චන්ද්‍ර මණ්ඩලය

අත්ලෙන් හෙළි වන ජීවිත රහස්
ජුනි 16, 2023

ඕනෑම පුද්ගලයකුට ලෝකයේ ලස්සන දකින්න සංවේදිතාවය තිබිය යුතුය. සංවේදිතාවයක් නොමැති පුද්ගලයා යාන්ත්‍රික පුද්ගලයකු වේ. එවිට ජීවිතය ශෘංගාරාත්මක හැඟීම්වලින් තොරව ප්‍රීතියක්, ජීවිත අරමුණක් නැතිව ජීවත් වේ. එම නිසා පුද්ගලයකුට සංවේදිතාවය යම් ප්‍රමාණයක් හෝ තිබිය යුතුය. පුද්ගලයකුගේ සංවේදිතාවය ගැන කරුණු සලකා බලන්නේ චන්ද්‍ර මණ්ඩලයෙනි.

අත්ලේ මණ්ඩල අතරින් විශාලතම මණ්ඩලය සඳු මණ්ඩලය හෙවත් චන්ද්‍ර මණ්ඩලයට අයත් වේ. මැණික් කටුව සිමාවේ සිට ඉහළට බුධ මණ්ඩලයට පහතින් පිහිටි කුජ සෘණ මණ්ඩලයේ අවසානය දක්වා චන්ද්‍ර මණ්ඩලයට අයිති වේ. චන්ද්‍ර මණ්ඩලය ගුණාංග අනුව කොටස් තුනකට බෙදන අතර මැණික් කටුව ආශ්‍රිතව පහළ චන්ද්‍ර මණ්ඩලයත්, කුජ සෘණ මණ්ඩලය ආශ්‍රිතව ඉහළ චන්ද්‍ර මණ්ඩලයත්, ඉහළ සහ පහළ චන්ද්‍ර මණ්ඩල අතර කොටස මැද චන්ද්‍ර මණ්ඩලය වශයෙන් හැඳින්වේ.

පුද්ගලයකුගේ සිත සහ සිතිවිලි ගැන කරුණු වටහා ගැනීම සඳහා චන්ද්‍ර මණ්ඩලය නිරීක්ෂණය කළ යුතුවේ. චන්ද්‍ර මණ්ඩලය හොඳින් වැඩුණු පුද්ගලයෝ තරබාරු සිරුරකින් රවුම් මුහුණකින් ද මහත් වු බෙල්ලකින් ද තර අත් පා සහ නෙරා ගිය උදරයකින් ද සිනිඳු හිසකෙස් සහ රෝම සහිත එතරම් සිත් ඇද ගන්නා චරිතයකින් යුක්ත නොවු අයවෙති.

යහපත් චන්ද්‍ර මණ්ඩලයක් ඇති පුද්ගලයන් ස්වභාව සෞන්දර්යයට වඩාත් ඇලුම් කරන පුද්ගලයන් වේ. මුහුද, මල් ගොමු, ස්වාභාවික දර්ශන අහස ආදි ලෝකයේ ලස්සන කෙරෙහි අසීමිත ආදරයක් සහ ආශාවක් ඇති සංවේදි පුද්ගලයෝ වෙති. එසේම සංචාරවලට ප්‍රිය කරති. ජලය ආශ්‍රිත ප්‍රදේශවල වාසය කිරිමට කැමතිය. ඉක්මනින් කලබල වන්නේ අධි සංවේදී බව නිසාවෙනි. ප්‍රබල චන්ද්‍ර මණ්ඩලය සහිත පුද්ගලයෙකුගේ පහළ මණ්ඩලය මැණික් කටුව දෙසට එල්ලා වැටෙන ස්වරූපයේ නම් ඔහු අනාවැකි කීමට දක්ෂ පුද්ගලයෙකි. එහි සිරස් රේඛාවක් සහිත නම් මේ තත්ත්වය තවත් තීව්‍ර වේ. එහෙත් මෙම සිරස් රේඛා ප්‍රධාන රේඛා සමඟ සම්බන්ධ නොවුණහොත් මානසික ශක්තිය සහ බලය නිසි අයුරින් ප්‍රයෝජනයට ගත නොහැකිය. මෙවැනි පිහිටීමක් සහිත පුද්ගලයන් හට ස්වභාව ධර්මයට එකඟව කටයුතු කිරිමෙන් අසනීප සුව කර ගැනීමේ හැකියාව ලැබේ. එමෙන්ම බටහිර ඖෂධවලට වඩා දේශීය ප්‍රතිකාර රෝග සුව කරගැනීම සඳහා සුදුසුය.

