නොවැම්බර් 08-14 අතර උපන් ඔබ...

නොවැම්බර් 8, 2024

නොවැම්බර් 8

පෞද්ගලික අංකය 8

දෙවියන් හා ධර්මයට ළැදි අතරම සිරුර ඇතුළාන්තයෙන් පංචකාම සම්පත්තීන් ඉල්ලා හඬා වැටෙන ස්වභාවය නිසා ලෝක දෙකක සිරවුණු ස්වභාවයක් ඔබෙන් දිස් වෙයි. ඡ්‍යොතිෂයට වගේම වෙද-හෙදකමටත් ඔයාට තියෙන්නේ සුවිශේෂී ළැදියාවක්. ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට හසු නොවන කිසිවක් කිසිවිටෙක පිළිගැනීමට එකඟ වන්නේද නෑ. ආත්මාර්ථය අතැර යම් ජාතික හෝ ආගමික වශයෙන් සුවිශේෂී කරුණක් වෙනුවෙන් කැපවන විටයි සිත පුරවා ගත හැකි වන්නෙත්. යම් කරුණක් වෙනුවෙන් අන් අය සමඟ සම්මුතියකින් යුතුව කටයුතු කීරීම තරමක් අපහසු කටයුත්තක්. තමන් ගනු ලබන තීරණයක් යළි වෙනස් කිරීම අවමානයක් ලෙස සිතන බවක් පෙනේ. යම් ගැටලුවක් දෙස පවා ඔයා වෙනස්ම කෝණයකින් බලන නිසා එහි අඩු-ලුහුඬුකමක් සද්භාවයෙන් යුතුව පෙන්වා දෙන්නකු දෙස පවා යොමු කරන්නේ සැක මුසු දෙනෙතමයි. මේ දැඩි ස්වභාවය නිසා හොඳ ආදරයක මිහිර විඳ ගැනීම පවා වඳ පිදීමට හැකියි. ආර්ථිකමය වශයෙන් සාර්ථක වුවහොත් සාර්ථක වන්නේ ලොවෙත් නැති ලෙසයි. මන්ද සෘජු සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හැර මැදි මාවතක් ඔයාගේ දෛවයේ ලියාලා නැති නිසා. අස්ථි පන්ජරය, තුණටිය හා කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගබාධ හා විශේෂයෙන් ආත්‍රරයිටීස් ආදියෙන් බහුලව පීඩා විඳීන්න සිදු විය හැකියි. මළලසේකර ශබ්ධකෝෂයේ නිර්මාතෘ මහාචාර්ය ගුණපාල පියසේන මළලසේකර (1899)මහතා අංක විද්‍යාත්මකව ඔබේ පෞරුෂයට සමයි.

