දෙට නැකත

ජූලි 12, 2024

 

“බහුමිත්‍ර ප්‍රධාරාශ්ව විද්‍යාර්ථිව විචක්ෂණඞ

ජ්‍යෙෂ්ඨා ජාතොධර්මරතොජායතෙ ශුද්‍රපූජිතඞ”

දෙට නැකතින් උපත ලබා ඇත්නම් බොහෝ කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇති මූලිකයෙක්ව විද්‍යාව මහත් වූ ධනය කොට ඇත්තාහු ජනයාගෙන් ගරුසරු බුහුමන් ලබන්නා වූ වියතෙක් වන්නේය.

විවිධ විෂයයන් සහ කර්මාන්ත ඇතුළු කෘෂිවිද්‍යාව, නීතිය, වෛද්‍ය, පිරිස් කළමනාකරණය, නාට්‍ය, චිත්‍ර, සංගීත සෞන්දර්ය අංශයන්හිද නව නිර්මාණයන්හිද අතිදක්ෂයෙක් වන්නේය. කුඩා කාලයේ සිටම සිය දක්ෂතා මනාව පිළිබිඹු වේ. කැපී පෙනෙන ලෙස තම වැඩ කටයුතුවල නිරතවීමක් සිදු වන්නේය. ජනතාව අතර හොඳ හිත දිනා ගනී.

එහෙත් සෑමවිටම ආත්මාර්ථකාමිත්වය මුල්කරගෙන වැඩ කටයුතුවල නිරත වේ. නොසිතු අන්දමට පාපී මිත්‍රයන්ගේ ඇසුර නිසා යම් යම් සාමාජීය ප්‍රශ්න, කරදර හිරිහැරවලට ද ගොදුරු වේ. නිතරම අයහපත් සිතුවිලිවලට එකී මිත්‍රයින් නිසා පෙලඹී කරදරවලට මුහුණපෑමට සිදුවේ. නීතිමය ගැටලුවලට ද ගොදුරුවනු ඇත. සමාජ තැකීමක් නොමැතිකම නිසා තමාද යම් යම් අවස්ථාවලදී නීතිමය වධවේදනාවන්ට හසු වී වැරැදිකරුවකු ලෙස ද ගත කිරීමට සිදුවන බව පැහැදිලිය. එනිසා සෑම විටම සියුම් බුද්ධිගෝචරත්වයෙන් වැඩකිරීම මැනවි.

කල්‍යාණ මිත්‍ර සේවනයේ මුඛ්‍යමය පරමාර්ථය වන්නේ තමාටත්, අන්‍යයන්ටත් ධනාත්මක පැත්තේ සුහදව වැඩකටයුතු කිරීමේ බලය හා ශක්තිය උද්දීපනය කර ගැනීමකි. අන්ධකාරයට හසුවීම ඉතාම අයහපත් වන්නේය.

තමා හරියටම හරියැයි සිතන නමුත් සමහරවිට තමා ගන්නා ඇතැම් තිරණ සමාජයට අහිතකර වන්නට ඉඩකඩ පහසුවෙන්ම පෑදේ. සංගීතය ඉතාම යහපත් සෞන්දර්යවාදීය. එහෙත් කන්පැළෙන සංගීත හඬ ඉතාම අහිතකර වේ. මිනිස් මනසට මහා වධයක් වන අතර ශ්‍රවණ පද්ධතියට විෂබීජයක් එක්කිරීමක් ද වන්නේය. ඉතාම සුන්දර දෙයක් අසුන්දර වන අන්දමට පතුරුවාලිය හැකිය. දෙට නැකැත් හිමියා මේ පිළිබඳව එතරම් තැකීමක් නොකරයි. ඒ ඒ වෙලාවේ හැටියට වැඩ කිරීමට අතිදක්ෂයෙක් වුවත් සමහර සංවිධාන වැඩමුළු මහත් සමාජයටම හිරිහැරයක් කායික මානසික පීඩනයක් ද විය හැකිය.

පරස්පර විරෝධී ආකල්පයන් මත සිය මනස වෙහෙසෙවයි. හිස් වදන් මිශ්‍ර කතාවන් ද සමහර විට කරන අතර කෙනෙකුට දෙදෙනෙකුට හෝ කීපදෙනෙකුගේ සිත් රිදෙන වෙලාවල්ද ඇතිවේ. එහෙත් ඒ ගැන ඔහු එතරම් නොසිතයි. සිය කතාවේදී /අද සිටින තරුණ අය ගැන මම සිතන්නේ උණ, බට, ගස්ලබු ගස් වැනි අයසේය. ඇතුළත හිස් බටයකි. කිසිම අරටුවක් නැත. නමුත් එතැන් සිටි අය අරටුවක් ඇති අයයි. මෙහි ඇත්තක්ද තිබේ. නමුත් තැනේ හැටියට කතා කිරීමට නොහැකි වන සේ වැඩ කරයි. කතාබහ කරයි. නවතම තරුණ පිරිස් ඒ කතාවට කළකිරේ. යටිසිතින් බණී.

නිතරම තමා හරහා ඇතැම් තීරණ එලෙසම ක්‍රියා කරන්නට ගොස් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගනී. පසුවට තමාම පසුතැවිලිවලට පත්වේ. දෙට නැකතේ මූලික ගුණාංග සියල්ලම අතුරුදන් වේ.

