ජුනි 30 සිදුවන ශනි වක්‍රය ඔබට බලපාන්නේ මෙහෙමයි

ජුනි 21, 2024

 

නෛසර්ගික පාපයන් වන රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් රවි වක්‍ර නොවන අතර රාහු, කේතු යන ඡායා ග්‍රහයන් ආපස්සට ගමන් ගන්නා ඡායා ග්‍රහයන් වන හෙයින් වක්‍ර නොවෙති. එනමුත් කුජ, ශනි, යන තාරා ග්‍රහයන් ඍජු ගමනේ දී වක්‍ර වෙයි.

සහජ සුබයන් වන චන්ද්‍ර, බුධ සිකුරු ගුරු යන ග්‍රහයන් ගෙන් සඳු හැර බුධ, සිකුරු, ගුරු යන ග්‍රහයන් ඍජු ගමනේදී වක්‍ර වෙයි. ඒ අනුව සහජ ශුභයන් වක්‍ර ගමනේදී කේන්දර හිමියන්ට උසස් ශුභඵල දානය කරන්නේ වක්‍ර ග්‍රහයා උච්ච ග්‍රහයෙක් මෙන් බලවත් වන නිසාය. නමුත් සහජ පාපින්ද වක්‍ර ගමනේදී උච්ච ග්‍රහයෙක් මෙන් බලවත් වුවද දානය කරන්නේ අශුභඵල ය. මෙහිදී සහජ ශුභයන් වේවා පාපින් වේවා, උච්ච ගමනේදී වක්‍ර වූ කල නීච ග්‍රහයෙක් මෙන් දුර්වල වන අතර, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර ග්‍රහයා ද වක්‍ර ගමනේදී දුර්වල ග්‍රහයන් බවට පත්වෙයි. එහෙත් මිත්‍ර, සම, සතුරු, නීච ග්‍රහයා වක්‍ර ගමනේදී උච්ච ග්‍රහයෙක් මෙන් බලවත් වන්නේය. ඒ අනුව අප මාතෘකාවට සම්බන්ධ සෙනසුරු ග්‍රහයා ස්වකීය මූල ත්‍රිකෝණ මෙන්ම ස්වක්ෂේත්‍ර බලයද ලබන කුම්භ රැසෙහි 2024 ජුනි මස 30 ඉරිදා වක්‍ර වූ කල සෙනසුරු ගේ පාපිෂ්ඨ ගතිය නීච වන අතර කෲර පාපියෙක් මෙන් ක්‍රියා කිරීමට පටන් ගන්නේය. මෙලෙස ශනි වක්‍ර වන විට සෙනුසරුගෙන් ත්‍රිකෝණ භාවයක් වන 5 වැන්නෙහි එනම් මිථුන රාශියෙහි රවි, සහ බුධ සමඟ යෝගවූ සෙනසුරුට මිත්‍ර සිකුරුගේ පූර්ණ දෘෂ්ටියට සෙනසුරු භාජනය වුවත් සෙනසුරු රාහු-කේතු යන ඡයා පාප ග්‍රහයන්ට මැදිව මේෂ රාශියෙහි ගමන් කරන අඟහරුගේ රාශි දෘෂ්ටියටත් සිව්වැන්න වූ වෘෂභ රැසෙහි සතුරුව ගමන් ගන්නට ගුරුගේ කේන්ද්‍රය දෘෂ්ටියටත් භාජනය වීම නිසා, වක්‍ර සෙනසුරුට ලැබෙන ශුභ ග්‍රහ බලපෑමට වඩා පාප ග්‍රහ බලපෑම වැඩිහෙයින් සෙනසුරුගේ පාපිෂ්ට ගතිය මෙකී ශනිගේ වක්‍ර ගමනේදි වඩාත් තීව්‍ර වන්නේය. ඒ හෙයින් මෙකී සෙනසුරු ගේ වක්‍රය රටටත්, ජනතාවටත් අපල කළ හැකි බව කියා සිටින්නේ කල් ඇතිව ඒ පිළිබඳව දැනුවත්වී ආරක්ෂා වීම සඳහාය.

ඒ අනුව ජුනි මස 30 වෙනි දින මෙකී සෙනසුරුගේ වක්‍රයෙන් පසුව එනම් ජූලි මස 7 වෙනිදා අලුයම 4.31ට සිකුරු කටක රැසට ද ජූලි මස 12 වෙනි සිකුරාදා සවස 06.58ට අඟහරු වෘෂභ රැසට යෑමත් ඉන්පසුව එනම් ජූලි මස 16 වෙනි අඟහරුවාදා උදේ 11.18ට රවි කටක රාශි ගතවීමත් විමසා බලන කල ජූලි මස මැදදී නිරිත දිග මෝසම් වැසි අධික ලෙස ලැබීම හේතු කොට ගෙන රට තුළ මහා ගංවතුරක් ඇති වන බව පෙන්නුම් කෙරෙන අතර ඒ හේතු කොට ගෙන නාය යෑම් ඇතිවීම, දේපළ විනාශය වීම , මිනිස් ජීවිත හානි, භව භෝග විනාශවීම, මැලේරියාව, ඩෙංගු යන උණරෝග මෙන්ම පාචන රෝග පැතිරීයෑම සිදු වන්නේය. එමෙන්ම මෙකී ශනි ගෝචරය හා ඒ සමඟ ඇති වන අශුභ ග්‍රහ ගෝචරය ස්වභාවික විපත් නිසා රජයේ මුදල් වැයවීමක් පෙන්නුම් කෙරෙන අතර මැතිවරණ කටයුතු ප්‍රමාදවීමක් ද පෙන්නුම් කරන්නේය.

සෙනසුරු ගේ වක්‍රයෙන් ශුභ හෝ අශුභ බලපෑම් ඇතිවන්නේ සෙනසුරු ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් හෝ විදශාවක් ලබා ඇත්නම් පමණි.

