වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
මහල්ලාගේ මුවට නැඟුණු
මෙතෙක් කතාව
බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයකු වූ රූපට් ඔරේන්ජ් නැමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයෙකු විසින් ඔහුගේ ජීවිත ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී. දැන් ගලා යන්නේ එම කතාවය. එම කතාවට අනුව කෲර ඥාතිවරියක නිසා පාරට වැටුණු තරුණයකු වූ රූපට් ඔරේන්ජ් හට දිනක් රාත්‍රි කාලයේ ඇවිදීමට යද්දී අද්භූත මහලු මිනිසකු හමුවෙයි.
“මේ වීදිය දිගේම ගියොත් මධ්‍යම උදානය ළඟට යන්ඩ පුළුවන්ද සර් ? ”
කලෙකට පසු සවනට පතිත වූ ඉතා කාරුණික කට හඬක් සේ සැලකිය හැකි ඒ ප්‍රශ්නයට රූපට් පිළිතුරු දුන්නේ මඳක් උගුර පාදා ගැනීමෙන් අනතුරුවය. හේතුව අන් කිසිවක් නොව ගෙවී ගිය සතියක කාලයක් මුළුල්ලේ ඔහු කිසිවකු හා කතාබහ නොකිරීමය. මේ නිසා උගුරේ රැස්ව තිබූ සෙමවලින් ඔහුගේ කට හඬට බාධා පමුණවා තිබුණි. එහෙත් හෙතෙම ඉතා ඕනෑකමින් මහලු පුද්ගලයාගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයුවා පමණක් නොව උද්‍යානය පෙන්වන්නටද පොරොන්දු වූයේය.
“ඇත්තම කියනවා නම් මහත්මයා මෙතැන ඉඳන් ආණ්ඩුවේ උද්‍යානයට තියෙන්නේ බොහොම පොඩි දුරක්”
“සර්, මම මේ පාරවල්වල ගමන් කරන්නේ පළමුවෙනි වතාවට. ඒ නිසා මං ගැන සමාවෙලා පළාත ගැන පොඩ්ඩක් විස්තර කරන්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා”
මහලු පුද්ගලයා අයැද සිටියේය.
“හොඳයි ඉතින් මම දන්න තරමින් ඔබට පැහැදිලි කර දෙන්නම්”
රූපට් ඔරේන්ජ් ඉතා කැමැත්තෙන් පැවසීය.
“දැන් අර දකුණු අත පැත්ත බලන්න. ඔබට ඔය පෙනෙන්නේ සුප්‍රකට ශාන්ත ලූක් රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ල... ඊළඟට... අර... තව ටිකක් පාරෙන් ඔබ්බට වන්නට...”
මේ ආදී වශයෙන් රූපට්ගෙන් යම් යම් කරුණු විමසා දැනගත් මහලු පුද්ගලයා වෙනත් වීදියක් දෙසට හැරුණේ එක්වරටමය. දෙවරක් කල්පනා නොකළ රූපට් ඔරේන්ජ්ද ඒ අනුව ඔහු සමඟ ඒ දෙසටම පිය නැඟීය. වැඩි කලක් හුදෙකලාවේ පසුවන තත්ත්වයට පත්ව සිටි රූපට් හදිසියේ මුණ ගැසුණු කාරුණික කට හඬක් සහිත මහලු මිනිසා නිසා මේ මොහොතේ යම් සංතුෂ්ටියකට පත්ව සිටියේය. එහෙත් මේ මොහොතේ ඇත්ත වශයෙන්ම රූපට් මහලු පුද්ගලයා සමඟ පිය මනින්නට පටන් ගත්තේ ඉහත කී සිතුවිල්ලෙන් පොලඹවනු ලැබූ නිසාම පමණක් නොවේ. ස්වකීය දුක්ඛිතභාවය නිසා උපන් ආත්මානුකම්පාවෙන් පරිපීඩිත තම හදවතට මේ තැනැත්තා නිසා අල්පමාත්‍ර වූ හෝ සැනසිල්ලක් දැනේයැයි ඔහු තුළ යම් ගුප්ත හැඟීමක්ද ජනිත වූ බැවිනි. මේ ආගන්තුක මිනිසාට මදක් පිටුපසට වන්නට මාර්ගයෙහි පැත්තකින් පිය නැඟූ රූපට්ට, ඔහුව ඉතා හොඳීන් වටහා ගන්නට ඇත්නම් මැනවැයි සිතක් ද මේ මොහොතේ පහළ වූයේය.
