වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
පුලතිසි ඍෂි රැක දුන් උමා පද්මය’
“බැබළීම” අර්ථයෙන්ම නිපන් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය වර්තමානය වන විට නිශේධනාත්මක විෂයක් වශයෙන් බොහෝ පිරිසකගේ ගැරහීමට මෙන්ම අප්‍රසාදයට පත්වෙමින් පවතී.
එය හුදෙක්ම “ශාස්ත්‍ර කීමේ” කලාවක් ලෙස සිතන්නටද පුරුදු වී තිබේ. ඡ්‍යොතිෂයෙහි ඵලදායකත්වය හෝ එහි රිද්මය මැනවින් හඳුනාගත් ඡ්‍යොතිර්වේදීන් ද දුර්ලභය. එබැවින් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයන් ද දුර්ලභය. දෛවඥයන් ඊටත් දුර්ලභය. එහෙත් මේ සියලු දෙනා නාමික වශයෙන් බොහෝ ප්‍රකටය.
දෛවඥයකු වීමට අංග දහ අටක් සම්පූර්ණ කළයුතුය. දෛවඥයකු වීමට වඩා ශාස්ත්‍රඥයකු වීම පහසුය. දෛවඥයකු වීමට පූර්වයෙන්ම එම ශාස්ත්‍රය මැනවින් දත් අයෙකු විය යුතුය, එසේ මැනැවින් දත් පුද්ගලයා “ශාස්ත්‍රඥ” නම් වෙයි. ඒ සඳහා එය හැදෑරිය යුතුය. හදාරමින් සිටින තැනැත්තා “ඡ්‍යොතිර්වේදීයා” වෙයි. එසේ හදාරමින්ම විෂයෙහි නියැළීම සේවා සැපයීම වරදක් නොවේ. වෛද්‍ය වෘත්තිකයා විශේෂඥ වෛද්‍යවරයකු වනතුරු සාමාන්‍ය වෛද්‍යවරයකු සේ කටයුතු කරයි. ඒ ඒ සඳහා ප්‍රාමාණික සුදුසුකම් ලැබුවාට පසුවය.
‘අද දවස මට කොහොමද?’ එන මාසය මගේ ලග්නයට කොහොමද ආදී වශයෙන් තොරතුරු දැනගැනීමට ඔවුහු පෙලඹෙති. එවැනි දේ සරලව පහසුවෙන් ප්‍රකාශ කිරීමට හැකියාව නැති බව ඒ බව ප්‍රකාශ කරන උදවියද නොදන්නවා නොවේ. එහෙත් එය සිදුවෙයි. ඒ ඉල්ලුමට සැපයුමය. එහෙත් එහි ප්‍රාමාණික බව ගැටලු සහගතය.
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකු වීමට ඔහු ක්‍රමානුකූල හැදෑරීමක් කළ යුතුය. වරහමිහිරාචාර්යන් පවසන පරිදි ග්‍රහයන්ගේ දස අවස්ථා, ග්‍රහණ පිළිබඳ ඥානය, භාව කේන්ද්‍ර ගණිතය, පළමුව අධ්‍යයනය කළ යුතුව ඇත. එසේම ‘ජාතක’ එනම් ඡ්‍යොතිෂ් ග්‍රන්ථ අධ්‍යයනය කළ යුතුව ඇත. මේ පළමු පියවරය. මේ පියවරෙන් තමා ශාස්ත්‍රඥයකු වීමේ මාවතට එළඹෙනු ඇත. ඉක්බිති ඔහු ඡ්‍යොතිෂයෙහි අංග ප්‍රත්‍යංග පිළිබඳ මනා අවබෝධයක් ලැබිය යුතුය. එනම් ඒවා කවර කවර ආකාරයේ පවතීද එහි විසල්බව කෙසේද යන්නයි, එහිදීද වේදය, වේදාංග, ඡ්‍යොතිෂය, ඡ්‍යොතිෂාංග සහ ත්‍රිස්කන්ධ පිළිබඳ ඥානය වැදගත්වේ. මේ ඡ්‍යොතිෂාංග ක්‍රමයෙන් හැදෑරීම සඳහා අවම වශයෙන් සිද්ධාන්තමය කරුණු අසූ සතරක් අධ්‍යයනය කළ යුතුබව බ්‍රහ්මයාමලය නම් සම්භාවනීය ඡ්‍යොතිෂ ග්‍රන්ථයෙහි සඳහන් වේ. ඒ ඒ කරුණු ද ප්‍රාමාණිකය. නිදසුනකට “ග්‍රහ දෘෂ්ටි” සලකා බලමු.