මධ්‍ය චන්ද්‍ර මණ්ඩලය අත්ලේ පිට දාරයට නෙරා ඇත්නම් ඉතා යහපත් කවි සහ නවකතා නිර්මාණයට දක්ෂ වේ. එමෙන්ම මෙම කොටසේ සිරස් රේඛා ඇත්නම් පිටරට යාමේ වාසනාව පෙන්වයි. සමාජය සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමේ හැකියාව ඇත. මොවුනට අවිවේකත්වයෙන් ජීවිතය ගෙවීමට සිදුවේ.

ඉහළ චන්ද්‍ර මණ්ඩලය යහපත්ව පිහිටා ඇත්නම් ඉතා සංවේදි පුද්ගලයකු බිහි කරයි. කුජ ඝෘණ මණ්ඩලය සමඟද ඉහළ චන්ද්‍ර මණ්ඩලය සම්බන්ධ බැවින් පුද්ගලයා ප්‍රායෝගිකව කටයුතු කරන තත්ත්වයට පත් කෙරේ. ඔවුන් අනුකම්පාව සහිත ත්‍යාගශීලි මෙන්ම අවබෝධයෙන් කටයුතු කරන බව පෙන්වන ස්වභාවයෙන් යුක්තය.

සමස්ත චන්ද්‍ර මණ්ඩලය යහපත්ව පිහිටා මණ්ඩලයේ මුදුණ මැණික් කටුව ආසන්නව පිහිටා ඇත්නම් පුද්ගලයාට භාවනා කිරීමේ හැකියාව ලැබේ. මධ්‍ය ලක්ෂ්‍යය හෙවත් මුදුන සිකුරු මණ්ඩලයට ළංව පිහිටා ඇත්නම් ලස්සනට ආදරයට කලාවට මනාප පුද්ගලයෙකු බිහිකරයි.කුජ සෘණ මණ්ඩලයට සමීපව චන්ද්‍ර මණ්ඩලයේ මධ්‍ය පිහිටා ඇත්නම් සෞඛ්‍ය තත්ත්වය යහපත් වන නමුදු ජීවන ගමනේ හමුවන බාධකවලින් පීඩාවට මෙන්ම අධෛර්යයට පත් වේ. මධ්‍යය පිට දාරයට ආසන්න වු විට හොඳ දක්ෂ නිර්මාණ කරුවකු බිහි වේ.

එමෙන්ම දුබල වන්ද්‍ර මණ්ඩලයක් ඇති පුද්ගලයා සුරා සූදුවට ඇබ්බැහි වීම සිදුවිය හැකිය. තවද ඔවුන් අනාචාරයේ හැසිරීම මෙන්ම කේලාම් කීම පහත් ගති මන්ද බුද්ධික තත්ත්වය සතුරු බිය ආදී දුර්වලතා පෙන්වයි. එමෙන්ම අහංකාර, කෙළෙහිගුණ නොදන්නා පුද්ගලයකු බිහිකරයි. ශරිරයේ සුදු ලප ඇති විය හැකිය. චන්ද්‍ර මණ්ඩලය අති ප්‍රබල ලෙස පිහිටීම නිසා ඉක්මනින් තරහා යෑම සිදුවේ. පුද්ගලයාගේ චපල ගති වැඩි වේ. සඳු හිමි ගතිගුණ බලවත් වන හෙයින් ලෝක ස්වභාවය තේරුම් ගැනීමට නොහැකිය. එවිට එම පුද්ගලයා උමතු බවට පත්වීමට ඉඩ ඇත.

චන්ද්‍ර මණ්ඩලය මත ත්‍රිකෝණ සලකුණක් පිහිටා ඇත්නම් ප්‍රසිද්ධ කතා රචකයකු බිහිවේ. උපායශීලිව අර පිරිමැස්මෙන් කටයුතු කරයි. උසස් අදහස් නියමාකාරයෙන් බුද්ධිමත්ව ක්‍රියාත්මක කළ හැකිය.

