සැමරුම් ඡ්‍යොතිෂ ආයුර්වේද සායනයේ විශේෂ අවස්ථා

ජූලි 5, 2024

සුබසෙත පුවත්පතට වසර 55ක් සපිරීම සහ ලංකා මහිලා සමිති 95 වැනි සංවත්සරය සැමරීම නිමිති කර ගනිමින් සුබසෙත ඡ්‍යොතිෂ සහ ආයුර්වේද සායනයක් පසුගිය 28 වැනිදා මාලබේ, වැලිවිට මහිලා සමිති මූලස්ථාන පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වීම මහත් සතුටකි. මෙහිදී නිස්සරණාධ්‍යාශයෙන් අපගේ සායනයට සහභාගී වූ ඡ්‍යොතිෂවේදීන්, ආයුර්වේද වෛද්‍යවරුන්, වාස්තු විද්‍යා ශිල්පීන්, හස්ත රේඛා විශ්ලේෂකයන්, අංක විද්‍යා විශ්ලේෂකයන්, කටු චිකිත්සා වෛද්‍යවරුන්, අඳුන් පරීක්ෂකවරුන්, රුද්‍රාක්ෂ මඟින් ප්‍රතිකාර කරන්නන්, ජෛව අනුනාදක රෝග පරීක්ෂකයන්, සුවවේද ශිල්පීන්, යෝග අභ්‍යාස ශිල්පීන්, තෛල අභ්‍යංග හා නිල ප්‍රතීක චිකිත්සකවරුන්, ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු සම්පත් දායකයන් සියලු දෙනාට සුබසෙත කර්තෘ මණ්ඩලයේ මෙන්ම ලේක්හවුස් ආයතනයේද ගෞරවය හිමිවන බව සඳහන් කළ යුතුය.

මෙවන් වැඩසටහනක් සඳහා මුල පිරුණේ අප මීට පෙර කැලණිය විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ පැවැත් වූ සුබසෙත සායනයකට සහභාගී වූ ශාන්ති අබේසේකර මහත්මියගේ දැඩි උනන්දුව නිසා බව සිහිපත් කළ යුතුය. එමෙන්ම ලංකා මහිලා සමිති සභාපතිනී තිලකා පෙරේරා මහත්මියගේ නායකත්වය ලේකම් ඉන්ද්‍ර නිලවීර මහත්මියගේ සහභාගීත්වය මෙන්ම විධායක නිමල් ජයවර්ධන මහත්මියගේත් මහිලා සමිති විධායක සාමාජිකාවන් ඇතුළු සියලු මහිලාවන්ගේත් අප්‍රතිහත ධෛර්යය හා කැපවීම අපට මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මහත් පිටිවහලක් විය.

මෙවැනි සායනවලදී අප හට ඡ්‍යොතිෂවේදීන් ඇතුළු විවිධ විෂයය ප්‍රාමාණිකයන් සම්බන්ධීකරණය කර දීමෙහිලා මහත් කැපවීමෙන් කටයුතු කරන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී මාකෙහෙල්වල කරුණාපාල මහතාගේ සහයෝගය කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුය. එසේම හස්ත රේඛා හා අංක විද්‍යා විශ්ලේෂණයේ නව මං සොයන්නා වූ ෆේට්රෝ ආයතනයේ සභාපති වෛද්‍ය බන්දුල සිරිවර්ධන මහතාගේත්, එහි විධායක ලේකම් සුජිත් රුබේරු මහතාගේත් අපරිමිත කැපවීම නිසා බොහෝ දෙනකුගේ උනන්දුව ඇති හස්ත රේඛා විශ්ලේෂණ කටයුතු සාර්ථකව කර දීමට හැකි විය.

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගැනීමේදී ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සුරංගා කුමාරන්නැහැ මහත්මියගේ සහයෝගය මහත් රුකුලක් විය. එසේම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කාර්යාභාර ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.ඒ. වී. විකුම් චන්ද්‍රරත්න විසින් ලබා දුන් සහයෝගය අතිමහත්ය. මේ සියල්ලන්ගේ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් කේ. එම්. පී. සුදර්ශනී කරුණාරත්න මහත්මියගෙන් ලද නොමඳ උපකාරය ගෞරවාන්විතය.

එසේම අපට නිතැතින් මේ කටයුතු සඳහා සහයෝගය දෙන සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල කථිකාචාර්ය, වාස්තු විද්‍යා පර්යේෂක ප්‍රියන්ත දයාරත්න මහතා දුන් සහයෝගය අගය කළ යුතුය.

එදින කටයුතුවලදී අපට මහත් දිරියක් දුන් ක්ෂේත්‍ර මෙහෙයුම් කළමනාකරු ශාන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු සියලු ලේක්හවුස් සේවක මහත්ම මහත්මීන් සියලු දෙනාගේ සහාය මේ කටයුත්ත සාර්ථකව නිම කිරීමට මහත් සවියක් විය. සුබසෙත කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනීන් වන ධම්මිකා රාජපක්ෂ සහ තුෂාරි වික්‍රමසිංහ මෙන්ම සිසිර අමරසිංහ ද නිදහස් මාධ්‍යවේදිනී ජයන්ති කුරේ සහ පුහුණු වන මාධ්‍යවේදිනී ඉෂාරා විජේරත්නගේ නොමඳ කැපවීම කාර්යක්ෂමව මෙන්ම විධිමත්ව සායනය පවත්වා ගැනීමට හේතු විය. ඡායාරූප ගැනීමට පමණක් සීමා නොවී මේ කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් කැමරා ශිල්පී සුලෝචන ගමගේ මෙන්ම වීඩියෝ කැමරා ශිල්පී ප්‍රමුඛ දුල්ෂාන් ද නන් අයුරින් සහාය වූ ආචාර්ය විජය සමරසිංහ ද ලබා දුන් සහයෝගය අති මහත්ය.

නව ගමනක සුබ නිමිති සමඟ සම්ප්‍රදායත් නවීනත්වයත් මුසුව මුළු මහත් ලෝක සත්ත්වයාගේ සුවය සහ යහපත වෙනුවෙන් බිහි වුණු සුබසෙත ඡ්‍යොතිෂ ආයුර්වේද සායන මඟින් බලාපොරොත්තු වන්නේ ද කයෙන් මෙන්ම මනසින් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහි කිරීමය. ඒ සඳහා අපට සහාය වන ඔබ සැමට පින් සිදු වේවා!

කර්තෘ අරුණි මුතුමලී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.