සෙනසුරු අටෙන් ගිය පමණින් අෂ්ටම ඒරාෂ්ටකය ඉවර නෑ

ජූලි 5, 2024

2024 ජුනි මස 07 සිකුරාදා පාරින්ද සුගතදාස මහතා විසින් ලියන ලද ලිපියට මගේ පිළිතුර

මා විසින් සුබසෙත පුවත් පතට ලියන ලද ලිපියෙහි බණ්ඩාරනායක මැතිනිය මියැදෙන විට ඒරාෂ්ටක අපලයක් තිබුණු බව සඳහන් කර ඇතත් ඔබතුමා මැතිණියට එසේ ඒරාෂ්ටක අපලයක් නොතිබුණු බව ප්‍රකාශ කරන්නේ එතුමිය මියැදෙන විට ග්‍රහස්ඵුට ලිතෙහි සෙනසුරු මැතිනියගේ කන්‍යා ලග්න කේන්දරයේ 9 වැන්න වූ වෘෂභ රැසෙහි ගමන් කරමින් සිටි නිසාය. ඒ අනුව එතැනදී ඔබ මැතිනියගේ අෂ්ටම ඒරාෂ්ටක අපලය ගැන කරුණු විමසා ඇත්තේ මතුපිටින් බව හැඟේ. එනිසා ඔබට එතැනදී මැතිනිය මිය යනවිටත් අෂ්ටම ඒරාෂ්ටක අපලය ක්‍රියාත්මක වෙමින් තිබුණු බවට කරුණු මඟහැරී ඇත.

නමුත් මා මැතිනියගේ අෂ්ටම ඒරාෂ්ටක අපලය ගැන ගැඹුරින් කරුණු විමසා බැලූ නිසා මා හට මැතිනිය මියැදෙන විටත් ඒරාෂ්ටක අපලය ක්‍රියාත්මක වෙමින් තිබුණු බවට කරුණු අවබෝධ විය. ඒ අනුව ඒ පිළිබඳව යමක් විග්‍රහ කළ යුතුය. අෂ්ටම ඒරාෂ්ටක අපලවලදී එකී අෂ්ටම ඒරාෂ්ටක අපලය ගෙවෙන්නේ නැති නම් නිමා වන්නේ සෙනසුරු 8 වැන්නෙන් 2 වැන්න වූ 9 වැනි රාශියේ අංශක 8ක් දුර ගමන් කළ පසුව ය. එයට හේතුව නම් සෙනසුරුට ඉදිරිපසට අංශක 8කුත් පසු පසට අංශක 8ක් වන රශ්මි කදම්භයක් ඇති නිසා ය. ඒ අනුව සෙනසුරු 8 වැන්නේ 2 වැන්න වූ 9 වැන්නෙහි අංශක 8ක් ගමන් කළ පසු 8 වැන්නට සෙනසුරුගේ රශ්මි කදම්භය නොවැටෙන හෙයින් ලග්නයෙන් 9 වැන්නෙහි සෙනසුරු අංශක 8ක් දුර ගමන් කළ පසු ශනි අෂ්ටම ඒරාෂ්ටක අපලය නිමා වන්නේ ය.

ඉහත විග්‍රහ කළ කරුණුවලට අනුව බණ්ඩාරනායක මැතිනියගේ අෂ්ටම ඒරාෂ්ටකය පිළිබඳව කරුණු විමසා බලන කල එතුමිය මියැදෙන විට සෙනසුරු කන්‍යා ලග්න කේන්දරයේ 9 වැන්න වූ වෘෂභ රැසෙහි අංශක 6 යි කලා 27ක් වක්‍රව ගමන් කරමින් සිටිය නිසා එතුමියගේ අෂ්ටම ඒරාෂ්ටක අපලය ඉහත විග්‍රහ කළ ඡ්‍යොතිෂ රීතීන්ට අනුව ගෙවී නැති බව පැහැදිලි වනවාට සේම, සෙනසුරු වක්‍ර නිසා 8 වැන්න වූ මේෂ රැසට එල්ල කරන ලද සෙනසුරුගේ පාප බලපෑම වැඩි බව පැහැදිලිව විද්‍යමාන වන්නේ ය. ඒ ආකාරයට සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටක රැසෙන් 2 වැන්න 9 වැනි රැසෙහි ශනි අංශක 8 ඇතුළත ගෝචරය වන විට හදිසි අනතුරුවලට ලක් වූ, හෘදයාබාධ, පිළිකා, වැනි මාරාන්තික රෝගවලට ගොදුරු වූ, එමෙන්ම විවිධ හේතූන් නිසා මරණයට පත් වූ පුද්ගලයන්ගේ කේන්දර මා පරීක්ෂා කොට ඇත. ඒ අනුව එලෙස මාගේ පියාද චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයකින් 2015 සැප්තැම්බර් මස 3 වෙනි දින මිය ගිය අතර ඒ පිළිබඳව කෙටියෙන් යමක් විග්‍රහ කළහොත් ඔහු මිථුන ලග්නයෙන් ඉපදී සඳු 10 වැන්න වූ මීනයේ සිටින අතර, 2015 සැප්තැම්බර් මස අභාවප්‍රාප්ත වන විට සෙනසුරු සඳුගෙන් 9 වැන්න වූ වෘශ්චික රාශියෙහි අංශක 5යි කලා 1 දුර ගමන් කරමින් සිටියේය. ඒ අනුව ඔහුට සෙනසුරුගේ තුලා රාශි අෂ්ටම ඒරාෂ්ටකයේ අශුභ ඵල ලැබුණේ තුලාවේ නොව ඉන් 2 වැන්න වූ වෘශ්චික රැසෙහි අංශක 5, 01 ට ගමන් කරමින් සිටිය විටදීය.