චන්ද්‍ර මණ්ඩලය මත තරු සලකුණක් පිහිටා ඇත්නම් සුබදායකය. එවැනි පුද්ගලයකුගේ අත්ලෙහි ප්‍රබල දෛව රේඛාවක් සහ රවි රේඛාවක් ද පිහිටා ඇත්නම් නව නිර්මාණ බිහිකිරීමට ඇති හැකියාව වැඩිදියුණු වේ. ජලය ආශ්‍රිත කරන කර්මාන්තවලින් දියුණුව ලබා ගැනීමේ හැකියාව චන්ද්‍ර මණ්ඩලයේ තරු සලකුණුවලින් පෙන්වන අතර දියේ ගිලීමෙන් මරණය පිළිබඳ අනතුරු හැඟවීමද තරු සලකුණුවලින් පෙන්වයි. එම නිසා තරු සලකුණක් චන්ද්‍ර මණ්ඩයේ පිහිටා ඇත්නම් ඒ ගැන වඩාත් අවධානය යොමු කළ යුතුය. චන්ද්‍ර මණ්ඩලයේ මැද පිහිටි තාරකාවෙන් හට ගන්නා රේඛාව ශීර්ෂ රේඛාවෙන් අවසන් වේ නම් බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වීමට එම පුද්ගලයාට අවකාශය තිබේ. චන්ද්‍ර මණ්ඩලයේ දැල් සලකුණු සහිත නම් පැටටලි සහිත ජීවිතයට උරුමකම් කියයි. සංසුන් ගතියෙන් හා ප්‍රීතියෙන් තොර ජිවිතයකට උරුමකම් කියයි.කාන්තාවන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතියේ ආබාධ පෙන්නුම් කරයි. මී මැස්මොරය ඇති බවද පෙන්වන සලකුණකි.

දුපතද අනිත් මණ්ඩලවලට සේම චන්ද්‍ර මණ්ඩලයටත් අසුබ ලක්ෂණයක් වේ. අසුබ බව ගෙන දෙන්නේ සිතටය. ගමන් බිමන් යාමේදි ඉතාමත් පරිස්සම් විය යුතුය. දියේ ගිලීමේ අවදානමක් පෙන්වන බැවින් අවධානයෙන් කටයුතු කළ යුතුය. කතිරයක් මඟින් පහළ ඉහළ සහ මැද මණ්ඩලවල පිහිටීමෙන් පුද්ගලයාගේ සෞඛ්‍යයමය ගැටලු පෙන්නුම් කරයි. තවද චන්ද්‍ර මණ්ඩලයේ තිත් සලකුණුවලින් අපස්මාරය ස්නායු රෝග අවදානම ගැන ඉඟියක් පෙන්නුම් කරයි.

චන්ද්‍ර මණ්ඩලය ප්‍රබල පුද්ගලයන්ගේ විවාහ දිවිය එතරම් ප්‍රීතිදායක නොවේ. ඔවුන් ආදරයට සහ ගෘහ ජීවිතයට ඇලුම් කරන නමුත් ඇතැමෙකු සැමවිටම බිරිඳගේ වැරැදි සොයයි. චපල අදහස් ඇති හෙයින් සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීම දුෂ්කර කාර්යයකි.

චන්ද්‍ර මණ්ඩලය සහ සිකුරු මණ්ඩලය බලවත් වීමෙන් සිකුරුගේ කලා නිර්මාණ බොහෝදුරට යථාර්ථයෙන් ඈත් වේ. සිකුරුගේ සුන්දරත්වය විසිතුරු බව එක්වීමෙන් ඉතා උසස් ගණයේ කලාකරුවන් සංගීතඥයන් සාහිත්‍යධරයන් ද බිහි වේ.

චන්ද්‍ර මණ්ඩලයන්හි සහ බුධ මණ්ඩලයේ ගතිගුණ වෙනස්ය. එම නිසා මෙම මණ්ඩල දෙකේ සංයෝගය පුද්ගලයා තුළ මානසික ඝට්ටනය ඇතිකරයි.

චන්ද්‍ර මණ්ඩලය සහ රවි මණ්ඩලය යහපත් නම් නිර්මාණාත්මක කලා නිර්මාණයන් ඔහුන් අතින් බිහිවේ. සංචාරක ගමන් වැඩිවේ. පුහු ආටෝපයන් ඇතිවීම නිසා ජීවිතය අසාර්ථක වීමට හේතු විය හැකිය.

චන්ද්‍ර මණ්ඩලය සහ ශනි මණ්ඩලය යහපත් ව පිහිටා ඇත්නම් සාහිත්‍ය නිර්මාණයන්ට ගුප්ත ස්වභාවයක් ඇතුළත්ව නිර්මාණය වේ. මණ්ඩල දෙකම අයහපත් නම් ඉතා පහත් ගති පැවතුම් ඇතිවන අතර අපරාධකාරයෙක් බිහිවිය හැකිය.

ලබන සතියේ කුජ මණ්ඩලය ගැන කතා කරමු

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.