රවි සිව්වැන්නේ නම් තුන්කල් දැකිය හැකි ගුප්ත ඥානයක්

ජනවාරි 10, 2025

අප ජීවත්වන මේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා බව බොහෝ දෙනා දනිති. මෙකී සූර්යයා සතු චුම්බක නැතිනම් කාන්දම් ශක්තියේ බලපෑම හේතුකොටගෙන කුජ, බුධ, පෘථිවිය, සිකුරු, ගුරු, සෙනසුරු, යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයන් සූර්යයාගේ සිට යම් නිශ්චිත දුර ප්‍රමාණයක් තුළ පිහිටමින්, තමා වටා භ්‍රමණය වෙමින්, සූර්යයා වටා ගමන් කරති.

මෙලෙස අප පෘථීවිය තමා වටා කැරකෙමින් සූර්යයා වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක් තුළ ගමන් කිරීමේදී සූර්යාලෝකය පෘථිවියට වැටෙයි. මෙලෙස වැටෙන සූර්යාලෝකය හරහා සූර්යයා සතු චුම්බක ශක්තිය ද පෘථිවියට ලැබෙයි. මෙලෙස පෘථිවිය මතුපිටට වැටෙන සූර්යාලෝකය පෘථිවිය මතුපිට සිට සැතැපුම් 2000ක් පමණ වන පෘථිවි ගර්භයෙහි පිහිටි ලවා නමින් හඳුන්වනු ලබන අතිශයින්ම උණුසුම් වූ පෘෂ්ඨාර්භ ගෝලය මඟින් අවශෝෂණය කර ගනු ලබයි. එලෙස සූර්යාලෝකයෙන් අවශෝෂණය කරගනු ලබන චුම්බක ශක්තිය පෘථීවියේ සූර්යාලෝකය නොවැටෙන කොටසට එනම් රාත්‍රී උදාවී ඇති කොටසට මුදා හරිනු ලබයි. මෙලෙස රාත්‍රී උදාවූ කොටසට මුදා හරිනු ලබන චුම්බක ශක්තිය මධ්‍යම රාත්‍රියේදී සහ මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී වැඩිවෙයි.

ඒ අනුව මේ පිළිබඳව විද්‍යාඥයන් පිරිස පරීක්ෂණයක් කරන ලදී. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ ගී‍්‍රසියේ එක්තරා ගිනි කඳු බහුල ප්‍රදේශයක ජීවත්වන වන ගම්වැසියන් පිරිසකි. එවැනි ගැමියන් පිරිසක් තෝරා ගත්තේ පෘථිවියේ පිහිටි අනෙකුත් ස්ථානවලට වඩා ගිනි කඳු බහුල ප්‍රදේශවල ගිනිකඳු ඔස්සේ පෘථිවි ගර්භයේ ඇති චුම්භක ශක්තිය පෘථිවිය මතුපිටට පැමිණෙන හෙයිනි.

ඒ අනුව මෙකී පරීක්ෂණයේදී ඔවුන් එම ප්‍රදේශයේ ජීවත්වන ගැමියන්ට පේන කීමේ ශක්තිය ඇති බව සොයා ගන්නා ලදි. මෙහිදී මෙකී පේනකීමේ ශක්තිය මධ්‍යම රාත්‍රියේ ඉපදුණු පුද්ගලයන්ට වැඩි බවත් ඔවුන් විසින් සොයා ගන්නා ලදී. මෙලෙස ඔවුන්ට පෙනීමේ ශක්තිය ලැබුණේ පෘථිවි ගර්භයේ ඇති කාන්දම් ශක්තිය ඔවුන්ගේ ස්නායු පද්ධතියට බලපෑම් කිරීම නිසා යන්න ඔවුන් තවදුරටත් ඔවුන්ගේ පර්යේෂණ මඟින් තහවුුරු කර ගන්නා ලදී.

ඒ අනුව ගිනි කඳු ආශි‍්‍රත ප්‍රදේශවල පමණක් නොව අනෙක් ප්‍රදේශවල ද මධ්‍යම රාත්‍රියේදී සහ ඒ ආසන්නව උපන් බොහෝ දෙනකුට මෙකී සූර්යයා සතු චුම්භක ශක්තිය ඔවුන්ගේ ස්නායු පද්ධතියට බලපෑම් කිරීම හේතුකොටගෙන තුන් කල දැකීමේ ගුප්ත ඥාන ශක්තියක් ලැබී ඇති බව වාර්තා වී ඇත. මේ පිළිබඳව ඡ්‍යොතිෂ්‍යමය දෘෂ්ටි කෝණයකින් කරුණුූ විමසා බලන කල මධ්‍යම රාත්‍රියේ උපන් අයගේ රවි 4 වැන්නේ පිහිටා තිබීම එලෙස ඔවුන්ට ගුප්ත ඥාන ශක්තිය ලැබීමට ප්‍රධානම හේතුව බව පැහැදිලි වන මුත් එලෙස සෑම ජන්මියකුටම රවි 4 වැන්නේ පිහිටා ඇති පලියට ගුප්ත ඥාන ශක්තියක් ලැබෙන්නේ නැත.