නොවැම්බර් 9

පෞද්ගලික අංකය 9

ඔයාගේ උපන් දිනය අංක විද්‍යාත්මකව කුජගේ බලය ප්‍රබලව බලපවත්වන දිනයක්. මේ නිසා සූක්ෂ්ම බුද්ධිය වගේම ක්‍රියාශීලීභාවයත් ඔයා කෙරෙන් උපරිම වශයෙන් කැපී පෙනෙනු ඇත. විශේෂයෙන්ම නාවැම්බරයේ ඔබ ගෝනුස්සාට අයත් නිසා නිතරම සටනට සීරුවෙන් පසුවනවා. සැමවිට තමා සතු ස්වාධීන පෞරුෂය හා එඩිතරභාවය පිළිබිඹු කරන නිසා ඔයා වැනි අයට ගැටීමට සිදු වන්නේද ප්‍රබල සතුරන් සමඟයි. හුදු වාග් ප්‍රහාර එල්ල කිරීම, අධිකරණය ඉදිරියේ තම වාග් කෞශල්‍යය විදහා දැක්වීම, ක්‍රීඩා අංශයේ ජයග්‍රහණ ලබා ගැනීම ආදිය ඔයාගේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීම්. හමුදා, පොලිස් අංශ වගේම විධායක බලය ඇති පරිපාලන කටයුතුවලට ඔයා සමත්. කුඩා වියේ ඉඳළම හොඳ කාය ශක්තියක් තියෙන නිසා සටන් ක්‍රම ඉගෙනීම් ආදියෙන් හොඳීන් දස්කම් පෙන්වන්න හැකියි. ඒ වගේම දුවලා, පැනලා මහන්සි වෙලා ශක්තිය මුදා හැරියේ නැත්නම් ඒවා අධි කාමය පැත්තට බර වන්නේ. ඒ වගේම ඔයාගේ අල්ලට පවා දාඩිය දානවා වැඩිනම්, හැම තිස්සෙම ගෙදර ෆෑන් එක දාන්නේ නැතිව ඉන්න බැරි නම් පෙන්නුම් කෙරෙන්නේ කුජ විසින් ඔයාට උරුම කරලා තියෙන ජවය. වයස 40 න් පස්සේ ඔයාගේ ජීවිතය ලෞකික හා අධ්‍යාත්මික දෙ අංශයෙන්ම වඩාත් සාර්ථකත්වයක් අත් වනවා. ප්‍රවීණ සූපවේදී දර්ශන් මුණිදාස (1970) හා ඉන්දීය ප්‍රවීණ සිනමා ශිල්පීනී අනූ ප්‍රභාකර් (1974) දෙදෙනාගේ චරිතාපදාන ඇසුරින් ඔබේ ජීවිතයට පෙරවදන් සපයාගන්න.

නොවැම්බර් 10

පෞද්ගලික අංකය 1/4

ඉහත උපන් දිනයේ උපත ලද ඔයාත් තියුණු බුද්ධියකට හිමිකම් ඇති අයෙක්. ඒ වගේම වඩාත් උපපශාන්ත වූ ගති ලක්ෂණ තමයි ඔයා විදහා පාන්නෙත්. නිතර සතුටු සිනාවෙන් මුව සරසා සිටින දයාබර ස්වභාවය නිසා ඔයා ඇසුරු කරන අයගේ පවා ජීවිතවලට යම් ආලෝකයක් හිමි වෙනවා. දීප්තිමත් ජීවිතයකට උපතින්ම හිමිකම් සහිත බවත් විශේෂයෙන්ම කැපී පේනවා. ඔබට තිබෙන්නේ සමාජයට විශාල බලපෑමක් එල්ල කළ හැකි ස්වභාවයේ නායකත්ව පෞරුෂයක්. දේශපාලන නායකත්වය තුළ සමාජයට දැනෙන බලපෑමක් ඇති කළ හැකි අයෙක්. වරද දුටුතැන තියුණු උපහාස රසයක් මුසුකරමින් ඔයා සිදු කරන වාග් ප්‍රහාරය හරියට දිව ඔසුවක් වාගෙමයි. තීන්දු තීරණ ආදිය ක්‍රියාත්මක කිරීමේදී ඔයා තුළ පවතින්නේ ඉතා දැඩි ස්වරූපයක්. ඔයා හැමෝටම බෙදන්නේ එක හැන්දකින්. කියන්න තියන හොඳ-නරක කෙළින්ම පැවසීම ඔයාගේ අවංක කමේ ලක්ෂණයක්. ඒකෙන් හිත රිදවා ගන්නා අය සිටින බව ඔයාට වැටහීමකුත් නෑනේ? එහෙම වුණත් පෙර පිනකට වගේ ඔයාවම පතාගෙන ආ කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් අඩුවක් හිටින්නේ නෑ. ඉතාම විශ්වාසවන්ත අය හැර කිසිවකු වැඩිය ළංකර ගන්නෙත් නෑ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා (1957) හා ඉන්දියාවේ මහා ධන කුවේරයාගේබිරිය වන නීටා අම්බානි (1964) යන මහත්ම මහත්මීන් උපන් දින සමරන්නේ ඔයත් එක්කමයි.