 

මේෂ ලග්නය - ධන ලාභ

මේෂ ලග්නයට 10,11 අධිපති සෙනසුරු 11 වැන්න වූ කුම්භ රාශියේ වක්‍රය ශුභ වන්නේ ශනි ගෙන් උපචය භාවයක් වන 1,2,6,9 යන භාවයක සඳු පිහිටා ඇති මේෂ ලග්න ජන්මීන්ටය. එවැනි ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට රැකියා කටයුතුවලින්, ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ධන ලාභ ලැබෙන අතර, සතුරු ප්‍රශ්නවලින් නඩුහබවලින් ජය ලැබෙන කාලයක් මෙන්ම සංචාරක කටයුතු විදේශ කටයුතුවලින් ලාභ ලැබෙන කාලවකවානුවක් වන්නේය. ඒ නමුත් ජන්ම සඳු 10,11,12 හෝ සිව්වැන්නේ යෙදී ඇත්නම් සඳු කේන්ද්‍ර කොටගෙන ඒරාෂ්ටක අපල පැන නඟින හෙයින් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති මේෂ ලග්න හිමියන්ට මෙකී සෙනසුරුගේ වක්‍රය දැඩි අපල විපත් ඇති කිරීමට මාන බලන්නේය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති මේෂ ලග්න ජන්මින්ට රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ආදායම් අඩුවීමටත් වැය පස වැඩිවීමටත් සංචාරක සහ විදේශයත් සමඟ කරන කටයුතුවලින් හානි පාඩු සිදුවීමක් කටයුතු යෙදෙන අතර. මවට අපල විපත් ඇතිවීමටත්, ස්ථානය සම්බන්ධ ප්‍රශ්න පපුව ආශි‍්‍රත සෙම් රෝග ඇතිවීමට හේතු වන්නේය.

 

වෘෂභ ලග්නය - රැකියා දියුණුව

වෘෂභ ලග්න කේන්දරයට යෝගකාරක ග්‍රහයා වන ශනිගේ වක්‍රය සිදුවන්නේ 10 වැන්න වූ කුම්භ රැසෙහිය. ඒ අනුව උප්පත්ති කේන්දරයේ සඳු 8 වැන්න වූ ධනුවේ හෝ 5 වැන්න වූ කන්‍යාවේ හෝ ලග්නය වූ වෘෂභයේ 12 වැන්න වූ මේෂයේ යෙදි ඇත්නම් සඳුගෙන් මෙන්ම ලග්නයෙන් උපචය භාවයක මෙකී සෙනසුරුගේ වක්‍රය සිදුවන බැවින් එවන් ග්‍රහ පිහිටීමක් ඇති වෘෂභ ලග්න ජන්මීන්ට මෙකි සෙනසුරුගේ වක්‍රයෙන් ශුභ ඵල ලැබෙන්නේය. ඒ අනුව එවැනි ග්‍රහ පිහිටීමක් ඇති වෘෂභ ලග්න හිමියන්ට අන්තිම කැමැති පත්‍ර මඟින් ධනය දේපළ ලැබීමටත්, රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුවක් ඇතිවීමටත්, සතුරු ප්‍රශ්න නඩුහබවලින් ජය ලැබීමටත්, අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත්, විදේශ රැකියා දුර පළාත්වල කරන රැකියා කටයුතු සාර්ථක වීමටත් මෙකී ශනිගේ වක්‍රය හේතු වන්නේය. එනමුත් ජන්ම සඳු උප්පත්ති කේන්දරය 3,7,9,10,11 යන රැසක යෙදී ඇත්නම් එවන් ග්‍රහපිහිටීමක් ඇති වෘෂභ ලග්න හිමියන්ට ඒරාෂ්ටක අපල ඇති කරන බැවින් මෙකී සෙනසුරු ගේ වක්‍රය ඔවුන්ට අශුභඵල ඇති කරන්නේය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති වෘෂභ ලග්න හිමියන්ට කෙටි ගමන් බිමන්වලදී හදිසි අනතුරුවලට ලක්විම, ලිපිලේඛන සම්බන්ධ කටයුතුවලින් පාඩු සිදුවීම, බාල සහෝදරියන් සමඟ මතභේද ඇතිවීම, බාල සහෝදරියන්ට අපල විපත් ඇතිවීම, හවුලේ කරන කටයුතු හා ව්‍යාපාරවලින් පාඩු සිදුවීම, රැකි රක්ෂාවලින් ලැබෙන ආදායම් අඩුවීම, වැඩිහිටියන් පූජක පක්ෂය සමඟ මතභේද ඇතිවීම, විදේශ ගමන්වලින් පාඩු සිදුවීම, වැනි අශුභඵල විපාක ඇති කරන්නේය.

 

