වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
සුදු පාලකයන්ට දළදා පූජාවේ බලය පෙන්වූ ගංවතුර
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයේ කුරිරු රැහැන් පොටින් මුදා ගැනීමට ක්‍රි.ව. 1818 වසරේ මාතලේදී කැරැල්ලක් සංවිධානය කළේය. මේ කැරැල්ල අති බිහිසුණු එකක් මෙන්ම, බ්‍රිතාන්‍ය ජාතිකයන්ට දැඩි අභියෝගකාරී එකක් බවට ද පත් විය. කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසු ඉංගී‍්‍රසි ජාතිකයෝ සිංහලයන් සමඟ දැඩි ලෙස උරණ වූහ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී දළදා වහන්සේට සිදු කළ පුද පූජා නැවැත්වීය. එසේම වසරක් පාසා ශ්‍රී දළදා වහන්සේට පූජෝපහාර පිණිස සිදු කළ ඇසළ පෙරහර මංගල්ලය ද නවතා දමන ලදී. බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මේ අසාධාරණ අධර්මිෂ්ට ක්‍රියාවලිය දෙස ඇස දල්වා සිටි වැස්ස වළාහක දෙවිදුන් වැස්ස ලබාදීම නවතා දැමීය. වැසි නැවතී නියඟය රාක්ෂයකු මෙන් දැඩි ලෙස ගම්බිම්වල සිය අණසක පතුරවද්දී, ඇළ දොළ ගංගා ආදී ජල මූලාශ්‍ර සිඳී වියළී යන්නට විය.
වැසි නැති වීමත් ජලමූල‍්‍රාශ්‍ර වියළී යාමත් නිසා, හේන් කුඹුරු ගොවිතැන් කටයුතු කිරීමට ගොවි ජනතාවට නොහැකි විය. ක්‍රමයෙන් අටුකොටු හිස්ව කුස ගින්දර හා වසංගත රෝග මුළු රට පුරා ලැව්ගින්නක් මෙන් පැතිර යන්නට විය. ගොවි ජනතාව ප්‍රාඥවරුන්, සිංහල පාලකයන් හා භික්ෂූන් වහන්සේ ට දිගින් දිගටම කරුණු විස්තර කරදී ඔවුහු දැනුම්වත් කළහ. මේ කාළවකවානුවේ ආණ්ඩුකාරවරයා වශයෙන් පාලන කටයුතු මෙහෙය වූයේ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් මැතිතුමාය. ඔහුට ප්‍රභූන් ද සියලු පාලකයන් හා භික්ෂූන් වහන්සේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ කරුණුූ කාරණා විස්තර කළහ. එහෙත් එඩ්වඩ් බාන්ස් ශ්‍රී ලාංකික ජනතාවගේ පුද පූජා විධි විද්‍යාත්මක බවින් තොර නිසරු නොවැදගත් දේ ලෙස ප්‍රතික්ෂේප කරන ලදී. ජන මතය එන්න එන්නම ප්‍රබල වූ නිසා, අවසානයේ, ශ්‍රී දළදා වහන්සේට පුෂ්පෝපහාර පවත්වා පෙරහර පැවැත්වීමට අවශ්‍ය අවසරය ලබා දුණි.
පෙරහර සංවිධානයට මුලින්ම සිදුකළ කාර්යය වූයේ නැකැත් සම්පාදනය කිරීමයි. නැකැත් වේලාවන් අනුව සියලු කටයුතු සිදු විය. මේ අනුව 1828 මැයි මාසයේ 29 වෙනිදා පෙරහර පැවැත්වීමට සුදුසුම දිනය බවට තීරණය විය. පෙරහර අංග සම්පූර්ණව සංවිධානය වී තිබුණේය. ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කිරීමට මෙන්ම මහා සංඝරත්නයට නවාතැන් ගැනීම සඳහා විසිතුරු මණ්ඩප දෙකක් ඉදි කර තිබුණි. ආණ්ඩුකාරවරයාටත් බ්‍රිතාන්‍ය නිලධාරීන්ටත් උඩරට හා පහතරට ප්‍රභූවරුන්ටත් නතර වී පෙරහර නැරඹීම සඳහා තවත් මණ්ඩප ගණනාවක් ඉදිකර තිබුණි.
