වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
සුරූපිනියට පැරදුණු කොණ්ඩදෙණියේ හිමියෝ
හැත්තෑවෙ දශකයේ පළමු කාර්තුවේ අවසන් මස එළඹෙත්ම අප හිමියන්ගේ සියලු ආවතේව කටයුතු වසර ගණනාවක් තිස්සේ එකදිගටම ඉටුකළ ඩිංගිරි බණ්ඩා දින කිහිපයක නිවාඩුවක් ගෙන ගම්දනව් බලා ගියේය.
ඒ වෙනුවට දළදාගම මාළිංගමුවේ හේරත් බණ්ඩා තාවකාලිකව හිමියන්ගේ ආවතේව කටයුතුවල නිරත විය.
වෙනදා බ්‍රහ්ම හෝරාවෙන් පිබිදෙන හිමියන්ගේ ගතට දැඩි වෙහෙසක්, තෙහෙට්ටුවක්ද දැනුනේ ඊට පෙරදින යාතු කර්මයක් සිදුකර මධ්‍යම රාත්‍රියද පසුකර කොණ්ඩදෙණිය පන්සලට වැඩම කරන්නට සිදුවීම නිසාවෙනි. මඳක් අසනීප තත්ත්වයෙන් සැතපී සිටි අප හිමියන්ගේ උපදෙස් පරිදි බෝධිමළුව සහ පන්සල්බිම ඇමද, විහාර මන්දිරයේත් දේව මන්දිරයේත් සියලු වතාවත් ඉටු කළේ හේරත් බණ්ඩා විසිනි.
ඉඩෝරය අවසන්ව වස්සානය එළඹී තිබුනෙන් එක්විටම ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට විය. අනෝරා වැසි වස්සමින් ගහකොළ ඇඹෙරෙමින් සලිත විය. විටින් විට තද අකුණුූ සැර කිහිපයක්ම පන්සල් භූමියට පතිත වූයේ පන්සල් භූමියේ විශාල අඹගහක්ද මුලිනුපුටා දමමිනි.
අලුයම වුවද සතරදිග මහත්වූ වැහි අන්ධකාරයක් පැතිර පැවතුණි. මුළු පළාතම දෙවනත් කරමින් හෙණ හඬ පැතිරෙන්නට විය. තම මුළු ජීවිත කාලයටම මෙවැනි හදිසි කාලගුණික විපරීතයක් හිමියන් ද දැක නොතිබිණි.
හිටි හැටියේම දේව මන්දිරය දෙසින් පිපුරුම් ශබ්දයක් වැනි විශාල හඬක් නැඟිණි. ඒත් සමඟ දේවමණ්ඩලයේ ප්‍රතිමා එකදිගට සෙලවෙමින් ඒවා එකිනෙක එකට ගැටෙන හඬත්, ඒවා බිම වැටෙන හඬත් විවිධ විප්‍රකාර හඬවල් රැසක් දේව මන්දිරය තුළින් ඇසෙන්නටත් විය.
හිමියන් වහා අවදිව සයනයෙන් නැඟිටීමට උත්සාහ කළද කිහිප විටක්ම ව්‍යාර්ථ විය. එහෙත් සිතින් දිරිමත්ව මහත් උත්සාහයෙන් හේරත් බණ්ඩාගේ සහායෙන් නැඟිට සිටි හිමියන් වහා දේව මන්දිරය දෙසට වැඩිසේක.
එකෙනෙහිම ඉතා රූමත් කාන්තාවක් ප්‍රාතුර්භූත විය. මෙතරම් ලස්සන කාන්තාවක් හිමියන් කවරදාකවත් නොදැක සිටි අතර ඇය ඇඳ සිටි සිනිඳු සුදෝ සුදු ඇඳුම දෙපා වැසෙන සේ දිගුව තිබිණි. දිගු කෙස් කළඹද විලුඹ දක්වාම වැටී තිබුණි. ඕනෑම අයකු මොහොතකට වශීවන තරම් මේ සුරූපිණිය මනරම් විය.
මොහොතින් කිසියම් විජ්ජුම්බරයක් වේවිදැයි අප හිමියන්ට නිනව්වක් නැති විය. එක්විටම හිමියන්ගේ ගත වාරු නැති විය. ඉතා අපහසුවෙන් හේරත් බණ්ඩාරගේ සහායෙන් නැගී සිටි සේක.