ඒ සඳහා ලග්න කේන්දරය පහත සඳහන් ඡ්‍යොතිෂමය කරුණුවලින් පෝෂිතව තිබිය යුතුය. ඒ අනුව රවි ග්‍රහයා සිවුවැන්නේ යෙදුණු ලග්න කේන්දරය වෘෂභ, කන්‍යා, මකර යන පඨවි රැසක විය යුතුය. එසේ වූ විට සිවුවැන්න පිළිවෙළින් සිංහ, ධනු, මේෂ යන තේජෝ රාශි වීමෙන් එකී ලග්නවලින් උපන් ජන්මීන්ට තුන්කල දැකීමේ ඥානයක් පහළ වේ. එම පිහිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. එලෙස පිහිටි රවි තවදුරටත් චිත්තකාරක සඳුගේ අවබෝධ ඥානයට, කාරක බුධගේ දූරදර්ශී ඥානයට නැතිනම් ප්‍රඥාවට කාරක ගුරුගේ, අන්තර් ඥානයට කාරක කේතුගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන්, පෝෂිත විය යුතුය. එලෙස යටකී ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් රවි පෝෂිත කේන්දර හිමියාට තුන්කල් දැකීමේ ඥානයක් පහළ වන්නේය.

මෙවැනි ග්‍රහ බලයක් ඇති ජන්මීන් ගිහි හෝ පැවිදි වේවා ගුණ යහපත් වේ. තම ආගම දහමට අනුව ජීවත් වෙයි. දැඩි ලෙස ලෞකික ආශාවන් පසුපස හඹා නොයයි. මොවුන් තමාට එන හදිසි අනතුරු, විපත්, හොඳ කල දසාවන් ඇති කල දනියි. තමා හමුවට එන පුද්ගලයන් තමා ආශ්‍රය කරන පුද්ගලයන් යහපත් ද? නැද්ද? යන්න පිළිබඳව ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ සියුම් ඥාන ශක්තියක් ඇති නිසා මොවුන් අන්‍යයන්ගේ රැවටිලිවලට, උගුල්වලට හසු නොවෙති. ඒ හේතු කොටගෙන මොවුන් මෙලොව ජීවිතය මෙන්ම එලොව ජීවිතය ද සැපවත් කර ගනියි.

දැන් අපි ඉහත විග්‍රහ කළ කරුණු පිළිබඳව වඩාත් පැහැදිලිවූත්, නිරවුල්වූත් අවබෝධයක් ලබා ගැනීමට උදාහරණ කේන්දර දෙකක් අධ්‍යයනය කරමු. මා මෙහිදී පළමු උදාහරණය වශයෙන් උපයෝගී කර ගන්නේ ජේසුතුමාගේ කේන්දරයයි.

උපත ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසේදී දෙසැම්බර් මස 25 වෙනි දින රාත්‍රී10.18 ඊශ්‍රායෙල්හි යුදා බෙහෙත්ලෙහෙම් නගරයේ සෙනසුරුට හිමි උත්‍රපුටුප නැකතේ පළමුවෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් ශනි මහ දශාව ඉදිරියට වර්ෂ 14යි, මාස 0යි, දින 1ක් ශේෂව තිබුණි.

ඒ අනුව ඉහත ක්‍රිස්තු කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ රවි ග්‍රහයා සිවුවැන්නෙහි මිත්‍ර බලය ලබා අවබෝධ ඥානයට කාරක බුධ ග්‍රහයා සමඟ යෝගව සිටයි. දූරදර්ශී ඥානයට කාරක ගුරුගේ දෘෂ්ටිය ගුරු සමඟ යෝගව ගජකේශරී යෝගය උදා කළ සඳුගෙන් ලැබී ඇත.

