නොදැන කාරක බල නොකියනු පලාපල

ජුනි 28, 2024

 

පරාශර මතය පරිදි කේන්දරයක පලාපල කථනයේදී අනිවාර්යයෙන් සුවිශේෂයෙන් අනුගමනය කළ යුතු ප්‍රධානම කාරණා තුනක් ඇත. ඒ කේන්ද්‍රයෙහි 1. අදාළ භාවය 2. භාවාධිපති 3. භාවකාරක යන්නයි. මෙය උත්තරකාලාමෘතය ආදී ග්‍රන්ථවල ‘භාවෝ භාවපතිෂ්ඨ කාරක බලෝ’ යනුවෙන් දක්වා ඇත.

ඒ අනුව ඡ්‍යොතිෂයේ පරම පූජනීය ප්‍රධානම ග්‍රන්ථය වන පරාශරයේ සිට සර්වාර්ථ චින්තාමණිය, හෝරා සාරය, උත්තරකාලාමෘතය, සත්‍ය ජාතකය, ලඝු පරාශරය ආදී නොයෙකුත් ග්‍රන්ථවල මේ න්‍යාය අඩු වැඩි වශයෙන් සවිස්තරාත්මකව දක්වා ඇත. සර්වාර්ථ චින්තාමණියෙහි පරාශරයේ මේ නියමය වඩාත් පුළුල් ලෙස දක්වා ඇත.

ත්‍රිවිධ න්‍යාය

ඇතැම් ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට පලාපල වැරදීමට තුඩුදෙන ප්‍රධානම කාරණයක් වී ඇත්තේ මෙකී ත්‍රිවිධ න්‍යාය ගරු නොකිරීමයි. ලග්නාධි පිළිවෙළින් සියලුම භාව දොළොස පිළිබඳ විමසීමේ දී ඒ ඒ භාවවලට කාරකයෝ පොත පතෙහි දක්වා ඇත. භාවයෙහි සුබ ග්‍රහයෙක් සිටි පමණින් හෝ භාවාධිපතියා ශුභ ග්‍රහයෙක් වූ පමණින් හෝ භාවාධිපති සුබස්ථානයක සිටින පමණින් හෝ යහපත් ප්‍රතිඵල ලැබෙනවා යැයි එක එල්ලේ කිව නොහැකිය. එහිදී මුලින් දැක් වූ කරුණු 3 ට අදාළව විමර්ශනය කළ යුතුය. භාවයෙහි ශුභයන් සිටීම හෝ අශුභයෙක් නොසිටීම භාවාධිපති ශුභ ස්ථානයක සිටීම, ශුභයන් සමඟ මිශ්‍රවීම හෝ පාපයන්ට මිශ්‍ර නොවීම භාවයට කාරකයා බලවත් විම, පාපයන්ට සම්බන්ධ නොවීම සුබයන් සමඟ සිටීම ආදී කරුණුවලින් පෝෂණය වන තරමටම භාවයේ නිවේදනය තුළින් ලැබෙන ප්‍රතිඵල ඉස්මතු වී ලැබේ.

 

භාවකාරකයෝ

සමස්ත ඍෂි මතය පරිදි භාව 12 කට අදාළ භාවකාරකයෝ මෙසේ ය. 1. ලග්නයට - රවි, 2 වැන්නට සඳු - බ්‍රහස්පති, 3 වැන්නට කුජ - ශනි, 4 වැන්නට සඳු - බුධ, 5 වැන්නට ගුරු, 6 වැන්නට සෙනසුරු , 7 වැන්නට සිකුරු, 8 වැන්නට සෙනසුරු, 9 වැන්නට ගුරු, 10 වැන්නට රවි - බුධ - ගුරු- ශනි, 11 වැන්නට ගුරු, 12 වැන්නට ශනි ආදී වශයෙන් භාවකාරකයෝ ඒ ඒ භාව වෙනුවෙන් පෙනී සිටියි. උදාහරණයක් වශයෙන් කිසියම් කෙනෙකුගේ මුළුමහත් ජීවිතයම උසස් තත්ත්වයට පත් කරන ප්‍රධාන සාධකය නම් කේන්දරයේ පළමුවැන්න වන ලග්නයට සම්බන්ධ සියලු දෑ බලවත් විමයි. මෙහිදී, ලග්නයෙහි සුබයෙක් සිටීම හෝ අසුබයෙක් නොසිටීම නැතහොත් කිසිදු ග්‍රහයෙක් නොමැති වුවත් පීඩාවෙන් තොරවීම එක් කාරණයෙකි. එවිට ලග්නයට අදාළ ප්‍රතිඵල ස්වාධීනව ලැබිය හැකිය. ලග්නයට කාරකයා වශයෙන් පරාශරයෝ අවධාරණයෙන්ම හඳුන්වා ඇත්තේ සූර්යයායි. කේන්දරයෙහි කොටස් දොළසෙන් පළමු වැන්න ලග්නයයි.