මිථුන ලග්නය- හවුල් ව්‍යාපාර සරුවෙයි

මිථුන ලග්න කේන්දර හිමියාට සෙනසුරු අර්ධයෝගකාරක ග්‍රහයෙක් වන හෙයින් 9 වැන්න වූ භාග්‍යස්ථානයේ අධිපතිව එහිම වක්‍රවීම අශුභය. මන්දයත් වක්‍රවීමෙන් සෙනසුරු ගේ ක්ෂේත්‍ර බලය පිරිහීමත් වක්‍ර සෙනසුරු රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරීත යෝගයකට මැදිව සිටීම නිසාය. ඒ නමුත් උප්පත්ති කේන්දරයේ සඳු ග්‍රහයා කන්‍යා, ධනු, මේෂ, වෘෂභ යන රාශියක යෙදී ඇත්නම්, ජන්ම සඳුගෙන් උපචය භාවයක ගෝචරයෙන් වක්‍ර සෙනසුරු ගමන් කරන හෙයින් එවන් ග්‍රහබලයක් ඇති ජන්මීන්ට සෙනසුරු වක්‍රයෙන් ශුභඵල ලැබෙන්නේය. හවුල් ව්‍යාපාර සහකාරියන් සහකරු හේතු කොටගෙන විවිධ ලාභයන් හිමිවීම, විදේශගතව හා දුර පළාත්වල කෙරෙන රැකියා ව්‍යාපාර කටයුතුවලින් අතමිට සරුවීම, නිවාස සම්බන්ධව කරන ව්‍යාපාර කටයුතුවලින් හෝ නිවසේ සිට රැකියා ව්‍යාපාරවලින් වෙනදාට වඩා හොඳ ආදායමක් හිමිවීම වැනි ශුභඵල ලැබෙන්නේය. ඒනමුත් උප්පත්ති සඳු 2, 3, 6, 8, 9,10 යන භාවයක පතිතව ඇත්නම් ඒරාෂ්ටක අපල ඇතිවන හෙයින් එවන් ග්‍රහ පිහිටීමක් ඇති මිථුන ලග්න හිමියන්ට තැන්පත් ධනය වැයවීම, අක්ෂි ආබාධ, ඇසට තුවාල සිදුවීම, සහෝදර සහෝදරියන්ට අපල විපත් ඇතිවීම, කෙටිගමන්වලදී හදිසි අනතුරු සිදුවීම, ලිපි ලේඛන සම්බන්ධ කටයුතුවලින් පාඩු සිදුවීම, සතුරු ප්‍රශ්න සහ නඩුහබ රෝගාබාධවලට ගොදුරුවීමටත් සඳු 8හි නම් හදිසි අනතුරුවලට ලක්වීම, බරපතළරෝගාබාධවලට ගොදුරුවීම පියාගේ ශරීර සෞඛ්‍ය දුර්වලවීම. උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රතිපල අයහපත් වීම, විදේශ ගමන් බිමන්වලින් පාඩු සිදුවීම, භාග්‍යය හීනවීම, රැකියා, ව්‍යාපාරවල ආදායම් අඩුවීම, ප්‍රධානීන් සමඟ ආරවුල් මතභේද ඇතිවීම, රැකියා අහිමිවීම වැනි අශුභ ඵල ඇති කරන හෙයින් කල්පනාවෙන් කාලය ගත කළ යුතුය.

 

කටක ලග්නය- අන්සතු දේපළ ලැබේ

කටක ලග්නයට සෙනසුරු පාපියෙකි. එහෙයින් සෙනසුරුගේ 8වැන්නේ වක්‍රය කටක ලග්න හිමියන්ට අශුභ ඵල උදා කරන ග්‍රහ ගෝචරය වන නමුත් උප්පත්ති කේන්දරයේ සඳු3, 6, 10,11 යන භාවයක පතිතව ඇත්නම් ජන්ම සඳුගෙන් උපචය භාවයක සෙනසුරුගේ වක්‍රය සිදුවන බැවින් එවන් ග්‍රහ පිහිටීමක් ඇති කටක ලග්න හිමියන්ට මෙකී සෙනසුරු ගේ වක්‍රයෙන් ශුභඵල ලැබනේනේය. ඒ අනුව සතුරු ප්‍රශ්න නඩු හබවලින් ජයග්‍රහණය, කලක් පීඩා වින්ද රෝගාබාධවලින් සුවය, ලිපිලේඛන කටයුතුවලින් සහ බාල සහෝදරියන් නිසා යම් යම් ලාභ හිමිවීම , ජංගම වෙළෙඳ කටයුතුවලින් වෙනදාට වඩා හොඳ ආදායමක් ලැබීම පොත්පත් පුවත්පත් ලේඛක ලේඛිකාවන්ට එකී කටයුතු මුල් කරගෙන යම් යම් ලාභයන් හිමිවීම, උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා 11 වැන්න වූ වෘෂභ රාශියේ පතිතව ඇති ජන්මීන්ට රැකියා ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ධනලාභ ලැබීම, එමෙන් සඳු උප්පත්තියේදි 10 වැන්නවූ මේෂ රාශියේ පතිතව සිටියදී සෙනසුරු කුම්භයේ පතිතව ඇති ජන්මීන්ට මෙකී සෙනසුරුගේ කුම්භ රාශි වක්‍රයෙන් උප්පත්තියේදි ලග්න කේන්දරයේ යෙදී තිබුණූ සරලා නම් විපරීත රාජයෝගය සක්‍රියවීමෙන්, අන්තිම කැමැති පත්‍ර මඟින් අන්සතු ධන, දේපළ යාන වාහන ලැබීම හෝ කෙනෙකු ගේ අභාවයෙන් ඔහුට හිමිව තිබූ තනතුරු තමාට හිමිවීම වැනි පදවි ලාභ හිමි වීමෙන් තම ජීවන තත්ත්වය උසස්වීම වැනි ශුභ විපාක ඇති වන්නේය. කටක ලග්න හිමියන්ගේ කේන්දරවල සඳු 7,8,9 ලග්නය යන රාශියක උප්පත්තියේදී පතිතව ඇත්නම් ඒරාෂ්ටක අපලයක් මෙකී සෙනසුරු ගේ කුම්භ රාශි ගමනේදී පැන නගින් හෙයින් මෙකි කුම්භ රාශී ගත සෙනසුරු ගේ වක්‍රය එවන් ග්‍රහ පිහිටීමක් ඇති කටක ලග්න ජන්මීන්ට දැඩි අශුභඵල එල්ල කිරීමට මාන බලන්නේය. ඒ අනුව උප්පත්ති කේන්දරයේ සඳු ලග්නයේ පතිතව ඇති කටක ලග්න හිමියන් හදිසි අනතුරු, සතුරු ප්‍රහාරයන්ට ලක්වීම, ශරීරයට බරපතළ තුවාල සිදුවීම, ජීවිතයට හානි සිදුවීම වැනි බරපතළ විපත් ඇති විය හැකි හෙයින් ප්‍රවේශමෙන් කාලය ගත කළ යුතුය. විශේෂයෙන්ම සෙනසුරාදා, සඳුදා, අඟහරුවාදා දිනවල ගමන්බිමන් යෑමෙන් ශුභ වැඩකටයුතුවල යෙදීමෙන් වැළකිය යුතුය. සඳු 7,8 යන රාශිවල පිහිටා ඇති ජන්මීන්ට හවුල් කටයුතු හවුල් ව්‍යාපාර නිසා පාඩු සිදුවන අතර අනියම් සම්බන්ධකම් නිසා සහකාරු හෝ සහකාරිය සමඟ ගැටුම් ඇති කරන්නේය. සඳු 9 වැන්නේ පිහිටා ඇති ජන්මීන්ට, වැඩිහිටියන්, පූජකයන්, සමඟ මතභේද ආරවුල් ඇතිවීමටත් විදේශ ගමන්වලින් පාඩු සිදුවීමටත්, උසස් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීමටත් වක්‍ර සෙනසුරු හේතු වන්නේය.

