වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
යෝග පොකුරක් සමඟ සිකුරු මීනයට ලග්න සියල්ලට ධන වාසනා පෑදේ
ලග්න දොළහටම ශුභ ඵල ලබා දෙන ධන යෝග, මාලවී යෝග, ධර්ම කර්මාධිපති රාජයෝග, නීච භංග රාජ යෝග උදා කරමින් සිකුරු ග්‍රහයා සිය උච්ච භාවනය වන මීන රැසට ජනවාරි මස 28 වැනි අඟහරුවාදා උදේ 07.02ට සැපත් වේ.
ඒ අනුව සිකුරු ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන, ලග්නවලට මාලවී නම් පංච මහා පුරුෂ යෝග උදා කරයි. මේ යෝගය මැයි 31 වැනි සෙනසුරාදා උදේ 11.34ට සිකුරු ග්‍රහයා මේෂ රාශි ගත වන තෙක් පවතියි.
එමෙන්ම බුධ ග්‍රහයා පෙබරවාරි මස 27 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.42ට ස්වකීය නීච රැස වන මීන රැසට පැමිණ උච්ච සිකුරු සමඟ යෝග වීමෙන් කන්‍යා, මකර යන ලග්නවලට ධර්ම කර්මාධිපති රාජයෝගයත්, සියලුම ලග්නවලට නීච භංග රාජ යෝගයත් උදා කරයි. මෙකී යෝග ද්විත්වය මැයි මස 7 වැනි බදාදා පාන්දර 04.07ට බුධ ග්‍රහයා මේෂ රාශිගත වනතෙක් පවතියි.
ඒ අනුව උපතේදී ඉහත ග්‍රහ යෝග යෙදී තිබූ ජන්මීන්ට දැනට බුධ, සිකුරු යන ග්‍රහයන්ට අයත් මහ දශා, අන්තර් දශා ඇත්නම් එම ග්‍රහයෝග ගෝචරයෙන් සක්‍රීය වීමෙන්, ධන ලාභ, රැකියා ලාභ, නිවාස ලාභ, වාහන ලාභ, දරු ලාභ, විවාහ ලාභ යනාදී සෑම අංශයකින්ම දියුණුවක් ඇති වන්නේ ය.
ඉහත යෝගවලින් උපත ලබා ඇති ජන්මීන්ට දැනට සිකුරු ග්‍රහයා අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇත්නම් සිකුරාදා දින සිකුරුගේ කාල හෝරාව තුළ පවතින සිකුරුගේ පංචම කාල හෝරාවේ මුල් මිනිත්තු 4 තුළ පවතින සිකුරුගේ සූක්ෂම කාල හෝරාවෙන් තනි සුදු වස්ත්‍රයකින් හෝ විචිත්‍ර වස්ත්‍රයකින් සැරසී, පත්තිනි, ලක්ෂ්මී, ඉන්ද්‍රාණී දේව මැණියන් වැනි දේව මාතාවකට පහනක් දල්වා උතුර බලා ශුභ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේ ය.
දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා ඇත්නම් බදාදා දින බුධ හෝරාව තුළ පවතින බුධගේ පංචම කාල හෝරාවෙහි ඇති මිනිත්තු 4ක් පමණ වූ බුධගේ සූක්ෂම කාල හෝරාවෙන් ළා කොළ පැහැති වස්ත්‍රයකින් සැරසී ගණ දෙවි, සරස්වතී යන දෙවි දේවතාවන්ට පහනක් දල්වා නැඟෙනහිර බලා ශුභ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේ ය.
රටක් වශයෙන් ගත් කල මෙකී කාල සීමාව තුළ රෙදි පිළි, සුවඳ විලවුන්, රූප ලාවණ්‍ය නිෂ්පාදන , මෝටර් රථ වැනි භාණ්ඩ මිල දී ගැනීමට පහසු තත්ත්වයක් උදාවනු පෙන්නුම් කරන හෙයින් සිංහල අලුත් අවුරුදු සමය පී‍්‍රතිමත්ව සැමරිය හැකි බවක් පෙන්නුම් කරයි.
පාරිසරික වශයෙන් ගත් කල මෙකී කාලසීමාව තුළ ලංකාවේ බොහෝ පළාත්වලට අධික වැසි ඇතිවීමක් පෙන්නුම් කරන අතර, ගංගා පිටාර ගැලීමක්, ඇළ වේලි වැව් අමුණු කැඩී බිඳී යෑමක් පෙන්නුම් කරන්නේ ය.