ලග්නය බලවත්වීම

ග්‍රහයන් 9 දෙනාගෙන් පළමුවැන්නා සූර්යයාය. එයම සහේතුක කරමින් ලග්නයෙහි බල දුබලතාවය විමසීමේ දී සූර්යයා කවර ආකාරයෙන් හෝ බලවත්ව සිටීම අත්‍යවශ්‍ය වේ. එම සූර්යයා තමාට පලදෙන භාවයක බලවත්ව සිටීම තමාටම ගැළපෙන රාශිවන මේෂ, සිංහ, ධනු ආදී උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර ආදී රාශිවල සිටීම, සුබයන් සමඟ සංයෝගවීම, පාපයන්ට මැදිනොවීම, පාපයන්ට සප්තම නොවීම, පාපීන්ගේ පීඩාවෙන් තොරවීම, ගුරු වැනි ග්‍රහයන්ගේ ත්‍රිකෝණ දෘෂ්ටියෙන් බලවත්ව සිටීම වෙශී වොශී උභයචාරී ආදී වශයෙන් සූර්යයා යහපත් ග්‍රහයන්ට මැදි වී යහපත් බලයක් ජනනය කිරීම ආදි කවර ආකාරයෙන් හෝ සූර්යයා මොනම පීඩාවකටවත් පත් නොවී සිටින්නේ නම් එය ලග්නය බලවත්වීමකි. සමහරු වැරැදි මතයක් සේ සලකා සූර්යයා 6, 8, 12 සිටීම අශුභ යැයි සිතනවා විය හැකිය. 6, 8, 12 වුවත් එම සූර්යයා එහිම ස්වක්ෂේත්‍රව, හර්ෂ, සරල, විමල ආදී යෝගයන්ගෙන් යුක්ත නම් නිරායාසයෙන්ම සූර්යයාගේ කාරකත්වය උසුලන ලග්නය බලවත් වන්නේ ය. ලග්නය බලවත් වුවත් ලග්නාධිපති බලවත් වුවත් ඔවුන් සුබව සිටියත් රවි දුබල නම් එම දුර්විපාකය ලග්නයට පතිත වේ. පුද්ගලයා පිළිගත් පෞරුෂත්වයෙන් යුක්ත සමාජයෙහි වටිනා තලයක සිටින, ජීවත්ව සිටින විට දී, මරණයෙන් පසුව වුවද නම රැඳෙන බලයක් ඇතිවීමට නම් ලග්නය බලවත්වීම, ලග්නාධිපති බලවත්වීම, ලග්නයට කාරක රවි බලවත් වීම යන සියලු කාරණාවලින් පෝෂණය වී ඇත්නම් මේ ත්‍රිවිධාකාර යහපත් බලය නිසාම ජන්මියා බලවත් වෙයි. එනිසා ලග්නය, ලග්නාධිපති, ලග්නකාරක යන කරුණු තුනම බලවත් වුවහොත් පමණක් ජන්මියා බලවත් අයෙක් වනවා විනා එක් කාරණයක් පමණක් බලවත්වීමෙන් යහපත් ප්‍රතිඵල නොලැබේ.

අසුබ පල

කිසියම් කෙනකුගේ ලග්නාධිපති බලවත්ව ඇතැයි සිතමු. ලග්නය ද පාප පීඩාවෙන් තොරව ඇතැයි සිතමු. එහෙත් ලග්නයට කාරක ග්‍රහ පන්තියේ පළමුවැනියා වන සූර්යයා අබල දුබලව අයහපත්ව පාප සංයෝගව සිටින්නේ නම් නිසි ප්‍රතිඵලය නොලැබේ.