නොවැම්බර් 11

පෞද්ගලික අංකය 2/7

ඔයා බුදුන්-දෙවියන් හා ධර්මය පිළිබඳ උසස් විශ්වාසයකින් යුතු අයෙක් වෙනවා. හැබැයි ඔබේ ශ්‍රද්ධාව හා භක්තිය රහසක් හැටියට ලොවෙන් සඟවා තබා ගැනීමටත් ඔයා සමත්. ඒ විතරක් නෙවෙයි එකී ශ්‍රද්ධාව හා භක්තිය තුළින් ලබන ප්‍රතිලාභ පවා කිසි විටෙකත් කිසිවෙකුටත් හෙළි කරන්නත් මැළියි. අධ්‍යාපනයෙන් පහළ මට්ටම්වල පසුවූ ඉහත දින උපත ලද දරුවන් පසු කාලීනව සමාජය තුළ බොහෝ උසස් මට්ටම්වලට ළඟා වන බව පත-පොතෙහි සඳහන්. ශරීර ශක්තිය අතිනුත් ඔබ ඉතා ශක්තිවන්තයි. එසේ වුවද කාන්තාවන්ගේ රැවටිලිවලට වැඩි වශයෙන් හසුවීමේ අවදානමක් ද පවතී. මෙවැනි දිනවල උපත ලබන කාන්තා පාර්ශවයේ අය වඩාත් හැඟීම්බර ස්වභාවය නිසා ජීවිත කාලය පුරාවටම ආදරය සම්බන්ධ වැරදි තීන්දු හා තීරණ වලට යොමු වන බව පෙනේ. නිරායාශයෙන්ම විරුද්ධ ලිංගිකයන් වෙත ඇදී යන ස්වභාවය නිසා නිතර බොහෝ ගැඹුරු ආදර සම්බන්ධතා ඇති කර ගන්නා බව ද පෙනේ. එහෙත් ඒ තුළින් සතුටට වඩා ඇයට හිමි වන්නේ වේදනාව පමණයි. එක් කසාදයකින් දික් කසාද වූවාට වඩා ඉක්මනින් තවත් කසාදයකට හා දික් කසාදයකට මේ දිනයේ උපන් සමහර අය යොමු වන ස්වභාවය ලෝකයා මවිත කරවන සුලුයි. පොදුවේ ඉහත උපන් දිනයෙන් උපත ලබ අය පළමුව ආදාරය අමතක කර කුමණ හෝ ක්ෂේත්‍රයකින් පරිණතභාවය මුලින්ම ලඟා කර ගත යුතුව ඇත. ඉන් අනතුරුව තමා වෙත ලැබෙන ආදරය පවත්වා ගෙන යා හැකි වනු ඇත. කිසිදා වියපත් නොවන හඬ පෞරුෂයක් උපතින් දායාද කරගත් සම්මානණීය ගායිකා ලතා වල්පොල (1934) හා ඉන්දීය රිදී තිරයේ දිදුලන රේඛාවක් වන් යොවුන් සිනමාවේදිණී ශ්‍රේණු පරීඛ් (1989) යන සොඳුරු කතුන් දෙදෙනාම ඔබත් සමග උපන් දින සමරණ අයයි. 