පෙරහර ගමන් ගන්නා මාර්ගයේද විසිතුරු තොරණ ඉදිකරන ලදී. බ්‍රිතාන්‍ය හේවායින් ලවා ආරක්ෂක මුරකාවල්ද නිසි ලෙස තර කරන ලදී. කොතරම් ශ්‍රී ලාංකිකයන්ගේ පුද පූජා විධි ප්‍රතික්ෂේප කළද, එඩ්වඩ් බාන්ස් ඇතුළු පාලන පිරිස මේ අලංකාරවත් පෙරහර නැරඹීමට නම් කිසිසේත් උදාසීන නොවූහ. පෙරහර නැරඹීමට කොළඹ සිට පැමිණි අය අතර ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරි ජෝර්ජ් වර්නර්, ජෝන් ස්ටැෆර්ඩ්, රොඩ්නි යන අය වූහ. මේ පෙරහරේ ගජනායක නිලමේ වශයෙන් කටයුතු කරනු ලැබුවේ දුනුවිල රාජකරුණා ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත මුදියන්සේ තැනය. ඔහු යහලතැන්නේ ඇතා පිට නැගී පෙරහරේ ගමන් කළේය.
දියවඩන නිලමේ ලෙස සේවය කළ දෙහිගම නවරත්න අතපත්තු වාසලමුදියන්සේ රාළහාමි විසින් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාහට කරඬුව භාරදීමෙන් පසු, පැරණි චාරිත්‍ර වාරිත්‍ර විධි ඉටු කෙරුණි. පෙරහරේ ගමන් ගත් පිරිස අතර, ගජනායක නිලමේගේ පිරිවර, කොඩිතුවක්කු රාළහාමිගේ පිරිවර, කඩුපුල්ලේ දිසාවේගේ පිරිවර සහ කෝරළේවරුන්ගේ පිරිවරද වූහ.
පෙරහර පැවැත්වීමෙන් පසුව ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ විය. පෙරහරත් ශ්‍රී දළදා වහන්සේගේ ප්‍රදර්ශනයත් අවසන් වූවා පමණි. ගිගුරුම් සහිත ධාරානිපාත වැස්ස ආරම්භ විය. එසේ ඇරඹුණ මහවැස්ස නිමක් නොවීය. ගංවතුර ගලා එන තරමටම වැස්ස ප්‍රබල විය. අවසානයේ පේරාදෙණියේ මහා පාලමද කඩා බිඳ දමමින් ගංවතුර ගලා යන්නට විය. පහත්බිම් සියල්ල මුළුමනින්ම ජලයෙන් යටවී ගියේය. කටුගස්තොට ලී පාලම ද තැන්නේකුඹුරේ කුඩා පාලම කැඩී බිඳී ගියේය. පෙරහර නැරඹීමට පැමිණි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා ඇතුළු පාලන පිරිස කොළඹට යාගත නොහැකිව මහනුවර තාවකාලික සිර අඩස්සියේ පසු වූහ. ඔවුන්ට ශ්‍රී දළදා වහන්සේගේ බලමහිමය කොතෙක්ද යන්න ඒ කාලසීමාව තුළ හොඳින්ම පසක් විය. ගංවතුර බැස ගිය පසු ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිස යළි කොළඹට පැමිණියේ දළදා වහන්සේ පිළිබඳ අප්‍රමාණ භක්තියත් හැඟුම් සමුදායකින් යුතුවය. එතැන් සිට සුදු පාලකයෝ සිංහල ජනතාවගේ පුද පූජා පිළිවෙත් පිළිබඳ ගෞරවණීය හැඟීමක්ද සිත් සතන් තුළ රෝපණය කර ගත්හ.