 

සිංහ ලග්නය - ලොතරැයි ජය

සිංහ ලග්නයට මෙකී සෙනසුරු ලග්නාධිපති රවිට සතුරු ග්‍රහයෙක් වන හෙයින් පාපියෙකි. එහෙයින් මෙකී සෙනසුරු ගේ වක්‍රය සිංහ ලග්න හිමියන්ට ශුභ ඵල උදා කරන්නේ නැති නමුත් උප්පත්තියේදී සඳු 2,5,9,10 යන භාවයක යෙදී ඇත්නම් ජන්ම සඳුගේ උපචය භාවයක ගෝචර ශනි වක්‍ර නිසා එවන් ග්‍රහ පිහිටීමක් ඇති සිංහ ලග්න හිමියන්ට මෙකි සෙනසුරු ගේ වක්‍රය ශුභ ඵල උදා කරන්නේය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති සිංහ ලග්න හිමියන්ට හවුල් ව්‍යාපාර සහකාරිය, ඥාතීන් හේතු කොට ගෙන තැන්පත් ධනය වර්ධනය වීමක් පෙන්නුම් කරන තරුණ තරුණියන්ට වයසේ වැඩි කෙනෙක් සමඟ පේ‍්‍රම සම්බන්ධතා ඇති වන්නේය. එමෙන්ම තවත් සමහර සිංහ ලග්න ජන්මීන්ට සූදු ක්‍රීඩා, ලොතරැයි මඟින් ධන ලාභ ලැබෙන අතර විදේශ ගමන් දුර ගමන්වලින් යම්ලාභ වාසි ඇතිවන්නේය. උප්පත්ති කේන්දරයේ සඳු 10 වැන්න වූ වෘෂභ රැසෙහි පතිත ජන්මීන්ට රැකියා කටයුතුවල දියුණුවක් ඇති වන්නේය. උප්පත්ති කේන්දරයේ සඳු 6,7,8,12 යන රැසක පිහිටා ඇති සිංහ ලග්න ජන්මීන්ට ඒරාෂ්ටක අපල යෙදෙන හෙයින් එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට සතුරු ප්‍රශ්න, ණය ප්‍රශ්න, යුග ජීවිතය පිළිබඳ ප්‍රශ්න, හවුල් ව්‍යාපාර කටයුතුවලින් අලාභ හානි ඇතිවීම, උදර, මෞත්‍රලිංගික පද්ධතිය, ගුදමර්ග ආශි‍්‍රත පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇති වීමේ ප්‍රවණතාවක් පවතී.

 

කන්‍යා ලග්නය - පදවි ලාභ

කන්‍යා ලග්න කේන්දර හිමියාට සෙනසුරු අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. ඒ අනුව මෙහි අර්ධ යෝගකාරක සෙනසුරු ගෝචරයෙන් කුම්භ රාශියේ මුල ත්‍රිකෝණබලය ලබන්නේ ජය යෝගය සහ හර්ෂා නම් විපරීත රාජයෝගය උදා කරමින් 6 වැන්න වූ රැසෙහි වක්‍රවීම සෙනසුරු මහ දශා අතුරු දශා ලබා ඇති කන්‍යා ලග්න හිමියන්ට ශුභඵල දානය කරන ග්‍රහ ගෝචරයක් වන නමුත් එකී ගෝචරයෙන් උසස් ශුභ ඵලයක් ලැබෙන්නේ කන්‍යා ලග්න හිමියන්ගේ ලග්න කේන්දරයේ ජන්ම සඳු සෙනසුරුගෙන් 3,6,10,11 යන උපචය භාවයකට වැටුණහොත් පමණි. ඒ අනුව කන්‍යා ලග්න හිමියන්ට මෙකී වක්‍ර සෙනසුරුගෙන් පූර්ණ ශුභඵලයක් ලැබීමට නම් සඳු ග්‍රහයා ලග්න කේන්දරයේ 1, 4,8,9 යන භාවයක උප්පත්තියේදි පතිතව සිටිය යුතුය. ඒ අනුව (නිවාස, ඉඩකඩම්) මව මුල් කරගෙන ධන ලාභ, අන්තිම කැමැති පත්‍රවලින් ධනලාභ, පදවි ලාභ ලැබීම යන ශුභ විපාක ලැබෙන්නේ උප්පත්තියේ දී සෙනසුරුගෙන් හර්ෂ යෝගයක් යෙදී ඇත්නම් පමණි. එමෙන්ම ලග්නයේ සඳු යෙදී ඇති කන්‍යා ලග්න හිමියන්ට සතුන් මුල් කරගෙන කෙරෙන ව්‍යාපාර කටයුතුවලින් ධන ලාභ ලැබෙන අතර, උප්පත්ති කේන්දරයේ ශනි ග්‍රහයා 6, 8, 12 යන භාවයක යෙදී ඇත්නම් සතුරු ප්‍රශ්නවලින් නඩුහබවලින් ජය ලැබීමද කලක් පීඩා වින්ද රෝග ආබාධවලින් සුවය ලැබීම වැනි ශුභඵල ලැබෙන්නේ ය. උප්පත්ති කේන්දරයේ සඳු 9වැන්නේ නම් විදේශ ගමන් බිමන්වලින් විදේශිකයන් සමඟ කරන ව්‍යාපාරික කටයුතුවලින් ධන ලාභ ලැබෙන්නේ ය. ඒ නමුත් උප්පත්ති කේන්දරයේ සඳු ග්‍රහයා 5, 6, 7, 11 යන භාවයෙදී ඇති කන්‍යා ලග්න හිමියන්ට ඒරාෂ්ඨක අපල යෙදෙන හෙයින් එවන් ග්‍රහ පිහිටීමක් ඇති කන්‍යා ලග්න ජන්මීන්ට, දරුවන් පිළිබඳ ප්‍රශ්න ඉගෙන ගන්නා වසේ ළමයෙක් නම් අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම හෙවත් විභාග අසමත් වීම වැනි ප්‍රශ්නද, නඩුහබ සතුරු ප්‍රශ්න ශාරීරික වශයෙන්, හෘදයාබාධ, ගැස්ට්‍රයිටිස් වැනි රෝගාබාධ ද ඇතිවන අතර, විවාහකයකු නම් භාර්යාව හෝ ස්වාමියා අතර හවුල් ව්‍යාපාරවල යෙදෙන අයෙක් නම් හවුල්කරුවන් සමඟ මතභේද ගැටුම් හේතු කොට ගෙන එකී ව්‍යාපාරික කටයුතු අසාර්ථක වීම වැනි අශුභ පල ඇති වන්නේය. උත්පත්ති කේන්දරයේ සඳු 11 වැන්නේ නම් තමා සතු මුදල් සොරුන් විසින් පැහැර ගැනීම, වැඩිමල් සහෝදරියක් හදිසි අනතුරකට ලක්වීම වැනි අපල විපත් ඇති වන්නේ ය.

