ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී නදීකා ගුණසේකර ‘දංචූටි’ ලෙස ජනප්‍රිය කළ සෙනසුරු

දෙසැම්බර් 27, 2024

අද දිනයේ දී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී නදීකා ගුණසේකර මහත්මිය ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව ය. 1958 වසරෙහි මැයි 13 වැනිදා මහනුවරදී උප්පත්තිය ලබා ඇති ඇය තුලා ලග්නය දරන්නියකි. ඇයගේ උත්පත්ති කේන්දර සටහනේ ග්‍රහ පිහිටීම් පහත පරිදි වේ.

මේ කේන්ද්‍ර සටහන තුළ සිකුරු උච්චව සිටීමත් චන්ද්‍ර සහ සිකුරු එක්ව සිටීමත් අනුව නදීකා ගුණසේකර මහත්මිය ප්‍රසිද්ධ කලාකාරිනියක් බවට පත් වී ඇත. තවද ගුරු සහ බුධ සප්තමව සිටීමද, රවි ග්‍රහයා බුධ සහ කේතු සමඟ යෝග වීමද අනුව උපාධි පවා ලබා ගෙන ඇති උගත් යහපත් බුද්ධිමත් කලාකාරිනියක බවට ඒ මහත්මිය පත් කර ඇත. එමෙන්ම උත්පත්ති කේන්දරයේ රවි සහ ගුරු යන ග්‍රහයන් සප්තමවීමට අනුව, ඇයට ඉහළ සමාජ මට්ටමක් ඇති පවුලක උත්පත්තිය ලබන්නට වාසනාව ලැබී ඇත. අර්ධ ලග්න අධි යෝගය සහ ගුරු, සිකුරු යන ග්‍රහයන් අතර පරිවර්තනය මඟින් මේ සුප්‍රසිද්ධ රංගන ශිල්පිනියගේ කේන්ද්‍ර සටහන තව දුරටත් ශක්තිමත් වී ඇත.

1973 වසරේ දී, ඇය මහනුවර පුෂ්පදාන කාන්තා විදුහලට ඇතුළත් වන විට ඇයගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, ඇයට අති ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇති බව පෙනේ. තවද 1980 වසරේ දී ඇය මුල් වරට චිත්‍රපටයක් හා සම්බන්ධ වද්දී ලග්න ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කර ඇති බව පෙනේ. 1987 වසරේ ඇය ‘හිමි අහිමි’ වෙනුවෙන් හොඳම රංගන ශිල්පිනියට හිමි උණ්ඩා සම්මානය හිමි කර ගනිද්දී ඇයට ලග්න ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වෙමින් තිබී ඇත. 1982 වසරේදී ඇයට සරසවිය සිනමා සම්මාන උලෙළේ නැඟී එන නිළිය සම්මානය ලැබෙන විටද ඇයට ලග්න ඒරාෂ්ටකයක් ගත වෙමින් තිබී ඇති බව ඉතා හොඳින් තහවුරු වෙයි.

1985 වසරෙහිදී ‘භක්ති’ සිනමා නිර්මාණය වෙනුවෙන් හොඳම නිළිය සඳහා සරසවි සම්මාන ලබන විට නදීකා ගුණසේකර මහත්මියට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇත.

නදීකා ගුණසේකර මහත්මියට 1994 වසරේදී ‘ඡායා’ කලා නිර්මාණය වෙනුවෙන් ‘හොඳම සහාය නිළිය’ ලෙස ‘සරසවි’ සම්මානය ලැබෙන විට ඒ මහත්මියගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයාට යාබද රාශියෙහි ශනි ගමන් කර ඇති බව පෙනේ. ඒ අනුව ඒ වන විට ඒ මහත්මියට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙමින් තිබී ඇත. මේ සුප්‍රසිද්ධ රංගන ශිල්පිනියට 1981 වසරේදී ‘බද්දේගම’ චිත්‍රපටය සඳහා ‘හොඳම සහාය නිළිය’ ට හිමි ජනාධිපති සම්මානය ලැබෙන විට, ඇයගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ඇයට ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වී ඇති බව පෙනේ. මීට අමතර ලෙස මේ ජනපි‍්‍රය රංගන ශිල්පිනියට 1983 වසරෙහි ‘යහළු යෙහෙළි‘ සිනමා නිර්මාණය සඳහා චරිත නිරූපණය වෙනුවෙන් ජනාධිපති ගෞරව සම්මානයක් ලැබෙන විට ඇයගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ ලග්න භාවය තුළ ශනි ග්‍රහයා ගමන් කර ඇත.

එනම් ඒ වන විට මේ සම්මානනීය රංගන ශිල්පිනියට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇති බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ඇති අයෙකුට පවා ඉතා පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත. එසේ නම් තදබලම ඒරාෂ්ටක කාල සීමාවන් තුළ අසුබ ප්‍රතිඵලම ලැබෙන්නේ යැයි පවසන්නේ කෙසේද?

