කේන්දර නැති සහකාරිය නාරිදේහ ලක්ෂණවලින් තෝරා ගන්න

පෙබරවාරි 7, 2025

සහකාරියක තෝරා ගැනීමේදී පොරොන්දම් පරීක්ෂාව ඉපැරැණි ඡ්‍යොතිෂමය ක්‍රියාදාමයකි. පොරොන්දම් පරීක්ෂාවේදී නිවැරැදි වේලාව අනුව සකස්වී ඇති කේන්ද්‍ර පිටපතක් නම් යුග ජීවිතය සාර්ථකව ගෙන යාමට හැකියාව ඇත.

එහෙත් වර්තමානයේ නිවැරැදිව සකස්වූ කේන්දර පිටපත් දුර්ලභය. එබඳු අවස්ථාවලදී පොරොන්දම් පරීක්ෂාව පමණක් බැලීම ප්‍රමාණවත් නොවේ. නාරි දේහ ලක්ෂණ බැලිය යුත්තේ ඒ නිසාය. නාරිදේහ ලක්ෂණ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කර ඇත්තේ වෙදව්‍යාස නම් ඍෂිවරයාය. ඍෂි නුවණින් බලා සමාජයේ යහපත සඳහා මේ ඍෂිවරයා ප්‍රකාශකර ඇත්තේ දෙනෙතට පි‍්‍රයමනාප වූ කාමයෙන් අන්ධ නොවී දේහ ලක්ෂණ බලා යුග ජීවිතයකට ඇතුලත්වීමෙන් ජීවිතය වාසනාවන්ත වන බවයි.

යටි පතුල මොලොක්වීම බදු වදමලක පැහැය ගත්, සමවූ මසින් යුක්තවූ, උණුසුම් ගතියෙන් යුක්තවූ, පියුම්, හක්ගෙඩි, රථ ධවජ, චක්‍ර, මස්‍ය, යහන් වියන් ආදී ලකුණක රේඛාවක් පිහිටා ඇත්තේනම් ඕතොමෝ ඉසුරුමත්ය. කුල්ලක ආකාරයෙන් අගින් පළල් වූ දුර්වර්ණයෙන් යුක්තවූ - රළුවූ වියලුනාවූ, අක්‍රමවත් වූ පාද, තල යම් ස්ත්‍රියකට පිහිටියොත් නම් ඇය අයහපත් දුෂ්ට ස්ත්‍රියක් වන බවයි.

ස්ත්‍රියකගේ පයේ මාපටඇඟිල්ල උස්ව වටව තිබේනම් ඕතොමෝ සැප ඇත්තියක් වේ. නියපොතු කුල්ලක ආකාරයේ අග පළල්ව පිහිටියොත් ඕ තොමෝ අපමණ දුක්විඳින කාන්තාවක් වේ. යම් ස්ත්‍රියක් ගමන් කරන විට පොළොවෙන් දූලි නැඟේනම් ඕතොමෝ අවකල් ක්‍රියාවෙන් යුත් ස්ත්‍රියක් වේ. යම් ස්ත්‍රියකගේ පයේ ඇඟිලි එකිනෙක නැඟී සිටියහොත් (ඇඟිලි උඩ ඇඟිලි සිටියොත්) පර පුරුෂයන් කැමති ස්ත්‍රියක් වේ. යම් ස්ත්‍රියකගේ පයේ සුළඟිල්ල බිම නොවදීනම් ඕ තොමෝ සිය සැමියා නසා සොර සැමියන් ඇසුරට පත්වේ. මැදඟිල්ලටත්, සුළඟිල්ලටත් අතර ඇඟිල්ල බිම නොවදීනම් ඕ හිමියන් දෙදෙනෙකු ගන්නා ස්ත්‍රියක් වේ. මැදඟිල්ල බිම නොවදිතොත් පුරුෂයන් තිදෙනෙකුට භාර්යාව වේ. මැදඟිල්ල, සුළඟිල්ල පැත්තේ අනිත් ඇඟිල්ල බිම නොවදීනම් ස්වභාව ගතියට වඩා කොටවුවොත් ස්වාමි සැප නැත්තියක් වන්නීය. පයේ නියපොතු සිනිඳුව අඟින් උස්ව තඹ වන්ව වටව තිබුණොත් ඕ තොමෝ මහත් සෙනෙහෙ ඇති පින්වත් ස්ත්‍රියක් වේ. පිටි පතුල අරුණාවර්ණව නෙළුම් පෙත්තක පිටමෙන් මොලොක්ව ඇතොත් ඕ පිනැති වේ.