බාහිර පෙනුමින් ඔහුට එක්වරම පෙනී ගියේ ඇඳුම් පැලඳුම්වලින් නම් මේ පුද්ගලයා තමා හා ඉතාමත් සමාන බවය. එහෙත් හිස්වැස්මට යටින් ගෙලතෙක් වැටී තිබූ සුදුවන් දිගු කෙස්වැටිය මෙන්ම, දිගුවන්ව වැවී තිබූ සුදු රැවුල මහලු මිනිසාට යම් පෞරුෂයක් ජනිත කර තිබිණි. අවසානයේදී ඔරේන්ජ් රූපට් හට හැඟී ගියේ මොනවා වුණත් මේ තැනැත්තා තමාට වඩා යහපත් ජීවන තත්ත්වයක සිටින බවය. එය තව දුරටත් සනාථ කරනු ලැබුවේ හෙතෙම හොඳ ශක්තිමත් පතුලකින් යුතු කදිම පාවහන් යුගලක් පැළඳ සිටීමෙන්ය. රූපට්ගේ පාවහන් දෙකෙහිම අඩි සිදුරු වී තිබූ අතර ඒවායින් ඇතුළු වූ ශීතල විටින් විට ඉඳීකටුවලින් අනින්නාක් මෙන් ඔහුට කරදර කළේය. එහෙත් මහලු මිනිසා ඒ කිසිදු පීඩාවකින් තොරව සෘජු කරගත් කයින් යුතුව ඉදිරියට ඇදුණේ දැඩි ආත්ම විශ්වාසයකින් පිරිපුන් මිනිසකු විලසිනි.
ඒ මොහොතේ රූපට්ට සැණෙකින් මතකයට නැඟුණේ මීට වසර කීපයකට පෙර තමන්ද දැඩි ආත්මාභිමානයකින් යුතු තරුණයකු ලෙස පස්වැනි වීදියේ ඇවිදගෙන ගිය අයුරුය. දීර්ඝ සුසුමක් හෙළා ඒ සිතිවිල්ල ඉවත දැමූ රූපට් යළිත් ආගන්තුකයා සමඟ පිය නගන්නට වූයේ අරමුණකින් තොරවය.
මෙසේ තවත් ඉදිරියට ගමන් කළ දෙදෙනා සුප්‍රකට බ්‍රෝඩ්වේ නෘත්‍යශාලාව පිහිටි වීදියටද ඇතුළු වූයේ කිසිදු කතා බහකින් තොරවය. වීදිය දෙපස මෙන්ම මුළු පරිසරයද ඉතා මැනැවින් ආලෝකමත්ව පැවතියේ ඒ අවට සැරසෙමින් ජීවිතයේ සන්තෝෂය භූක්ති විඳීන ජනී ජනයාගේ මනෝභාවයන්ට අත්‍යන්තයෙන්ම සරිලන පරිද්දෙනි. ආහාර පිසින සුවඳීන්ම සිත කුල්මත් කරවන ආපනශාලාවලට ඇතුළුවන්නන් මෙන්ම පිටවන්නන්ද, නෘත්යශාලාවලින් පිටව එන්නන්ගේ සිනහවෙන් හා තෘප්තියෙන් පිරි මුහුණුද, දෙසැම්බර් ශීතලයට නිසැක ‘ඔසු’ සපයන්නා වූ ආපනශාලාවන්හි රන්පැහැ ආලෝක ධාරාවන්ගෙන් දිදුළන විවිධ මදිරා පිරුණු කුසලානයන් ද, රූපට්ගේ නෙත ගැටුණේ හදවතට දැඩි ශෝකයක් ජනිත කරවමිනි. ජීවිතයේ එක් කාල පරිච්ජේදයකදී තමාද එතුළ සැරිසරන මේ පිරිසේ එක් සමාජිකයකුව නොසිටියේ දැයි ස්මරණයවත්ම සිය හදවතට ඇති වූ වේදනාව කොතෙක් පීඩාකාරී වීදයත් සිය ආත්මය උකසට තබා හෝ යළි ඒ තත්ත්වය උදාකර ගන්නට ඇත්නම්, තමා ඒ සඳහා දෙවරක් නොසිතනු ඇතැයි රූපට්ට හැඟී ගියේය. මෙකී මනෝභාවයන් හේතුකොටගෙන නොහඬා සිටින්නට ගන්නා උත්සාහය නිසා අගුල් වැටුණු මුවෙන් යුතුව හේ තව දුරටත් කරබාගෙන සිටියේය. එහෙත් ඒ මහලු පුද්ගලයා විසින් හදිසියේම මේ නිහඬතාවය බිඳ දමන තෙක් පමණි.
“හොඳීන් බලන්න”
හෙතෙම මාර්ගය දෙපසටම තම දෑත විහිදුවමින් පැවසීය.
“මේ හැම කෙනෙක්ම ඉන්නේ කොයි තරම් සන්තෝෂයකින්ද?”
තමා කෙරෙහිම උපන් ආත්මානුකම්පාව හේතුකොටගෙන අභ්‍යන්තර වැළපුමකින් ඔහුගේ කටහඬ අපහැදිලිව තිබූ නමුදු ඔහු ද නොපැකිළිව එම අදහස අනුමත කළේය.