 

තුලා ලග්නය- වෙළෙඳාම් සරු වෙයි

තුලා ලග්න කේන්දරයට සෙනසුරු යෝග කාරක ග්‍රහෙක් වන නමුත් 5 වැන්නේ කුම්භ රැයෙහි සිදුවන සෙනසුරුගේ වක්‍රයෙන් ශුභඵල ලැබෙන්නේ උප්පත්ති කේන්දරයේ ජන්ම සඳු 3, 7, 8, 12 යන භාවයක පතිතව ඇත්නම් පමණි. එලෙස සඳුගෙන් උපවය භාවයක පතිත සෙනසුරුගේ වක්‍රය තුලා ලග්නයෙන් උපන් ලේඛක ලේඛිකාවන්ට ශුභඵල ලබා දෙන අතර ජංගම වෙළෙඳුන්ට තම ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ලාභ ලැබෙන්නේ ය. එමෙන්ම ඉගෙන ගන්නා වයසේ දරු දැරියන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත්, තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා සාර්ථකවීමටත් හවුල් ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ධන ලාබ ලැබීමටත්, බිරිඳ හෝ සැමියාගේ ආර්ථික වශයෙන් දියුණුවක් ලැබීම නිසා පවුලේ පී‍්‍රතිය සමඟිය වර්ධනය වීමටත් මෙකී කුම්භ රාශි ගත සෙනසුරුගේ වක්‍රය හේතුවන අතර, උප්පත්ති කේන්දරයේ සඳු 8 වැන්න වූ වෘෂභ රාශියේ පතිත තුලා ලග්න හිමියන්ට මෙකී සෙනසුරුගේ වක්‍රය රැකියා කටයුතු සාර්ථක වීමටත් පඩි නඩි වැඩිවීමත් හේතුවන අතර, සඳු 12 වැන්න වූ කන්‍යා රාශි ගතව සිටි තුලා ලග්න හිමියන්ට නඩු හබ සතුරු ප්‍රශ්නවලින් ජය ලැබීමටත් කලක් පීඩා වින්ද රෝගාබාධවලින් සුවය ලැබීමටත් හේතු වෙයි. ඒ නමුත් උප්පත්ති කේන්දරයේ සඳු ග්‍රහයා 4, 5, 6, 10 යන රැසක පිහිටා ඇති තුලා ලග්න හිමියන්ට ඒරාෂ්ටක අපල ඇති හෙයින් මෙකී සෙනසුරුගේ වක්‍රය ඔවුන්ට අශුභ ඵල ගෙන දෙන්නේ ය. ඒ අනුව උත්පත්ති කේන්දරයේ සඳු සිව්වැන්නෙහි පිහිටා ඇති තුලා ලග්න හිමියන්ට මව සම්බන්ධ ප්‍රශ්න සහ ගෘහ ජීවිතය සම්බන්ධ ප්‍රශ්න ඇති කරන අතර, සඳු 5 වැන්නෙහි පිහිටා ඇති තුලා ලග්න හිමියන්ට දරුවන් පිළිබඳ ප්‍රශ්න සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ප්‍රශ්න ඇති කරන්නේ ය. සඳු 6 වැන්නේ පිහිටා ඇති තුලා ලග්න හිමියන්ට ශරීර සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්න ද නඩු හබ සහ සතුරු ප්‍රශ්න ඇතිවන්නේය. සඳු 10 වැන්නෙහි පාප පීඩිතව ඇත්නම් ජන්ම සඳුගෙන් 8 වැන්නෙහි වක්‍ර වන සෙනසුරු යෙදෙන චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය නිසා රැකියා අහිමිවිය හැකිය. ව්‍යාපාරිකයකු නම් පාඩු පිට පාඩු ලැබීමට සිදුවීමෙන් ව්‍යාපාර කටයුතු හිටි හැටියේ වසා දැමීමට සිදු වන්නේ ය.

