වැලි පොළේ කතගේ අල්ලේ සැඟවුණු ධන උල්පත

ජූලි 12, 2024

ඔබේ අල්ලේ උත්පත්ති කේන්ද්‍රය තුළ සැඟවුණ ධන උල්පත් බොහෝ ය. මේ විද්‍යාව මා ඉගනීමට පටන් ගත්තේ කුඩා කාලයේ සිට 1962 සිටය. මා උපන්නේ වෙද පවුලකය. මගේ අත්තම්මාත් අම්මාත් එදා රෝගීන්ට වෙදකම් කළේ සිලිම් තුනට පණම් හතරටයි. නැත්නම් රුපියලට. නැත්නම් බුලත් අතටය. උපන් ගම දොම්පෙ. මට සිදු කරන්නට වී තිබුණෙ ගෙදරට එන විවිධ රෝගීන්ගේ අත්වල ඇති විවිධ රේඛා අත්තම්මාට ඇස් පෙනීම අඩු නිසා පෙන්වාදීමය. විවිධ පුද්ගලයන්ගේ අත්වල ඇති රේඛාවෙන් ඔවුන්ගේ තරා තිරම මම හඳුනා ගත්තෙමි.

මේ ලිපි පෙළෙන් මා අද මුල පුරන්නේ ඔබේ කේන්ද්‍රයෙන් අල්ලේ රේඛාවෙන් සැඟවුන ධන උල්පත් ගැන මා දන්නා රේඛා ගැන සුබසෙත පත්‍රයෙන් කියා දෙන්නටය.

සල්ලිත් කොහොමද හරියට ඔබේ අල්ලට එන මල් වට්ටියක් වගේය. ඉල්ලුම් කරන ආකාරයට අනුව මල් වට්ටිය අතින් අතට යයි. අතින් අතට යන මල් වට්ටිය එසේ ගොස් සමහර විට බලාපොරොත්තු නොවූ විධියට තවත් කෙනෙකු ළඟ තුන් ඈවර වන්නේ ය. සල්ලි ලැබෙන විධිද, නොලැබෙන විධිද ඡ්‍යොතිෂයේද ඔබේ අල්ලේ ද පල්ලේ ද පයේ ද හිසේ ද මුහුණේද සඳහන් වන්නේ ය.

නිර්ධන යෝග මෙන්ම - ධන යෝග ඔබේ අල්ලේ වැටේ. එහෙයින් ඔබට නිර්ධන යෝග ඇතැයි කේන්ද්‍රය බලා හංවඩු ගැසීම නොකළ යුතු ය. නිර්ධන යෝගත් උත්සාහයෙන් ධන යෝග කර ගත හැකිය. එය එසේ වන්නේ ඡ්‍යොතිෂයේ වරද නිසා නොව බොහෝ විට හරියට නොදන්නා නිසා ය.

විෂ ඇති නියගලා මල ලස්සනය. නියගලා විෂ බව අපි දන්නෙමු. විෂ ඇති නියගලා අලද බේත්වලට යොදා ගන්නේ විෂෙන් විෂ නැති කිරීමටය. මගේ අදහස ඡ්‍යොතිෂයේ සඳහන් වන සෑම විෂ යෝගයක්ම එලෙසම පළදෙන්නේ නැකි බවය. තවත් නවග්‍රහ යෝගයක් නිසාම ඔබට සුබපල දීමට පිළිවන. එසේ නැත්නම් ඔබේ පුතාගේ දුවගේ සැමියාගේ හෝ බිරියගේ කේන්ද්‍රයේ යෙදෙන සුබපල ග්‍රහ ගමනකින් (යෙදීමකින්) ඉතාම යහපත් වේ.

දක්ෂ ඡ්‍යොතිෂය ශාස්ත්‍ර විද්‍යාඥයෙකු. කේන්ද්‍ර පරීක්ෂාවකදී බිරිඳගේ කේන්ද්‍රය බලා බිරිඳ දැන් මේ මේ වෙලාවේ සැමියා බිරිඳගේ දෙවියා යයි කියන්නේ කට කතාවට නොවේ. බිරිඳගේ කේන්ද්‍රයෙන් පෙර ආත්මවලින් ගෙනා කර්ම පල බලාය. මගේ අද අත් රේඛා සටහන පටන් ගන්නේ මේ පුංචි කතාවෙනි.

සිය සැමියාගේ රක්ෂාව නැතිවුණ නිසා බිරියත් රැගෙන එක්කරා ගොඩනැගිලි කොන්ත්‍රාත් කරුවෙකු ළඟ රැකියාවක් ඉල්ලාගෙන සැමියා ගියේ ය. ඔහුට ලැබුණේ ඔහුගේ තරමට නොගැළපෙන රැකියාවකි.

කරන්නට දෙයක් නෑ පුතාලා ඉස්කෝලේ යවන්නට විධියක් නෑ. මම වැලි අදිනවා. කාටවත් පෙනෙන්නේ නෑනෙ. මම කෙසේ හෝ මේ රැකියාව කරනවා. දිරිමත් ඔහු බිරියට කීවේය.