අන්තර් ඥානයට කාරක කේතු ග්‍රහයාගේ බලපෑම රවි ග්‍රහයා කේතුගේ නැකැතක පතිතව සිටීමෙන් ලැබී ඇත. එලෙස ආත්මකාරක රවි ග්‍රහයා යටකී ග්‍රහයන්ගේ බලපෑමට ලක්වීම නිසා ජේසුස් වහන්සේට තුන්කල් දැකීමේ දිව්‍යමය ඥානයක් ලැබීමට මෙන්ම විවිධ ප්‍රාතිහාර්යයන් සිදුකිරීමට සමත් ප්‍රබල මානසික ශක්තියක් ලැබිණි. ඒ පිළිබඳව කෙටියෙන් යම් විග්‍රහයක් කළහොත් උන්වහන්සේ කුරුසයේ ඇණ ගැසීමට ප්‍රථම අන්තිම රාත්‍රි භෝජනය වැළඳීමේදී ස්වකීය ශ්‍රාවකයන්ට මෙසේ වදාළ සේක. “මම ඔබට කියමි. මා හා සමඟ වළඳන ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේය.” එසේම ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමට ප්‍රථම තමාට ඉතා හිතවත් ගෝලයා වන පේදුරුට මෙසේ කීහ. “අද මේ රාත්‍රියේදීම කුකුළා දෙවරක් හඬලන්න පෙර මා හඳුනන්නේ නැතැයි ඔබ තෙවරක් කියන්නෙහිය.” මේ අනාවැකි එලෙසම ඉටුවිය. තව ද උන්වහන්සේ අවුරුදු දහස් ගණනකින් පසුව ලෝකාවසානයෙහි සිදුවන දේ පිළිබඳව අනාවැකි කීම ද ස්වකීය චිත්ත ශක්තියෙන් යක්ෂාවේශ වුවත් ඉන් මුදා ගැනීම මළවුන් මළවුන්ගෙන් උට්ඨානය කිරීම, සුවකළ නොහැකි රෝගවලින් පීඩා වින්ද අය සුවපත් කිරීම වැනි ප්‍රාතිහාර්යන් සිදුකිරීම ලග්න කේන්දරයේ රවි සිවුවැන්නේ බලවත්ව පිහිටීම නිසා සිදුවූ බව සහතික කළ හැකි ග්‍රහ බලයක් වන්නේය.

දෙවෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන් වහන්සේටය.

උපත 1896.07.18 වෙනි මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී බළන්ගොඩදී උපත ලබා ඇත. (නාඩි වාක්‍ය අනුව නාහිමියන් වෘෂභ ලග්නයෙන් උපත ලබා ඇති බව සඳහන් කොට ඇත.)

එම කේන්දර සටහනේ අප මාතෘකාව හා සබැඳි රවි ග්‍රහයා සිවුවැන්නේ සිටින්නේ උපේන්ද්‍ර යෝගය උදා කරමිනි. එම උපේන්ද්‍ර යෝගය උදා කළ රවි තවදුරටත් අවබෝධ ඥානයට කාරක 2-5 අධිපති බුධ සහ ප්‍රඥා ඥානයට කාරක 8-11 අධිපති ගුරු සහ අන්තර් ඥානයට කාරක කේතු සමඟ යෝගව කර්මස්ථානයේ සිටින තෙවැන්නාධිපති සඳුගේ සම සප්තම දෘෂ්ටියට ලක්වීමෙන් බලපෑ ගුප්ත ඥාන ශක්තියක් උන්වහන්සේට ලැබී ඇත. මෙලෙස රවි ග්‍රහයා උන්වහන්සේට බලවත් ගුප්ත ඥාන ශක්තියක් ලබාදීම නිසා උන්වහන්සේට මෙලොව, පරලොව දැකීමට හැකියාවක් ලැබුණු අතර, එලෙස උන්වහන්සේ දුටු එලොව සහ පරලොව පිළිබඳ තොරතුරු අපට නොපෙනෙන ලෝකය නමැති කෘතිය මඟින් මෙරට වැසියන්ට හෙළිදරව් කරතිබේ. එමෙන්ම මෙකී රවි ග්‍රහයා කේන්ද්‍රකොටගෙන ලැබුණු ගුප්ත ඥාන ශක්තිය උපයෝගී කරගෙන තමා හමුවට එන පුද්ගලයන්ගේ සිතේ තිබෙන දේ පිළිබඳ පැවසීමේ පුදුමාකාර මානසික ශක්තියක් උන්වහන්සේ තුළ විය. එපමණක් නොව ඡ්‍යොතිෂය, නැකත් ශාස්ත්‍ර, සෙත්කවි, වස්කවි, සිංහල වෙදකම වැනි ගුප්ත ශෘස්ත්‍රයන් පිළිබඳ දැනීමක් ලැබීමට ද මෙකී රවි ග්‍රහයාගෙන් ලැබුණු ගුප්ත ඥාන ශක්තිය හේතු වී ඇත.

