වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
වරක් ඇසූ පමණින් යමක් මතක සිටින ඒක ශ්‍රැතිධර යෝගය
කේන්දරයක තුන්වැන්න, පස්වැන්න, නවවැන්න සහ එකොළොස්වැන්න යන ස්ථානවල පමණක් ග්‍රහයන් සිටින්නේ නම් එය ඒක ශ්‍රැතිධර යෝගය නම් වේ. මෙසේ ග්‍රහයන් පිහිටා තිබියදී හතර කේන්දරයේ ග්‍රහයන් නොමැතිය යන අඩුපාඩුවක් යම් කෙනෙකුට පෙනෙන්නට පුළුවන. එවිට හතර කේන්දරය පාළුවීමේ දෝෂය නිසා ජන්මියා අවසනාවන්තයෙක් යැයි සිතෙනු ඇත.
“එකත් හතර හත දහය ද පාලු එකා
රජ කුලයක උපනත් යයි සිඟා කකා” යනුවෙන් ප්‍රචලිත කියමනක් පවතී. එම කවියෙහි අර්ථයටම වාල්වන සමහර ඡ්‍යොතිෂඥයෝ මෙවැනි පිහිටීමක් දුටු පමණින් එම පුද්ගලයා අවාසනාවන්ත යැයි පැවැසීමට පුරුදු පුහුණු වී සිටිති. කේන්දරයක එක යෙදුමකට පමණක් සීමා වී පලාපල කථනයේ යෙදීම මුග්ධ ක්‍රියාවකි. එහි දී එවැනි එක ආකල්පයකට පමණක් සීමාවන කල එය බිඳහෙළන තව දුරටත් ප්‍රබල යෙදුමක් ඇත්නම් පෙර කී දෝෂය අහෝසි වන්නේ ය. ඒක ශ්‍රැතිධර යෝගයද එවැන්නකි. මෙහිදී රාහු, කේතු ගණන් නොගනී. රවි, සඳු ආදී මණ්ඩල ග්‍රහයෝත් කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි ආදී තාරා ග්‍රහයෝත් පමණි මෙහිදී අවධානයට ලක් වනුයේ. මේ ග්‍රහයන් 7 දෙනා කේන්දරයක තුන් වැන්න, පස් වැන්න, නව වැන්න, එකොළොස් වැන්න යන ස්ථානවල කවර කවර ආකාරයෙන් යෙදී සිටියත් එය ඒක ශ්‍රැතිධර යෝගයයි.
ඒක ශ්‍රැතිධර යෝගය යනු, එක වරක් ඇසූ පමණින් මතක සිටින යෝගය යන්නයි. තුන්වැන්න සහජ ස්ථානය වේ. තුන්වැන්නේ කිසියම් ග්‍රහයෙක් යහපත්ව බලවත්ව සිටියි නම් සහජයෙන්ම තමාට හැකියාවක්, කුසලතාවයක් හා ධාරණ ශක්තියක් පවතියි.
5 වැන්න යනු ‘ධී’භාවයයි. ‘ධී’ යනු බුද්ධියයි. බුද්ධිය, ඥානය, කුසලතාවය, ප්‍රතිභාව, නිර්මාණාත්මක හැකියාව වැනි දෑ 5 වැන්න නියෝජනය කරන්නේය. 5 වැන්න ද ඉහළ මට්ටමේ ග්‍රහ බලයකින් යුතු නම් එය මහා දැනුම් සම්භාරයක් ලැබීමට හේතු කාරක වන පිහිටීමකි. හොඳ කල්පනාව, සැලසුම් සහගත බුද්ධිය, අනාගතය දැකීම, මේ තුළින් ඇති කරන ප්‍රබල යහපත් ප්‍රතිපල වේ. මෙනිසා 5 වැන්න බලවත් ලෙස ග්‍රහ ශක්තීන්ගෙන් අනූන නම් එයද ධාරණ ශක්තියට හේතු කාරක වේ. තවදුරටත් මේ සම්බන්ධව විස්තර කරනවා නම් පුද්ගලයාගේ හිත පෙන්වනුයේ හතර වැන්නෙනි, හතරෙන් දෙවැන්න නිසා හිතෙහි පෝෂණය, සිතෙහි යහපත් නැඹුරුවකින් යුතු වර්ධනය මත 5 වැන්නේ බලය ඉහළ මට්ටමකට පත්වේ.
කිසියම් කේන්ද්‍රස්ථානයකින් 2 වැන්න එම කේන්දරස්ථානයෙන් පෙන්වන කරුණුවල යහපත් පෝෂණය පෙන්වයි. මෙනිසා බුද්ධි වර්ධනය 5 ට අයත්ය.