නොවැම්බර් 12

පෞද්ගලික අංකය 3

ජීවිත කාලය පුරාම අන් අය වෙනුවෙන් කැපවන ස්වභාවයයි ඔබගේ පෞරුෂය තුළ කැපී පේන්නේ. මේ පරාර්ථකාමී ස්වභාවය නිසා මහත් ජනතා ප්‍රසාදයකට පාත්‍ර වන ස්වභාවයක් ද දැක ගත හැකියි. සෑම විටම ත්‍යාගශීලී ස්වභාවයක් තමයි ඔයා කෙරෙන් දැක ගන්නට ලැබෙන්නේ. ජීවිතයේ ළමා කාලය තුළදී බොහෝ වසංගත රෝග හා දෙයියන්ගේ ලෙඩ ආදියටද නිරායාසයෙන් යොමු වන බවක් පෙන්නුම් කෙරෙනවා. වයස 21 කඩ ඉම පසු කර ගත් පසුවයි වඩාත් ශක්ති සම්පන්න ලෙස ජීවිත ගමනට අවතීර්ණ වන්නේ. යම් හෙයකින් ගුරුගේ ආකර්ෂණය අඩු මට්ටමක පවතී නම් ඔයාගේ ළමා කාලයේදීම දෙමාපියන් හෝ ඒ අතරින් අයෙකුගේ රැකවරණය අහිමිවී යාමක් දැක ගත හැකියි. ජීවිතයේ එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතුවලට පවා මුදල් අහිමිවී යාමේ තත්වයක් මේ කාලයේ දැකිය හැකියි. එහෙත් ජීවිත කාලයටම මනා පන්නරයක් මේ කාලය තුළ ඔබට හිමි වන්නේ වෙස්වලා ගත් ආශිර්වාදයක් විලසින්. ළාබාල වියේදීම තමාගේ වගකීම තම පවුලේ වගකීම ලබා අත් දැකීම් ඇති ඔයාට පසු කාලයකදී වගකීම් දරනවා කියන එක උපතින් ගෙනා පුරුද්දක් සම වෙනවා. ඒ වගේම ඔයා සතු මහා අධිෂ්ඨාන ශක්තිය හා කැපවීම නිසා ඕනෑම කටයුත්තක් පැහැදිලිව, පිරිසිදුව ඉටු කරන්න ඔයාට වඩා සමතෙක් ලෙහෙසියෙන් සොයා ගන්න හැකි වෙන්නේ නෑ. ඒ නිසා තමයි ඔයා පසු පස රැකියාවේ වගකීම් වගේම උසස් තත්වයන් පවා ලුහු බැඳ එන්නේ. ලෝක පූජිත ක්‍රිකට් විනිසුරු කැමිලස් පෙරේරා (1937) හා ඉන්දිය රංගන ශිල්පීණී ශ්වේතා ෂල්ව් (1984) යන මහත්ම මහත්මීන් උපන් දිනේ සමරන්නේ ඔබ සමඟයි.

නොවැම්බර් 13

පෞද්ගලික අංකය 1/4

දෛවෝපගත විදිහට ජීවිතයේ ළාබාල වියේදීම ඔයාව හුදෙකලා බවට කොටු කරවන ස්වභාවයක් දැක ගත හැකියි. පවුලේ සහෝද සහෝදරියන් අතර පවා ඔයා කොන්කරවන එක හරි පුදුම කාරණයක්. මේ කාලයේදී ඔයාව ශක්තිමත් කරවන්න පුළුවන් වෙන්නේ එකම කාරණයකට විතරමයි. දෙවියන් හා බුදුන් කෙරෙහි ඔයාගේ හිතේ ඇති ශ්‍රද්ධාව ශක්තිමත් පමණටම කවුරු නැතත් ඔයාගේ හදවත ඔයා ළඟ රැඳෙනවා ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී. සැප-දුක දෙකෙහිදීම. ඔයාගේ උපන් දිනය තුළ අන්තර්ගත රවි හා ගුරු විසින් ඔයාට නායකත්ව ගුණාංග වගේම මනා පරිණත බව එක්කර දෙනවා. යුරේනස් හා කුජ යන අති විනාශකාරී ග්‍රහ සංයෝගයක් තමයි ඔයා මෙලෙස උත්සහයෙන් හීලෑ කර ගන්නේ. ඉහත විනාශකාරී බවින් මිදීමට නම් සැම විටම ආත්මපාලනයකින් යුතුවීම අත්‍යාවශ්‍යයි. මොකද ඔයා උත්සහයෙන් ගොඩ නගා ගන්නා ලෝකය මීලඟට විනාශ වෙන්නේ මාර දූතියන් වැනි ස්ත්‍රීන්ගේ සූසැට මායම්වලට හසු වීම නිසා. ළාබාල වියේ විවාහයන් ඔයාට කිසිසේත් සාර්ථක නොවන බව කිවයුතුයි. තමාට වඩා උගත් හෝ උසස් තත්වයෙන් සාඩම්බරයක් හිමිකර දෙන සහකරුවෙක්/සහකාරියක් ඔබට හිමි වනු ඇත. කෙසේ වෙතත් නොවැම්බරයට හිමි පොදු දෙබිඩි ස්වභාවය නිසා විවාහයේ වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් නොකෙරෙන මුත් ඔබට අවශ්‍යම විටෙකදී තෙල් සාත්තුවක් හෝ කර ගැනීමට සහකරුවෙක්/කාරියක් සිටීම ඔබට අස්වැසිල්ලක් වනු ඇත. එසේම වාසනාවන්ත දරු සම්පත් ඔබට හිමි බවද නොකියාම බෑ. ඔයාගේ උපන් දිනය තවත් ආලෝකමත් කළප්‍රවීන ජ්‍යෝතිෂවේදී/ලේඛක හෙන්රි සේනානායක (1946) ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යය (1964) යන මහත්වරුන් කොළොම්තොට-කොලොන්නාව පුරවරයට ආලෝකයක්.

