භූමි සම්පත් දෙන මැදැඟිල්ලේ සලකුණු

ජුනි 28, 2024

අත්ලේ ඇති ඇඟිලි අතරින් මැද ඇඟිල්ල හෙවත් ශනි ඇඟිල්ලට විශේෂ ස්ථානයක් හිමිවේ. එයට හේතු වන්නේ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මිල මුදල්, ව්‍යාපාර ආදි අරමුණු සපුරා ගැනීමේ ප්‍රවණතාවය සහ ඒ සඳහා ඇති උද්‍යෝගයේ ප්‍රමාණය මෙන්ම ජීවිතයේ යථා තත්ත්වය සහ අනිත්‍යභාවය ආදි කරුණු ශනි ඇඟිල්ල සහ ශනි මණ්ඩලයේ ස්වභාවය මත තේරුම් ගත හැකිවීමයි. එසේම මැද ඇඟිල්ල මඟින් සෞඛ්‍යමය වශයෙන් පුද්ගලයකුගේ ආහාර මාර්ගය සහ අක්මාවේ තත්ත්වය ගැන ද අපට හෝඩුවාවක් ලබා ගැනීමට හැකියාව ලැබේ. තවද අනෙක් ඇඟිලිවලට වඩා ඝනකමට සහ පළලට මේ ඇඟිල්ල පිහිටා ඇති පුද්ගලයා එක්වරකට වඩා විවාහ වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවද අවබෝධ කරගත යුතුය.

යම් කිසි පුද්ගලයකුගේ අත්ලේ අනිත් ඇඟිලිවලට සාපේක්ෂව ශනි ඇඟිල්ල අධික දිගකින් යුක්තනම් එම පුද්ගලයා අශෝභන සිතුවිලි සහිත සෑම දෙයක් අශෝභන පැත්ත දකින මසුරු මලානික පුද්ගලයෙකි. ඇඟිල්ල වඩා කෙටි නම් එම පුද්ගලයාට වැඩකටයුතු කිරීමේදී වගකීම් දරිය නොහැකිය. ඔවුන්ගේ සමතුලිත භාවයක් නොමැත. එහෙත් ශනි ඇඟිල්ල මධ්‍යස්ථ දිගකින් යුක්ත නම් විචක්ෂණශීලී, දූරදර්ශි බුද්ධියක් සහිත උත්සාහයෙන් වැඩකරන කර්මාන්තවලට දක්ෂ පුද්ගලයකු බිහිවේ. මැද ඇඟිල්ල විකෘති ස්වභාවයෙන් යුක්තනම් දරුණු අපරාධ කිරීමට පෙලඹෙන හෝ මානසික ආබාධ සහිත පුද්ගලයෙකු විය හැකිය. විකෘති ඇඟිල්ල ප්‍රබලව පළලට ඇත්නම් පුද්ගලයා තම දෛවය සහ වාසනාව ගැන ඕනෑවට වඩා සිතයි. සිහින් සහ පැතැළි ආකාරයට ඇත්නම් ඊර්ෂ්‍යාවෙන් පිරුණු පළි ගැනීමේ චේතනාවෙන් සැම විටම කටයුතු කිරීමට පෙළඹෙන්නෙකි.

ශනි ඇඟිල්ල, ගුරු ඇඟිල්ල දෙසට ඇලව ඇත්නම් දියුණුවට ඇති බලවත් ආශාව නිසාම සිතේ සතුට අහිමි වේ. අපහාස ලැබීමට ද කරුණු කාරණා ඇතිවේ. ඔවුන්ට තදබල ආත්ම විශ්වාසය ඇතත් පාලන කටයුතුවල පසුබෑමක් ඇතිවේ. එසේම ශනි ඇඟිල්ල, රවි ඇඟිල්ල දෙසට නැඹුරු වන්නේ නම් ඉතා සුලු කරුණු මත ප්‍රීතියට පත් වන්නෙකි. එසේම කනගාටුවට ද පත්වේ. සංගීතය සහ චිත්‍රයට ඇලුම් කරන අතර දෛවෝපගත සිද්ධින් ගැන විශ්වාසය තබයි. තවද ශනි ඇඟිල්ල සහ රවි ඇඟිල්ල අතර පරතරයක් වේ නම් පසු ප්‍රතිපල නොතකා කටයුතු කිරීමෙන් පසුතැවිල්ලට පත්වන අවස්ථා ඇති කර ගනී. ආශ්‍රිතයන් පරිසරය නොසලකා කටයුතු කරන හෙයිනි. එහෙත් මේ පිහිටීම දුබලය. ශනි ඇඟිල්ලේ පළමු පුරුක හෙවත් නිය පුරුක පුද්ගලයාගේ බුද්ධිමත්කම සහ ඉගනීමට ඇති ළැදියාව පෙන්වයි. මේ පුරුක මධ්‍යස්ථ ප්‍රමාණයේ දිගකින් යුක්ත නම් සෑම දෙයක් ගැනම නිර්මාණාත්මකව, පරීක්ෂණාත්මකව සොයා බැලීමට කැමැතිය. එහෙත් මේ පුරුක ඉතාම දිග නම් හිතේ මලානිකකම සහ නපුරු සිතුවිලි පිරී පවති. එම නිසාම සිය දිවි හානි කර ගැනීමට පෙලඹීමට පුළුවන. පළමු පුරුක දිගින් අඩුනම් තමා කළ දේ ගැන පසුතැවිල්ලෙන් පසුවේ. කෙසේ වෙතත් ශනි ඇඟිල්ලේ පලමු පුරුක හෙවත් නිය පුරුක සමචතුරස්‍රාකාර හෝ ස්පැටියුලාකාර හැඩය නම් වඩාත් සාර්ථක වේ. නිය පුරුකේ තරු සලකුණකින් කනගාටුවෙන් පසු වෙන පුද්ගලයකු බිහිවෙන අතර අත්දෙකෙහිම ශනි ඇඟිල්ලේ නිය පුරුකේ තරු සලකුණ ඇත්නම් තමා අතින් මනුෂ්‍ය ඝාතනයක් සිදුවිය හැකිය.එම නිසා එවැනි පිහිටීමක් ඇතිනම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. නිය පුරුකේ ත්‍රිකෝණයක් පිහිටීම පුද්ගලයා ආත්මාර්ථකාමිත්වය ඇති පුද්ගලයෙක් වුවද ප්‍රීතිමත් විවාහයකට උරුමකම් කියයි. කතිර සලකුණ ඇත්නම් සමාජ විරෝධි සිතිවිලි මෙන්ම සමාජ විරෝධි ක්‍රියාකරන්නකු බව කියාපායි. ග්‍රිල් සලකුණද නිය පුරුකේ පිහිටා ඇත්නම් සදාචාර විරෝධි ක්‍රියාවල නියැළෙන ප්‍රකෘති ස්වභාවයෙන් තොර පුද්ගලයෙකු බිහි කරයි.

