පැරදවිය නොහැකි අනුර නැකත් හිමියෝ

ජූලි 5, 2024

පුරුෂාර්ථ ප්‍රවාසීව බාධුකායෙ¸ සදොද්‍යමී

අනුරාධා භවෙලොකඞ සදා භෘෂ්ටශ්ව ජායතෙ

අනුර නැකතින් උපත ලද්දේ නම් ඉතාම බුද්ධිමත් විවිධ භාෂා ශාස්ත්‍රයන්හි දක්ෂකම් ඇති බහුශ්‍රැතයෙක් වන්නේ ය. කල්‍යාණ මිත්‍රසේවනය අගය කරන විශේෂයෙන්ම නෑ හිතවතුන්ගෙන් පිදුම් ලබන වාසනාවන්ත අයෙක් වන්නේ ය.

සෑම නිමේෂයකම වැඩකටයුතුවල නිරතවීමත් කලට වේලාවට වැඩ කටයුතු කිරීමත් අනුර නැකත් හිමියාගේ සුවිශේෂි ලක්ෂණයකි. කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂ වේ. පාසලේ කැපී පෙනෙන දරුවෙකි. තරග විභාගවලින් පහසුවෙන් ජය අත් කර ගනී. ඉදිරිපත් වීමේ දී අන්‍යයන් අභිබවා යයි. ක්‍රීඩා අංශයන්ට පි‍්‍රයයි. පාසල් අතර තරගවලදී තමා කැපී පෙනෙන දක්ෂ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩාකාරියක් වේ. ඕනෑම දුක් කරදර ඉවසා සිටීමෙන් දුකක් ඇතිවිට සතුටින් සිටීමට උත්තාසහ දරන අයෙකි. හරි වැරැද්ද හොඳ නරක ගැන එතරම් දුරට නොසිතයි. තමන්ගේ පැත්ත ගැන බලන ගතියක් ද ඇත්තේ ය. තරමක ආත්මාර්ථකාමිත්වයකින්ද ක්‍රියා කරන බව පෙනේ. විපතේ දී පවා අන්‍යයන්ගෙන් උදවු උපකාර ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි. තමා කෙසේ හෝ ගොඩ ඒමට මාන බලයි. කෙනකුට යටත්වීමට අකමැතියි. තමා තමා කවුද යන්න නිතරම සිතා වැඩකටයුතු කරන බව පෙනේ.

මනා පාලන ශක්තියක් ඇත. ප්‍රචාරණ කලාව, මාධ්‍ය අංශයට වඩාත් නැඹුරුයි. ව්‍යාපාරික කටයුතුවලට ඉතාම දක්ෂයි. ඉතාම කුඩා වෙළෙඳ ව්‍යාපාරයක් අරඹා වසර කීපයකින් එහි දියුණු අඩියට පා තබයි. අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනුවලට දක්ෂ වේ. පවතින සමාජයත් වෙනස් වන සමාජයත් ඉදිරියට එන සමාජයන් සමඟ තුන්කල්හිම එකට බැඳී වැඩ කර ජයගනී. විශාල ලෙස මූල්‍යසම්පත් කළමනාකරණයට දක්ෂ වේ. සමහර විට විදේශීය වෙළෙඳපළතරණය කිරීමටද පෙළඹේ. තාක්ෂණික අංශයේ දස්කම් ඇත. ඕනෑම භාරධුර කටයුත්තක් නොබියව කරයි. අතගසයි. පාඩු නොලබයි. පළමුව තමන් දෙවනුව අන්‍යයන් ගැන ද කාලය වෙන් කරයි. නොසිතූ අන්දමට ජය අත් කර ගනී. ජයෙන් තොර කිසිදු වැඩකටයුත්තක් නැත.

කළ හැකි නොහැකි සෑම දෙයකටම ඉදිරිපත් වේ. ජය පරාජය දෙකටම බියක් නැත. පරාදවන්න වන්න තව තවත් ඉදිරියට පිය නගයි. අද වැටුණත් හෙට නැගිටී. කිසිවෙකුට යටත් නොවේ. සෑම දෙනෙකුගේම කතාවට සවන් දෙයි. නමුත් කිසිවක් සිත ඇතුළට නොගනී. තමාට අවශ්‍යම දේවලට පෙලඹේ. ජය අත් පත් වනතුරුම දිගටම තමාගේ උත්සාහය අත් නොහරී.

කොපමණ මානසික වද වේදනා ඇති වුවත් ඒවා ගැන කිසිදු තැකීමක් නැත. හදිසියේම කුමන අයුරකින් හෝ ජීවිතයේ ඇද වැටෙන තැනට පත්වන්නේ නම් එය ඉවෙන් දැන ගනී. ගොඩ ඒමට සෑම දෙයක්ම උපක්‍රමශීලීව කරනු ඇත. ජය පරාජය දෙකම බාර ගනී. පරාජය අද නම් හෙට ජය අත්කර ගනු නිසැකයි. ජීවන ගමන තමාගේ හරි හැටි හඳුනා ගැනීමට අනුර නැකත් හිමියාට පහසුවෙන් මනෝමය හැකියාව ලැබේ. ඔහු අලුත් ලොවකට පිවිසීමට කරුණු එකතු කරන පර්යේෂකයෙක් වැනි ය.