I.දෘෂ්ටි වැටෙන ස්ථාන (භාව)
II. දෘෂ්ටි වැටෙන පරාශය සහ කෝණය
III. එම දෘෂ්ටියෙහි බලය
IV. භාව දෘෂ්ටි සංස්කාර
V. දෘෂ්ටි විංශෝපත
ආදිය ක්‍රමවත්ව හැදෑරිය යුතුය. මේවා මැදින් මැදින් උගත් අය මෙහි කී දෙවැනි අංගය බටහිර දෘෂ්ටිය, පළමුවැන්න පෙරදිග දෘෂ්ටිය යැයි පවසති. ඪඪඪ, ඪම,ම අංග මෘදුකාංග භාවිතය නිසා තෝරා ගත හැකි වුවත් එහි නිරවද්‍යතාවය දැකීමට තරම් සමත් කමක් ඇති අය දුර්ලභ වන බව අපි දනිමු. දෘෂ්ටි පාඩම එතැනින්ද සම්පූර්ණ නොවේ. “ශාන්ති කර්ම සඳහා ස්පෂ්ට දෘෂ්ටි සාධනය දත යුතුය. ‘නාමවේධ දෘෂ්ටි සාධනය දත යුතුය’ ‘ජාතක තත්ත්ව’ ප්‍රකාශය යටතේ එන ‘දෘෂ්ටි’ අංගය යටතේ දෘෂ්ටි යොදාගැනීම දත යුතුය. ඉදින් සැමට පළමුව සිද්ධාන්තමය කරුණු අසූ සතරක් ක්‍රමවත්ව ඉගෙනීමට සිදුවේ. මේ ග්‍රහ ගණිතය නොවන බවත් එය සිද්ධාන්ත ස්කන්ධයටම අයිති බවත් දත යුතුය. මේ “සංහිතා ස්කන්ධය” සඳහා අවශ්‍ය සිද්ධාන්තමය කරුණුය. “සිද්ධාන්ත ස්කන්ධය” සහ “හෝරා ස්කන්ධය” හා සබැඳුණු කරුණුය.
මෙකී මූලික සිද්ධාන්තමය කරුණු අවබෝධකරගත් පසුව “සංහිතා ස්කන්ධයෙහි” ප්‍රශ්න අංග අට නිමිති අංග අට සහ ජාතක අංග අට ක්‍රමයෙන් දතයුතුවෙයි. “ජාතක” විමසුම සඳහා ඒ සියල්ල එකසේ ඵලදායක වනු ඇත. මෙහි ‘ජාතක’ අංග අට ඔබේ අධ්‍යයනය සඳහා හෙළි කරමු.
I. කලා (ශෝඩෂවර්ගය)
II. දෘෂ්ටි
III. යෝග
IV. නාඩි
V.අෂ්ටක වර්ග
VI.දශා
VII. රාහු කේතු තත්ව
VIII. ශාන්තිකර්ම
ඡ්‍යොතීර්වේදීහු මේ අංග අට ගැන සාමාන්‍ය අවබෝධයක් ලබා තිබිය යුතුය. ශාස්ත්‍රඥයකු වීමට මේ අටම මැනවින් දැන සිටිය යුතුය. යම් කිසිවෙකුට ශෝඩෂවර්ගය පිළිබඳ ශාස්ත්‍රඥයකු විය හැකිය. ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකු විය නොහැකිය. මෙහි මුලින් කී ‘ශෝඩෂ වර්ගය’ නිදසුනට ගතහොත් ඒ මූලික සංකල්ප දහසයක් පමණි. එහි නවාංශක නියමයෙන් උපදින වර්ග කේන්දර රැසකි. නව නවාංශකය, චිත්තාංශකය, ජනකාංශය, ගුප්තාංශය කීපයකි. මේ සියල්ල නවාංශකය නවයට බෙදීමෙන් සකස්කර ගනු ලබන වර්ග කේන්දර වන්නේ මුත් භාවිතය එකිනෙකට වෙනස්ය. මෙහි දළවශයෙන් උපදනා වර්ග කේන්දර සංඛ්‍යාව දෙසිය පනස් හයකි. මේ සියල්ල භාවිත කිරීමට හෝ සම්පූර්ණයෙන් ඉගෙනීමට අප ජීවිත කාලය ප්‍රමාණවත් නොවුණේ නමුදු එහි රිද්මය හඳුනා ගැනීම ඔබ සතු වටිනාකමකි.
