වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
අධිරාජයන් බිහිකරන යෝග
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/6_61.jpg?itok=Mw2SAott)
ඕනෑම කේන්දරයකට සුබ අසුබ පල ගෙන දෙන්නට කේන්දරයේ යෙදී ඇති යෝගවල සුබ අසුබ බලපානු ලබයි. විශේෂයෙන්ම සුබ පල ගෙන දෙන යෝග ජන්මීන්ට නිරන්තරයෙන්ම යසස ගෙන දෙන්නේය. එලෙස ඉතා සුබපල ජන්මීන්ට ගෙන එන යෝගයක් ලෙස අර්ධ චන්ද්‍ර යෝගය හැඳින්විය හැකිය.
අර්ධ චන්ද්‍ර යෝගය යනු කුමක්ද?
සියලුම ග්‍රහයෝ පණපර භාවය හෝ අපෝකලිම භාවයේ සිට යෙදී ඇත්නම් මේ අර්ධචන්ද්‍ර යෝගය යෙදී ඇත. පණපර යනු කේන්දරස්ථානවලින් දෙවැනි භාවයන් වේ. ආපෝකලිම යනු කේන්ද්‍රස්ථානවලින් තුන්වැනි භාවයයි. මෙකී භාවයන් මුල් කරගෙන අදාළ ග්‍රහයන් 7 දෙනා එකපෙළට යෙදී ඇත්නම් ( රාහු කේතු හැර) මෙය අර්ධ චන්ද්‍ර යෝගය වේ.
මේ යෝගය යෙදුණු තැනැත්තා ආරක්ෂක අංශවල හෝ හමුදා ප්‍රධානියෙක් වේ. ඉතා හොඳ කාය ශක්තියෙන් හා මනා පෙනුමෙන් යුක්තය. රජවරු පාලකයෝ මොවුනට හිතවත්කම් අනුග්‍රහය දක්වයි. ඔහු ඉතා ශක්තිමත්ය. කාර්යශූරය. තැනට සුදුසු නුවණ ඇත.
මැණික්, රත්‍රං ආදිය මෙන්ම නොයෙකුත් ආභරණ පැලඳීමට මොවුන්ට පින ඇත. අර්ධ චන්ද්‍ර යනු චන්ද්‍රයාගේ අර්ධයක් යන අර්ථයයි. දෙකේ සිට පිළිවෙළින් ඇති භාවවල නැතහොත් තුනේ සිට පිළිවෙළින් ඇති භාවවල ආදි වශයෙන් රවි සඳු ආදි ග්‍රහයන් 7 දෙනා සිටින කල මේ යෝගය ඇතැයි පිළිගැනේ. තවදුරටත් විස්තර කරන කල පණපර භාව නම් 2,5,8,11 වේ. ආපෝක්ලීම නම් 3,6,9, 12 වේ.
මේ යෝගය යෙදුණු ජන්මීන් විෂ්ණු, ලක්ෂ්මී දෙවිවරුන්ගෙන් පිහිට පැතීම යෝග්‍යයි. කතරගම දෙවියන්ගේද පිහිට ආරක්ෂාව මොවුනට හිමිය.
චක්‍ර යෝගය
සියලුම ග්‍රහයෝ 1, 3, 5,7, 9 , 11 ආදී ස්ථානවල සිටින්නේ නම් චක්‍ර නැමැති යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් තැනැත්තා ඉහළ මට්ටමේ අධිරාජයකු වීමට අවකාශ ඇත. මේ යෝගය යෙදුණෝ දියමන්ති එබ්බවූ ඔටුන්නක් පලඳා සිටින්නේ යැයි සඳහන් වේ. එලෙස සැප විදීමට යෝග්‍ය වාසනාවක් මොවුනට හිමිය. බොහෝ රජවරු ඔහුට නමස්කාර කරන්නේ යැයි සඳහන් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ ගෞරවයට ද පාත්‍ර වේ. චක්‍ර යනු වළල්ලයි. චක්‍රවර්තී යනු අධිරාජයා යන්නයි. එනිසා සුවිශේෂී බලයක් වාසනාවක් චක්‍ර යෝගය යෙදුණු ජන්මීන්ට පිහිටනවා ඇත. කතරගම දෙවියන්ගේ, ඊශ්වර දෙවියන්ගේ පිහිට පැතීම මේ යෝගය යෙදුණූු ජන්මීන්ට සුදුසු වේ.