වෙනදා සුවඳදුමින් පිරී ගිය දේව මන්දිරය එදා පුළුටු ගඳකින් පිරී පැවතුණි. දේව මන්දිරය තුළ දේව ප්‍රතිමා සියල්ල බිම පෙරළී ගොසිනි. එකම අවුල්ජාලයක් බඳුව පූජා භාණ්ඩ, තෙල්මල්, පහන් විසිරී පැවතුණි.
ඒත් සමඟම මෙතෙක් කල් තමන් වහන්සේ අතරින් හදාගත් කළුතඩි බළලාද සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගෙන තිබුණි. රාක්ෂයෙක් බඳු වු කළු තඩි බළලාගේ ඇස්ද රක්ත වර්ණයෙන් දිදුලමින් වියරු ස්වරූපයක් ගෙන තිබුණි. එක්විටම වියරුව ශබ්ද නඟමින් හිමියන් දෙසට පැන පාරම්බා ජනෙල් කවුළුවෙන් එළියට පැන කැලයට දිව්වේය. ක්ෂණයෙන් එක්විටම රූමත් කාන්තාව හිමියන් දෙසට පැමිණෙන්නට වූවාය.
“දැන් තමුන්ට දුන් වරම ඉවරයි. අද ඉඳල මම මෙතන” යනුවෙන් හඬගා කියූ ඇය දේව මන්දිරයද ආවාස ගෙයද පුරා දුව පනින්නට පටන් ගත්තාය.
“මෙතන මගේ තැනයි මම කොහේ යන්නද? හොඳයි එහෙනම් බලමු කවුද දිනන්නේ කියලා ඇය යටිගිරියෙන් මරහඬ දෙමින් කෑගසන්නට විය. එක්වරම නිලුපුල්වන්ව තිබූ දෙඇස් රක්තවර්ණව ගිනි පුඟුලක් මෙන් විය. ශබ්ද නඟා හූ හඬ නඟන්නට ද විය.
හේරත් බණ්ඩා වහාම පන්සලේ ඝණ්ටාරය නොනවත්වාම ගසන්නට විය. ඒත් සමඟ ගම්මුන් පන්සල වෙත දිව එන්නට විය.
මහත් අපහසුවෙන් වුවද හේරත් බණ්ඩා ඇමතූ හිමියන් තම සයනයේ යට ආරක්ෂිතව තිබූ පුස්කොළ පත් කිහිපයක් දේවමන්දිරය තුළම ගිනිතැබීමට අණ කළහ. ඒවා මොහොතින් ගින්නෙන් දැවී අළු විය.
ගින්නට ගොදුරු වූ රහස් මන්ත්‍ර ඇතුළත් පුස්කොළපත් උදුරා ගැනීමට පැමිණි සුරූපිණියගේ සේලයට ගිනි ඇවිළෙන්නට විය. ඒත් සමඟ ඇය හූ හඬ නඟමින් දිව ගොස් එක්විටම අතුරුදහන් විය.
දඬු මුඟුරු පොලු රැගෙන ආ ගම්මු සතරදිසාවේ දුව පැන ඇය පැනගිය පෙදෙසේ සෝදිසි කළත් එවැන්නකු සොයා ගත නොහැකි විය.
කෙඳිරිලි හඬකින් කතා කළ අප හිමියන්ගේ මුළු සර්වාංගයම පණ නැති වූවා සේ විය.
“හේරත් බණ්ඩෝ........ඩ්‍රැයිවර් කොළුවට කතාකරල මාව ඉස්පිරිතාලෙට ඉක්මනට රැගෙන යන්න. මලයාලම් කාරයා එහෙනම් දිනුවා. හැබැයි මට හදි හූනියම් කරපු එකත් ඒකාන්තයෙන්ම වැඩි කලක් නොගොසින් විනාශ වනවා සිකුරුයි”
රෝහලට අප හිමියන් යුහුසුලුව රැගෙන යන අතරමඟදී කැඩුණු මන්ත්‍ර කොටස් විටින් විට කියවුණත් ඒවා කිසිවක් පැහැදිලි නොවීය. හිමියෝ විප්‍රකාර බස්ද දොඩන්නට වූ සේක.