මෙකී සංහිතා ස්කන්ධයට පාදක වනුයේ සිද්ධාන්ත ස්කන්ධයයි. සිද්ධාන්ත සංහිතා හෝරා ස්කන්ධත්‍රයෙහි ප්‍රවර්තකයෝ ලෙස කර්තෘන් දහ අටදෙනෙකුගේ නම් සඳහන්ව ඇත. ඒ සියලු දෙනා “සෘෂි” නමින් හඳුන්වා දී නැත. “ඡ්‍යොතිෂ් ශාස්ත්‍ර ප්‍රවර්තක” නාමය ලබාදී ඇත. එසේම මහා සිද්ධාන්ත හතක් පිළිබඳ සටහන්ද දැකිය හැකිය. බොහෝ දෙනෙකු සාකච්ඡාවට බඳුන් කරනු ලබන මය මහාර්ෂීන් විසින් නිර්මිත සූර්ය සිද්ධාන්තය මෙරටෙහිම නිර්මාණය වූවක් බව පැවසේ.
හෝරා ස්කන්ධය පිළිබඳ ඡ්‍යොතිෂයෙහි ප්‍රකට මතය සහ සත්‍යය තේරුම් ගැනීමට නම් මුහුකුරා ගිය බුද්ධියක් තිබිය යුතුය. ‘හෝරා ස්කන්ධය’ යනු නැකත් සම්පාදනය සඳහා දී ඇති උපදේශය වේ. මේ පොදු සිතිවිල්ලය. නැකත් සම්පාදනය සඳහා විවිධ ඉගැන්වීම් දැක ඇතිවාට සැක නැත. මේ සියල්ල “හෝරා ස්කන්ධය” යි. එහෙත් එය අර්ධ සත්‍ය වූ ප්‍රකාශනයක් බව හෝරා ස්කන්ධය අධ්‍යයනය කරන්නකුට වැටහෙනු නොඅනුමානය. සත්‍ය වශයෙන්ම සිද්ධාන්ත ස්කන්ධය ගොඩනැගෙනුයේ හෝරා ස්කන්ධය මතය. සමස්ත ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයට හෝරා ශාස්ත්‍රය යැයි පවසනුයේ එබැවිනි. හෝරා ශාස්ත්‍රයම සිද්ධාන්ත-සංහිතා-හෝරා යනුවෙන් තෙකඩක් වී තිබේ.
වර්තමානයෙහි නැකත් සම්පාදනය සඳහා බහුලව භාවිත කරනුයේ අංග අටක් වූ හෝරා ශාස්ත්‍රයෙහි එක් අංගයකි. පුරාණ පුස්කොළ ග්‍රන්ථයන්හි එය “සප්ත විශුද්ධිය” “සප්ත ශුද්ධිය” “සප්ත රාශිය” යනුවෙන් උගන්වා ඇත. එහිදී එම සප්තාංගය ක්‍රමවත්ව ලියැවුණු විමසා බැලෙන තැන් දුර්ලභ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙකී හෝරා ශාස්ත්‍රයෙහි අංග අටක් වන බව පෙර පවසන ලදී. එහි එක් අංගයක් ඔබ දැනටමත් දනී. ඒ “සප්ත ශුද්ධිය” ය. එනම් සුබ මුහුර්තයක් සකස් කරන විට සලකා බැලිය යුතු ප්‍රධාන සප්තාංගයයි. ඊට කරුණු සතක් නොසෑහේය. ඒකාදශ, ඒක විංශති, ෂෂ්ටි දෝෂද විමසිය යුතුය යනුවෙන් සිතිවිලි මාත්‍ර නැගෙනුයේ ඔබේ අධ්‍යයනය අනුවය.
