උසස් දිවිය ගැන කියන අත්ලෙන් හෙළි වන ජීවිත රහස්

අගෝස්තු 4, 2023

සමාජයේ නොයෙක් තරාතිරමේ පුද්ගලයක් ඔබ දැක ඇති. ඒ පුද්ගලයන් අතරින් පිරිසක් අධික ලෙස මහන්සි වී වැඩ කටයුතු කරන නමුත් ජීවිතයේ ඉහළ තලයක් කරා ළඟා වීමට නොහැකි එක තැන පල්වන ජීවිත ගත කරති. තවත් පිරිසක් පෙර ලෙස මහන්සි වන්නේ නැත. නමුත් ඔවුනට ප්‍රීතිමත් ධනවත් ජීවිතයක් නිතැතින්ම උරුමය. ඔවුහු තමාගේ සහජ දක්ෂතා සහ හැකියාවන් පිළිබද මනා ලෙස අවබෝධයෙන් කටයුතු කරති.

මෙලෙස යම් පුද්ගලයකුට නිරායාසයෙන් ලැබෙන ධන සම්පත්, කීර්තිය, යහපත් මිත්‍රයන්, කලා කෞශල්‍ය, ආදි වු උසස් තත්ත්වයන් හස්ත පරික්ෂාවේ දී රවි රේඛාව මඟින් පෙන්වයි.

පුද්ගලයකුගේ අත්ලේ චන්ද්‍ර මණ්ඩලය හෝ මැණික්කටුව දෙසින් බොහෝ විට රවි රේඛාව ආරම්භ වී රවි මණ්ඩලය දෙසට ගමන් කරයි. නමුත් බොහෝ අත්වල රවි රේඛාව පිහිටන්නේ නැත. රවි රේඛාවක් යම් පුද්ගලයකුගේ පිහිටා ඇත්නම් දෛව්‍ය රේඛාවේ ප්‍රබල ලක්ෂණ ඉස්මතු වි ප්‍රථිපල ගෙනදෙයි. ජීවිතය විනෝදකාමිව සහ තෘප්තිමත්ව ගෙවිය හැකි මට්ටම,තමාගේ සහජ දක්ෂතා කෞශල්‍යයන් මොනවාද, එවා ජීවන ගමනට ලබා දෙන සහය කොපමණද, පෙර පින් බලය හෝ වාසනාව ජීවන ගමන ආලෝකවත් කර ගැනීමට උපයෝගි වනවාද, යන කරුණු යම් අයකුගේ අත්ලේ රවි රේඛාව හැසිරෙන ආකාරයෙන් තහවුරු කර ගත හැකිය.

අත්ලක රවි රේඛාව ආරම්භයට නිශ්චිත ස්ථානයක් දැක්විය නොහැකිය. නමුත් රවි රේඛාවේ අවසානය සිදුවන්නේ රවි මණ්ඩලය තුළිනි. රවි රේඛාව මැණික් කටුව ආසන්නයේ මණි බද්ධ වළලු දෙස සිටම ආරම්භ වී ඇත්නම් කුඩා කල සිටම දක්ෂතා ඇතිව උගතුන්ගෙන් පවා ගරු සැලකිලි ලැබීමට භාග්‍ය ඇති ධන සම්පත් හිමි පුද්ගලයකු බිහිවේ. රේඛාව පටන් ගන්නේ චන්ද්‍ර මණ්ඩලයෙන් නම් අනෙත් පුද්ගලයින්ගේ උදව් සහ කැපවීම මත විශාල වශයෙන් රඳා පවතින සාර්ථකත්වයක් පුද්ගලයා ලබනු ඇත. රේඛා ආරම්භය චන්ද්‍ර මණ්ඩලය මධ්‍යයෙන් නම් විදේශ ගමනකින් හෝ විදේශයන් සම්බන්ධ ව්‍යාපාරයකින් දියුණුවට පත්වේ. ලේඛනයට ග්‍රන්ථකරණයට ද

දක්ෂතා ඇති පුද්ගලයකු බිහිවේ. කලාතුරකින් දැකිය හැකි පිහිටිමක් වන්නේ ජීවන රේඛාවෙන් රවි රේඛාව ආරම්භ වීමයි. තමාගේ දියුණුවට පවුලේ නෑදෑයන් උපකාර කරයි. යහපත් ආනාගතයක් ඇත. ජීවන රේඛාවට ඇතුළතින් සිකුරු මණ්ඩලයෙන් රේඛාව ආරම්භ වන්නේ නම් එය යහපත් පිහිටිමකි. උප්පත්තියෙන් හෝ වාසනා බලයෙන් දියුණු වන පිහිටිමකි.