අසාධ්‍ය මට්ටමින් දින කිහිපයක් ගත කළ අප හිමියන් රෝහල්ගත වූ බව දැනගත් මොහොතේ සිට රෝහල් භූමිය ජනතාවගෙන් ඉතිරී පැතිරී ගියේය. ඔවුන් හසුරුවන්නට පොලීසියද යෙදවීමට සිදු විය.
පැමිණෙන පිරිස් රෝහල් භූමියට ඇතුළු නොවන්නට විශේෂ පොලිස් බළකායක් යෙදුණද එය නිසියාකාරයෙන් පාලනය කර ගැනීමට ද අපහසු විය.
අසාධ්‍ය මට්ටමින් දින කිහිපයක් ගත කළ අප හිමියන් කාගේත් සෝසුසුම් මැද අපවත්වී වදාළ සේක.
“මට සොහොන් කොත් ඕන නැහැ. මගේ ගිනි අඟුරින් පිලිස්සුණ ඇටකටු භෂ්මාවශේෂ කොටස් මේ කොණ්ඩදෙණිය පන්සල් බිමේ විසුරවන්න.” අප හිමියන්ගේ අවසන් ඉල්ලීම එලෙසම ඉටු කළ සේක.
කොණ්ඩදෙණිය භූමිය පසුකාලීනව පූජාභූමියක් බවට පත්විය. අප හිමියන්ගේ තෙද බල අණ බල දැනුදු එම භූමියේ රැඳී පවතින බවට මහත් විශ්වාසයක් පවතින බව වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් අප සමඟ පැවසූ සේක.
මුළු රටක් අවදි කරමින් තම විශ්ව ශක්තිය දේශ දේශාන්තරවලත් පැතිරවූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ගේ බලය වත්මන්හිදීත් කොණ්ඩදෙණිය පින්බිමේ රැඳී පවතිනු නොඅනුමානය.
හිමි ගත් මඟට අනුගත වෙමින් බුද්ධ සහ දේව මණ්ඩලය තුළින් ආරෝපිත විශ්ව ශක්තිය සහ ඉන් ලැබෙන ආශීර්වාදය ලැබගන්නට දසදහස් ගණන් ජනතාව වත්මනේද එහි පැමිණෙති.
හිමි ගමන්මඟ අනුගමනය කරමින් තම ‘කිරිඅත්තා’ දැයට දායාද කළ, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, ශාන්තිකර්ම එලෙසින්ම මහත් ජවසම්පන්නව කෙටි ක්‍රම උපයෝගී කර ගනිමින් ඉතා නිහඬව තිරයෙන් පසුපස සිට එකී ඕනෑකම් ඇති ජනයාට අනුපමේය මෙහෙවරක ් වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදි කඩම්බාවේ අනුරුද්ධ හිමියන් සිදුකරනු ලබනුයේ අප්‍රසිද්ධියේමය. මෙමඟින් උන්වහන්සේ ඉටුකරන සේවාව අතිමහත්ය.
තවත් සුවිශේෂි වූ සිදුවීමක්, මෙහිලා සටහන් නොකළහොත් පාඨකයාට යම් අඩුවක් වී යයි සිතන බැවින් එයද සඳහන් කිරීමට මා හට සිත්විය.
එවකට කොණ්ඩදෙණිය පන්සල් භූමියේ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ගේ දෑතින් සිටවූ ඇසළ ගස 1970 මාර්තු මසදී උන්වහන්සේ අපවත්වූ දිනම මියගියේය. පසුකාලීනව තවත් ඇසළ පැළ තුනක් බිහිවී වැඩෙන්නට විය.
කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ පළමු ශිෂ්‍ය රත්නය වන කඩම්බාවේ සීවලී හිමියන් විහාරාධිපති වශයෙන් කටයුතු කළ අතර උන්වහන්සේ අපවත්වූ දිනයේදී මෙතෙක් වැඩී තිබුණු ඇසල ගස් තුනම එක්විටම මියගියේ පුදුමසහගතවය.
ඉන්පසුව කඩම්බාවේ අනුරුද්ධ හිමියන් කොණ්ඩදෙණිය රජමහ විහාරයේ අධිපති ලෙස පත්වූහ. එදින මියගිය ඇසළ ගස් සමීපයේ තවත් ඇසළ පැළ හතරක් බිහිවිය. වත්මන්හිදි තරුණ වයසට පත් එම ඇසළ ගස් හතරද එහි මැද මියගිය ඇසළ ගසේ කඳ ද තවමත් දැකිය හැකිය.
