වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
වර්ෂ හා තෙමස් පූර්ණ පින්කම් පෝය ක්‍රමයට කරමු
බුද්ධ ප්‍රමුඛ මහා සඟනට මහ දනක් දුන් දා දුටු සිහිනෙන් විපිලිසරයට පත් බිම්සර රජුට එහි අරුත බුදුන් වහන්සේ පහදා දුන් සේක. අනතුරුව මළගිය ඇත්තන් සිහිකර දන් දී පින් අනුමෝදන් කිරීමේ දහම දේශනා කළ සේක.
එ බුදුන් වහන්සේගේ සම්බුද්ධත්ව උපත සමරමින් ශ්‍රද්ධා බලේන්ද්‍රිය පුබුදා හැම තැනකදී ම බුදු සරණය සපථ කරමින් බොදු ප්‍රජාව දන් දී පින් කිරීම් සිදු කරන්නා හ සහ මළගිය ඥාතී මිත්‍රාදීන් සිහිකරමින් ප්‍රධාන පෙළේ පින්කම් තුනක් සිදු කරන්නාහ. සම්බුදු උපත සමරන්නට දිනය ගැන ගන්නා අයුරින්ම එකී අනුමෝදනා පින්කම් කරන්නටත් පහත සඳහන් යෝජනාව පළ කරම්හ.
ඒ භගවත් අරහත් සම්මා සම්බුදුන් වහන්සේගේ චරිතාප්‍රදානයේ දින චර්යාවට හිරු උදාවෙන් ගැන ගන්නා පිළිවෙල පදනම් විය. එහිලා අව අටවක, අමාවක, පුර අටවක, පුර පසළොස්වක ලෙස දින පිළිවෙලක් ඇතුළත් වෙසක්, පොසොන් ආදී මාස පිළිවෙලක් ද සංයුක්තය. අධි මාස යනුවෙන් යාවත්කාලීන කර දින 360ක සම්මතය ඈත අතීතයේ සිටම පැවත ඇත. උපසම්පදා විනය කර්ම සහ කඨින කුසල කර්ම ආදිය සිදුකරන්නේත් එකී පිළිවෙලට සහ සම්මතයනට අනුවය. අටසිල්, දසසිල්, සාමණේර සිල් සමාදන්කර ආරක්ෂා කරවන්නේත් එම ශාසනික සංස්කෘතික සම්ප්‍රදායෙන් ය.
එසේ මිස - රාත්‍රී 12 න් පටන්ගන්නා කැලැන්ඩර් දින දර්ශනයට අනුව නොවන වග අපි සැවොම දන්නෝ වෙමු. එහෙත් දැන් - දැනුම්වත් කිරීම් සියල්ල කැලැන්ඩර් දින දර්ශනය හා වේලාව අනුව ම සිදුකිරීම අනිවාර්ය අවශ්‍යතාවය වී ඇති වගත් අපි දන්නෝ වෙමු. එය එස්ම විය යුතුව ඇත.
එනමුත් බොදු අවමංගල්‍ය චාරිත්‍ර, වාරිත්‍ර හා සම්මතයන් සහ පින්කම්, කැලැන්ඩර් දින දර්ශනය අනුව සිදුකිරීම නිසා ශාසනික සංස්කෘතිය හෑල්ලුවීමක් නොවන්නේ ද? වන්නේමය.
මෙහිලා බොදු ජන සමාජ අවමංගල්‍යමය, වර්ෂ හා තෙමස පූර්ණ පින්කම් පිළිවෙත්වල මුල, මැද අග බෞද්ධ සිරිත අර්ථවත් වන සේ හිරු සඳු මුල්කර ගත් සම්මතයන්ම - න්‍යමයන් ම බොදු ජන සමාජගත කිරීමේ මතයක් අප අතර පතුරමු. ඇති කරමු.
මරණයක් සිද්ධ වීමෙන් පසුව එළඹෙන දහවල් දාන දිනය, පළවෙනි දවස ලෙස ගෙන හත් වැනි දින දහවල් දානය දීමේ සංකල්පය නම් නිරවුල් සමාජගතව ඇතත් තෙමස් හා වාර්ෂික දාන පින්කම් සඳහා කැලැන්ඩර් මාස, වර්ෂ, අනුව සිදුකිරීම ඉතා තදින්ම සමාගතව ඇත. එම පුරුද්ද අත්හැර අව/පුර, වක්/දින පදනම් වූ පෝය ක්‍රමයට දානමය අනුමෝදනා පින්කම් සිදුකිරීම සම්බුදු ධර්මයට අනුගාමී වූ පුණ්‍ය ක්‍රියාවක් ලෙස බොදු ප්‍රජාව තුළ සැදැහැවත් හැඟීමක් උපදවාලන බෞද්ධයනට ආවේණික වූ අනන්‍ය වූ පින්කම් පිළිවෙතක් වනු ඇත.