සමහර විට සිරුරේ භාෂාව හරිහැටි හඳුනාගත් අයකු ලෙස ක්‍රියා කරයි. කෙනෙකු දුටු වහාම ඔහු හෝ ඇය ගැන පූර්ණ ජීවන තොරතුරු පැවසීමට තරම් දක්ෂතාවයක් හිමි වී ඇත. කිසිවෙකු මුළා නොවේ. මුළා කළ නොහැකිය. අන්‍ය චරිත ඉක්මනින්ම තමාට ග්‍රහණය කර ගැනීමට දක්ෂ නිසා අමාරුවේ නොවැටේ.

මුදල් ගනුදෙනුවලදී වඩාත් බුද්ධිමත්ව හැසිරේ. ණය දීමත් ගැනීමත් කරන්නේ තෙවැනි ඇසිනි. අනුර නැකත් හිමියාට හොඳ ඉවක් ඇත්තේ කෙනෙකු හරිම ඉක්මනින්ම හඳුනා ගැනීමට ඇති හැකියාව සමඟය. එය බොහෝ දෙනකුට නොපිහිටන එකකි. කිසිම විටෙක නොරැවටේ.

ව්‍යාපාරිකයින්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, තක්සේරුකරුවන්, රාජ්‍ය උසස් නිලතල ධූර දරනු ඇත.

අනුර නැකතින් අනුරාධපුරය ගොඩ නඟා ඇති බැව් වංශ කතාවල ගැබ් වී ඇත්තේ ය.

අනුර නැකත් හිමි කාන්තාව මනා රූපලාවණ්‍යයෙන් යුක්ත කැපී පෙනෙන සිරුරක් හිමි තැනැත්තියකි. කතා බහ, වැඩ කටයුතුවලට ඉතාම දක්ෂයි. යහපත් භාර්යාවක් වන්නීය. ඕනෑම වැඩකට හරිම දක්ෂයි. කෙනෙකු තමා වෙත ඇඳ බැඳ ගැනීමට සහජයෙන්ම පිහිටි හැකියාවක් ද ඇත්තේ ය. අනුර නැකතින් මල්වර වූ දැරිය උසස් ගති ගුණ ඇති නීරෝගීමත් සිරුරකින් හෙබි යහපත් සැමියෙක් ලබන උගත් දරු පිරිසක් හිමිවන වාසනාවන්ත චරිතයකි.

1 වැනි පාදයෙන් මල්වර වී නම් එය ඉතාම වාසනාවන්තයි. යහපත් සැමියකු සහ දරුවන් ලබයි.

2 පාදයේ නම් තරමක පීඩාකාරී යුග දිවියක් ගෙවීමට සිදුවිය හැකිය. මූල්‍යමය සම්පත්වල අඩුවක් ද වේ.

3 පාදයේ නම් පංච මහා සම්පත්තියම හිමිවේ. වාසනාවන්ත චරිතයක් වේ.

4 වැනි පාදයේ නම් විවාහයෙන් පසු දියුණුවේ. නමුත් ශරීර සෞඛ්‍යයට එතරම් සුබ නැත. ධනය අත්පත් වේ.

අනුර නැකත් හිමියනට අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙන, හත, සුවණ, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප නැකත් ඉතාම සුබයි.

අශුභ වන්නේ අස්විද, මා, මුල, මුවසිරස, සිත, දෙනට යන නැකත් ය.

නැකත් විසිහත අතර 17වැනි නැකත වූ අනුර නැකත කැපී පෙනෙන චරිතයන්ට ආරෝපණය වී ඇත. සමාජයේද ජනපි‍්‍රය පුද්ගල නමක් ඇතිවේ. සමහර විට ලෝපතළ නමක් හිමිවීමට තරම් භාග්‍යයක් අනුර නැකත හා සම්බන්ධ ශක්තියක් ඇතුළතින් නිර්මාණය වී ඇත්තේ ය. අයන්න අපායක්ෂරයක් වූවත් අනුර යන අක්ෂර තුනම කෙනෙකුගේ නමට යෙදූ විට ක්‍රම ක්‍රමයෙන් ජනපි‍්‍රයත්වයට පත්වේ. කලා අංශය, ක්‍රීඩා අංශය, වෛද්‍ය, ඉංජිනේරු තාක්ෂණය වැනි විවිධ සමාජයේ කැපී පෙනෙන චරිතවලට බලපෑම් කෙරෙන නැකතකි. අනුර නැකත් හිමි තරුණ තරුණියන්ට සිය ප්‍රේම ලෝකයේ විජයග්‍රාහී ඉසව්වකට පැමිණීම සඳහා නොයෙකුත් කැපකිරීම් කරන්නට වේවි. සමහර විට දෙමාපියන් හා වැඩිහිටියන්ගේ විරෝධතා පැන නැගීමට ඉඩ කඩ පෑදේ. දෙදෙනාම ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කටයුතු කිරීමේ සහජ හැකියාව තිබෙන නිසා ප්‍රේම ලෝකයේ පැටලැවිලි ජයග්‍රහණය කිරීමට හැකි බැව් පැහැදිලිය. කෙසේ වෙතත් අනුර නැකත් හිමියා කුමන අයුරකින් හෝ ජයග්‍රහණය අත්කර ගැනීමට වාසනාවන්තයෙක් වේවි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.