ඔහුගේ බිරිඳ සැමියාට සහායට වැලි කූඩ ගසන්නට එතනට ආවාය. දෙන්නාම තමා යටතේ වැඩ කිරීම දුටු කොන්ත්‍රාත්කරු සතුටු විය. ඇයටද කුලියක් ගෙවුවේය. දිනපතා වැලි ‘සලාදියෙන්’ හැළූ ඇයට දිනක් අමුතුම ගලක් හමු වුණේය. එය රෙදි පටේ රඳවා ගත් බිරිය සුපුරුදු පරිදි කටයුතු කරගෙන ගියාය. සවස වැඩ හැරී ගෙදර ගිය පසු ඇය එය සැමියාට පෙන්නුවාය. සැමියා පුදුම විය. ඔහු එය හඳුනා ගත්තේය. එය වටිනා රතු මැණිකකි.

පසුදා අසනීප නිසා යැයි කියා දෙදෙනාම වැලි අදින්නට නොගියහ. එහෙත් තමන්ට දෙවියන් දුන් වස්තුවත් රැගෙන ඔවුහු රුවන් පුරය දෙසට බසයේම ගියහ. ඒ වන විටත් ඔවුන්ට පසුම්බියේ තිබුණේ ගමනට සෑහෙන මුදලක් පමණි. එහෙත් හිතේ ධෛර්යය තිබුණු නිසා දෙදෙනා අදහස අත් නොහැර ගමන ගියෝය.

මැණික් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු වෙත ගිය පසු ඔවුන්ගේ විවිධ මත මේ දෙදෙනාට දැනගන්නට ලැබිණි. අවසානයේ සාධාරණ ව්‍යාපාරිකයකුට පෙන්නූ මේ මැණික් ගල ලක්ෂ ගණනකට අලෙවි කර ගැනීමට ඔවුන්ට හැකි විය.

කේන්ද්‍රය හෝ හස්ත රේඛා ගැන විශ්වාසය තබන අයට මෙය ඉතා ආදර්ශමත් කතාවකි. ධනයෝග මෙන්ම නිර්ධන යෝග ගැනද දැනුමක් අවබෝධයක් ලබා තිබීම තම ජීවිතයට ඉතා වැදගත් වේ. පින් කරන අය පව් කිරීමත් මොනවා දැයි දැන ගත යුතු ය.

මනුෂ්‍ය අල්ලක මෙන් මුහුණකද පතුල්වල ද රේඛා සටහන් නව ලක්ෂයකි. මෙය වේදයේ එයි. ධනයෝග තිබුණ පළියට ධනය නොලැබේ. සුබ අසුබ ග්‍රහ යෝගයන්ගෙන් ඔබේ අල්ලේ රේඛාත් කේන්ද්‍රයත් විටින් විට වෙනස් වන්නේ ය.

මේ සමග පළ වන්නේ ඒ මැණික් ගල හිමි වූ කාන්තාවගේ හස්ත රේඛා සටහනයි.

එහි අල්ල මැද මහා ත්‍රිකෝණය මැදින් කර්ම පල රේඛාව ඇත. අත් කරේ සිට යන කර්ම පල රේඛාව ජීවන රේඛාව සමග එක්ව රවි හා ශනි මණ්ඩල අතරට වැටීම ඇය පැල්පතක උපන්නත් මහ මන්දිරයක පදිංචි වන බවට සලකුණකි. (අංක 1) සංඛ ලාංඡනයකි. ගුරු, ශනි රේඛාව ප්‍රබල ධන යෝගයකි. එය දබර ඇඟිල්ලත් මැදැඟිල්ලත් අතර පිහිටා ඇත.

වයස 40 දී ඇය පොහොසත් වන බව සිකුරු මණ්ඩලයේ සිට ජීවන රේඛාවෙන් විහිදෙන ද්විත්ව කුජ රේඛාවෙන් දැක්වේ.

රවි ධන රේඛාව සූර්ය රේඛාව (11) වෙදැඟිල්ලේ දැක්වේ. මෙහි මුදල් වාසනා රේඛාව (අංක 10) සුළැඟිල්ල යට වැටී ඇත. එවැනි රේඛාවක් යම් අල්ලක වැටේද අහඹු ධන උල්පතක වාසනා ලබයි.

මේ රේඛා ඔබේ අත්ලේත් තිබිය හැකියි. ඒවා සියුම්ව පරීක්ෂා කර බලා ඔබට ඔබ ගැන, ඔබේ වාසනාව ගැන යම් අදහසක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි සිතමු.

ලබන කලාපයට

(ඔබේ අල්ලේ සැඟවුණ ධන වාසනා රේඛා)

හස්ත රේඛා පර්යේෂණ විද්‍යාඥ (මාතලේ)

එච්.ඩබ්ලිව්. අභයපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.