නත්තල් තරුවේ වත්මන් කතාව

දෙසැම්බර් 27, 2024

එළැඹුණු නත්තල් දිනය සමරන බොහෝ සංකේත අතර, ප්‍රධාන තැනක් ගනු ලබන්නේ එදින අහසෙහි බැබළුණු බවට ඉතිහාසයේ කියැවෙන දීප්තිමත් නත්තල් තාරකාවය. අදින් වසර 2024කට පෙර දින බෙත්ලෙහෙමට ඉහළ අහසෙහි පෑයූ මෙකී තාරකාව කුමක්දැයි හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන් විසින් පර්යේෂණ ගණනාවක් මේ වන විට නොනවත්වා සිදු කර තිබේ.

ඒ පිළිබඳ එක් එක් තාරකා විද්‍යාඥයින් පළ කරන ලද අදහස් සහ නිගමනයන් මෙසේ ය.

මේ පිළිබඳව පොදුවේ ඉන් වැඩි දෙනෙකු පළ කළ අදහස වූයේ මේ දැක ඇත්තේ සිකුරු ග්‍රහයා බවය. සාමාන්‍යයෙන් සිකුරු ග්‍රහයාගේ දිප්තිය දෙවැනි වන්නේ චන්ද්‍රයාට පමණකි. කාන්තාරයේ තවලම් රැගෙන යාමේ යෙදෙන අරාබි වෙළෙඳුන් තම ගමන් ඇරඹීමේ සංඥාවක් ලෙස සිකුරු ග්‍රහයා දර්ශනය වීම උපයෝගී කරගන්නට කාලාන්තරයක් තිස්සේ පුරුදුව සිටියහ. තවත් මතයක් වන්නේ මෙය හිටි හැටියේ දර්ශනය වූ වල්ගා තරුවක් විය හැකි බවය. මක්නිසාද මේ සියවස් කීපය තුළ ඉතා දීප්තිමත් සහ අති විශාල වල්ගා තරු ගණනාවක් පෘථිවියට දෘශ්‍යමාන වූ බවට ඉතිහාසගත සාක්ෂි ඇති බැවිනි.

ක්‍රිස්තු පූර්ව 344 දී දක්නට ලැබුණු යෝධ ගිනි පන්දමක් වැනි වල්ගයක් සහිත වල්ගා තරුවක්ද, ක්‍රි:පූ: 146 දී දෙවැනි සූර්යයෙක් මෙන් අහස් ගැබ ආලෝකමත් කළ බැව් කියන වල්ගා තාරකාවක්ද, ක්‍රි:පූ: 11 දී සහ ක්‍රි:පූ: 66 දී විශේෂයෙන්ම රෝම නගරයට ඉහළින් පෑයූ බව කියන, හඳ එළිය තරමටම දීප්තිමත් වල්ගා තරුවක්ද, ක්‍රි: ව 146 දී නිල් පැහැති ආලෝකයක් විහිදුවමින් අහස් ගැබ ආලෝකමත් කළ වල්ගා තරුවක්ද පිළිබඳව ඉතිහාසයේ සඳහන්ව ඇත. එහෙයින් නත්තල් දා පෑයූ තාරකාවද වල්ගා තරුවක් යයි උපකල්පනය කළ තාරකා විද්‍යඥයෝ ඒ පිළිබඳ පර්යේෂණ ගණනාවක් පැවැත්වුහ. එහෙත් ඒ කිසිදු පර්යේෂණයකින් මේ නත්තල් දිනයෙහි වල්ගා තරුවක් පෑයීමට ඉඩකඩක් තිබූ බව සොයාගත නොහැකි වී තිබේ. මේ අතර එදින පෑයූ තාරකාව සිකුරු ග්‍රහයා බව ඔප්පු කිරීමට එක් තාරකා විද්‍යාඥයකු විසින් ග්‍රන්ථයක්ද රචනා කරන ලදී. මේ පිළිබඳව තාරකා විද්‍යාවට මෙන්ම ඡ්‍යොතිෂ විද්‍යාවටද අනුව යම් පමණකට හෝ ආසන්න නිගමනයකට එළඹිය හැක්කේ එම විද්‍යාවන්හි කියැවෙන “ග්‍රහ සන්ධි” නැමැති ක්‍රියාදාමය මේ සඳහා ද බලපා තිබේදැයි සොයා බැලීමෙන් යැයි සිතූ විද්‍යාඥයෝ ඒ පිළිබඳව ඉතා සියුම් ලෙස පරීක්ෂා කළහ.