පය මැද ඇඟිලිවලටත් බොලටත් අතර පාද තලය නැමුනොත් ඇය දිළිඳු ස්ත්‍රියක් වේ. අධික නහර පිහිටියොත් නිතර ඇවිදින්නියක් වේ.

අධික ලෙස ලෝම ඇතොත් ඇය දාසියක් වේ. පය මැද මස් අඩු වුවහොත් පින්මඳ දුක්විඳින තැනැත්තියක් වේ. බොලට හෙවත් විළුඹ මසින් වැසී නහර නොපෙනී වටවුවහොත් පිනැත්තියක වේ. විළුඹ අධික ලෙස උස් වුවහොත් වෛශ්‍යාවක් වේ. කෙණ්ඩා අවට මස් අධිකව රෝම රහිතව කෙසෙල් පැලයක මෙන් සිනිදුව පිහිටියොත් ඉතාම පින්වත් ස්ත්‍රියක් වේ. එක සිදුරක එක බැගින් ලෝම ඇතොත් උත්තමාවියකි. දෙක නම් සැප විඳියි. ඊට වැඩි වුවහොත් වැන්දඹුවක් වේ.

වට ව මසින් පිරුණ දණ ඇත්තී පින්වන්තියකි. එසේ නොව පින් නැතියෙකි. උකුළ අඟල් 18ක් පමණ පුළුල්නම් පිනැති වේ. උකුළ වැහැරී හෝ නැමී දික්ව හෝ ඉතාම විශාලව ඉතාම කුඩාව හෝ ලෝමවලින් ගැවසියේද, ඒ තැනැත්තී වැන්දඹුවක් වේ. නිතඹය මනහර මණ්ඩලාකාර වේද පිනැති වේ. උස්වූ මසින් පිරුණු පුළුල් වූ නිතඹ ඇත්තී කම් සැප ලබන්නියක් වේ. නාභිය දකුණට කැරකී ගැඹුරුව පිහිටියේ නම් පිනැති වේ. උස්ව වමට කැරකීනම් පිනැති නොවේ. උදරය පුළුල්ව නම් බොහෝ දරු සම්පත් ලබන්නීය. මැඬියකු වැනි උදරය ඇත්තී උත්තමයකු බිහිකරයි. දික්වූ උදරය ඇත්තී බලවත් පුත්‍රයකු බිහිකරයි. දැඩිවූ උදරය ඇත්තී ගැබ හෙළයි. උස්වූ වඳ වේ. ඉතා නොවැහැරුන උදර ඇත්තී බොහෝ සැප ලබයි. නිතර සතුටින් සිටියි. රැලි කැඩී ඇදට පිහිටියොත් දුක්ඛිත වේ. බඩේ ඇද නැතුව රැලි දෙකක් හෝ තුනක් ඇතොත් නිතර සතුටු වේ. ළය ලෝම නැතිව සමව දික්ව පිහිටියොත් සියලු සැප විඳ දෙවනුව වියෝගයට පැමිණෙයි. උඩට නැගුණු රෝම කූප ඇතිව ඉතා පුළුල් වේද? පිනැතිවේ. උඩට පිරුණ ලය ඇත්තී පිනැතිය. නොපිරුණූු අතිශයින් පුළුල් ළය ඇත්තී පවට බරවේ. උරහිස නැවුණහොත් දරුපල ශුභ වේ. නැතොත් සැප ඇත්තියක් වේ. මස් අධික වුවහොත් කාමාධික වේ. උරහිස අතිශයින් මහත්ව වකුටු වුවහොත් රෝම කූප අධික වුවහොත් වාසනාව නොලැබේ.