මීළඟට ඒක ශ්‍රැති ධර යෝගයට සම්බන්ධ වන අනෙක් භාවය නම් නව වැන්නයි. නව වැන්න යනු උසස් සිතුවිලි උසස් දැනුම උසස් ඉගෙනුම ඉහළ මට්ටමේ අවබෝධඥානය පෙන්වන භාවය වේ. යම් යම් තැන්වල දී එය උසස් අධ්‍යාපන භාවය ලෙසද හඳුන්වයි. මෙනිසා 9 වැන්න යහපත් ග්‍රහයන්ගෙන් බලවත් නම් 9 වැන්නේ යහපත් ග්‍රහයෝ සිට 9 වැන්නෙහි බලය පෝෂණය කරන්නේ නම් හේ උසස් දැනුම් සම්භාරයක් ඇති පොත්පත් කියවා ලද දැනුම ඉතා හොඳින් මතකයට ධාරණයට විමර්ශනයට පාත්‍රවන බලයකින් හෙබි ශක්තියක් ජනනය කරන්නකි. මෙනිසා නව වැන්නේ සිටින ග්‍රහයෝ බෙහෙවින්ම ධාරණ ශක්තියට, අවබෝධයට වැඩදායකම වේ.
නව වැන්න ලග්නයට සම්බන්ධ ත්‍රිකෝණයකි. 5 වැන්න මෙන්ම 9 වැන්න ද ත්‍රිකෝණයෝ ය. මේ නිසා 5, 9 දැනුමට, බුද්ධියට, ඥානයට යහපත් බලයක් ගොඩනගන ස්ථානයෝ ය. මීළඟට ඒක ශ්‍රතිධර යෝගයට සම්බන්ධ වන අනෙක් භාවය නම් 11 වැන්නයි. 11 වැන්න, බලවත් වීම 11 වැන්නේ බලවත් ග්‍රහයන් සිටීම නිසා එය ද ධාරණ ශක්ති වර්ධනයට මහෝපකාරී වේ. එකොළොස් වැන්න යනු තුනෙන් නව වැන්නයි. පස්වැන්නේ සප්තමයයි. මෙනිසා දැනුම, බුද්ධිඥානය, අවබෝධය සම්බන්ධයෙන් 11ට වගකීමක් ඇත. මේ න්‍යායන් ඔස්සේ 11 වැන්න දැනුම, තැන්පත් කරන භාණ්ඩාගාරයක් වැනිය. එනයින් සැලකීමේ දී 3, 5, 9, 11 යන ස්ථාන ඒක ශ්‍රැතිධර යෝගයට ප්‍රමුඛත්වයක් දක්වන ස්ථානයෝය. මෙය මතක තබා ගැනීමට හොඳ න්‍යායක් ඉදිරිපත් කරමු.
4 වැන්න වන ප්‍රබල භාවයට දෙපැත්තේ ඇති භාව දෙක හා 10 වැන්නට දෙපැත්තේ ඇති භාව දෙකෙහි ග්‍රහයෝ සිටියි නම් එයම එක ශ්‍රැතිධර යෝගය වේ. අපට ඕන ඕනෑ විදිහට මේ යෝග අර්ථකථනය කළ නොහැකිය. රාහු, කේතු හැර සියලුම ග්‍රහයෝ මේ භාව 4හි සිටියොත් ඒක ශ්‍රැතිධර යෝගය යෙදෙනුයේ එනම් සුඛස්ථානයට දෙපැත්තේ ද, කර්මස්ථානයට දෙපැත්තේ ද ග්‍රහයන් සිටින්නේ නම් එය ඒක ශ්‍රැතිධර යෝගයයි.
පුද්ගලයා ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත, දැන උගත් පඬිවරයෙක් වීමට මහා ඥාන සම්භාරයකින් යුතු අයෙක් වීමට මෙය හේතු කාරක වේ. 4 හිතයි. ඉන්දෙපස ග්‍රහයන් සිටීමෙන් හිත දැනුම පෝෂණය වේ.
10 කර්මස්ථානයයි. ඉන් දෙපස ග්‍රහයන් සිටීමෙන් පුද්ගලයා වෘත්තීය වශයෙන් මහා දැනුම් සම්භාරයකින් යුක්ත වේ. මේ නිසා මේ භාව හතර පෙර කී රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි ආදී ග්‍රහයන්ගෙන් යුක්ත නම් එම පුද්ගලයා ඒක ශ්‍රැතිධර යෝගයෙන් උපන් මහා පඬිවරයෙකු වනු ඇත.
