තරුණියන් රූමත් කරවන සිරියා ශ්‍රී දේවිය

ජනවාරි 24, 2025

හියුනෙවිල් ශූරීන්ගේ කාව්‍ය සමුච්චය අනුව සිරියා ශ්‍රී දේවී දෙවඟන ගැන කවි පද්‍ය එකතුවකි. සෙත් ශාන්තියක් සලසන මහා බලගතු දෙවඟනකි. සිරියා දෙවඟන වරලස පීරා අලංකාර ආභරණවලින් සැරසී දුටුවන් මනමත් කරවන දැකුම්කළු මහා පින් ඇති දෙවඟනකි මැය. මල්මාලා චාමර සහිතව මල් සැරසූ දොරටුවකින් ඇතුළු වී ඈ වඩින බව පැවසේ.

ලක්ෂ්මී, ගණ දෙවිවරුන්ගෙන් වරම් ලද මේ දෙවඟන ඉතාම බලවත්ය. දැකුම්කළුය. ගංගාවේ පැති දෙකඩ කර සුදු වැලිතලාවෙන් එගොඩ මෙගොඩ වඩින්නීය. සියලු දෝෂ දුරු කරන්නීය. පත්තිනිය පඬිපුර ගිනිලූ අවස්ථාවේදී එම පන්දම අවුළුවන ලදී.

සොලවා පියයුරු දෑලේ දෙකනත් ඔමරී
ගාලා චන්දන පිනිදිය රතු රන් මිහිරී
අල්ලා සුදු රන් සළු දෙක ඇඳගෙන ඔමරී
සොල්ලා දෙපයේ ගිගිරිත් එනකල ඔමරී

බඳේ ඉසුන පෙතිගෝමර දෑලට
සඳේ ඇන්ද ලප සේ දිසි පෑයට
විඳේ පහස නැත රකිනා සීලෙට
ලඳේ ඉතින් සිරියා කත එනවට

මෙයින් කියැවෙන අරුත අනුව කන්‍යාවියක්මය. සිල් රකී. පතිවත රකී. විෂ්ණු දෙවියන්ගේ බිරිඳ ලක්ෂ්මී සම්පතට, සොබාදහමට, මුදල්වලට, සෞභාග්‍යයට ශ්‍රී සමෘද්ධියට ශෝභාවට අධිපතිනිය වනවා සේ රුවට අධිපතිනි සිරියා ශ්‍රී දේවියයි.

මේ දෙවඟනට පුද පූජා තබන්නේ යම් තරුණියක් නම් ඇයගේ රූප ශෝභාව වැඩි වේ. දිනෙන් දින රූමත් වේ. ලස්සන තරුණියන්ට ආදරය කරන්නීය. දවසින් දවස කාන්තාවන් ලස්සන කරන්නීය. සිරියාදේවි අදහන තරුණියන් තව තවත් රූමත් ලස්සන වේ. මහලු පෙනුම ඇති නොවේ. වැහැරීමක් සිදු නොවේ. සඳුන් කුඩු දැමූ ජලයට ඕං සිරියාදේවි නමෝ නමඞ මන්ත්‍රයෙන් 21 වරක් මතුරා බීමෙන් දිනෙන් දිනම ලස්සන වන බැව් දේව පුරාණයේ දක්වා ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.