 

වෘශ්චික ලග්නය- යුග දිවිය සරුවෙයි

වෘශ්චික ලග්න කේන්දරයේ ලග්නාධිපති අඟහරුට සෙනසුරු සතුරු ග්‍රහයෙක් වන හෙයින් වෘශ්චික ලග්නයට සෙනසුරු පාපියෙක් වන නිසා සිව්වැන්න වූ කුම්භ රාශියේ සිදුවන සෙනසුරුගේ වක්‍රය වෘශ්චික ලග්නයෙන් උපන් ජන්මීන්ට අශුභඵල උදා කරන නමුත් ජන්ම සඳුගෙන් 3, 6, 10, 11 යන උපචය භාවයක ශනි වක්‍රව සිටියේ නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති වෘශ්චික ලග්න හිමියන්ට සෙනසුරු, රවි වක්‍රයෙන් ශුභ ඵල ලැබෙන්නේ ය. ඒ අනුව උප්පත්ති කේන්දරයේ සඳු 2, 6, 7, 11වැනි භාවයක සඳු පිහිටා ඇති ජන්මීන්ට මෙකී සෙනසුරුගේ වක්‍රය ශුභඵල දානය කරන්නේය. එවැනි ග්‍රහපිහිටීමක් ඇති වෘශ්චික ලග්න හිමියන්ට ගෙවල්, ඉඩම් සම්බන්ධ කෙරෙන කටයුතුවලින් ධන ලාභ ලැබීම සතුරු ප්‍රශ්න නඩු හබවලින් ජය කලක් පීඩා වින්ද රෝගවලින් සුවය ලැබීම, යහපත් විවාහයක්, හවුල් ව්‍යාපාර කටයුතුවලින් ධන ලාභ ලැබීම, තරුණ තරුණියන්ට යහපත් ප්‍රේම සම්බන්ධතා ඇතිවීම, නිවෙසේ සිට කෙරෙන ව්‍යාපාර රැකී රක්ෂා කටයුතු ලැබෙන ආදායම් වැඩිවීම වැනි ශුභඵල ලැබෙන්නේ ය. එහෙත් ජන්ම සඳු 3, 4, 5, 9 යන රාශියක පිහිටා ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති වෘශ්චික ලග්න හිමියන්ට සඳු ග්‍රහයා මුල් කරගෙන ඒරාෂ්ටක අපල යෙදෙන හෙයින් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති වෘශ්චික ලග්න හිමියන් ගේ බාල සහෝදර සහෝදරියන්ට අපල විපත් ඇතිවීම, ලිය කියවිලි සම්බන්ධ කටයුතුවලදී කෙටි ගමන්වලදී හානි පාඩු සිදුවීම, ගෘහ ජීවිතයේ ප්‍රශ්න මතුවීම, මවගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් අතට හැරීම, නිතර දුකින් පසුවීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම, ප්‍රේම සම්බන්ධතා කඩා කප්පල් වීම, වන්දනා ගමන්, විදේශ ගමන්වලදී හදිසි අනතුරුවලට ලක්වීම, වැඩිහිටියන් පූජකයන් සමඟ මත භේද ආරවුල් ඇතිවීම වැනි අශුභඵල විපාක ඇති වන්නේ ය.

 

ධනු ලග්නය- අධ්‍යාපනයට සුබයි

ධනු ලග්නයට 2 සහ 3 අධිපති ශනි ලග්නාධිපති ගුරුට සම ග්‍රහයෙකි. එහෙයින් උපචය ස්ථානයක වන 3 වැන්නේ සිදුවන සෙනසුරුගේ වක්‍රය ධනු ලග්න හිමියන්ට අශුභ නැත. ඒ අනුව උප්පති කේන්දරයේ ජන්ම සඳු 1, 5, 6, 10 යන රැසක සඳු පිහිටා ඇති ධනු ලග්න ජන්මින්ට ලග්නයෙන් මෙන්ම සඳුගෙන් උපචය භාවයක සෙනසුරුගේ වක්‍රය සිදුවන නිසා ශුභඵල ලැබෙන්නේ ය. සඳු ලග්නයෙහි පිහිටා ඇති ධනු ලග්න ජන්මීන් ලියකියවිලි සම්බන්ධ කටයුතුවලින් ලාභ අත් වන අතර ඔබේ සහෝදර සහෝදරියන් හේතු කොට විවිධ ලාභයන් ඇති වන්නේ ය. එමෙන්ම ජංගම වෙළෙඳ කටයුතුවල නිරත ධනු ලග්න හිමියන්ට ස්වකීය වෙළෙඳ කටයුතුවලින් වෙනදාට වඩා ලාබ ලැබෙන්නේ ය. ජන්ම සඳු 5 වැන්නේ නම් ලේඛක ලේඛිකාවන්ට, කලා කටයුතුවල යෙදෙන්නට, විවිධ සටන් ක්‍රම ප්‍රගුණ කරන අයට සහ ඉගෙන ගන්නා දරු දැරියන්ට මෙකී සෙනසුරුගේ වක්‍රය ශුභඵල දානය කරන අතර, උප්පත්ති කේන්දරයේ සඳු 6 වැන්නේ නම්, වෛද්‍යවරුන්ට නීතිඥයින්ට ස්වකීය වෘත්තීය කටයුතුවලින් වෙනදාට වඩා ලාභ හිමි වන්නේ ය. සඳු 10 වැන්නේ නම් ලිපිකාර වෘත්තියේ නියුතු වූවන්ට නම් වෘත්තීය කටයුතුවල දියුණුවක් පෙන්නුම් කරන්නේ ය. ඒ නමුත් උප්පත්ති කේන්දරයේ ජන්ම සඳු 2, 3, 4, 8 යන භාවයක පතිතව ඇත්නම් ඒරාෂ්ටක අපල යෙදෙන හෙයින් එවැනි ග්‍රහ පිහිටීමක් අති ධනු ලග්න ජන්මින්ට මෙකී සෙනසුරුගේ වක්‍රය දැඩි අශුභඵල උදා කරන්නේ ය. ඒ අනුව සෙනසුරු ඒරාෂ්ටක අපල ඇති ධනු ලග්න හිමියන්ට දැඩි ආර්ථික ප්‍රශ්න ඇතිවීමක් ඒ නිසා ජීවන තත්ත්වය පහත වැටීම ද සඳු 3 වැන්නේ පතිත ධනු ලග්න හිමියන්ට සහෝදර සහෝදරියන් අපල විපත් ඇතිවීමද, ලිපි ලේඛන සම්බන්ධ කටයුතුවලින් පාඩු සිදුවීමද, සඳු සිව්වැන්නේ පතිත ධනු ලග්න හිමියන්ට ගෙදර දොරේ අගහිඟකම් ඇතිවීමද මවට අපල විපත් ඇතිවීම වැනි අශුභඵල ඇති වන අතර ජන්ම සඳු 8 වැන්නෙහි පතිත ධනු ලග්න හිමියන්ට කෙටි ගමන් බිමන්වලදී හදිසි අනතුරට ලක්වීම නිසා අතපය බිඳීම වැනි අශුභ ඵල විපාක ඇති වන්නේ ය.