මෙරට හා විදේශයන්හි සිටිය යම් යම් දැන උගත් ප්‍රබුද්ධයෝ, මහාචාර්යවරු, ලේඛකයෝ වැනි උගතුන්ගේ කේන්දර පරීක්ෂාවේදී මෙවැනි පිහිටීම් පිළිබඳව තේරුම් ගැනීමට පුළුවන්කමක් ඇත. උදාහරණ කේන්දරයක් වශයෙන් සැලකුවහොත්, ඉහත වෘශ්චික ලග්න කේන්දරයෙහි එක ශ්‍රැතිධර යෝගය අතිශය ප්‍රබලව යෙදී ඇත. මෙහි කුජ තුන්වැන්නේ උච්චව සිටියි. ඒ ලග්නාධිපති වශයෙනි.
බෙහෙවින් බලවත්ය. ශනි ගුරු 5 වැන්නේ සිටියි. 4 අධිපති වන ශනි 5 අධිපති වන ගුරු සමඟ 5 වැන්නේ ඇත. ඒ තුළින් තවත් බලවත් යෝගයක් උදා කරයි. එනම් කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති යෝගයයි. නැතහොත් විෂ්ණු ලක්ෂ්මී යෝගයයි. තවදුරටත් පැවැසුවහොත් අමාත්‍ය යෝගයයි. 4, 5 අධිපතින් එකට එක්වීම අමාත්‍ය යෝගය වේ. 9 යෙහි රවි සඳුය. දෙදෙනා එකට එක් වී ඇත. 10 අධිපති රවි 9 අධිපති සඳු සමඟ එකට එක්වීමෙන් මහා බලවත් ධර්ම කර්මාධිපති රාජයෝගය උදාකොට ඇත. සාමාන්‍යයෙන් 10 අධිපතියා 9 සිටීම ක්ෂේත්‍ර සිංහාසන යෝගය ද වේ. මේ යෙදුමෙන්ද කේන්දරය බලවත් වී ඇත. බුධහු උච්චව 11 වැන්නේ බලවත්ව සිටියි. සිකුරු කන්‍යාවේ සිටිත් දී බුධ උච්ච වීම නිසා බලවත් නීච භංග රාජයෝගයක්ද යෙදී ඇත. එහෙයින් මේ කේන්දරය 4 කේන්දරය පාළු වුවත් මහා බලවත් පිහිටීමකින් යුක්ත කේන්දරයකි. අපගේ මාතෘකාවට සරිලන ආකාරයෙන් ඒක ශ්‍රැතිධර යෝගයද මෙහි යෙදී ඇත. එනම් 3, 5, 9, 11 ආදී ස්ථානවල ග්‍රහයන් බෙහෙවින් උසස් ලෙස පිහිටීමයි.
මේ නිසා මේ ජන්මියා ඒක ශ්‍රැතිධර යෝගයේ ප්‍රතිපල ඉහළින්ම භුක්ති විඳින්නෙක් වනු ඇත. ඒ සම්බන්ධව උසස් ප්‍රතිඵල ඔහුට අත්විඳිය හැකිය. ඒක ශ්‍රැතිධර යෝගය යෙදී ඇති අයට ගණදෙවියන් හා සරස්වතී මෑණියන් ඇදහීමෙන් වන්දනා මාන කිරීමෙන් අනේකවිධ යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතී. ගණදෙවියන් උදෙසා,
වක්‍රතුණ්ඩ මහා කාය
සූර්ය කෝටි සමංප්‍රභා
නිර්විඝ්නං කුරුමේදේව
සර්ව කර්යේෂු සර්වදා
ඉහත ශ්ලෝකය කියවා ගණ දෙවියන් වන්දනා කිරීම යහපත් වේ.
සරස්වතී ලෝක තුල්‍යං
වරදේව කාම රූපිණී
සිද්ධියාරං කරිෂ්යාමී
සිද්ධී භවතු මේ සදා
ශ්ලෝකය කියවා සරස්වති දේවිය වන්දනා කිරීමද යහපත සලසනු ඇත.
මේ යෝග බලය වඩ වඩාත් පෝෂණය කිරීමෙහි ලා ඥානයට කාරක බුධට අයත් මරකත මැණික් ගලක් පැලඳීම හා ප්‍රඥාවට කාරක ගුරුට අයත් පුෂ්පරාග ගලක් පැලඳීම වඩ වඩාත් යහපත් වේ.
ආචාර්ය ජී. ඇම්. ගුණපාල