මේ ඇසළ ගස් සමීපයේ අදත් පහන් පැලක් දැල්වෙන අතර ජනතාවගේ විවිධ වූ ප්‍රාර්ථනා කුළුගැන්වූ පඬුරු එල්ලු ස්ථානයක් බවට පත්වී ඇත.
මුල්කාලයේදි මේ පඬුරු එල්ලා පහනක් දැල්වීම පලක් නොවන බව පැවසූ අය පන්සල් භූමියෙන නික්ම යනවාත් සමඟ ලේ වමනය කර මහත් ව්‍යසනයකට පත්වී ඇත. එමෙන්ම ඇසළ ගසේ කොළ අතු කඩා මෙහි කිසිදු බලයක් නැතැයි කියූ බොහෝදෙනකුට වැඩිදුර යාමට මත්තෙන් තදබල ලෙස රෝගාතුරව ප්‍රතිකාර සඳහා මහව රෝහලට යෑමට සිදුවූ අතර පසුව ඒ අය සියලු දෙනා සමාව ඉල්ලා බෝධිමූලයට ගොස් කන්නලව් කිරීමෙන් අනතුරුව පියවි තත්ත්වයට පත්වූ බවද පැවසෙයි. මෙය ප්‍රාර්ථනා ඇසළ ගසක් ලෙස ජනතාව හඳුන්වන්නේ බොහෝ අයගේ ප්‍රාර්ථනා මේ ඇසළ ගස වන්දනාමාන කිරීමෙන් ඉටුවේය යන බලවත් විශ්වාසයෙනි.
කාලයේ වැලිතලාවෙන් වැසී මතකයෙන් ගිලිහී ගිය කොණ්ඩදෙණිය රජමහා විහාරය නැරඹීමට ගත වූ වසරක කාලය තුළ පාසල් අධ්‍යාපන චාරිකාවල යෙදුණු පාසල් දරුවන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම, දේශීය සහ විදේශීය සංචාරකයන්, ගවේෂකයන්, පර්යේෂකයන් දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ ඇත. එමෙන්ම ලේක්හවුස් මන්දිරයේ දුරකතන ක්‍රියාකරුවන්ට සහ ‘සුබසෙත’ කර්තෘ මණ්ඩලයටද දිනකට දුරකතන ඇමතුම් රැසක් කොණ්ඩදෙණිය හාස්කම් විමසමින් ලැබෙන බව ද නොරහසකි.
එසේම මේ ලිපිපෙළ “සුබසෙත” පුවත්පතේ පළ කළ මුල් දිනයේ පටන් අද දක්වා දිනකට සහෘද පාඨකයන් දහදොළොස් දෙනකුවත් වෙනුවෙන් දුරකතනයේ රැඳී සිටීමට සිදුවීම ගෙවුණු වසරේ මාගේ දෛනික දිවි පෙවෙතේම අංගයක් බවට පත්වීම අපූරු අත්දැකීමක් ද විය. තවද ‘සුබසෙත යූටියුබ් නාළිකාවෙන්’ මේ පිළිබඳ වැඩසටහන් කිහිපයක් ප්‍රචාරයවීමත් සමඟ වත්මන් රජමහා විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ට ඇතැම් දිනවල දුරකතන ඇමතුම් සිය ගණනක් ගලා එන්නට විය.
එවවන් ප්‍රතිචාර රැසක් මේ ලිපියට ලැබුණේ ගුප්තවිද්‍යා ශාස්ත්‍රයේ ස්වර්ණමය යුගයක් බිහිකරමින් දශකත්‍රයකට වඩා වැඩිකලක් දේශ දේශාන්තරවල තම යතිවර නාමය රන් අකුරින් ලියැවීමට සමත් වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් දැක්වූ දස්කම් සමුදායක බලයෙනි. ඒ මතකයන් සමඟ “කොණ්ඩදෙණියේ හාස්කම්” මැයෙන් පුරා වසරක් තිස්සේ ඔබ වෙත ගෙනා ලිපි පෙළෙහි අවසානය මෙසේ සනිටුහන් කරන්නේ මහත් සොම්නසිනි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