සමුද්‍ර යෝගය
සියලුම ග්‍රහයෝ 2,4, 6, 8, 10, 12 ආදි ස්ථානවල යෙදී ඇත්නම් මේ යෝගය යෙදේ. මෙවැන්නෝ බොහෝ ධනය ලබයි. මාණික්‍යයන් හිමි වන්නේය. ඔහු සම්පත්වලින් ආඪ්‍යමත් වේ.
ඔහු ජනතාවට පි‍්‍රය වේ. ඔහුගේ වාසනාව සහ උදාරත්වය ස්ථාපිතය. නොවෙනස්වන සුලුය. ඔවුහු මෘදු බවින් යුක්තය. සමුද්‍ර යනු මුහුද , සාගරය ආදී අර්ථයෙන් යුක්ත වේ. සාගරයට අයිති දේවතාවාද සමුද්‍ර ලෙස හඳුන්වයි. ධන සම්පත් මාණික්‍ය සම්පත් හිිමි අයකු බව අවධාරණය කරයි.
සංඛ්‍යා යෝගය
මේ යෝගය තවත් ප්‍රබල යෝගයකි. ග්‍රහයෝ උසස් ආකාරයේ බලයෙන් යුක්තව තැන්පත්ව සිටීම මත මේ යෝගය යෙදේ. උච්ච ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ ආදි රාශිවල ග්‍රහයන් තැන්පත් වීමෙන් මේ යෝගය යෙදෙනු ඇත. රාහු කේතු මීට අදාළ නැත. උදාහරණයක් වශයෙන් ශ්‍රී රාමාගේ කේන්දරය දැක්විය හැකිය. මෙහි මේෂ, වෘෂභ, කටක, තුලා, මකර, මීන ආදි රාශිවල රවි, සඳු, ගුරු, සෙනසුරු, කුජ, සිකුරු ආදී ග්‍රහයන් බලවත්ව ඇත. මේ යෝගය ඉතාමත් අග්‍ර ගණයේ යෝගයකි.
වීණා යෝගය
සප්ත ග්‍රහයෝ ඔවුන්ගේ ඉහළම බලයෙන් යුක්ත රාශිවල සිටින්නේ නම් වීණා යෝගය යෙදේ. උච්ච රාශියැයි සඳහන් කළාට කම් නැත. සාහිත්‍ය, නර්තනය, ගායනය ආදියට මේ යෝගයෙන් උපන්නා දක්ෂය. ඔහුට බොහෝ මෙහෙකරුවන් සිටියි. ඔහු ධනවත්ය. එමෙන්ම දක්ෂය, ප්‍රතිභා සම්පන්නය. මිනිසුන් අතර නායකයෙකි. වීණා යනු ඉහළ මට්ටමේ සංගීත උපකරණයකි. මේ යෝගය වාලකී යෝගය ලෙසද විටෙක හඳුන්වයි.
දාම යෝගය
ග්‍රහයන් 7 දෙනා නියත වශයෙන්ම ඉහළම මට්ටමේ උච්ච, මූල ත්‍රිකෝණ ආදී රාශිවල සිටින්නේ නම් මේ යෝගය යෙදේ. එම ග්‍රහයන් 6 දෙනකු එසේ සිටියත් ප්‍රමාණවත්ය.
මේ යෝගයෙන් උපන් තැනැත්තා ධනවත්ය. ප්‍රසිද්ධය. ඔහුට බොහෝ දරුවන් සිටියි. ඔහු වටිනා මාණික්‍ය ආදියෙන් යුක්ත අයත් වේ. ඔහු අන්‍යයන්ට උදව් කරයි. දාම යනු යම් යම් ආකාරයෙන් ඇදුම් පැලඳුම්වලින් ඉහළ මට්ටමකින් යුක්ත යන අර්ථයයි. මෙය දාමිණී යෝගය වශයෙන්ද සමහරු හඳුන්වයි.
ආචාර්ය ජී. ඇම්. ගුණපාල