අතේ මාපටඇඟිල්ල පියුම් කැකුළු වැනි වුවහොත් බොහෝ සැප ඇතිවේ. මොලොක්ව උස්ව පිහිටියොත් පිනැති වේ. පිරිසුදු පැහැදිලි රේඛා ඇත්තී පිනැති වේ. මඳ රේඛා ඇත්තී පවට බරවේ. ව්‍යාකූල බොහෝ රේඛා ඇත්තී වැන්දඹුවක් වේ. පිටි අල්ල නහර මතුවී නම් ව්‍යාකූල නම් දිලිඳු වේ. උස්ව පිපුණාක් මෙන් ඇතොත් පිනැති වේ. ස්ත්‍රියකගේ වම් අත ගැඹුරු මොලොක් රතුපැහැ පැහැදිලි රේඛා තිබීම පිනැති වේ. වටවූ වක්‍රාකාර රේඛා පිහිටා ඇත්නම් පින්වත් ස්වාමිපුරුෂයකු ලැබේ. සවස්ථිකාකාර රේඛාවක් ඇතොත් කීර්තිමත් උතුම් පුත්‍රයකු ලැබේ. මන්ඝාකාර රේඛාවක් පිහිටීම ඉතා පින්වන්තියක් වේ . මොලොක් ඇද නැති මාපටඇඟිලි අග දක්වා සිහින් වටවූ දික්වූඇඟිලි ඇත්තී පිනැතියකි. පැතැලි වැහැරුණු කෙටි හැකිළුණු පුරුක් ඇති ඇඟිලි ඇත්තී රෝග බිය ඇති තැනැත්තියකි. පුරුක් උස්වීමද අවසනාවන්තය. නිය හක් කැබලි මෙන් වලවැදී විවරව, පිහිටීමද, අශුභය. රළු නිය ඇත්තී සැප නැත්තියකි. පිට මසින් වැසී තිබීම ස්වාමියාගේ ආදරයට භාජනය වන්නී. අධික ලෝම පිහිටීම වැන්දඹු වේ. නහර මතුවී බැඳුණ පිට ඇත්තී දුක්විඳී. ඇද නැති මසින් වැසී උස්වූ පිට ඇත්තී පින්වත් ගුණසම්පන්න අනුභද්‍රා නම් උතුම් නාමයට සුදුසු වේ.

බෙල්ල පිරී වටව සතර ගුල් පමණ දික්ව පිහිටියොත් පිනැති වේ. මස් වැඩියෙන් සැගවුණ ගී‍්‍රවා ඇති රේඛා තුනකින් යුත් බොටුව ඇත්තී පිනැති වේ. අතිමහත් බොටුව ඇත්තී හිමියා විසින් පහකරනු ලබයි. රතු බොටුව ඇත්තී දාසියක්ද, පළල් බොටුව ඇත්තී නියම හිමියෙක් නැත්තියක්ද, ඉතා සිහින් බොටුව ඇත්තී වස්තු නැත්තියක් වේ.