 

මකර ලග්නය - විදෙස් උපකාර

මකර ලග්න කේන්දර හිමියාගේ ලග්නාධිපති වන සෙනසුරු 2 වැන්න වූ කුම්භ රාශියෙහි වක්‍ර වීම ශුභ වන්නේ මකර ලග්න කේන්දර හිමියන්ගේ ජන්ම සඳු උප්පතියේ දී ධනු, මේෂ, වෘෂභ, කන්‍යා රැසක පතිතව සිටියහොත් පමණි. මන්දයත් එවිට ගෝචර සඳු, ශනි, සඳුගෙන් උපචය භාවයකට වැටෙන හෙයිනි. ඒ අනුව එලෙස සඳුගෙන් උපචය භාවයක ශනි පිහිටා ඇති ජන්මීන්ට දුර පළාත්වල කෙරෙන වෙළෙඳ රැකියා කටයුතුවලින් තැන්පත් ධනය වර්ධනය වන අතර, මව, ගේදොර, ඉඩකඩම්වලින් සහ ගෙදර සිට කෙරෙන රැකියා කටයුතුවලින් තැන්පත් ධනය වර්ධනය වන්නේ ය. එමෙන්ම වෘත්තීය අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර, විදේශ සංචාරයෙන් සහ විදේශිකයන් සමඟ කෙරෙන ගනුදෙනු හේතු කොට ගෙන තැන්පත් ධනය වර්ධනය වන්නේ ය. ඒ අනුව ඉහත කී ලෙස එක් කටයුතුවලින් ධනය ලැබීමට භාර්යාව හෝ ස්වාමියාගේ සහයෝගය කැපවීම හේතු වන්නේ ය. එනමුත් උප්පත්ති කේන්දර සටහනේ ජන්ම සඳු ලග්නය 2 වැන්න 3 වැන්න, 7 වැන්න යන රැසක පිහිටා ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති මකර ලග්න හිමියන්ට ඒරාෂ්ටක අපල යෙදෙන හෙයින් ධන හානි නිසා ජීවන තත්ත්වය පහත වැටීම, භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමඟ මතභේද ඇතිවීමට හෝ වෙන්වීමට කටයුතු සිදුවන්නේ ය. ලිපි ලේඛන සම්බන්ධ කටයුතුවලින් කෙටි ගමන් බිමන්වලින් පාඩු සිදුවන හවුල් ව්‍යාපාර කටයුතුවලින් තැන්පත් ධනයට හානි සිදුවන අතර, ප්‍රසිද්ධ සතුරන්, විදේශ ගමන් නිසා හදිසි අනතුරු, තුවාල, කල කෝලාහල ඇති වන්නේ ය.

 

කුම්භ ලග්නය - ද්‍රව්‍ය ලාභ

කුම්භ ලග්නයට මකර ලග්නයට මෙන් ශනි ලග්නාධිපති වන නිසා සෙනසුරු කුම්භ ලග්නයට ශුභයෙක් වන නමුත් සෙනසුරුගේ මෙකී වක්‍රයෙන් කුම්භ ලග්න කාරයන්ට ශුභඵල ලැබෙන්නේ සෙනසුරු උප්පත්ති කේන්දරයේ සඳුගෙන් 3, 6, 10, 11 යන උපවය භාවයක පතිතව ඇත්නම් පමණි. ඒ අනුව මෙකී සෙනසුරුගේ කුම්භ රාශි වක්‍රය කුම්භ ලග්නයෙන් උපන් ලේඛක ලේඛිකාවන්ට, ලිපිකාර වෘත්තීය කටයුතුවල යෙදෙන්නන් හට නිවසේ සිට විවිධ රැකියා සහ ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයවලුන්ට ශුභවන අතර, විවිධ සතුරු ප්‍රශ්න නඩු හබවලට පැටලී සිටින කුම්භ ලග්න හිමියන්ට එකී නඩුහබවලින් ජය ලැබෙන අතර, මූල්‍ය සහ ද්‍රව්‍ය ලාභ හිමි වන්නේ ය. ඒ නමුත් මෙකී කුම්භ ලග්න කේන්දර හිමියන්ගේ සඳු උප්පත්ති කේන්දරයේ 12, 1, 2, 6 යන භාවයක පතිතව ඇත්නම් ඒරාෂ්ටක අපල යෙදෙන හෙයින් මෙකී සෙනසුරුගේ වක්‍රය එවැනි ග්‍රහ පිහිටීමක් ඇති කුම්භ ලග්නකාරයන්ට අශුභඵල දානය කරන්නේ ය. ඒ අනුව ඔවුන්ට නඩුහබ සතුරු ප්‍රශ්න, ලෙඩ රෝග නිසා තැන්පත් ධනය වැය වන අතර තැන්පත් ධනය හීන වීම නිසා ජීවන තත්ත්වය පහත වැටෙන්නේය. පවුලේ අයට මවට අපල විපත් ඇති කරන්නේ ය. රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ආදායම අඩුවන අතර විදේශ සංචාරයෙන් පාඩු සිදුවෙන්නේ ය. උප්පති කේන්දරයේ ජන්ම සඳු 6 වැන්නෙහි නම් සතුරු ප්‍රශ්න ලෙඩ රෝග නිසා බොහෝ වියහියදම් හානි පාඩු සිදු වන්නේ ය.