දිව පිනවන ආහාර ගැනීමට හරිම කෑදරයි. කෙසේ වෙතත් තමාගේ එදිනෙදා වැඩකටයුතු ගැටලුවකින් තොරව කරගෙන යාමට යත්න දරයි. කාන්තාවක් දෙට නැකතේ නම් ඇය පෙර කරන ලද පින් ඇති වාසනාවන්ත අයකු වේ. සමහරවිට ප්‍රකට සංගීතවේදිනියක් මෙන්ම ගායිකාවක්ද වීමේ වරම් ඇත. ලැබීමේ වාසනාව තිබේ. මිහිරි කටහඬක් උපතින්ම ලැබේ. නිතර සතුටින් කල් ගෙවන්නීය. සමාජ ඇසුර පි‍්‍රය කරයි. තමා තමා ගැනම සිතන පතන ඇය අන්‍යයන් අතර කැපී පෙනීමට යත්න දරන්නීය. නිතරම පවිත්‍රකාරකව සිය දෛනික දිවිය ගෙවන්නීය. අති සාර්ථකම යුගදිවිය ගත කිරීමට හැකිවීමට යත්න දරන අතර එලෙසම තම යුගදිවිය පවත්වාගෙන යන්නීය. පෙම් සබඳතාවකට මුලපුරා ඒ මතම ගොස් යුගදිවියකට පත්වන්නීය.

ඇඟේ පරම පැතුමද දරුවන්ය. ගැහැනු පිරිමි භේදයක් නැතිව දරුවන්ට ආදරය කරන්නීය. දෙට නැකතින් මල්වර වූයේ නම් ඇයගේ ක්‍රියාවන් තරමක පීඩනයකට ගොදුරුවිය හැකි බැව් පොත්වල සඳහන් වේ. සිය උත්සාහයෙන් එය වෙනස් කළ හැකිය. පොතේම දක්වා ඇති ආකාරයටම සියල්ලම මෙලොව සිදු නොවේ.

පළමුවැනි දෙවැනි පාදයෙන් මල්වර වී නම් යුගදිවිය සාරවත් වේ. වාසනාවන්ත දාරක සම්පත් හිමිවේ.

3 වැනි 4 වැනි පාදවලින් මල්වර වී නම් තරමක යුගදිවියේ පීඩනයන්ට ගොදුරු වේ. මූල්‍යමය පැත්තේ ප්‍රශ්න පැන නඟී. එසේම ශාරීරික සෞඛ්‍යයටද එතරම් සුබවාදී නැත.

දෙට නැකතට සුබ නැකත් වන්නේ / අස්විද, මා, මුල, කැති - උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, පුෂ, අනුර, උත්‍රපුටුප, යන නැකත්ය.

අසුබ වන්නේ බෙරණ, පුවපල්, පුවසල, රෙහෙන, හත, සුවණ, අද, සා, සියාවස, නැකත්ය.

විවාහයේදී මේ සුබ නැකත් හිමි අය ගැළපීම් ඇති නිසා යුගදිවිය සාර්ථක කර ගැනීමට හැකිවේ. විශේෂයෙන්ම කේන්ද්‍ර දෙකෙහිම ( 7 -8) ග්‍රහ පරිවර්තන යෝගය්‍ය යෙදී තිබීම ද අසුබයි. 5 වැන්න හා 9 වැන්නේ ඉතාම සුබ ග්‍රහයින් පිහිටා තිබීම ධනාත්මක වේ.

ඒ ග්‍රහ හැසිරීම් රටාව ඉතාම සුබ තත්ත්වයට තිබීම වැදගත් වනු ඇත්තේ යුගදිවිය සාර්ථකවීමටය. දෙට නැකත් හිමියාගේ යුගදිවිය අතිශයින්ම සාරවත් වන්නේ දෙදෙනා අතර පවතින කායික හා මානසික එකඟතාවය දිගටම නොකැඩී යන තත්ත්වයේ ශක්තිමත් පදනමක් තිබීම සුවිශේෂි වේ.

දෙට නැකත් හිමි දෙදෙනාම පොරොන්දම් පිරික්සා බලා ඉතාම සුබ ධනාත්මක පැතිකඩක් නියෝජනය වන ආකාරයට තිබෙන නිසා යුගදිවියකට පත්වී සමහර විට විදෙස්ගත වී ඇත්නම් දෙදෙනාගෙන් එක් අයෙකු යුගදිවිය රැකගැනීමට ඉතාම ශක්තිමත් මානසික මට්ටමක් දෙදෙනා අතර තිබිය යුතුයි. චංචල අදහස් වරින්වර එක් අයෙකුගේ සිත තුළ සංසරණය වන්නේ නම්, ගැටලුවකට තුඩු දේ. දෙට නැකත් හිමි අඹු සැමියන් විශාල සංඛ්‍යාවකගේ යුගදිවිය ගැන නිරීක්ෂණය කිරීමේදී හෙළිවී ඇති කරුණු තරමක චංචලය. වහා සිත් බිඳීමේ වෙනස්වීම්වලට ලක්වේ. ඒ දෙට නැකකතේ උපන් ගෙයි සිරිතකි.

නැකත් සංහිතාවේ කුමන ආකාරයකින් දැක්වුවත් තමාගේ මානසික තලය තමා විසින්ම ධනාත්මක පැතිකඩකට හරවා ගැනීමට යත්න දැරිය යුතු වේ. කරුණු මෙසේ දක්වන අතර දෙට නැකත් හිමියන් දැඩි ලෙස තම දෛනික වැඩකටයුතු අතිසාර්ථක අන්දමින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හරහා සාර්ථක කර ගැනීමට හැකි බැව් මෙහිලා සනිටුහන් කර සිටිමු. “නානත්ථකායෝ නානත්ථ සංඥා එකිනෙකා වෙනස්ය. විවිධ සිතුම් පැතුම්ය. එය සොබාදහමේ න්‍යායකි. කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි ධර්මතාවකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.