දැන් මේ “සප්ත රාශියෙන්” එකක් ශුභ දිශා ශුද්ධියයි. එනම් දිශාව ශුද්ධ කර ගැනීමයි. දිශාව ශුද්ධ කිරීම සඳහා උගන්වා ඇති කරුණු මෙතැකැයි කීමට මම සමත් නොවෙමි. එහෙත් මේ සප්ත රාශිය යටතේ කරුණු පහක් විමසා බැලීමට උපදෙස් ලබාදෙනු ඇත. මරු, ශූල, යෝගිනී, පරිඝ සහ විෂ්ටි ඒ පංචකය වෙයි. දැන් මෙහි මරු දිනමරු, රාශිමරු, දික්මරු, තිථිමරු, නක්‍ෂත්‍ර මරු, තත්කාල මරු ආදී වශයෙන් විවිධ වූ නමුත් මෙහිදී “දික්මරු” පමණක් සලකා බැලේ. ඔබ සැමදෙනා පංචාංග ලිත්වල දකින්නේ මේ “දික්මරු” මිස “දිනමරු” නොවේ. මේවායෙහි වෙනස ගුරු ඇසුරින්ම ලද යුතුය. මෙහි එන ශූල දින ශූල, දික්ශූල, නක්‍ෂත්‍ර ශූල සහ චන්ද්‍ර ශූල යනුවෙන් සිව් කොටසකි. ඒ සතරම මෙහිදී සලකා බැලිය යුතුය. මෙහි “යෝගිනී” යන්නෙන් ඒ ඒ තිථියට අදාළ යෝගිනී පමණක් විමසා බැලීමට උපදෙස් ලැබේ. යෝගිනී පිළිබඳ ගණිතමය චරණයන් බොහොමයක් වුවත් මෙහිදී ගැණෙනුයේ තිථි යෝගිනී පමණකි.
පරිඝ දණ්ඩ ගැන බොහෝ ඉගැන්වීම් වේ. එය පලාඵල කථනයෙහි සුවිශේෂය. එහෙත් මෙහිදී පරිඝය පිහිටි දිසාව සහ සර්වද්වාරික නැකත් ගැන පමණක් අවධානය යොමුකරනු ලැබේ. පස්වැනි කරුණ විෂ්ටිය. විෂ්ටි පිළිබඳ ප්‍රභේද 7 කි. එහෙත් මෙහිදී විෂ්ටි කරණ සීමාව ගැන පමණක් අවධානය යොමුකරනු ඇත.
මෙසේ අසුබ ශක්තීන් පහක් ගැන මෙන්ම සුබ ශක්තීන් පහක් පිළිබඳව අවධානය යොමුකරනු ලැබේ. එසේ දිශා ශුද්ධිය සම්පූර්ණ කෙරෙනු ඇත. ඉදින් හෝරා ශාස්ත්‍රයෙහි අංග අටෙකින් සප්තවිධ වූ එක් අංගයක එක් කොටසක අර්ධයක් නාමමාත්‍රිකව හෝ මෙහි සඳහන් කළේ විෂය පරාසය ගැන දැනුවත් කිරීම සඳහාය.
ඊළඟට පවසනුයේ තවත් මත භේදාත්මක කරුණකි. මේ හෝරා ශාස්ත්‍රය පැරැණියන් හඳුනාගෙන ඇත්තේ “උමා හෝරා ශාස්ත්‍රය” නමිනි. එය වහරට එක්ව හෝරා ශාස්ත්‍රය ඡ්‍යොතිෂය වන්නා සේ “උමා” යන විශේෂණ පදය සහිත උමා හෝරා ශාස්ත්‍රය උමා ඡ්‍යොතිෂය නම්වී ඇත. පෙර කී අංග අට උමා ඡ්‍යොතිෂයෙහි බෙදීමකි. උමා ඡ්‍යොතිෂයෙහි තවත් සුවිශේෂී මාතෘකාවකි. එහි නම “උමා පද්මය” යි. උමා පද්මය ප්‍රභේදත්‍රයකි. උමා කාල පද්මය, ශ්‍රී කාල පද්මය සහ කාල පද්මය යනුවෙන් ඒවා නම්කෙරේ. මෙහි “කාල පද්මය” ම නූතනයෙහි ඡ්‍යොතිෂය නමින් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ශ්‍රී කාල පද්මය හෝ උමා කාල පද්මය වෙනුවෙන් නිර්මාණය වුණු එකම මෘදුකාංගයක් හෝ මවිසින් දැක නැත. ඉදින් එවන් වූ උමා ඡ්‍යොතිෂය පුලතිසි මහ සෘෂීන් විසින් රැක දුන්නක් බව පාරම්පරික ඉගැන්වීම්වල සඳහන් වෙයි. වර්තමානය වන විට එහි නටඹුන් අප අතර දක්නට ඇත.