“ඇත්ත, මේ හැම කෙනෙක්ම ඉන්නේ හුඟාක් සන්තෝෂයකින් තමයි ”
හෙතෙම පිළිවදන් දුන්නේය.
සන්තෝෂය වැන්නක් ගැන කෙරෙන ප්‍රකාශයකට වඩා හදවතක අභ්‍යන්තර වැළපීමක නින්නාදයක් බඳු ඒ හඬ ඇසුණු සැණෙන් මහලු පුද්ගලයා හිස හරවා රූපට්ගේ මුහුණ වෙත සිය නෙත් යොමු කළේය.
ඔහුට දැකගත හැකි වූයේ දෙනෙතින් කඳුළු ධාරා වගුරවමින් පාෂාණීභූත වූවකු මෙන් බලා සිටිනා රූපට් ඔරේන්ජ් ය.
“ඇයි ? ඔබ හඬන්නේ ? මට පෙනෙන විදියට ඔබට හුඟාක් සීතලයි. හරි, කෝකටත් එක්ක අපි ඉක්මනට හොප්මන් හවුස් ඵකට ගොඩවෙමු.එතැන ඔය කොයිකටත් බෙහෙත් තිබෙනවා”
පිළිතුරක් දෙන්නටත් ප්‍රථම රූපට්ගේ කබා අතකින් අල්ලාගත් මහලු මිනිසා රන් පැහැයෙන් දිදුලමින් සිරුර උණුසුම් කරන මදිරාවන්ගෙන් පිරුණු අවන්හල වෙතට රූපට්ටද කැටුව පිය නගන්නට වුයේය.
එහෙත් සංග්‍රහය සඳහා තමාගේ ද දායකත්වය දැරීමට හෝ ප්‍රති සංග්‍රහයකට ආරාධනා කිරීමේ හැකියාවක් නොමැතිව මේ ආරාධනාව පිළිගැනීමට රූපට්ගේ සිත එක්වරම කැමැත්තක් දැක්වූයේ නැත. ඵහෙත් මේ මොහොතේ මහලු පුද්ගලයා ඉදිරියේ තමා යම් අනුකම්පාවට ලක්ව අවසන්ව සිටි බැවින්ද, එළිමහනේ ශීතල පරිසරයෙන් මිදී උණුසුමක් ලබා ගැනීමට ඇති වූ කෑදරකමද හේතුකොටගෙන ආගන්තුකයාද සමඟ අවන්හලට ගොඩ වැදුණේය.
සුපුරුදු පරිදි අවන්හල මධුලෝලීන්ගෙන් පිරී තිබුණ අතර රැස්ව සිටියවුන් රූපට්ගේ කබාය සහ කලිසම දෙස නෙත් හෙළනු ලැබුවේ සමච්චල් සහගත සිනහවකින් යුතුවය. ඔවුනට අවශ්‍ය වූයේ රූපට් කෙරෙහි ඊනියා අනුකම්පාවක් දැක්වීම වුවත් ඔවුන්ගේ මුහුණුවලින් පිළිබිඹු වූයේ උද්ධච්ජ සමච්චලයම විනා අන් කිසිවක් නම් නොවේ.
එහෙත් රූපට්ව ඒ වෙත කැටුව ආ මහලු පුද්ගලයා මේ කිසිවක් ගැන අල්පමාත්රවූද හැඟීමක් පළ නොකොට රූපට් ද සමඟ මේසයක අසුන් ගත්තේය. අනතුරුව පැමිණ සිටියවුන් විස්මයට පත් කරවන තරමේ මිලාධික ෂැම්පේන් බෝතලයක් ඇනවුම් කළේය. ඒ ඇනවුමත් සමඟ සෙසු මධුලෝලීන්ගේ සමච්චල් සහගත මුහුණු ක්ෂණිකව දරුණු කම්මුල් පහරක් වැදුණ කලෙක මෙන් මදක් ඇදව ගොස් කිසිවක් සිදු නොවුවා සේ තම තමන්ගේ වීදුරු හා බෝතල් දෙස නෙත් යොමු විය.
වීදුරුවලට වත්කරන ලද ෂැම්පේන් කලකින් නොලද ආහ්ලාදයක් ලබා දෙමින් රූපට්ගේ උගුරෙන් පහළට ගලා ගිය අතර, ඉතා සෙමින් සිරුර උණුසුම් වන්නට පටන් ගනිත්ම විනාඩි කීපයක් නිහඬව සිටි මහලු පුද්ගලයාගේ මුවින් මේ මොහොතේ ඉතා වටිනා වචනයක් පිටවුයේය.
(මතු සම්බන්ධයි)
(වින්සන්ට් ඕ සලිවන්ගේ කතාවක් ඇසුරිනි)