හනු (කම්මුල්) හිනාව මොලොක්ව රෝම නැතිව පිහිටියොත් පිනැති වේ. වකුටු වැහැරුණු හනු ඇත්තී යහපත් නොවේ. මසින් වැඩි වට මොලොක් හනු ඇත්තී පින්වන්තියකි. රෝම අධිකව රළුව මස් රහිතව ඇත්තී අයහපත් වේ. යටිතොල වටවූ සිනිදුව රේඛාවලින් යුක්තව බදු වදමල් මෙන්, රක්තවර්ණ නම් උතුම්, කුලංගනාවක් වේ. රළුව එල්ලෙන්නාක් මෙන් මස් රහිත වුවහොත් පින් නැත්තියක් වේ. යටි තොල කළු පැහැය නම් වැන්දඹු වේ. උඩු යටි ඇඳි දෙකේ දත් දෙතිසක්ම එක සමාන නම් කිරිමෙන් සුදු පාටනම් සමව කුඩාව පිහිටියේ නම් පිනැති වේ. දත් කසාවන්ව කළුව මහත්ව සක් කැබලි මෙන් තුනීව පිහිටියොත් පින් මඳ ස්ත්‍රියක් වේ. යට ඇන්දේ දත් වැඩීනම් මවගෙන් වෙන්ව දුක් විඳී. බොල්ලෑ විකෘති ආකාර දත් ඇත්ති වැන්දඹුවක් වේ. තුනීයට දත් පිහිටා ඇත්නම් හිතුවක්කාරියකි. දිව මොලොක්ව රතට සුදුව ඇද නැති වුවහොත් පිනැති වේ. අගින් ගන වූ මැදින් පුළුල් වූ විකෘති දිව ඇත්තී සැප නසන්නියකි. දිව මඳක් නිල් පැහැය නම් කලහකාරියකි. ඉතා මහත් නම් දිලිඳු වේ. එල්ලෙනසුලු වූවොත් කෑදර වේ.

තල්ල රත්පියුමක් වැනි මොලොක් වුවොත් යහපත්ය. කසාවන් වුවහොත් ගිහිගෙය අපි‍්‍රය කරයි. කළු වුවහොත් වැන්දඹුවක් වේ. මඳ නිල්වන් තල්ල ඇත්තී වඳ වේ. රළු තල්ල ඇත්තී දුක්විඳී. වකුඩු තල්ල ඇත්තී කලහකාරියකි. විශාල තල්ල ඇත්තී පව්කාරියකි. නොහැකිළෙන ලද, ඇස් ඇති මඳක් පිපුන කපෝල ඇති සම්පූර්ණයෙන් වැසුණ දත් ඇති සිනා මුහුණින් යුත් ස්ත්‍රිය පින්වන්තියකි. නාසයේ සිදුරු කුඩාව සමින් වට වූ නාසාපුට ඇති වුවහොත් පින් ඇත්තියකි. අගින් මහත්ව මැද නැමුණු නාසය ඇත්තී පිනැති වේ. අග රතුව වක්වූ නාසය ඇත්තී වැන්දඹු සේ පැතැලි නාසය ඇත්තී දාසියකි. එල්බෙන නාසය ඇත්තී කලහකාරියකි. ඇසිපිය මොලොක්ව කළුවන්ව අග කොටස් රක්ත වර්ණයෙන් යුතු තැනැත්තිය යහපත් ස්ත්‍රියක් වේ. ඇස් උස් නම් ආයු හීන දුරාචාරයට කැමති කෙනෙකි. එළදෙනකගේ හෝ මී දෙනගේ මෙන් ඇස් ඇත්තී පින්වත් තැනැත්තියකි. මීයන්ගේ කොබෙයියන්ගේ වැනි ඇස් ඇත්තී නපුරු කාමාශා අඩු තැනැත්තියක් වේ. රතු ඇස් ඇත්තී වැන්දඹුවකි. බලල් ඇස් ඇත්තී අධික කාමාශා ඇත්තියකි. දකුණු ඇස වපර වී නම් වද වේ. වම් ඇස වපර වී නම් අධික කාමාශාවේ. මීවන් වූ පිඟුවන් ඇස් ඇත්තී ධනවත් මුණුපුරු පරම්පරාවක් ඇති කරයි. ඇස් බැම වට මොලොක්ව මඳ නිල්පැහැ ඇත්තී දුටුවන් පොලඹවන්නියක් වේ. පිඟුවන් සේ තුනීවූද මහත්වූද ඇද නැත්තාවූද දික් ලොම් ඇත්තාවූද ලෝම නැත්තාවූද, බැම ඇත්ති අයහපත් වේ.