 

මීන ලග්නය - නිලතල ලාභ

මීන ලග්නයට සෙනසුරු සම ග්‍රහයෙකි. එහෙයින් 12 වැන්න වූ කුම්භයේ සිදුවන සෙනසුරුගේ වක්‍රය මීන ලග්න හිමියන්ට ශුභඵල ගෙනදීමට නම් උප්පත්ති කේන්දරයේ සඳු සිටින තැනින් උපචය භාවයක මෙකී ගෝචරයෙන් වක්‍රවන සෙනසුරු ග්‍රහයා සිටිය යුතුය. ඒ අනුව බලන කල ජන්ම සඳු උප්පත්ති කේන්දරයේ 10 වැන්නේ යෙදී ඇති දේශපාලන, සමිති සමාගම්වල නිලතල, බලතල ඇති අයවලුන්ට උසස් පදවි ලාභ හිමිවීමේ භාග්‍යයක් මෙකී 12 වැන්නේ වක්‍රවන සෙනසුරුගෙන් ලැබේ. ඒ ඔවුන්ගේ උප්පත්ති කේන්දර සටහන්වල විමල නම් විපරිත රාජ යෝගය යෙදී ඇත්නම් පමණි. ඒ හැර ලාභ බලාපොරොත්තුවෙන් යම් යම් කටයුතු සඳහා මුදල් ආයෝජනය කර ඇති මීන ලග්න හිමියන්ට එකී කටයුතුවලින් ලාබ ලැබෙන අතර ජංගම වෙළෙඳුන්ට එකී කටයුතු ලාබ ලැබෙන්නේ ය. එමෙන්ම ලියකියවිලි සම්බන්ධ කටයුතු සාර්ථක වීමට මෙකී සෙනසුරුගේ වක්‍රය හේතු වන්නේ ය. දුර පළාත්වල සිටින තරුණ තරුණියන් සමඟ මීන ලග්නයෙන් උපන් ප්‍රේම සම්බන්ධතා ඇතිවීමටද මෙකී සෙනසුරුගේ වක්‍රය හේතුවන්නේ ය.

ඒ නමුත් උප්පත්ති කේන්දරයේ සඳු 1, 2, 12 යන භාවයක පතිතව ඇති මීන ලග්න ජන්මීන්ට ඒරාෂ්ටක අපල යෙදෙන හෙයින් ඔවුන්ට මෙකී සෙනසුරුගේ වක්‍රයෙන් එකී අපල තත්ත්වය වඩා ප්‍රබල ලෙස සක්‍රීය වීම නිසා අපල විපත් ඇති කරන්නේ ය. ඒ අනුව සඳු 11 වැන්නේ උප්පතියේදී පතිතව ඇති මීන ලග්න හිමියන්ට රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ආදායම් අඩුවීමටත් වැඩිමහල් සහෝදරයන්ට සහෝදරියන්ට අපලවිපත් ඇති කිරීමට හේතුවන අතර ජන්ම සඳු 12 වන්නෙහි පිහිටා ඇති ජන්මීන්ට දරුවන් පිළිබඳ ප්‍රශ්න මෙන්ම අනියම් ප්‍රේම සම්බන්ධතා, සූදුව, දුරාචාර කටයුතු හේතු කොට ගෙන තැන්පත් ධනය මෙන් උපයන ධනය හීන වන්නේ ය. කාන්තාවන්ට ගබ්සා ඇති වන්නේය. සඳු ලග්නයේ පිහිටා ඇති මීන ලග්න හිමියන්ට අවකල් ක්‍රියා හේතු කොට ගෙන ජීවන තත්ත්වය පහත වැටෙන අතර, ජන්ම සඳු මීනයේ පිහිටා ඇති මානසික රෝගීන්ගේ රෝගී තත්ත්වය මෙකී සෙනසුරුගේ වක්‍රයෙන් වඩාත් උත්සන්න වන්නේ ය.

ඒ අනුව ඒරාෂ්ටක අපල ඇති ජන්මීන්ගේ ඒරාෂ්ටක අපලයන් මෙකී සෙනසුරුගේ වක්‍රයෙන් වඩාත් තීව්‍ර වන හෙයින් ඔවුන් මෙකී සෙනසුරු නොවැම්බර් මස 15 වැනි සිකුරාදා රාත්‍රී 7.50 නිවෘත වන තෙක් ප්‍රවේසමෙන් කාලය ගත කළ යුතු ය. සෙනසුරාදා ශුභ වැඩ කටයුතුවල නොයෙදිය යුතු අතර සෑම දිනකම සෙනසුරු හෝරාවෙන් ශුභ වැඩ කටයුතුවල යෙදීමෙන් ගමන් බිමන් යෑමෙන් වැළකිය යුතු වන අතර, නිල් කලු වස්ත්‍ර ඇඳීමෙන් වැලකිය යුතු ය. බෝධි පූජා තැබිය යුතුය. ආගමානුකූල ජීවිතයකට නැඹුරුව කාලය ගත කළ යුතු ය. විෂ්ණු මණ්ඩලය ශනි, මෘතුංජය වැනි යන්ත්‍රයක් පැලඳීම ශුභය. ලග්න කේන්දරයේ ගුරු, බුධ, සිකුරු යන ග්‍රහයෙක් ලග්න කේන්දරයට ශුභයෙක් වී ලග්න කේන්දරයේ බලවත්ව යෙදී ඇත්නම් පුෂ්පරාගයක්, පච්ච හෝ සුදු මැණික් එබ්බවූ, මුදුවක් දකුණු අතේ මැද ඇඟිල්ලේ පැලඳීම ශුභය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.