හෘද රේඛාවෙන් රවි රේඛාව ආරම්භ වන්නේ නම් පුද්ගලයා කලාත්මක හැකියාවන් දියුණු කර ගනි. එසේම එම හැකියාවන් ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවයි. ජීවිතයේ සැඳැ සමය තමන්ගේ කටයුතු හොඳින් සිදුවන පිහිටීමකි. ජීවිත කාලය පුරා කළ කීදේ ඇගයිමට ලක්වන බවට ඉඟියකි. යම් පුද්ගලයකුගේ ශීර්ෂ රේඛාව සිට රවි රේඛාව ආරම්භ වන්නේ නම් සාර්ථකත්වය සඳහා පෞද්ගලික හැකියාවන් මිස අන්‍යයන්ගේ සහයෝගය ලැබෙන්නේ නැත. එසේම එම සාර්කත්වය ලබන්නේ ජීවිතයේ දෙවැනි භාගයේදීය.

රවි රේඛාව සාමාන්‍ය ගැඹුරකින් සහ රෝස පැහැති දුඹුරු වර්ණයකින් මධ්‍යස්ථ පළලකින් සහ එකාකාරි බවකින්ද සහ වැඩි දිගකින් පිහිටා ඇත්නම් යහපත් රවි රේඛාවක් ලෙස හැඳින්විය හැකිය. එවැනි රවි රේඛාවක් සහිත පුද්ගලයා ඉතා වසනාවන්ත ය. සෑම අතින්ම සාර්ථක ජීවිතයක් ගෙවයි. නමුත් පමණට වඩා ගැඹුරු සහ පළල් රේඛාවක් පිහිටා ඇත්නම්

දක්ෂතාවය මෙන්ම ක්‍රියාකාරිත්වය පමණට වඩා ඇති බැවින් ශූභවාදි ප්‍රතිඵලවලට වඩා අශූභවාදි ප්‍රතිඵල ගෙනදෙන පිහිටිමක් වේ. මෙවැනි පිහිටිමක් සහිත පුද්ගලයන්ට දියුණුවීම සඳහා පාලනය කළ නොහැකි අසිමිත වුවමනාවක් ඇත. මේ නිසාම පුරසාරම් දෙඩීම වැඩි වේ. මෙවැනි පිහිටිමක් සහිත පුද්ගලයන්ට හෘදයාබාධ ඇති වීමේ ඉඩකඩක් ද පවති.

රවි රේඛාව ආරම්භයට වඩා අවසානය සිහින්ව පිහිටා ඇත්නම් පුද්ගලයා වයසට යත්ම ඔහුගේ දියුණුව අඩුවේ. නමුත් මේ තත්වය ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන තත්ත්වයකි. රවි රේඛාවෙන් සමාජය තමන් කෙරෙහි දක්වන ආකල්පමය තත්ත්වයන්ද පෙන්නුම් කරන හෙයින් රේඛාව කලු තිතකින් අවසන් වන්නේ නම් ජීවන ගමනේ අවසානයේ තම තත්ත්වය සහ පිළිගැනීම නැති කරගන්නා පිහිටිමකි. නමුත් රේඛාව තරු සලකුණකින් අවසන් වන්නේනම් අන් අයගේ උදව් උපකාර තම දියුණුවට අධාර වන බව පෙන්වන පිහිටිමකි. එම පුද්ගලයාට සමාජයේ ඉහළ පිළිගැනිමක්ද ඇතිවේ. රේඛාව ගැඹුරු හරස් රේඛා ඛණ්ඩයකින් අවසන් වන්නේ නම් රැකියාවට නොසිතු විරු බාධක පැමිණේ. මේ ලක්ෂණය සමඟ ජීවන රේඛාවේද දුබල තාවයක් ඇත්නම් සෞඛ්‍යමය කාරණයක් නිසා එම තත්ත්වයට පුද්ගලයාට මුහුණ දීමට සිදුවේ. එසේත් නොමැති නම් ශීර්ෂ රේඛාවේ දුපතක් හෝ තරුවක් ඇත්නම් තමන් කරන මෝඩ වැඩක් නිසා රැකියාවට හානි සිදුවේ.දම්වැල් ආකාරයට රවි රේඛාව පිහිටා ඇත්නම් ප්‍රසිද්ධිය ලබා ගැනීමට වෙහෙසුණත් ප්‍රතිඵල ඉතා අඩුය. කලාව පිළිබඳ දැනුමක් ඇතත් එම දැනුම නිවැරැදි නොවේ. තමා නොදන්නා බව ඔහුම නොදනි. දක්ෂතා තිබුණත් ඒවා භාවිත කරන්නේ අශීලාචාර හැදියාවක් නැති ආකාරයටය.