1983 වසරේදී ජාතික කතෝලික සිනමා පර්ෂදයේ උත්තමාචාර උළෙලේ දී නදීකා ගුණසේකර මහත්මිය චිත්‍රපට තුනක රඟපෑම සඳහා සම්මානයට පාත්‍ර වී ඇත. ඒ මහත්මියගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ඒ වන විටද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇත. 1982 - 1985 යුගය නදීකා ගුණසේකර මහත්මියගේ රංගන ජීවිතයෙහි ස්වර්ණමය යුගයක් ලෙස ඇතැම් විචාරකයන් සලකති. එම කාල සීමාවෙහි වැඩිම කාල වකවානුවක් ඇය ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කිරීම කිසිසේත්ම නොසලකා හැරිය නොහැකිය. ඒරාෂ්ටක කාල වකවානුවලදී ලැබෙන්නේ අසුබ ප්‍රතිඵලම පමණක් නොවන බව එයින් ද තහවුරු වෙයි.

1981 වසරේදී ‘චන්චල රේඛා’ චිත්‍රපටයෙහි ‘දං චූටි’ චරිතය හේතුවෙන් නදීකා ගුණසේකර මහත්මිය ඉමහත් ජනපි‍්‍රයත්වයට පත්ව ඇති අතර ඇයගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, ඇය ඒ වන විට ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත කරමින් සිට ඇත. එමෙන්ම 1983 වර්ෂයේ දී ‘රිදී නිම්නය’ චිත්‍රපටය වෙනුවෙන් විශේෂිත සම්මානයක් ලබද්දීද මේ ජනපි‍්‍රය රංගන ශිල්පිනිය, ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කර ඇති බව පෙනේ. 1998 වසරේදී ‘ඇය ඔබට බාරයි’ චිත්‍රපටය නිෂ්පාදනය කරද්දී, ඇය ඉතා ප්‍රබල ජන්ම ඒරාෂ්ටකයක් ගත කර ඇති බව පෙනේ.

චිත්‍රපට නිළියක ලෙසද, රූපවාහිනී රංගන ශිල්පිනියක ලෙසද, චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසද ඉමහත් ජනාදරයට පත්ව ඇති නදීකා ගුණසේකර මහත්මියට ඒරාෂ්ටක කාල වකවානුවලදී බොහෝ සුබ පල ලැබී ඇති බව මේ උදාහරණවලින් ඉතා හොඳින් තහවුරු වෙයි. ඇයට මේ වන විට ද ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වන අතර 2025 වසරෙහි මාර්තු 29 වැනිදා සිට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වෙයි. මෙසේ මේ සුප්‍රසිද්ධ රංගන ශිල්පිනියට 2025 මාර්තු 29 වැනි දා ආරම්භ වන ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව 2027 වසරෙහි ජුනි 3 වැනිදා වන තෙක්ම පවතින අතර නැවත වතාවක් 2027 වසරෙහි ඔක්තෝබර් 21 වැනිදාත් 2028 වසරෙහි පෙබරවාරි 23 වැනිදාත් අතර කාල සීමාව තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙයි. ඒ අනුව ඉහත කාලසීමාවන් තුළ නදීකා ගුණසේකර මහත්මියට විශාල අභියෝග මධ්‍යයේ විශාල ජග්‍රහණ ලැබෙන්නට ඉඩ ඇත. විශේෂයෙන් ඉහත කාලසීමාවන් අතර ඇයගේ ප්‍රසිද්ධිය තවත් ඉහළ යාමට ඉඩ ඇති අතර අලුත් වැඩකටයුතු කිහිපයක් ආරම්භ කිරීමට සහ තනතුරු ලාබ ආදියටද ඉඩකඩ ඇත. කෙසේ වෙසේ ඉහත කාල සීමාවන් තුළ ඇය, අනතුරු පිළිබඳවද අසනීප පිළිබඳවද රැවටිලිවලට හසුවීම පිළිබඳවද සොරසතුරු උපද්‍රව පිළිබඳවද වෙනදාට වඩා විමිසිලිමත් විය යුතු ය. ඒ අනුව මෙම ජනපි‍්‍රය රංගන ශිල්පිනියට 2025 වසරෙහි මාර්තු 29 ආශි‍්‍රත දිනවලද, 2025 වසරෙහි ජූලි 13 ආශි‍්‍රත දිනවලද, 2025 වසරෙහි නොවැම්බර් 28 ආශි‍්‍රත දිනවලද, 2026 වසරෙහි ජූලි 27 ආශි‍්‍රත දිනවලද, 2026 වසරෙහි දෙසැම්බර් 11 ආශි‍්‍රත දිනවලද, 2027 වසරෙහි ජුනි 03 ආශි‍්‍රත දිනවලද, 2027 වසරෙහි ඔක්තෝබර් 21 ආශි‍්‍රත දිනවලද, 2027 වසරෙහි දෙසැම්බර් 24 ආශි‍්‍රත දිනවලද, 2028 වසරෙහි පෙබරවාරි 23 ආශි‍්‍රත දිනවලද සුවිශේෂී සිදුවීම්වලට ඉඩකඩ තිබෙන පසුබිම තුළ, ඉහත උපද්‍රව පිළිබඳවද විමසිලිමත් විය යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.