විද්‍යාඥයින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කරන්නට හේතු වූයේ 1953 ඔක්තෝබර් මාසයේදී 4වැනිදා “ග්‍රහ සන්ධි” වීමක් සිදු වූ බැවිනි. ග්‍රහ සන්ධිවීමක් සරලව හඳුන්වා දිය හැක්කේ එම ග්‍රහයන් තම ගමන් මඟෙහි එක් අවස්ථාවකදී එක පෙළට පිහිටීමය. මේ එක පෙළට පිහිටීම යනු එකම ගමන් පථයේ එකෙකු පිටුපස එකෙකු ලෙස එක පෙළට පිහිටීම නොවේ. ක්‍රීඩා පිට්ටනියක ක්‍රීඩකයන් සිය තරගය පටන් ගන්නට පෙර තම තමන්ගේ ධාවන පථවලට එක පෙළට සිටගෙන සිටින්නාක් මෙන් ග්‍රහයෝද සිය පථවල ගමනේ යෙදී සිටියදී කලකට වරක් දෙදෙනෙක් එක පෙළට වැටෙන අවස්ථා ඇති වේ. අප කලින් සඳහන් කළ 1953 ඔක්තෝබර් 3 දා සිදු වී ඇත්තේ ද මේ අයුරින් අගහරු සහ සෙනසුරු යන ග්‍රහයින් මෙසේ සිය ගමන් පථවල එක පෙළට පිහිටීමය. මේ අවස්ථාවේදී එය පෘථිවියේ සිට නරඹන අයකුට දක්නට ලැබෙන්නේ අසාමාන්‍ය විශාලත්වයෙන් සහ දීප්තියෙන් යුතු ග්‍රහ වස්තුවක් ලෙසය. මේ ආකාරයට එදා බෙහෙත්ලෙහෙම නගරයට දර්ශනය වී තිබෙන්නේ ද මෙවැනි “ග්‍රහ සන්ධි” වීමකට ලක් වූ බ්‍රහස්පති සහ සෙනසුරු යැයි එක් සුප්‍රකට තාරකා විද්‍යාඥයකු විශ්වාස කළේය.

ඔහු දහසය වැනි ශත වර්ෂයේ ජීවත් වූ ජෝහැන්නස් කෙප්ලර්ය. ඔහු මේ බව සනාථ කරනු සඳහා ස්වකීය ජීවිතයෙන් වසර ගණනාවක් කැප කළේය. එහෙත් එහි සත්‍ය අසත්‍යභාවය ඔප්පු කර ගැනීමේ අවස්ථාවක් ඔහුට තම ජීවිත කාලය තුළදී උදාවූයේ නැත. මේ අසිරිමත් තාරකාව, එම නත්තල් උදාවේ සිට තවත් සති ගණනාවක් මුළුල්ලේ දර්ශනය වූ බව බයිබලයේ සඳහන්ව ඇත. එහෙත් පසුව කරන ලද වඩාත් සියුම් ගණනය කිරීම්වලින් පෙනී ගොස් ඇත්තේ මේ නත්තල් තරුවේ දර්ශනය කෙප්ලර් සිතූ ආකාරයට බ්‍රහස්පති සහ සෙනසුරුගේ ග්‍රහ සන්ධි වීමක ප්‍රතිඵලයක් නොවූ බව ය.

එසේ ග්‍රහ පිහිටිවීමක් සිදුවූවා නම් අපට වඩා විශ්වාසදායක කාරණයක් වන්නට ඉඩ තිබුණේ එය බව සිතිය හැකි ය.

එහෙත් එසේ සිදුනොවීම නිසා පසු කාලීනව විද්‍යාඥයෝ විශ්වයේ ඇතිවිය හැකි තවත් සංසිද්ධියක් ගැන සිය අවධානය යොමු කළහ. එය නම් තාරකා වටා ඇති අධික උණූසුමට ලක්වන තවත් සමහර තාරකා හිටිවනම පුපුරන්නට පටන් ගන්නා බවය. ආලෝක වර්ෂ සිය දහස් ගණනක් ඈතින් පිහිටි මේ පුපුරන තාරකා පියවි ඇසට මේ ආකාරයට කැපී පෙනෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් සෑම වසරක් පාසාම ඈත අභ්‍යාවකාශයේ පුපුරන තරුවක් දෙකක් බලගතු දුරේක්ෂ මඟින් දැක බලා ගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. අද තරම් තාක්ෂණයෙන් දියුණුවක් නොතිබූ 1572 සහ 1604 යන වර්ෂවලදී පවා මේ ආකාරයට කැපී පෙනෙන අයුරින් තාරකා පිපිරුම් දෙකක් දැකබලා ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. මේ අවස්ථා දෙකෙහිදී ම එම පිපිරුණු තාරකා පෘථිවි වාසීන්ට පියවි ඇසින් දැක බලා ගැනීමට ලැබුණු අතර, 1572 දී දර්ශනය වූ පිපිරුණු තරුවේ දීප්තිය මහ දවල් පවා දෘශ්‍යමාන වූ බව වාර්තා වී තිබේ.

ඒ අනුව මීට වර්ෂ 2024කට පෙර බෙත්ලෙහෙමට ඉහළ අහසේ පායා කිතු සමිඳානන්ගේ උපත සංකේතවත් කළ අසිරිමත් “නත්තල් තාරකාව” වූයේ ද මේ ආකාරයට පුපුරා ගිය තාරකාවක් විය හැකි යයි විද්‍යාඥයන් නිගමනය කර තිබේ.

එයද 1572 දී වාර්තා වූ තාරකාව පරිද්දෙන් දීප්තිමත්ව දිවා කාලයේ ද දක්නට ලැබුණු බැවින්, එයද පුපුරන ලද තරුවක් විය හැකි යැයි මේ වන විට නිගමනය කර තිබේ. විද්‍යාඥයන්ගේ ගණන් බැලීම අනුව මේ තාරකාව අපගේ පෘථිවියට ආලෝක වර්ෂ 3000 ක් පමණ ඈතින් පිහිටා තිබිය යුතු ය. ඒ අනුව අපට නිගමනය කළ හැකි වන්නේ වසර 3000ක කාල පරිච්ඡේදයක් මුළුල්ලේ එහි ආලෝකය පොළොව දෙසට ඇදී එමින් පැවැති බවය. එනම් එය පුපුරා ගොස් ඇත්තේ මිට වසර 5024කට පෙර දිනයක බවය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.