ප්‍රබල රවි රේඛාවක් සහිත පුද්ගලයකුගේ වක ගැසුණු වෙදැඟිල්ලක් ඇත්නම් කුමන ආකාරයෙන් හෝ මුදල් උපයන අයවලුන් බිහිකරයි. ඔවුන් බොහෝවිට සොරුන් මංකොල්ලකරුවන් හෝ අපරාධකරුවන් විය හැකිය. පහළ කුජ මණ්ඩයෙන් එන රේඛාවක් රවි රේඛාවට සම්බන්ධ වුවහොත් අධිකරණ කටයුතුවලට යාමට සිදුවේ. මේ පිහිටිම සහිත අත්ල හිමියෙකුගේ ශනි මණ්ඩලයේ කතිරයක් ඇත්නම් සිරගත වීමකට ලක්වන බව කියන අනාවැකියකි. සිකුරු මණ්ඩලයේ සිට එන රේඛාවක් රවි රේඛාවට සම්බන්ධ වී ඇත්නම් තම නෑදෑයින්ගෙන් දියුණුවට උදව් ලැබේ. මේ රේඛාව රවි රේඛාව කපාගෙන යයි නම් නෑදෑයින් නිසා තම මුදල් සහ තත්ත්වය නැතිවේ. දෛව්‍ය රේඛාවෙන් පැමිණි රේඛාවක් සම්බන්ධ වන්නේ නම් විවාහ දිවිය සැපවත්ය. බොහෝ ලැබීම් ඇත. වැඩි උත්සාහයක් නැතිව ධනය ලැබේ. අන්තිම කැමති පත්‍රයකින් ලැබිමක් හෝ තම ව්‍යාපාරයට අන්‍යයන් මුදල් ආයෝජනය කිරිමෙන් හෝ ලාභ ලැබෙන පිහිටිමකි. ඒ රේඛාව රවි රේඛාව කපාගෙන යන්නේ නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැත.

එමෙන්ම රවි රේඛාව සහ හෘද රේඛාව සම්බන්ධ වන සේ ත්‍රිකෝණයක් නිර්මාණය වේ නම් ප්‍රසිද්ධිය ඇති ප්‍රීතිමත් ජීවිතයක් ලැබේ. එසේම මේ අයුරින් චතුරස්‍රයක් පිහිටා ඇත්නම් මුදල් ආරක්ෂා කර ගැනීමට හැකිවේ. දේපොළ නැතිවීම්වලින් මෙන්ම සතුරන්ගෙන් ආරක්ෂාව ලැබේ. රේඛාවේ කඩවූ කොටස සම චතුරස්‍රයකින් ආවරණය වී ඇත්නම් සිදුවීමට නියමිත ආපදාවකින් ආරක්ෂාව ලැබේ. රවි රේඛා දෙකක් පිහිටා ඇත්නම් නොසිතු විරු වාසනාවක් හිමි වේ.(උදාහරණ ලොතරැයි දිණුමක් )එසේත් නොමැතිනම් විවාහයකින් ලොකු දේපොළක් හිමි වේ. රවි රේඛාවෙන් හෘද රේඛාව කැපෙන තැන කලු තිතක් වේ නම් ඇස් අන්ධ වීමට ඉඩ ඇත. එසේම මහ චතුරස්‍රයේදි තාරකා ලක්ෂණයක් රවි රේඛාව ස්පර්ෂ කරයි නම් පීනස හැදිමට ඉඩ ඇත. රවි මණ්ඩලය තුළ කුඩා රවි රේඛා කිහිපයක් පිහිටා ඇත්නම් කුඩා කාලයේ දුක් විද ඇති නමුත් තරුණ වියෙන් පසු දියුණුවට පත් අයකු බව පෙන්නුම් කරයි. පොඩි ආඩම්බර ගතියක් ඔවුන් සතු වේ. සංචාරයට කැමති පුද්ගලයකු බිහි කරයි. මෙම රේඛා හරස් රේඛාවලින් කැපි ඇත්නම් අධ්‍යාපනයට බධා ඇතිවේ. මෙ ලක්ෂණයද ඇස් පෙනීම දුර්වල බව පෙන්වයි.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.