නොවැම්බර් 14

පෞද්ගලික අංකය 5

මෙදින උපත ලද ඔයාට මහා ව්‍යාපාර සාර්ථකව පවත්වා ගෙන යාමට පිං මහිමය හිමියි. ඒ තුළින් හොඳ ආර්ථික ප්‍රතිලාභ අත් කෙරෙනවා විතරක් නෙවෙයි පරිවාර බලයත් තර කෙරෙනවා. කෙතරම් දිගු ගමනක යෙදුණත් අතරමඟදී ඔයා ලෙහෙසියෙන් විඩාවට පත්වන කෙනෙක් නෙවෙයිනේ? හැමවිටම මිතුරන් වෙතින් උදවු උපකාර ලැබීමේ වාසණාගුණයත් හිමියි. හැබැයි අනික් අය මත්තේ වැඩි විශ්වාසය තියලා වැඩ කරන්න ගියොත් එක අතකින් කඩා වැටෙනවා. අනෙක් අතින් කඩා වැටෙන්නේ ළාබාල වියේ ආදර පලහිලව් නිසා. ඔයාගේ උපන් දිනය තුළ ඇති රවි/යුරේනස් විසින් බාධක මැඩගෙන ඉදිරියට යාමේ නායකත්ව ගුණාංග දෙනවා වගේම නොසිතූ නිමේශයකදී සියල්ල කඩා ඉහිරවන ස්වරූපයකුත් පෙන්නුම් කෙරෙනවා. කුඩා කාලයේදී සෞඛ්‍ය තත්ත්වය අයහපත් වනු ඇත. අනවශ්‍ය ලෙස කෝපවේශ වීම නිසා තමන් විහින්ම තම ජීවිතයට කර ගන්නා අනර්ථයද සුළු-පටු නෑ. ළමා කාලයේදී රෝගී ස්වභාවයත් පසු කාලීනව මනා දරා ගැනීමේ ශක්තියකින් යුතු නිරෝගී ස්වභාවයත් දැක ගත හැකි වෙනවා. සුව පහසු ජීවිතයකට අවශ්‍ය හැම දෙයක්ම තම දෑතින්ම උපයා සපයා ගන්න ඔයා වාසනාව අරං ඇවිත් තියෙන්නේ මදි නොකියන්නම. ඒ වගේම තමයි ඔයා සතු කටයුතු සම්පාදනය කිරීමේ මනා පරිචය. හැබැයි ඉතිං මුළු ජීවිතේම රාජකාරිය කරගෙන සල්ලිය බාගේ පස්සෙම පන්නලා ගියොත් ජීවිතයේ අවසානය හිතන තරම් ලේසි-පාසු වෙන එකක් නම් නෑ. මොකද? ස්නායූ අබාධ වගේම අංශ භාගය වැනි රෝගත් ඔබ වැනි අයට ආවේණික නිසා. භාරතීය සුරූපීනී හිබා නවාබ් (1996) කියන්නෙත් ඔයාගේ ජීවිත කතාවට සමාන ලක්ෂණ ඇති රංගන ශිල්පිනියක්.

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.