එමෙන්ම මෙකී සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගිය පසු අෂ්ටම ඒරාෂ්ටක අපල ගෙවී ඇද්ද? නැද්ද? යන්න පිළිබඳව මනෝමය වශයෙන් ගැන ගන්නා ලද භාව කේන්දරයක් මඟින් තහවුරු කර ගත හැකිය. ඒ අනුව ඒ පිළිබඳව කරුණු විග්‍රහ කිරීමට අප මාතෘකාවට සම්බන්ධ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කන්‍යා ලග්න කේන්දරය උපයෝගි කර ගත් විට ඇය උපන් කන්‍යා ලග්න කේන්දරයේ ලග්න ස්ඵුටය අංශක 16 කලා 25ක් වන හෙයින් පළමු භාවයේ භාව ස්ඵුටය අංශක 16 විකලා 25 වන හෙයින් අනෙක් භාවවලද භාව ස්ඵුටයන් අංශක 16.25 අන්‍යන්ත අගයක් ගන්නේ ය (මෙහිදී අනෙක් භාව ස්ඵුටයන් ලග්න ස්ඵුටය වටා අංශක 2කින් 3 කින් අඩු හෝ වැඩි වන්නේ ය. මෙහිදී මා කරුණු විග්‍රහ කිරීමට භාව ස්ඵුට සහිත අංග සම්පූර්ණ භාව කේන්දරයක් යොදා නොගත්තේ මෙකී අෂ්ටම ඒරාෂ්ටකය සම්බන්ධ කරුණු විග්‍රහ කිරීමට අංග සම්පූර්ණ භාව ස්ඵුට සහිත කේන්දරයක් අවශ්‍ය නොවන නිසාය. මනෝමය වශයෙන් ගැන ගන්නා ලද භාව කේන්දරයක් මඟින් යටකී කරුණු පැහැදිලිව විග්‍රහ කළ හැකිය. ඒ අනුව ලග්න භාවයේ ස්ඵුටය අංශක 16 යි කලා 25 ක් නම් 8 සහ 9 වැනි භාවවල ස්ඵුටයන් අංශක 16 කට හා මඳක් අඩු හෝ වැඩි අගයක් ගන්නේ ය. ඒ අනුව අපි හිතමු, එතුමිය උපන් කන්‍යා ලග්න කේන්දරයෙ 9 වැන්නේ භාව ස්ඵුටය අංශක 13 යි කලා 20 යැයි කියා එවිට මැතිනිය මිය ගිය ඔක්තෝබර් මස 10 වෙනි දින සෙනසුරු 9 වැන්න වූ වෘෂභ රැසෙහි අංශක 6 යි කලා 27ක් දුර ගමන් කරමින් සිටිය නිසා ශනි ගමන් ගත් ග්‍රහ ස්ඵුටයේ අගය අනුව සෙනසුරු වැටෙන්නේ 9 වැනි භාවයට නොව 8 වෙනි භාවයටය. ඒ අනුව එතැන දී ලග්න කේන්දරයට එනම් දළ කේන්දරය මෙන්ම භාව කේන්දරයට අනුවද සෙනසුරුගේ අපල ගෙවී නොමැති බව ඉතා හොඳින් විද්‍යමාන වන්නේ ය.

එහෙයින් පාරින්ද්‍ර මහතාට යෝජනා කරන්නේ අපට ඡ්‍යොතිෂය කටයුතු කරගෙන යෑමේදී මෙවැනි ගැටලු මතුවන මුත් එම ගැටලුවලට විසඳුම් ඇති හෙයින් එවැනි ගැටලු හමුවේ ඡ්‍යොතිෂයේ ඇතැම් සිද්ධාන්ත ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම ගැටලුවලට විසඳුම් පර්යේෂණ මඟින් තර්කානුකූල බුද්ධිය මඟින් දුර්ලභ ඡ්‍යොතිෂය ග්‍රන්ථ කියවීමෙන්, අනෙක් ඡ්‍යොතිෂඥයන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ඒවාට විසඳුම් පිළිතුරු සොයා ගත යුතු බවයි.

(සංවාදයට විවෘතයි.)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.