එය ඒ ආකාරයෙන්ම නොව තව තවත් විවරණාත්මකව විමර්ශනයට ගත යුතු වේ. කටක ලග්නයෙන් උපන් එක්තරා ජන්මියකුගේ රවි සිංහ රාශි ගතව බලවත්ව සිටියේ ය. සුබයන් සමඟ ද සිටියේ ය. එය සුබය. එහෙත් ඔහුගේ ලග්නාධිපති චන්ද්‍රයා 8 වැන්නේ සතුරු රාශි ගතව නීච නවාංශගත ගතව අයහපත් විය. ලග්නයේම පාපියෙක් විය. එම ජන්මියා දැන උගත් උපාධිධාරියෙකි. උසස් වෘත්තියක නියුක්ත වූ වෙති. කෙසේ නමුත් මොහු සැලකිය යුතු මට්ටමක සමාජ පසුතලයකින් යුක්ත අයෙක් වුවත් රවි බලවත් වුවත් ඒ තත්ත්වය විකෘති කරමින් තදබල චෝදනාවලට ලක්වීම, හිරේ විලංගුවේ වැටීම, සෞඛ්‍යමය වශයෙන් දැඩි පීඩනයකට පාත්‍ර වීම වැනි අයහපත් ප්‍රතිඵලයකට ලක්වූයේ භාවය අසුබවීම, භාවාධිපති අසුබවීම යන කාරණා නිසාය. භාවකාරක බලවත් වුවත් අනෙක් කාරණා දෙක අසුබවීම නිසා ඔහුට එම දුර්විපාක තරයේම ලැබුණි. තවදුරටත් මෙය විස්තර කරමු.

සුබපල

10 වැන්නට කාරකයෝ 4ක්ම ඇත. 10 වැන්න යනු රැකියාවයි. තනතුර ප්‍රසිද්ධියයි, ගෞරවය, පිළිගැනීම, ඉහළට යෑම මේ භාවයෙන් නියෝජනය වේ. රවි නිසා පිළිගැනීම සම්භාවනීයත්වය පෙන්වයි. බුධ නිසා වෘත්තීය වශයෙන් අවශ්‍ය බුද්ධිය, ඥානය, ශිල්පීය හැකියාව පෙන්වයි. ගුරු නිසා තමාගේ වෘත්තීය ගරුත්වය රකිමින් නිසි ලෙස අවබෝධ ඥානයෙන් යුක්තව තත්වාවබෝධයෙන් යුතු වෙමින් සුදුසු තීරණ ගනිමින් කටයුතු කිරීමේ හැකියාව පෙන්වයි. සෙනසුරු යනු පරිශ්‍රමය, කැපවීම, උනන්දුව, උත්සාහය, නිරූපණය කරන ග්‍රහයායි. සෙනසුරු බලවත්වීමෙන් රැකියාවෙහිදී දැඩි අධිෂ්ඨානශීලීත්වයකින් පසුබැසීමකින් තොරව උට්ඨාන වීර්යයෙන් අපේක්ෂා මල්පල ගන්වන සේ අභිමාර්ථ සාධනයට මුල් තැන දී ක්‍රියා කරනු ඇත. මේ ග්‍රහයෝ කේන්ද්‍රයේ 10 ට නොව කුමන කුමන ස්ථානයක හෝ තමාට ගැළපෙන ලෙස බලවත්ව සිටීද 10 වැන්නාධිපතියා බලවත් වේද එමෙන්ම 10 පීඩාවෙන් තොරව සුබ තත්ත්වයට පත්ව තිබේද ජන්මියා උපන් තත්ත්වයට වඩා කීප ගුණයකින් ඉහළට යන බලවතෙක් වෙයි. වෘත්තීය වශයෙන් අතිශය උදාරත්වයට පත්වනු ඇත. මෙහිදී භාවය, භාවාධිපති, භාවකාරක යන තිදෙනාගේම බලය හේතු සාධක වී ඇති බව මේ තුළින් ගම්‍ය වේ. මේ ආකාරයට කවර කේන්දරයක වුවද කුමන හෝ භාවයක් පරීක්ෂා කිරීමේදී එක පැත්තකට පමණක් සීමා නොවී භාවය, භාවාධිපති, භාවකාරක යන ත්‍රිවිධාංගයෙන්ම විමර්ශනයට ලක්කර කේන්දර සුපරීක්ෂාකාරීව විමසිල්ලට භාජනය කිරීමෙන් නිවැරැදි නිගමනයට පැමිණිය හැක්කේ ය. එසේ නොමැති වුවහොත් පලාපල නිෂ්පල වනු ඇත.

උපදෙස් - ආචාර්ය ජී.ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.