මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සුබ නැකැතින් අැරැඹේ

අගෝස්තු 25, 2023

 

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් අවිවාදිතව පිළිගැනීමට ලක්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ වීදී සංචාරය කිරීම පසුගිය සඳුදා රාත්‍රියේ ආරම්භ විය.

පළමු කුඹල් පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරනු ලැබුවේ හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා විසින් දළදා මාලිගාවට පූජා කළ ඉන්දි රාජා හස්තියා මතිනි. අඩසියවසක් සධාතුක කරඬුව වැඩම කළ රාජා හස්තියා මොළොව හැර යාමෙන් පසු දළදා මාලිගාවේ ඇත් පන්තියට එක් වූ ඉන්දි රාජා මේ වනවිට ඇත් පන්තියේ නායකත්වය දරමින් පෙරහරේ වැඩිම දින ගණනක් කරඬුව වැඩම කරන්නා වූ හස්තියා බවට පත්වූයේ එම උතුම් කාර්යය මහත් වූ ගෞරවයෙන් ඉටු කිරීම නිසාම ය.

මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් පැවැත්වෙන අතර කුඹල් පෙරහරේ දී උඩරට වෙස් නැටුම් දැකිය හැක්කේ දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන්නා වූ හස්ති රාජයා ට හා දියවඩන නිලමේතුමන් ට ඉදිරියෙන් පමණි.

දේවාල පෙරහර සඳහා වෙස් නැටුම් එක් වන්නේ රන්දෝලි පෙරහරේදී ය. ප්‍රථම කුඹල් පෙරහරේ ගමන් කිරීමෙන් පසු දියවඩන නිලමේවරයා පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල බස්නායක නිලමේවරුන්ට දළදා මාලිගා පෙරහරේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීම සම්ප්‍රදායකි.

මහනුවර ඇසළ පෙරහර ගමන් ගන්නා මාර්ගය දිනෙන් දින වැඩි කෙරෙන අතර ඊට සමගාමීව පෙරහරේ විචිත්‍රත්වය ද ඉහළ යයි. අවසන් රන්දෝලි පෙරහරේ දී සාධාතුක කරඬුව වැඩම කරන්නා වූ මංගල හස්ති රාජායා උඩුවියන් සහිතව පාවඩ මතින් ගමන් කිරීම විශේෂත්වයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.