මෙසේ රවි සිවුවැන්නේ පතිත වීමෙන් ලැබෙන ගුප්ත ඥාන ශක්තිය ගැන කරුණු පරික්ෂා කර බැලීමේදී රවි ලග්න කේන්දරයේ දෘශ්‍ය අර්ධයේ එනම් රවි ග්‍රහයා දිවාකාලයේ 9,10,11 යන භාවවල පිහිටි ජන්මීන්ගේ ගුප්ත ඥානශක්තිය කෙබඳු ද යන්න පිළිබඳව කරුණු පරික්ෂා කර බැලිය යුතුව ඇත. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට සූර්යයා සතු චුම්බක ශක්තිය ලැබෙන්නේ කිලෝමීටර මිලියන 147.11 සිට වැටෙන සූර්යා අවලෝකය හරහාය. එහිදී ඔවුන්ට සූර්යයාගේ චුම්බක ශක්තිය ලැබෙන්නේ මඳ වශයෙනි. ඒ අනුව එතැනදී දිවා කාලයේදී නමුත් ලෞකික ග්‍රහයකු වන සඳු ග්‍රහයාගේ බලපෑම් වැඩියෙන් ලැබෙන්නේය. ඒ හේතුකොට මොවුන් ලෞකික ජීවිතයට මහත් ආශාවක් දක්වන සමාජශීලී, එමෙන්ම භෞතික විෂයයන් හැදෑරීමට දක්ෂතාවක් ඇති පිරිසකට සමූහයකට පළාතකට, ගමකට, නගරයකට, රටකට නායකත්වයක් දෙන භෞතිකවාදී ආගම දහම, ගුප්ත ශාස්ත්‍රයක් කෙරෙහි එතරම් ළැදියාවෙන් විශ්වාසයක් නැති අයවලුන් වෙති.

එසේ නම් රවි සිවුවැන්නේ සිටින අයට, රවි යටකී භාවවල සිටින අයට වඩා ලෝකෝත්තර විෂයයන් වන ආගම දහම, ගුප්ත ශාස්ත්‍රය වැනි විෂයයන් හැදෑරීමට, අවබෝධ කර ගැනීමට සමත් ගුප්ත ඥාණ ශක්තියක් ලැබුණේ කෙසේද? ඒ පෙර කී පරිදි සූර්යයා සතු චුම්භක ශක්තිය ලැබෙන්නේ සැතපුම් 2000ක් පමණ වන පෘථිවි ගර්භයෙහි පිහිටා ඇති සූර්යයාට අයත් ලවා නමින් හඳුන්වනු ලබන අතිශයින්ම උණුසුම්වූ පාෂාණ ගෝලය මගින් දිවා කාලයේදී අවශෝෂණය කර ගනු ලබන චුම්බක ශක්තිය මධ්‍යම රාත්‍රියේදී පිට කිරීමෙනි. එහෙයින් ඔවුන්ගේ ගුප්ත ඥාන ශක්තිය දිවා කාලයේදී උපත ලබන අයගේ ගුප්ත ඥාන ශක්තියට වඩා ඉතා ඉහළය. තවද මෙහිදී ලෞකික ජීවිතය සුඛිත මුදිත කරන සඳු ග්‍රහයාගේ දිග්බල රාශියෙකි. ලෝකෝත්තර දැනුමක් ලබා දෙන ආත්මකාරක රවි ග්‍රහයා බලවත්වීමෙන් ජන්මියාට ආගම ධර්මය, ගුප්ත විද්‍යාවන් හැදෑරීමේ සහ අවබෝධ කර ගැනීමේ ගුප්ත ඥාණ ශක්තිය ලැබීම හේතුකොටගෙන ඔහු හෝ ඇයගේ මනස නිරායාසයෙන්ම වාගේ එකී විෂයයන් ප්‍රගුණ කිරීම කෙරෙහි යොමු වන්නේය. මෙලෙස සිවුවැන්නේ පිහිටි ජන්මීන් පැවිදි වේවා, ගිිහි වේවා ඔවුන් මනුෂ්‍යයන්ට වඩා දෙවි දේවතාවන් සමඟ අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන අයවලුන් නිසා ඔවුන් ලෞකික දෑ සඳහා තිබෙන ඇල්ම, මනුෂ්‍යයන් සමඟ තිබෙන සම්බන්ධතාව අඩු, බොහෝදුරට හුදෙකලා නිසංසල පරිසරයක ජීවත්වීමට කැමති අයවලුන් බව මහිදී අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.