එල්බෙන්නා වූ වටවූ කන් ඇත්තී යහපත්ය. නහර මතුවූ කන් සිදුරු ගැඹුරුව නැත්තාවූ කන් ඇත්ති යහපත් නොවේ. නළල් තලය උස්ව තුනඟුල් පමණව මොලොක්ව අඩසඳ වැනි වුවොත් යහපති. පිනැති වේ. ස්වස්ථික රේඛාවක් ඇතොත් පින්වත් ධනවත් වේ. නළල දික් වූයේද හිමියාගේ සහෝදරයකු නැසෙන්නේය. ලොම් ඇත්තී නිතර රෝගී වේ. ත්‍රිශූලයක් නළල් තලයේ පිහිටියොත් සේනාධිපතිනියක් වේ. කේශ කලාපය ඇතෙකුගේ කුම්භස්තලය මෙන් මනාව උස්වී නම් ධනවත් වේ. අධිකව පිරුණු කෙස් වැටි ඇත්තී මාන්නය පහ කර ගන්නා කාමුක ස්ත්‍රියක් වේ. එල්ලෙන කෙස් වැටි ඇත්තී කුලය දූෂ්‍ය කරයි. මී මැසිමෙන් පැහැතිව වකුටුව මඳක් නැමුණු අග් ඇති ඇය පිනැති වේ. තුනීවූ මහත්වූ ඉතා සැහැල්ලු වූ රළුවූ ඇත්තී මඳ හෝ වැන්දඹු වේ.

දත් කන ගොරවන ස්ත්‍රිය පවිටු තැනැත්තියකි. බෙල්ලෙහි ලෝම සුළි ඇත්තී පරපුරුෂයන් සොයා යයි. පිටෙහි බඩෙහි ලොම් සුළි ඇත්තී ඉතා දරුණු ස්ත්‍රියකි. නළල - බොටුව ලොම් සුළි ඇත්ති අයහපත් වේ.

තල කැලල්, උපන්ලප පවතින ස්ථාන අනුවද ස්ත්‍රියකගේ ගතිගුණ විවිධාකාරය. නළලේ බැමි දෙක මැද උපන් ලපයක් පිහිටීම දරුසම්පත් ඇති කරන පින්වත් උත්තමාවියකි. කම්මුලේ රතුපාට ලපයක් ඇත්තී උත්තමාවියකි. පින්වන්තියකි. ළය මැද කැලලක් හෝ ලූනු බිකක් වැනි ලකුණක් ඇත්තී ස්වවංශයට ශ්‍රේෂ්ඨය. පයෝදරයෙහි ලේපාට තල කැලලක් ඇත්තී දරු සම්පත් හතක් බිහිකරයි. වම් පයෝදරයෙහි රතු ලපයක් ඇත්තී උසස් පුත්‍රයකු ලබයි. ගුදය දකුණු පස මී මැස්සකුගේ භාවය ඇති තල කැලලක් පිහිටියොත් රජෙකුට සමාන උසස් පුත්‍රයකු ලබයි. නාසයේ අග කෙම් පලයක් මෙන් තල කැලලක් ඇත්තී වස්තු ඇත්තියක් වේ. නාසයේ හෝ ඉන් පහත තල කැලලක් ඇත්තී මහත් පින්වන්තියකි. අතේ කොපුල් තලයේ බෙල්ලේ, කනේ තල කැලලක් ඇත්ති ස්වාමියාට පි‍්‍රය කුලය බබළවන පින්වත් තැනැත්තියක් වේ.

ධ්‍යානවලට සමවැදී මිනිසාගේ යහපත සඳහා ඍෂි නුවණින් අවබෝධකර ඉදිරිපත් කර ඇති ස්ත්‍රී දේහ ලක්ෂණ සුපරීක්ෂාකාරිව සොයා බලා ඒ අනුව සහකාරියක තෝරා ගැනීමෙන් යුග ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන් බව පැවසිය හැකිය.

(ඉපැරැණි පොතපත ඇසුරෙනි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.