ශනි ඇඟිල්ලේ දෙවැනි පුරුක දිගනම් එය යහපත් පිහිටීමකි. ක්‍රමානුකුලව සහ විද්‍යානුකූලව වැඩවලට දක්ෂය. අනුන්ගේ දුකට පිහිට වෙයි. ගුප්ත ශාස්ත්‍රවලට දක්ෂය. කෘෂිකර්මාන්තය ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වේ.ගණිතයට විශේෂ දක්ෂතාවයක් දක්වන අතර වඩාත් දෙවැනි පුරුක දිගනම් ගුරු වෘත්තියෙන් මුදල් උපයයි. සිරස් රේඛා පිහිටා ඇත්නම් සාර්ථක නොවන ව්‍යාපාරවලින් පවා ජයගත හැකිවේ. අත්දෙකෙහිම තරු සලකූණ මේ පුරුකේ ඇත්නම් රහසේ මිනී මැරීමට පුද්ගලයා තල්ලුවන අතර සමචතුරස්‍රය ඇත්නම් සිරගත වීම හෝ හදිසි අනතුරුවලට ලක්වීමට බොහෝ ඉඩකඩ තිබේ. යව ඇටයක සලකුණ දෙවැනි සංධියේ ඇත්නම් දෙමාපියන්ගෙන් ලොතුරුයිවලින් හෝ තමාව අරන් හදාගත් අයගෙන් දේපළ උරුමකම් තිබේ. කෝණයක ලකුණ ඇත්නම් පුද්ගලයා විශේෂයෙන් සූදුවට තල්ලු වේ. කතිරයද දෙවැනි පුරුකේ පිහිටීම එතරම් යහපත් නොවන අතර අනතුරුදායක තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

ශනි ඇඟිල්ලේ තුන්වැනි පුරුක ප්‍රබලව වැඩී ඇත්නම් හුදකලාව ජීවත් වීමට ආශාව ඇති ආර්ථික දියුණුව බලාපොරොත්තුවන විරුද්ධ ලිංගිකයන්ට වැඩි ළැදියාවක් දක්වන මසුරු පුද්ගලයකු බව කියාපායි. එසේම පුරුක මහතට වගේම දිගට වැඩී ඇත්නම් ඔහු මුදල් ඉපයීමට හැකි තෘෂ්ණාධික පුද්ගලයෙකි. එසේ වුව ද ඔහු ජනප්‍රිය වීමට හෝ ගෞරවයට පාත්‍ර වීමට පුළුවන. මේ පුරුකේ තරු සලකුණ ඇත්නම් අවි ආයුධවලින් හෝ වස විසවලින් මරණය සිදුවේ.ලප සලකුණක් පිහිටා ඇත්නම් තමාගේ මුදල් කාන්තාවක් නිසා විනාශ වන බව පෙන්වා දේ. මැදැඟිල්ලේ මුල සිට අග දක්වා සෘජු සිරස් රේඛාවක් ඇත්නම් භූගත සම්පත්වලින් වාසනාව උදා වේ. එසේම කාන්තාවකගේ ශනි ඇඟිල්ලේ තුන්වන පුරුකේ මුල තරු සලකුණ දරු සම්පත් අහිමි බව පෙන්වයි.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.