන්දිරය හතර මායිමේ පස් පෑගීම තහනම් වීමය.

අනික් තැනැත්තිය ඡ්‍යොතිෂවේදිනී ජෝන් කියූග්ලේය. ඇයට ඒ සමඟම ධවල මන්දිරයෙන් ලැබුණු වටිනාකම කොතෙක්ද යත් ජනපති ආර්යා නැන්සි රේගන් ඇය හමුවනු පිණිස මිතුරියකගේ ගුවන් යානයකින් කැලිෆෝනියාව බලා පිටත් වූවාය. එතැන් සිට අලුත් වූ සබඳතාවය හේතුවෙන් 1981 සිට 1988 දක්වා, එනම් රොනල්ඩ් රේගන් ජනාධිපතිධූරය දැරූ කාල පරිච්ජේදය මුළුල්ලේම ජනපතිවරයාගේ ඡ්‍යොතිෂ උපදේශිකාව ලෙස කටයුතු කරනු ලැබුවේ ජෝන් කි්‍යුග්ලේය. රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා තමා ඡ්‍යොතිෂය අදහන බව ප්‍රසිද්ධියේ පිළිගත් දේශපාලනඥයෙකි. ඡ්‍යොතිෂවේදියා යනු වෛද්‍යවරයා, නීතිඥවරයා, ආදීන් මෙන්ම තම ජීවිතයට අත්‍යාවශ්‍ය චරිතයක් ලෙස ඔහු විශ්වාස කළේය.

මේ හේතුවෙන් ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකාරධූරය බාර ගන්නා අවස්ථාවේදී, දිවුරුම්දීම සිදුකරනු ලැබුවේද, ශූභ මූහුර්තයකට අනුවය. මෙතැනදී දක්නට ලැබුණු විශේෂිත කාරණය වූයේ ජෝන් කි්‍යුග්ලේ ඒ සඳහා ලබා දී තිබූ වේලාව රාත්‍රි 11.10 වීමය. මෙවැනි උත්කර්ෂවත් කටයුතු සඳහා පමණක් නොව යම්කිසි ගමනක් සඳහා එළියට පැමිණීම පවා ජනපති රේගන් විසින් සිදු කරනු ලැබුවේ ශුභ වේලාවක් අනුවය. මේ සියලු කටයුතු සඳහා ජනාධිපතිවරයා විසින් සිය ඡ්‍යොතිෂවේදිනියගේ උපදෙස් ලබාගනු ලැබුවේ සිය බිරිඳ වු නැන්සි රේගන් හරහාය. මේ අයුරින් ජනපතිවරයා ඡ්‍යොතිෂයට අනුව රාජකාරි කටයුතුවලද යෙදීම හේතුවෙන් වඩාත්ම ගැටලුවලට මුහුණ පෑවේ එතුමාගේ ආරක්ෂකයින්ය. එයට හේතුව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා නිල මට්ටමින් යොදාගත් වේලාවල් පවා ඡ්‍යොතිෂයට අනුව කටයුතු කිරීම හේතුවෙන් අවසාන මොහොතේදීත් වෙනස් කරනු ලැබීමය. මේ ආකාරයට ජනාධිපති රොනල්ඩ් රේගන් කොතරම් දැඩි ලෙස ඡ්‍යොතිෂ විද්‍යාවට අනුකූලව කටයුතු කළාදැයි කියනවා නම්, 1987 දී සෝවියට් ජනාධිපති මීහයිල් ගොර්බචොව් මුණ ගැසුණේද නැකතකට අනුවය.

වරක් ජනාධිපති රේගන්ගෙන් ඔහු උපන් වේලාව පිළිබඳව යම් සමීපතමයෙක් විමසා ඇති අතර ඔහු ගත් කටටම පවසා ඇත්තේ එය තමාගේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයා මිස, අන් කිසිවකු දැන නොගත යුතු දෙයක් බවය.තිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.